කලම්බු නයිට් රේස් හා සුපිරි ධනපතියෝ

චානක ද සිල්වා විසිනි, 2014 ජනවාරි 01

ධනපති සහ ඉහල මධ්‍යම පන්තික අතලොස්සකගේ උන්මාදනීය සන්තුෂ්ඨිය සඳහා, කොලඹ නගරයේ අතිශයම කාර්ය බහුල ප‍්‍රදේශයන් අඩපන කරමින්, පසුගිය දෙසැම්බර් 14 හා 15 යන දිනයන්හි අතිමහත් උත්සවශී‍්‍රයෙන් පැවැත්වූ "කලම්බු නයිට් රේස් ”මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය, රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත් පිලිබඳ බලගතු චිත‍්‍රයක් සම්පාදනය කරයි.

තරගාවලිය යේ ධාවන පථය වැටී තිබුනු, පැරැනි පාර්ලිමේන්තුව, ලංකා බැංකුව හා ලෝක වෙලඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගය, යෝක් වීදිය, චැතම් පාර, රීගල් වටරවුම, ලෝටස් පාර, ගෝල්ෆේස් මැදපාර යනාදී අතිශයින්ම ජනාකීර්න මාර්ග එම සවස් භාගයන්හි වසා දමා තිබුනේ දහස් සංඛ්‍යාත මහජනතාව බලගතු අසීරුතාවන්ට පත් කරමිනි. සවස 3 න් පසු සාමාන්‍ය ජනයාට ඉහත ප‍්‍රදේශයන්ට ඇතුලුවීම තහනම් කෙරුනු අතර නගර සිමාව තුල සුලු වෙලඳාමෙන්, බර ඉසිලීමෙන් හා කුලී වැඩ කිරීමෙන් එදිනෙදා වේල පිරිමසා ගැනීමට අරගලයේ යෙදෙනූ කම්කරු පීඩිත ජනයාගේ ජීවිකාවන් එම දෙදින තුල අඩපන විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත‍්‍රයකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂට හිමි කාර්ල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජයේ හා ආසියානු මෝටර් රථ ධාවන සමාජයේ අනුග‍්‍රහය මත, ශී‍්‍ර ලංකා තරග ධාවකයන්ගේ සංගමයේ හා ශී‍්‍ර ලංකා තරග ධාවක රියදුරන්ගේ හා පදවන්නන්ගේ සංගමයේ සංවිධානයෙන් තෙවන වරට පැවැත් වූ මෙම තරගාවලියට දේශීය මෙන්ම විදේශීය තරග කරුවන්ද සහභාගි වූහ. මෙවර සැනකෙලිය සඳහා, ප‍්‍රථම වතාවට ලංකාවේදී දැකිය හැකි වූ "ෆොර්මියුලා වන්” වර්ගයේ මෝටර් රථද ඇතුලත්ව තිබු අතර ලොව ප‍්‍රමුඛ පෙලේ ෆොර්මියුලා වන් ධාවකයෙකු වන ඩැනියෙල් රිකි(ආ)ඩෝ ද ඔහුගේ ”රෙඩ්බුල් ෆොර්මියුලා වන්” රේසින් රථය සමග තරගයට සහභාගි විය.

මීට අමතරව මිලෙන් ඉතා අධික ෆෝමියුලා මැක්ලෙයාර්න්ස්, ලැම්බෝගිනි, ඇස්ටන් මාටින් සහ පෝර්ෂේ වැනි මෝටර් රථ හා යතුරු පැදි වර්ග රාශියක් ද මෙවර තරගාවලිය සඳහා ගෙන්වා තිබිනි. මීට අවශ්‍ය පුර්න ආශිර්වාදය ලබාදීමක් වශයෙන් ඉහත කී අධික මිලාධික රථවාහන ලංකාවට ගෙන්වීමේදී පනවා තිබු බදු තහංචි සම්පුර්නයෙන්ම කපාහැර දැමීමට නොවැම්බර් 21වන දා නිකුත් කල අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් ජනාධිපති රාජපක්ෂ නිකුත් කලේය. ඊට දින 10කට පෙරාතුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන ලද අයවැයෙන් ද සුපිරි පොහොසතුන් ට සහන මාලවක් ලබා දුන් අතර වැඩ කරන ජනතාව මත බදු බර හා කප්පාදු පියවරයන් වඩා තියුනු කෙරින.

මෙම සුඛෝපභෝගී සැනකෙලි පැවැත්වෙන්නේ, කොලඹ නගරය ආසියාවේ වානිජ කේන්ද්‍රයක් බවට ද සංචාරක පුරවරයක් බවට ද පත් කරනු වස්, එහි පැල්පත්වල ජීවත් වන 70,000 ක් වන දුගී පවුල් පලවා හරිමින් සිටින තතු තුලය. දුගීන් පලවා හැරීමෙන් හිස් වන බිම් පෙදෙස් මහා පරිමාන හෝටල් සමාගම් වලට සහ අනෙකුත් සංගත වලට විකුනා දැමේ. දැනටමත් කොම්පඤ්ඤවීදියේ අක්කර 7ක් ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ද අක්කර 5ක් පකිස්ථාන සමාගමකට ද ගාලු මුවදොර පිටිය ඉදිරිපිට තවත් අක්කර 5ක් ෂැරටන් සුපිරි හෝටලය සෑදීම සඳහා ද පවරා ඇත.

මේ අතර, නගර අලංකරනය යන පාඨය යටතේ, ධනපති පන්තියේ හා පසුගිය දශක දෙක තුල නිර්මානය වී ඇති නව ධනවත් මධ්‍යම පන්තියේ මනදොල සපුරාලනු වස් නගරය පුරා උද්‍යාන, ජල තටාක හා ව්‍යායාම මංපෙත් මෙන්ම පාවෙන බොජුන්හල් පවා ඉදි කෙරී ඇත. කම්කරු පීඩිත මහජනතාවට ඉහත සුඛෝපභෝගයන් පරිහරනය කිරීමට අවස්ථාවන් නොමැති වුවද, එම පහසුකම් වලට මෙන්ම මෙම රථ සැනකෙලියට ද වියදම් කෙරුනේ රජය විසින් ඔවුන්ගෙන් අය කර ගන්නා විවිධ බදු මුදල් වලිනි.

තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කෙරුනු ආරක්ෂක පවුර ඇතුලු සියලු යටිතල පහසුකම් සම්පාදනය කෙරුනේ හමුදාවේ සාමාජිකයින් අතිනි. මෙම දැවැන්ත ආරක්ෂක හමුදාවන් නඩත්තු කරනු ලබනුයේ ද කම්කරු පිඩිත මහජනයා විසින් ගෙවනු ලබන්නා වූ බදු මුදලින්ම වේ.

මීට අමතරව, ජනාධිපති රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බස්නාහිර පලාත් මහ ඇමති, ප‍්‍රසන්න රනතුංග තම බලතල යොදා ගනිමින් කොලඹ මහනගර සභාවට අයවිය යුතු සියයට 10 ක විනෝද බද්දෙන් ද මෙම තරගාවලිය මුලුමනින්ම නිදහස් කලේය. කාර්ල්ටන් කී‍්‍රඩා සමාජයේ ලේකම් ජාලිය ජයසේකර මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබු පරිදි, තරග නරඹන්නන් ලක්ෂයකට පමන ප‍්‍රමානවත් වන පරිදි ටිකට් පත් මුද්‍රනය කර තිබු අතර ඒවා රු.100 - රු.5,000 දක්වා වූ විවිධ මිල ගනන් වලට විකිනීමට කටයුතු කර තිබුනි. මුද්‍රිත ටිකට් පත් සියල්ලම අලෙවි කිරීමෙන් ලැබෙතැයි අපේක්ෂිත ආදායම රුපියල් තුන්කෝටි හතලිස් අටලක්ෂයක් වූ අතර, එම ආදායම ලැබුනේ නම්, ඉහත බදු නිදහස අනුව නගර සභාවට අහිමි වූ මුදල රුපියල් තිස් හතර ලක්ෂයකි.

සමාජ සුබසාධනය උදෙසා මුදල් උපයා ගැනීමට සිදු කෙරෙන සැනකෙලි වලට මානුෂීය පදනම මත විනෝද බදු සහනයන් ලබා දෙන නමුදු වරප‍්‍රසාදිතයන් ස්ථරයක සන්තුෂ්ඨිය සඳහාම පවත්වනු ලබන්නාවූ මෙවන් තරගාවලියකට මෙකී බදු නිදහස ප‍්‍රදානය කිරීම හුදෙක්ම ඉහත සඳහන් කල ස්ථරයේ කෙලිලොල් උන්මාදය සඳහා පාලක ප‍්‍රභූව විසින් ප‍්‍රදානය කල වරපත‍්‍රයක්ව පවතී.

වරප‍්‍රසාදිතයන්ගේ කී‍්‍රඩා උන්මාදයන් වෙනුවෙන් මේ සා බදු සහන පුදනු ලබන්නේ, අත්‍යවශ්‍ය භාන්ඩ මත පනවා ඇති අධික බදු හා සෞඛ්‍යය සඳහා වන රාජ්‍ය වියදම් කප්පාදුව හේතුවෙන් කම්කරු පීඩිත පවුල්වල සාමාජිකයන් වර්ධනය වන්නාවූ රෝගී තත්වයන්ගෙන් සහ ඌන පෝෂන ගැටලූවලින් පීඩාවට පත්ව සිටින තතු තුලය. එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ ප‍්‍රාදේශීය තොරතුරු ජාලය (අයිආර්අයිඑන්) පසුගිය දා නිකුත් කරන ලද වාර්තාවකට අනුව හෙලිවුයේ, ලංකාවේ සමස්ත පාසල් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවකට එනම්, පාසල් ලමුන් තිස් ලක්ෂයකට තම පාසල් තුල අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති බවයි.

අනෙක් අතට, සුපිරි ධනපතියන් මෙවන් මිල අධික කී‍්‍රඩා සැනකෙලි පවත්වද්දී, කී‍්‍රඩා පිටි, කී‍්‍රඩා භාන්ඩ හා නිසි පුහුනුකරුවන් නොමැති කමින් රටේ තරුනයන්ගෙන් බහුතරයකට කී‍්‍රඩාව අහිමි කෙරී ඇත. සංගීතය, නාට්‍ය, නැටුම් හා චිත‍්‍ර කලාව ඇතුලු ලලිත කලාවන්ට ප‍්‍රවේශවීම සම්බන්ධයෙන් ගත් කල තරුනයන් මුහුන දෙන තත්වය වඩාත් නරක අතට හැරී ඇති අතර තරුන විරැකියාව පිමිවලින් වර්ධනය වෙමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය බිඳ වැටීමෙන් ද සිවිල් යුද්ධයේ නය බරින් ද මිරිකී අර්බුදයට පත්ව සිටින සිටින රාජපක්ෂ ආන්ඩුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු මහජන සුබසාධන දැවැන්ත පරිමානව කප්පාදු කරමින් හා විවිධ බදු පටවමින් එම අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පටවන අතර සුපිරි ධනවතුන්ගේ විනෝදාස්වාදය සඳහා සියලු සහන පුදමින් සිටී.

කලම්බු නයිට් රේස් තරගාවලියෙන් යලිත් වරක් සනාථ කෙරී ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව යනු, ධනපතියන්ගෙන් සැදුම්ලත්, ධනපතියන් සඳහා වන, ධනේශ්වර ආන්ඩුවක් බවයි.

Share this article: