පහ වසර ශිෂ්‍යත්වය සහ ආන්ඩුවේ අධ්‍යාපන න්‍යාය පත‍්‍රය

කපිල ප්‍රනාන්දු විසිනි, 2014 ජනවාරි 07

2016 වසරේ සිට, පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරෙන බවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුනවර්ධන පසුගිය දා කල ප‍්‍රකාශයත් සමග දිවයින පුරා සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුලු මහජනතාව අතර පැන නැගි බලගතු විරෝධය හමුවේ එකී පියවර තාවකාලිකව හකුලා ගැනීමට රාජපක්ෂ ආන්ඩුව පසුගිය 3දා තීන්දු කලේ ය.

කෙසේවුවත්, නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ න්‍යාය පත‍්‍රය කුමක්ද යන්න මෙම සිද්ධියත් සමග වඩාත් එලිමහනට පැමින ඇත. වියදම් කප්පාදුව වේගවත් කොට නිදහස් අධ්‍යාපනය වල දමා, ධනපති හා ඉහල මධ්‍යම පන්තික ප‍්‍රභූ පැලැන්තියකට පමනක් අධ්‍යාපනය සීමා කිරීම ආන්ඩුවේ න්‍යාය පත‍්‍රය යි. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ ප‍්‍රයත්නය පිටුපසින් පවත්නේ මෙම වැඩපිලිවෙල යි.

2016 සිට ඉහත ශිෂ්‍යත්ව විභාගය එක් ප‍්‍රශ්න පත‍්‍රයකට පමනක් සීමා කරන ලෙසටත්, එය ‘තරගකාරී නොවන’ සාමාන්‍ය වර්ෂ අවසාන විභාගයක් ලෙසින් පවත්වන ලෙසටත්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පසු ගිය දෙසැම්බර් මාසයේ දී නිර්දේශ කලේ ය. ඉහත නිර්දේශයන්හි සඳහන් නොවුන ද, මෙතෙක් පහ වසර ශිෂ්‍යත්වය සමත් දුගී දරුවන්ට ලබා දුන් ශිෂ්‍ය සහනාධාරය ද මේ සමග ම අහෝසි වී යයි.

පහසුකම්වලින් සපිරි "මහින්දෝදය පාසැල්" දහසක් දිවයින පුරා නිර්මානය කෙරෙන බැවින් 2016 සිට ශිෂ්‍යත්ව ක‍්‍රමයක් අවශ්‍ය නොවන බව ඇමති ගුනවර්ධන ප‍්‍රකාශ කලේ, මෙම නිර්දේශයන්ට සමගාමීව ය. ශිෂ්‍යත්ව විභාගයෙන් ලමුන්ට ඇති කෙරෙන දැඩි පීඩනය සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලමින් ඔහු කියා සිටියේ විභාගය අහෝසි කිරීමත් සමග එම පීඩනය ඉවත්වන බව යි.

දශක ගනනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ කම්කරු පීඩිත දරුවන් භුක්ති විඳි අධ්‍යාපන අයිතියක් වන පහ වසර ශිෂ්‍යත්වය, කම්කරු පන්තියේ අතීත අරගලවල ජයග‍්‍රහනයක් වූ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයකි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ අධ්‍යාපනය ධනපති හා ප‍්‍රභූ පැලැන්තියකට සීමා වී තිබූ අතර අධිරාජ්‍යවාදයට යටත්ව සිටි ලංකාවේ ධනපති පන්තිය ජාතික නිදහස ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සඳහා කවර හෝ අරගලයක් නොකලහ. ඒ සඳහා පෙරමුන ගනිමින් කම්කරු පීඩිත මහජනතාවට නායකත්වය දෙනු ලැබූවේ ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උපමහාද්වීප ශාඛාව ලෙස 1942 දී පිහිටුවන ලද බෝල්ෂේවික් ලෙනින්වාදී (බීඑල්පීඅයි) පක්ෂය යි.

නිදහස් අධ්‍යාපනය ඇතුලු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සඳහා බීඑල්පීඅයි ගෙන ගිය අරගලය හේතුවෙන් කම්කරු පන්තිය තුල වැඩෙමින් පැවති සටන්කාමිත්වය සමනය කිරීමේ කොටසක් ලෙස නිදහස් අධ්‍යාපන අයිතිය ලබා දීමට පාලකයන්ට සිදු විය. ධනපති පාලක පංතිය, තම පන්තියේ ම නියෝජිතයෙකු වූ සි.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර "නිදහස් අධ්‍යාපනයේ පියා" ලෙස අභිෂේක ගන්වා මෙම ජයග‍්‍රහනයේ සියලු සාධනීය දෑ ඔහුට පවරා දෙනු ලැබුවේත්, ව්‍යාජ වම්මුන්ගේ සහයෝගයෙන් එම අදහස වර්ධනය කොට පවත්වා ගෙන යනු ලබන්නේත් ට්‍රොට්ස්කිවාදී නායකත්වයෙන් කම්කරු පංතිය ගෙන ගිය එම අරගලයේ ඉතිහාසය කම්කරු පීඩිත ජනයාගෙන් වහංගු කිරීමට යි.

1945 සිට තහවුරු වු නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයක් ලෙස රටපුරා ඉදි වූ මධ්‍ය විද්‍යාල හා ශිෂ්‍යත්ව ක‍්‍රමය කම්කරු පංතියේ ඉහත අරගලයන්හි ම ජයග‍්‍රහනයකි. කොතරම් දරිද්‍ර ජීවන කොන්දේසි පැවතියේ වී නමුත් අධ්‍යාපනය එම කොන්දේසි ජය ගැනීමට පැවති මාවතක් ලෙස සැලකු පීඩිත ජනතාවට මෙම ශිෂ්‍යත්වය සීමිත හෝ සහනයක් වී තිබුනි.

ශිෂ්‍යත්වය සමත් දරුවන් මුල් කර ගත් මධ්‍ය විද්‍යාල 54 ක් එවක දී රටපුරා බිහි වු අතර එම විද්‍යාල තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙන් වෙන් වශයෙන් පිහිටි නේවාසිකාගාර, ගුරු නිවාස හා විදුහල්පති නිල නිවාස, විද්‍යාගාර, පුස්ථකාල හා ක‍්‍රිඩාගාර නිසි සැලැස්මකින් යුතුව ඉදි කෙරුනි.

මෙම මධ්‍ය විද්‍යාලයන්හි විශ්ව විද්‍යාල ප‍්‍රවේශය දක්වා විද්‍යා හා කලා විෂය ධාරාවන් පැවති අතර, 1950 ගනන් වල මුල් භාගයේ සිට උත්සන්න කෙරුනු සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයේ ප‍්‍රතිඵලයක් ලෙස, "මව්බසින්" ඉගැන්වීම් කටයුතු අරඹන තෙක් මෙම මධ්‍ය විද්‍යාලයන්හි අධ්‍යාපනය සිදු කෙරුනේ ඉංගි‍්‍රසි මාධ්‍යයෙනි. මේ හේතුවෙන් ගම්බද දුගී දරුවන් සීමිත සංඛ්‍යාවකට හෝ ගුනාත්මක පුලුල් අධ්‍යාපනයක් ලබා ගත හැකි විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වු ලෝක ආර්ථික උත්පාතය හමුවේ අනෙකුත් රටවල මෙන් ශී‍්‍ර ලංකාවේ ද අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධන වර්ධනය වූ නමුත් 1960 දශකයේ අගභාගය වන විට මෙම උත්පාතය අවසානයට ලඟා විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාජ සුභසාධනයන්ට එල්ල කෙරුනු දැවැන්ත ප‍්‍රහාරය ලංකාවේ දී වඩාත් ගැඹුරින් ප‍්‍රකාශයට පත් විය. 1970 ගනන් අගභාගයේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා විවෘත කරමින් ගෝලීය ආර්ථිකයට ඒකාග‍්‍ර කිරීමත් සමග මෙම ප‍්‍රහාරය වේගවත් කෙරුනු අතර එහි කොටසක් ලෙස ලංකාවේ පාලක පන්තිය නිදහස් අධ්‍යාපනය බරපතල කප්පාදුවකට ලක් කලේ ය.

"මැතිවරන කොට්ඨාසයකට එක් අංග සම්පූර්න මධ්‍ය විද්‍යාලයක්" යන වැඩපිලිවෙල යටතේ ආරම්භ කෙරුනු මධ්‍ය විද්‍යාල පද්ධතිය ගුනාත්මකව හා ප‍්‍රමානාත්මකව වර්ධනය වනවා වෙනුවට, ඉහත කප්පාදුවේ ප‍්‍රතිඵලයක් ලෙස පැවති මධ්‍ය විද්‍යාල පද්ධතිය දිනෙන් දින පරිහානිගතව එය නාමික මධ්‍ය විද්‍යාල බවට පත් වීමත් සමග ඒවාට තිබූ ජනපි‍්‍රයත්වය ද ඉල්ලුම ද පහල වැටුනි.

පසුකාලීනව ඉදි වු පාසැල් කිසිවක් ආරම්භයේ ඉදි වු මධ්‍ය විද්‍යාල හා කිසිසේත් සම නොවු අතර මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල, ජාතික පාසල් හා නවෝද්‍යා පාසල් ආදී විවිධ නම්වලින් ගෙන ආ ව්‍යාපෘති අධ්‍යාපන වියදම් කප්පාදුව නියෝජනය කලේ ය.

1960 ගනන් වල මුල් භාගයේ, සම්පත්වලින් හා පහසුකම්වලින් ඉහල හා යම් වරප‍්‍රසාදිත තත්වයක් නියෝජනය කල පුද්ගලික පාසැල් වලින් බහුතරයක් රජයට පවරා ගැනීමත් සමග තත්වය වඩාත් වෙනස් විය. සමාජ හා ආර්ථික වශයෙන් බලගතු පාසැල් ප‍්‍රජාවක් සහිත මෙම පාසැල් වලට රාජ්‍ය ආධාර ද එකතු වීමත් සමග, කප්පාදුවට ලක් වෙමින් තිබූ මධ්‍ය විද්‍යාල ඇතුලු අනෙකුත් රජයේ පාසැල් අභිබවමින් ඉතා වේගයෙන් "ජනපි‍්‍රය පාසැල්" බවට පත් විය.

ධනපති පාලකයන්ගේ පිලිවෙත් මගින් නිර්මානය කෙරුනු මෙම දැවැන්ත අසමානතාව නව "මහින්දෝදය පාසැල්" දහස උදා වීමත් සමග පහව යන බවටත්, මෙම පාසැල් ආරම්භයේ ඉදි වූ මධ්‍ය විද්‍යාල ක‍්‍රමයට සමාන බවටත් ඇමති ගුනවර්ධන කරන සැඳහුම් ප‍්‍රලාපයන් ය.

මෙම වැඩපිලිවෙලේ එල්ලය ගම්බද හා නාගරික කම්කරු ගොවි පවුල්වල දරුවන් ප‍්‍රාථමික අධ්‍යාපනයෙන් ම එලියට තල්ලු කිරීම යි. ඉහත වැඩසටහන යටතේ තෝරා ගත් පාසල් දහසේ දැනටමත් ප‍්‍රාථමික අංශ ඉවත් කොට ඇති අතර සෑම ද්විතික පාසලකට ම යාබදව පිහිටි පාසල් 5 ක් එහි ‘පෝෂක පාසල්’ ලෙස නම් කොට ප‍්‍රාථමික පාසල් දක්වා කප්පාදු කර තිබේ. පෝෂක පාසල් තුල කප්පාදු කෙරෙන පන්තිවලට සමාන කිසිදු ඉඩකඩ වැඩිවීමක් හා අවශ්‍ය ගුරුවරුන් ලබා දීමක් ද්විතික පාසල තුලට සිදු නො කෙරෙන අතර එහි ඉදිවන්නේ විද්‍යාගාරයක් හා වැඩ කාමරයක් සහිත එක් දෙමහල් ගොඩනැගිල්ලක් පමනි. පෝෂක පාසල් ලෙස අලුතින් ආරම්භ කරන ප‍්‍රාථමික පාසල්වල පලමු ගොඩනැගිල්ල දෙමාපියන්ගේ වියදමින් ගොඩනගා ගත යුතු අතර දැනටමත් සියලු පාසල්වල නඩත්තු වියදම් මුලුමනින් ම දෙමාපියන් මත පටවා තිබේ.

පාසල් පද්ධතියේ සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා ආන්ඩුව සියලු පහසුකම් සලසන අතරවාරයේ මේ වසර සඳහා රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් දල ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කෙරෙන පංගුව සියයට 1.51 දක්වා කපා දමා ඇත.

කප්පාදුවේ ප‍්‍රතිඵලක් ලෙස බහුතරයක් පාසල් සිසුන්ට පරිගනක හා විද්‍යාගාර පහසුකම් නොමැත. ගුරු හිඟය සෑම අංශයක ම පෙන්නුම් කරන අතර උසස් පෙල විද්‍යා හා ගනිත විෂයන් සඳහා එම තත්වය බරපතල ය. මුදල් අය කරන අමතර පන්ති මගින් ලෝකය පිලිබඳව වන ඓතිහාසික හා ගවේෂනාත්මක දැනුම ලබාදීමක් වෙනුවට විභාග එල්ල කර ගත් කටපාඩම් කිරීමකට සිසුන් හුරු කරමින් පවතී.

තරගය හා අසමානතාව පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පමනක් සීමා වී නොමැත. 2011 වසරේ ඉසෙඩ් ලකුනු පදනම් කරගත් උසස් පෙල විභාග ප‍්‍රතිඵල අවුල් ජාලයකට පත් කිරීම පිටුපසින් පවතින්නේ විභාගය සමත් සියලු සිසුන් හට විශ්වවිද්‍යාල අවස්ථා හිමි කර දීමේ ධනපති ක‍්‍රමයේ නොහැකියාව යි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ද ඇත්තේ මීට සමාන තත්වයකි. පසුගිය වසරේ විභාගයට පෙනී සිටි 322,445 සිසුන් අතර දිස්ත‍්‍රික් කඩඉම් ලකුනු මට්ටම වූ 145 - 160 ඉහලින් ලකුනු ලබා ගත්තේ සියයට දහයක් පමන වන සිසුන් 32,617 කි. නමුත් ලකුනු 70 ට වඩා ලකුනු ලැබ විභාගය සමත් සිසුන් සංඛ්‍යාව 223,908 තරම් ඉහල අගයකි. ගුනවර්ධන ම ප‍්‍රකාශ කරන ආකාරයට විභාගය සමත් සිසුන්ගෙන් දැනට පවත්නා ජනප‍්‍රිය පාසල්වලට ඇතුලත් වන්නේ සියයට එකක් පමනි.

ශිෂ්‍යත්ව ක‍්‍රමය අහෝසි කිරීම ඇතුලු අධ්‍යාපනයට එල්ල කර ඇති ප‍්‍රහාරය සමස්ත කම්කරු පන්තිය මත එල්ල කොට ඇති ප‍්‍රහාරයේ කොටසකි. රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට නගා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අධිරාජ්‍යවාදී ඒජන්සිවල නියෝගයන් ය. ලොව පුරා පාලක පන්තීන්, 2008 සිට පුපුරා අවපාතයක් දිසාවට දිගහැරෙන ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදයේ බර කම්කරු පන්තිය හා තරුනයන් මත පටවා ඇති අතර පැන නගින අනිවාර්ය පන්ති සටන් මැඩීම සඳහා පොලිස් මිලිටරි රාජ්‍යයන් දෙසට වේගයෙන් හැරෙමින් පවතී.

Share this article: