දකුනු රුසියාවේ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් අඩුම තරමින් 32ක් මිය යති

Terror bombings kill at least 32 in southern Russia

බිල් වෑන් ඕකන් විසිනි, 2013 දෙසැම්බර් 31

පැය 24ට නොවැඩි කාලයක් තුල එකකට පසුව තවෙකක් වශයෙන් දෙසැම්බර් අවසන් සති අන්තයේ දකුනු රුසියාවේ වොල්ගොග්‍රෑඩ් නගරය තුල සිදුවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 32ක් මියගොස් 70ට ආසන්න පිරිසක්, ඉන් බොහොමයක් බරපතල ලෙස, තුවාල ලදහ. කම්පාකාරී ප්‍රහාර රට පුරා දැවැන්ත ආරක්ෂක මෙහෙයුමකට තුඩු දුන්නේ ය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකෙන් පලමුවැන්න, 29දා වොල්ගොග්‍රෑඩ් ප්‍රධාන දුම්රිය ස්ථානයේ දී එල්ලවු අතර ඉන් අඩුම තරමින් පුද්ගලයින් 17ක් මියගොස් 40ට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එලැඹෙමින් ඇති නව වසරේ සශ්‍රීක සංචාරක සමය ඉලක්ක කර ප්‍රහාර එල්ල කෙරුනි. එය, රුසියාවේ වැදගත්ම නිවාඩු කාලය යි. බෝම්බය පුපුරවාගෙන ඇත්තේ, දුම්රිය ස්ථානයෙහි ලෝහ අනාවරන ඉදිරියේ සිටි පිරිසක් අතර බව බලධාරීහු වාර්තා කලහ. දිවිනසාගත් බෝම්බ සැකකරු ගිලන් රථ සේවයක අතුරු වෛද්‍ය සේවකයෙකු වූ පැවෙල් පෙකියොන්කින් ලෙස මොස්කව් ටයිම්ස් පත්‍රය හඳුනාගෙන තිබුනි. ඔහු ඉස්ලාම් ආගම වැලඳගෙන නිවසෙන් පිටව ගොස් ඩැජෙස්ටාන් ඉස්ලාමීය සටන්කරුවන්ට එක්වූ අයෙකි.

ඉන් පසු දින, උදෑසන තදබදය පැවති වේලාවේ ට්‍රොනලි බසයක් තුල පුපුරාගිය බෝම්බය රිය සුනු විසුනු කරමින්, සිරුරු හා සිරුරු කොටස් ද රෙදිපිලි ද වීදියට ඇද දැමීය. මෙම දෙවන බෝම්බයෙන් 15ක් මියගොස් 30ට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව වාර්තා විය.

රුසියාවේ ෆෙඩරල් පරීක්ෂන කමිටුවේ ප්‍රකාශක ව්ලැඩිමීර් මාකින් මාධ්‍ය වෙත පැවසුවේ, බෝම්බ ප්‍රහාර දෙකට එකිනෙකට සම්බන්ධ, පොදු මූලාශයක් පැවති ඒවා බව ඇඟවුම් කරන්නේ ය යනුවෙනි. ට්‍රොවලි බසයේ බෝම්බය ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, "දුම්රිය ස්ථානයේ බෝම්බය මෙන් ම එය ද යකඩ කැබලිවලින් පුරවා තිබුනි. බෝම්බ දෙකේ ම ප්‍රහාරාත්මක මූලාශ්‍රයන් එකිනෙකට සම්බන්ධ වීම තුල තහවුරු වන්නේ, ප්‍රහාර දෙක එකිනෙකට සම්බන්ධ බව ය. ඒවා එක ම ස්ථානයක දී ඇසිරුවා විය හැකිය."

ප්‍රහාර දෙක සඳහා කිසිවෙකුත් වගකීම බාරගෙන නොමැති තතු තුල, දුම්රිය ස්ථානයේ ප්‍රහාරයට සම්බන්ධ යයි හඳුනාගෙන ඇති බෝම්බකරු, චෙච්නියාවේ ඩැජස්ටාන්, උතුරු ඔසේටියා හා කලාපයේ තවත් තැන්වල ක්‍රියාත්මක වන කෝකසස් එමිරෙට් යන අල් කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදී කන්ඩායමක් සමග සිය බැඳීම් ගැන කියා තිබුනි. පුද්ගලයින් 40කට මරුකැඳවූ 2010 මාර්තු මොස්කව් මෙට්රෝ බොම්බ ප්‍රහාර ද තවත් 37කට මරු කැඳවූ මොස්කව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ 2011 පෙබරවාරි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ද ඇතුලු පූර්වයෙන් සිදුවූ මහා ත්‍රස්ත ප්‍රහාර සඳහා එම සංවිධානය වගකීම බාරගෙන තිබුනි.

ඩැජස්ටාන් කාන්තාවක් 7 දෙනෙකු මරා දමමින් බසයක් තුල බෝම්බයක් පුපුරවාගත් පසුගිය ඔක්තෝබරයේ ත්‍රස්තවාදී ප්‍රහාරය, වොල්ගොග්‍රෑඩ්හි සිදුවූ මෑත ම පූර්ව සිදුවීම යි.

තමන්ම එමීර් ලෙස හඳුන්වා ගන්නා කෝකසස් එමිරෙට්හි ඩොක්කා උමාරොව්, නව වටයක ප්‍රහාර සමගින්, සොචි ඔලිම්පික් තරඟ කඩාකප්පල් කිරීමට "තමන්ට කලහැකි උපරිමය කරන" ලෙස සිය අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටි වීඩියෝ පටයක් ජූලි මාසයේ දී නිකුත්කර තිබුනි.

එම සංවිධානයේ ප්‍රකාශිත ඉලක්කය, උතුරු කෝකසස්හි වෙනම මුස්ලිම් රාජ්‍යයක් නිර්මානය කිරීම යි. 1991දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමග කලාපය අස්ථාවරත්වයට ඇද දැමුනි. එතැන් පටන් එය, 1994-96 හා 1999-2006 කාලයේ චෙච්නියාවේ යුද්ධ දෙකකින් ඇලලී ගිය අතර ඉන්, බොහොමයක් සිවිල් වැසියන්වූ 80,000කගේ පමන ජීවිත බිලි ගත්තේ ය.

වසර 70කට පෙර, දෙවන ලෝක යුද්ධයේ දී නාසි ජර්මනියට එරෙහි සටන් රැල්ල හරවන ලද ස්ථානයවූ, කලින් ස්ටැලින්ග්‍රෑඩ් ලෙස හඳුන්වන ලද වොල්ගොග්‍රෑඩය, අලුත් අවුරුදු උත්සවයන්ට පෙර රට පුරා ක්‍රියාවට නගන ලද ආරක්ෂක පියවර සමග බෝම්බ ප්‍රහාර හමුවේ මුලුමනින් ම පාහේ වසා දැමුනි. රුසියාවේ දෙවන නගරය වන සෙන්ට් පීටර්ස්බර්ග්හි සැලසුම්කර තිබූ ගිනිකෙලි සංදර්ශනය අවලංගු කරන ලදි.

නීතිය හා සාමය රැකීමේ මෙන්ම මුස්ලිම් විරෝධී හා සංක්‍රමන විරෝධී උද්ඝෝෂන රුසියානු මාධ්‍යයේ කොටස් අතරින් ඇවිල යාමට බෝම්බ සිද්ධි හේතුකාරක වී තිබේ. 30දා ප්‍රහාරයන්ගෙන් පසුව, වොල්ගොග්‍රෑඩ්හි රුසියානු ජාතිකවාදීන්ගේ පෙලපාලියක් විසුරුවා හරිමින් පොලිසිය විරෝධතාකරුවන්ට පැවසුවේ, ඔවුන් ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා තවත් ඉලක්කයක් නිර්මානය කරනවා පමනක් බව ය.

"ඇමරිකානුවන් කරන දේ කිරීම අපට ද අවශ්‍යව ඇත. අප, සෑම දෙනෙක් පිලිබඳව ම තොරතුරු රැස්කල යුතු ය. වැලැක්වීම හා පාලනය ලෙස ස්නෝඩන් විසින් හෙලිදරව් කරන ලද මෙම තාක්ෂනය සැබෑ බලපෑමක් ඇතිකර තිබේ" යයි හිටපු රුසියානු ෆෙඩරල් ආරක්ෂක බියුරෝවේ කර්නල්වරයෙකු පැවසූ බව ප්‍රව්ඩා ඩොට් රු වෙබ් අඩවිය සඳහන් කලේය.

රුසියානු ආන්ඩුවට පක්ෂපාතී ටැබ්ලොයිඩ් පුවත්පතක් වන කොම්සොමොල්ස්කායා ප්‍රව්ඩා, ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කරන්නන් ලෙස චෝදනා එල්ල වන අයට මරන දන්ඩනය පැනවීම පමනක් නොව, ඔවුන්ගේ පවුල්වල අය ද සිරගත කල යුතුයයි කියවෙන වාර්තාවක් පල කලේය. "ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිලිබඳව කිසිදු ඉවසීමක් නොමැති බව ප්‍රකාශ කිරීම හැරෙන්නට අපට වෙනත් මගක් ඉතිරිව නැත," එහි සඳහන් විය.වොල්ගොග්‍රෑඩයේ සිට සැතපුම් 435ක් පමන දකුනට වන්නට පිහිටි කලු මුහුදේ සංචාරක පුරයක් වන සොචිහි තවත් සති හයකින් පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් තරඟ සඳහා ආරක්ෂාව සැපයීමට තම ආන්ඩුවට හැකි බව සහතික කිරීමට, බෝම්බ ප්‍රහාර නිසා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සිදු විය. ආරක්ෂක කලාපය කලු මුහුදු වෙරල දිගේ සැතපුම් 60ක් ද රට තුලට සැතපුම් 25ක් ද දීර්ඝ කරමින් හා 3,45000ක ජනගහනයකින් යුත් නගරය මුද්‍රා තබන ලද බලකොටුවක් බවට පත්කරමින් පොලිස් හා හමුදා භටයින් 30,000ක් එහි ස්ථානගත කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත්කර තිබේ.

බෝම්බ ප්‍රහාර සමග වොෂින්ටනයේ ඔබාමා පාලනය වෙතින් ද ලන්ඩනයේ හා පැරිසියේ ඩේවිඩ් කැමරන් හා ෆ්‍රන්සුවා ඔලන්දේගේ ආන්ඩු වෙතින් ද ශෝකය හා "සහයෝගය" පලකරන ප්‍රකාශ නිකුත් විය.

තමන්ගේ පාර්ශවයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය, රුසියාවේ දී එල්ලවූ මෙම ප්‍රහාර, එක්සත් ජනපදය තුලත්, සිරියාවේ, ඉරාකයේ, ලිබියාවේ, ඇෆ්ගනිස්ථානයේ, නයිජීරියාවේ හා තවත් රටවලත් සිදුකරන ලද වර්ගයේ ම ඒවා බව අවධාරනය කලේ ය.

එසේම එය, මොස්කෝව සමග "සහයෝගය" පල කල අය විසින් ලිබියාවේ හා සිරියාවේ ආන්ඩුවලට එරෙහිව මුදාහල ත්‍රස්තවාදී කටයුතු වෙත ද නිසැකයෙන් ම අවධානය යොමු කරවයි

"වර්තමාන භූදේශපාලනික අරමුනු මත පදනම්ව, තවමත් ත්‍රස්තවාදීන් "හොඳ" හා "නරක" යනුවෙන් බෙදීමට උත්සාහ දරන, සමහර දේශපාලඥයින්ගේ හා දේශපාලන මූලෝපායඥයින්ගේ ආස්ථානය, පැහැදිලිවම දුෂ්ඨ එකක්" යැයි අමාත්‍යාංශය කියා ඇත. "ත්‍රස්තවාදය හැම විටම අපරාධයකි. එයට දඬුවමින් ගැලවිය නොහැකි ය."

සිරියාවේ ජනාධිපති අසාද්ගේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා සෘජු මිලිටරි මැදිහත්වීමක් වෙතින් වොෂින්ටනය ඉවතට හැරවීමේදී මොස්කව් ලත් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහනය සදහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යොමුවූ එක්සත් ජනපදයේ අනුබලය ලබන මැද පෙරදිග පාලන තන්ත්‍රතයන්ගේ වැඩක් ලෙස රුසියානු මාධ්‍ය තුල අලුත් ම ත්‍රස්ත ප්‍රහාර දැකගනු ලබයි.

ඉස්වෙස්ටියා පත්‍රයේ කිරිල් බෙනඩික්ටොව් මෙසේ ලිවීය: "ප්‍රමුඛ වශයෙන් සවුදි අරාබිය ඇතුලු, පර්සියානු ගල්ෆ්හි සලාෆිස්ට් තන්ත්‍රයයන් රුසියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදයට සහයෝගය දෙන බව නිසැක ය. අපගේ රටෙහි තත්වය අස්ථාවර කිරීමේ අටියෙන් වහාබි කන්ඩායම් යොදාගනු ලබන තන්ත්‍රයන් සම්බන්ධයෙන් පසමිතුරු පියවර ගැනීමට සෑහෙන ශක්තියක් දැන් රුසියාවට ඇත."

සිරියාව තුල දැන් සටන් වැදී සිටින, "කැරලිකරුවන්" අතර එක්සත් ජනපදයේ අනුග්‍රහය ලබන, බොහොමයක් උතුරු කොකේසියාවෙන් පැමිනි රුසියානු ඉස්ලාම්වාදීන් අඩුම තරමින් 400ක් වත් සිටින බවට ගනන් බලා ඇත. ඔවුන් රුසියාවට ආපසු පැමිනි කල දැනටත් වඩා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ තර්ජනය මතුවන බවට පුටින් ආන්ඩුව අනතුරු අඟවා තිබේ.

බෝම්බ සිද්ධීන්, සිරියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහයෝගය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය ලෙස සේවය කරන එක්සත් ජනපදයේ පිටුබලය ලබන සවුදි රාජ තන්ත්‍රයේ ඔත්තු සේවා ප්‍රධානියා වන බන්ඩාර් බින් සුල්තාන් කුමරු හා පුටින් අතර ජූලි මාසයේ දී පැවති සාකච්ඡාවලට අලුත් අවධානයක් යොමුකරවා ඇත.

සාකච්ඡා පිලිබඳව මාධ්‍ය වෙත කාන්දුවූ තොරතුරු වලට අනුව, සිරියාවේ අසාද් තන්ත්‍රයට රුසියානු ආන්ඩුව දෙන සියලු ආධාර අත්හිටවිය යුතු යයි බන්ඩාර් ඉල්ලා සිටියේ ය. එයට හිලව් වශයෙන්, තෙල් මිල නැංවීමට රුකුල් දෙන හා වෙනත් දිරිගැන්වීම් ඇතුලත් ඒකාබද්ධ බලශක්ති මූලෝපායක් ඔහු පුටින් වෙත ඉදිරිපත් කලේ ය.

සොචි ඔලිම්පික් තරඟාවලිය කඩාකප්පල් කල හැකි කිසිදු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල නොවන බවට වගබලා ගැනීමට තමන්ට හැකි යයි ඔහු පුටින්ට දුන් සහතිකය වඩාත් විවාදිත ය.

"එලඹෙන වසරේ දී කලු මුහුදේ නගරයක් වන සොචිහි පැවැත්වෙන ශිත සෘතු ඔලිම්පික් තරඟාවලිය ආරක්ෂාවන බවට සහතිකයක් ඔබට දීමට මට හැකි ය. තරඟාවලියේ ආරක්ෂාවට තර්ජනයක්ව ඇති චෙචන් කන්ඩායම පාලනය කරන්නේ අප ය" යි බන්ඩාර් පැවසීය.

එවක දී බන්ඩාර්ගේ ප්‍රකාශ නිකුත් වූයේ සවුදි රාජ පාලනය වෙනුවෙන් පමනක් නොව, එහි ප්‍රධාන අනුචරයා වන එක්සත් ජනපදය ද වෙනුවෙනි.

රුසියානු ඉස්ලාම්වාදීන්ට දෙන සවුදි සහාය පිලිගත නොහැකි යයි පවසමින් පුටින් යෝජිත ගනුදෙනුව ප්‍රතික්ෂේප කලේ ය. ත්‍රස්තවාදී පුහුනු කඳවුරු වෙත "දැවැන්ත මිලිටරි ප්‍රහාර" එල්ල කරන බවට ඔහු දිව්රුම් දුන් බව ද වාර්තා විය. සමහර විශ්ලේෂකයින් මෙම ප්‍රකාශ අර්ථ දැක්වූයේ සවුදි අරාබියට ම එල්ල කරන මිලිටරි ප්‍රහාරයක තර්ජන ලෙස ය.

උතුරු කොකේසියානු ත්‍රස්තවාදය කරාමයක් අරින වහන ක්‍රමයට කරකැවිය හැකි බවට සවුදි කුමාරයා කල ප්‍රකාශ සම්බන්ධයෙන් සලකන කල, අලුත් ම බෝම්බ ප්‍රහාරවලින් මතුකරන පැහැදිලි කාරනය වන්නේ, සීඅයිඒ සංවිධානය සමග එකතුව හෝ ස්වාධීනව කටයුතු කරමින් සවුදි රාජ පාලනය, තම කුලී හමුදා සිරියාවේදී ලත් පරාජයන් හා පසුබැසීම් සඳහා වොල්ගොග්‍රෑඩයේ දී අත්දුටු වර්ගයේ බිහිසුනු ප්‍රතිප්‍රහාර සඳහා දැන් කොල එලිය දල්වා තිබෙන බව යි.

Share this article: