ලංකාවේ පලාත් පාලන ආයතනවල අයවැය පරාජයන් ගැන ජනාධිපති කැලඹේ

වසන්ත රූපසිංහ විසිනි, 2014 ජනවාරි 14

පසුගිය වසර අවසන් මාස දෙක තුල දී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) බලය හොබවන පලාත් පාලන ආයතන 20ක පමන අයවැය පරාජයට පත් වීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මුහුන දී සිටින දේශපාලන අර්බුදය යටින් ලියලන ආකාරය ඇඟවුම් කරයි. අයවැය දෙවරක් පරාජයට පත් වීම නිසා සභාපතීන්ට හා නගරාධිපතීන්ට ඉල්ලා අස්වීමට බලකෙරුනු ප‍්‍රාදේශීය සභා අතර මැදවච්චිය, රාජාංගනය, අලව්ව, මීරිගම, මාතර, ඇඹිලිපිටිය, ඉඹුල්පෙ හා හෝමාගම ප‍්‍රාදේශීය සභා ද පෑලියගොඩ හා කැස්බෑව නගර සභා ද වේ.

මෙම පරාජයන් නිසා ජනාධිපති රාජපක්ෂ කලබලයට පත් ව ඇති බව දෙසැම්බර් 23 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන වාර්තාකරු ලීවේ ය. එයට අනුව දෙසැම්බර් 18 පැවැති කැබිනට් රැස්වීමේදී රාජපක්ෂ පවසා ඇත්තේ "තත්වය විසඳා නොගන්නේ නම් එලැඹෙන වසරේදී (2014) එය වඩාත් නරක තත්වයට පත් වෙනු ඇති" බවත් පක්ෂය මෙය "අනිවාර්යයෙන් ම විසඳා ගත යුතු" බවත් ය. අයවැය පරාජය සිදුවී ඇත්තේ සුලු සභා ගනනක නිසා එය ගනන් ගත යුතු නැතැයි කැබිනට් ඇමති දිනේෂ් ගුනවර්ධන පැවසුවත් රාජපක්ෂ ඊට එකඟ නොවුයේ මේ අවුරුද්දේ තත්වය තවත් නරක්වනු ඇති බව පවසමිනි.

අධිකාරවාදී හා පොලිස් පාලන ක‍්‍රම මගින් ස්ථාවරත්වයක් පෙන්වා ගෙන සිටින නමුත් තමන් ගිනිකන්දක් උඩ වාඩිවී සිටින බව දන්නා රාජපක්ෂ, ආන්ඩුවේ මොනම දුර්වලත්වයක් හෝ ප‍්‍රදර්ශනය වීම ආන්ඩුවට මාරක වන බව දනී. ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රික අයිතීන්ට වැදෙන අතොරක් නැති ප‍්‍රහාර ගැන කම්කරුවන් ද අවශේෂ දුගී කොටස් ද අතර දැල්වෙන්නේ කැකෑරෙන විරුද්ධත්වයකි.

අයවැය පරාජයන් සඳහා දායකවූවන්ට එරෙහිව විනය පියවර ගන්නා බවටත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරන බවටත් එජනිස මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත හා තවත් ජ්‍යෙෂ්ඨ ඇමතියන් කීප වරක් ම තර්ජන කල අතර අදාල පලාත් පාලන මන්ත‍්‍රීන් එජනිස විනය කමිටුව වෙත ගෙන්වා සාකච්ඡා ද පවත්වා තිබේ. කෙසේ වෙතත්, එකී තර්ජනාත්මක පියවරවලින් අනතුරුව පවා එම පලාත් පාලන ආයතනවල දෙවන වරටත් අයවැය පරාජයට පත්වූ අතර තවත් සභා ද පෝලිමට එක්වූ නිසා විනය පියවර ගැනීමෙන් වැලකී සිටියේ, එවැනි අන පැනවීම් හරහා තත්වය නරක අතට හැරේ යයි සැකයෙනි. මේ පිලිබඳ සිය උත්සුකතාව පල කල දෙසැම්බර් 22 දා ඉරිදා ලක්බිම පුවත්පතේ කතුවැකිය අදාල පලාත් පාලන ආයතනවල මන්ත‍්‍රීන් "මෙලෙස බිය ගැන්වීම්වලින් ඔවුන් නතු කරගැනීමට යාමෙන් තම අභිමතාර්ථ මුදුන් පමුනුවා ගත හැකි දැ?" යි විමසීය.

මෙම සිදුවීම්වලට අදාල පසුබිම සොයා බැලීම සඳහා එජනිස විසින් පත් කල ඇමැති කට්ටුව විසින් හේතු තුනක් සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කලේ ය. ඒවා නම්: සමහර ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ අධිපතිභාවය, උප-සභාපතිවරුන් ඇතැම් මන්ත‍්‍රීන්ගේ පිටුබලය ලැබ සභාපති ධුර අල්ලා ගැනීමට කුමන්ත‍්‍රනවල නිරතවීම හා අයවැය දෙවරක් පරාජය කිරීම මගින් සභාපතිවරුන් නෙරපා හැරීමට පක්ෂ සංවිධායකයින් ක‍්‍රියා කිරීම වේ.

මේ හේතුවලින් පැහැදිලි වන එකම කාරනාව නම්, රාජපක්ෂ විසින් පලාත් පාලන ආයතනයන්හි ඉහල පුටුවලට පත් කරන ලද පුද්ගයන් විසින් සිය අභිමතය පරිදි මුදල් හා පාලන බලතල භුක්ති විඳීමත් අනෙක් මන්ත‍්‍රීන්ට එම අවස්ථා නොලැබීම නිසාත් හටගත් සතුරුකම නිසා අයවැය පරාජය කිරීම් සිදුව තිබෙන බව යි. මෙම අයවැය පරාජය කිරීම්වලට දායකවූ පාලක සන්ධාන මන්ත‍්‍රීන්ට රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා දූෂිත පිලිවෙත් කෙරෙහි කිසිදු විරුද්ධත්වයක් ඇත්තේ නැති බව එයින් පැහැදිලි ය.

එහෙත් පලාත් සභාවල මන්ත‍්‍රීන් අතර ගැටීම් තුල ගැබ්ව පවතින අනතුර රාජපක්ෂ පාලනයට හැඟෙන බව පෙනේ. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය අවුස්සමින් රාජපක්ෂ පාලනාධිකාරිය වඩ වඩාත් පොලිස් මිලිරි විධික‍්‍රම මත වාරු වෙමින් කම්කරු පීඩිත මහජනයාගේ අරගල මැඬීමට ක‍්‍රියාත්මක වෙමින් සිටී. ආන්ඩුවේ ආර්ථික පිලිවෙත වන්නේ, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිලිවෙත් ක‍්‍රියාත්මක කරමින්, විදේශ මුල්‍ය ප‍්‍රාග්ධනයට ඉඩ සලසමින් රටේ ධනපති පන්තියට හා ඉහල මධ්‍යම පන්තියේ උත්සුකයන්ට ගැලපෙන අයුරින් "සංවර්ධන" කටයුතු සිදු කිරීම යි.

රාජපක්ෂ නිරන්තර පාරම්බාන ඊනියා පාර්ලිමේන්තු බහුතරය, කප්පම් දෙමින් විපක්ෂ එක්සත් ජාතික පක්ෂයෙන් හා ජනතා විමුක්ති පෙරමුනේ කඩාගත් මැති ඇමැතියන්ගෙන් සමන්විත වන අතර ඔවුහු රාජපක්ෂගේ පිලිවෙතට කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී අත් ඔසවති. එයට හිලව් ලෙස ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුත්තක් හෝ මූල්‍ය දූෂනයක් නීතියෙන් දඬුවම් නොලබා කරගෙන යාමට ආන්ඩුවෙන් ඔවුන්ට නිදහස දී තිබේ.

අනෙක් අතට රටේ ප‍්‍රධාන ආර්ථික හා දේශපාලනික මර්මස්ථාන පවතින්නේ රාජපක්ෂ පවුලේ ග‍්‍රහනය යටතේ ය. අයවැය වියදම්වලින් සියයට 50කට ආසන්න ප‍්‍රමානයක් පාලනය කරන්නේ ජනාධිපති හා ඔහුගේ දෙසොහොයුරන් වන ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. විපක්ෂයේ සිත්තැවුල වැඩිමනත්ම මෙයින් පැන නඟින අතර කම්කරු පීඩිත මහජනයාට එරෙහි රාජපක්ෂ පාලනයේ ප‍්‍රහාර පිලිබඳව ඔවුනතර මූලික මත භේදයක් නැත. ආන්ඩුව විවේචනය කෙරෙන්නේ නම් ඒ ආන්ඩුව කෙරේ පවතින මහජන වෛරය ගසා කෑම සඳහා ය.

තතු මෙසේ වෙද්දී, පාලක පක්ෂයේ පහල කොටස් තමන්ට ලැබෙන පංගුව පිලිබඳ සිත් තැවුලට පත්ව තිබීම අහම්බයක් නොවේ. තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් හරහා තත්වය තවදුරටත් නරක් වීම වලක්වා ගැනීමේ අරමුනින්, අයවැය දෙවරක් පරාජය වූ විට සභාපතිවරයා ඉවත් කිරීමට අදාල වගන්තිය ඉවත් කරන බව ජනාධිපති ප‍්‍රකාශයට පත් කලේ ය. 2012 දී සංශෝධන සිදු කිරීමේදී පලාත් පාලන ව්‍යුහය වඩාත් ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම අරමුන වූ බැව් ව්‍යාජව සඳහන් කල ආන්ඩුව, දැන් ආන්ඩුව තුල ලියලා එන අර්බුදය නීති වෙනස් කිරීම මගින් වසා ගැනීමට තැත් කරයි.

මෙරට තුල පලාත් පාලන ආයතන 335ක්- මහ නගර සභා 23ක්, නගර සභා 41ක් හා ප‍්‍රාදේශීය සභා 271ක්- පවතී. පලාත් පාලන ආයතන අතීතයේ සැලකුනේ ප‍්‍රදේශයේ මහජනයාගේ සුබසාධන අවශ්‍යතාවන් ඉටු කෙරෙන ආයතන ලෙස යි. එකල සීමිත ලෙස යම් වැඩ කෙරුනත් දැන් ඒවා මහජනයාගෙන් වැඩිවැඩියෙන් බදු මිරිකාගෙන ආන්ඩුවේ බලය නඩත්තු කරන උපකරන බවට පත්ව ඇත. මෙම ආයතනවලට කලින් සුබසාධන කටයුතු සඳහා මධ්‍යම ආන්ඩුවෙන් දුන් සහනාධාර දැන් කපා ඇත.

ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් මෙන් ම මෙකී පලාත් පාලන ආයතනවල දේශපාලනඥයින් ද නිදහසේ ස්ත‍්‍රී දූෂන, මිනීමැරුම් හා මූල්‍ය වංචාවල නිරත වීම පිලිබඳ චෝදනා ලැබ සිටිති. මෑතම උදාහරනයක් වන්නේ පසුගිය දෙසැම්බර් මුල් සතියේදී ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති කල්පිටියේ රුපියල් මිලියන 50ක ව්‍යාජ ඉඩම් ගනුදෙනුවකට සම්බන්ධ වීම නිසා දෙවන වරට ද අත්අඩංගුවට ගැනීම යි. රාජපක්ෂ පාලනයේ දාමරිකභාවය හෙලි කල තවත් එක් සිදුවීමක් වූයේ පාලක එජනිසයට සම්බන්ධ තංගල්ල ප‍්‍රාදේශීය සභාපති ඇතුලු තවත් මන්ත‍්‍රීන් කීප දෙනෙකු එක්ව, 2011 වසරේ දී බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමත් ඔහුගේ පෙම්වතිය දූෂනය කර දරුනු වධ හිංසා පැමින වීමත් ය. ඔහු දැන් මුළුනින්ම වාගේ නිදැල්ලේ හැසිරෙයි. 2012 වසරේ දී පමනක් අපරාධවලට සම්බන්ධ වූ දේශපාලනඥයින් 42 දෙනෙකුට එරෙහිව නීති ක‍්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි පොලිස් වාර්තා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස්හි පලවූ ලිපියකින් අනාවරනය කර තිබුනේ එම දේශපාලනඥයින්ගෙන් බහුතරය එජනිස නියෝජනය කරන්නවුන් බව යි.

රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය කම්කරුවන්ට හා පීඩිතයන්ට ඉබේ වාසි සලසන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී අයවැයට රහස් ඡන්දයක් පවත්වන ලෙසට ‘අභියෝග’ කලේ මන්ත‍්‍රීන් ආන්ඩුවට විරුද්ධව ඡන්දය දේ යයි සිතා ඒ ගැන බලාපොරොත්තු තබා ගන්නා ලෙස මහජනයාට කියා සිටීමට ය. එජාපය ද ආන්ඩුවේ අර්බුදයෙන් වාසි ගැනීමට බලා සිටී. කුමන ධනපති ආන්ඩුවක් බලයට ආවත් පටන් ගන්නේ රාජපක්ෂ ආන්ඩුව අවසන් කල තැනිනි.

Share this article: