වැලිවේරිය ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හලෙන් සිදුවූ හානිය යට ගැසීමට ඉඩ නොදෙමු

විලානි පීරිස් විසිනි, 2014 ජනවාරි 09

කම්හලෙන් පිටකෙරෙන අප ජලය පලාතේ භූගත ජලයේ දූෂිතභාවයට හේතුවන බවට චෝදනා කරමින් පැන නැගුන මහජන විරෝධය මධ්‍යයේ මාස පහකට පෙර වැඩ නතර කෙරුනු, වැලිවේරිය රබර් අත් වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් ඩිප් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාව වසා දමා, අලුත් කම්හලක් බියගම නිදහස් වෙලඳ කලාපය තුල පිහිටුවන බව පාලකයන් ජන මාධ්‍යන්ට ප‍්‍රකාශ කර ඇත. මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ, කම්හලෙන් පිටකෙරුනු අප ජලය මගින් වැලිවේරිය මහජනතාවට සිදුකල හානිය පිලිබද වගකීමෙන් අත සෝදා ගන්නා ගමන් තමන්ගේ නිෂ්පාදන කටයුතු ඇරඹීමේ උත්සාහයක පාලකයන් යෙදී සිටින බව යි.

මේ වසරේ අපේ‍්‍රල් මාසය පමන වන විට නව ඩිප් ප්‍රොඩක්ට් කම්හලක් බියගම නිදහස් වෙලඳ කලාපයේ ආරම්භ කරන බව, වෙනිග්‍රොස් කලමනාකාර මන්ඩලය ප‍්‍රකාශ කලේ යැයි ආන්ඩුවේ ඩේලි නිව්ස් පුවත්පත දෙසැම්බර් 20 දා වාර්තා කලේ ය. කම්හලේ පාලකයන්ගේ ප‍්‍රකාශ හුවා දක්වමින් පුවත්පත තවදුරටත් සඳහන් කලේ එම කර්මාන්ත ශාලාව පිහිටුවන විට "අදාල නීති අනුව සියලු ම අනුමත කිරීම් ලබා ගැනීම හා අවශ්‍ය විධි පිලිවෙත් අනුගමනය" කරන බව යි.

මේ ප‍්‍රකාශ තමන් අකුරටම නීතියට අනුකූලව වැඩ කරන බව මවා පෙන්වීමේ වංචනික උත්සාහයකි. කම්කරුවන්ගේ අයිතීන් තුට්ටුවකට මායිම් නොකරන කොම්පැනිය හිමියෝ කම්හල සම්බන්ධයෙන් ඇත්තට ම තමන් සිදු කරන්නේ කුමක්දැයි හානිවලට මුහුනදුන් වැලිවේරිය ජනයාට දැනුම්දීමට වත් සුදානම් නැත.

කම්හල වෙනත් තැනකට මාරු කලත් ප‍්‍රධාන ප‍්‍රශ්න කීපයක් මතු වේ:

පලමුවැන්න, කම්හලේ අප ජලය නිසා ලෙඩ රෝග ඇතුලු හානි විඳි ජනයා ගැන වග කියන්නේ කවුද? දැනටමත් සිදුවී ඇති භූගත ජලයේ දූෂිත බව, එනම් පරිසරයට සිදුවී ඇති හානිය නැති කරන්නේ කෙසේ ද?

දෙවැන්න, කම්හල වෙනත් තැනකට ගෙන යන්නේ නම්, ඒ ප‍්‍රදේශයේ ජනයා ද එහි සේවය කරන කම්කරුවන් ද අප ජලය නිසා හානිවලට මුහුන දීමේ ප‍්‍රශ්නය යි.

තුන්වැන්න, වෙනිග්‍රොස් හා එහි අනු සමාගම්වල සේවය කල 600ක් පමන කම්කරුවන්ගේ රැකියා හා වැටුප්වලට සිදුවන්නේ කුමක් ද?

කොම්පැනිය අයිතිකරුවෝ මේ ප‍්‍රශ්න එකකට වත් උත්තර නොදෙති. ආන්ඩුව හා ජනමාධ්‍ය කොම්පැනිය වෙනුවෙන් පෙනී සිටිති. ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් ඉවත් කෙරෙන නිසා සියලු ම ප‍්‍රශ්න විසඳුන බවට ප‍්‍රදේශයේ ජීවත් වන වැඩ කරන ජනයා අතර මොවුහු මිත්‍යාවක් වපුරති. කම්හල වෙනත් ස්ථානයක පිහිටුවීමත් සමගම හමුදා ප‍්‍රහාරයෙන් මියගිය හා එයින් සදාකාලිකව ඔත්පලවූවන්ගේ ජීවිත හා ඔවුනගේ දරු පවුල් සම්බන්ධ වගකීමෙන් අත සෝදා ගැනීමට ආන්ඩුව ද මාන බලයි.

නොවැම්බර් 19 දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කම්හල නිසා ජල දූෂනයක් සිදුවී නැතැයි ඔප්පු කිරීමට කම්හලේ පාලකයෝ රජයේ ආයතන කීපයක පරීක්ෂන වාර්තාවල ව්‍යාකූල ප‍්‍රකාශ උපුටා දැක්වූහ. ඉනිඳු, කම්හල ඉවත් කරන ලෙස මහජනතාව ගෙනගිය විරෝධය යටපත් කල නොහැකිවූ තැන ඔවුහු දැන් එය වෙනත් ස්ථානයකට මාරු කරන බව ප‍්‍රකාශ කරති.

පාලකයන් එදා මධ්‍යම පරිසර අධිකාරියේ (මපඅ) හා ජලාපවහන මන්ඩලයේ වාර්තා උපුටා දැක්වූ නමුත්, රජයේ රස පරීක්ෂකගේ වාර්තාව යට ගැසී ය. ඊට හේතුව ප‍්‍රදේශයේ ජල දූෂනයකට කම්හල යම් දුරකට වගකිවයුතු බවට සැක කලහැකි කරුනු එහි අඩංගුවී තිබීම යි. රජයේ රස පරීක්ෂකගේ වාර්තාවට අනුව අප ජලය පිට කිරීමේ දී අවශ්‍ය කරන පරිදි සම්පූර්න ප‍්‍රතිකාරක පද්ධතියක් කම්හල තුල පිහිටුවා නොතිබුනේ ය.එම වාර්තාව මෙසේ සඳහන් කරයි: "සාම්පල ලබා ගන්නා විට ප‍්‍රතිකාරක පද්ධතියේ ඔක්සිකරන කානු ක‍්‍රියාත්මක වී තිබුනත් ප‍්‍රතිකාරක පද්ධතියේ අනෙක් අංශ ක‍්‍රියාත්මක වී තිබුනේ නැත."

ඉන් පැහැදිලි වන්නේ අප ජලය පරිසරයට මුදා හැරුනේ නිසි ක‍්‍රියාවලියක් හරහා නොවන බව යි. කර්මාන්ත ශාලාව මෙම ජලය පිටතට මුදා හැරීමට ප‍්‍රථම තව දුරටත් ප‍්‍රතිකාරක පියවර ගතයුතු බවට අවවාද කිරීමක් වාර්තාවෙන් අවධාරනය කෙරී තිබුනි. රස පරීක්ෂකගේ වාර්තාව සම්පාදනය කර ඇත්තේ අප ජලය පිටකිරීමේ දී සිදුවෙමින් තිබුනේ කුමක් ද යන්න ගැන ඉඟියක් පමනකි. සිදුවුයේ කුමක් ද යන්න හා හානියේ දිග පලල ගැන දැන ගැනීමට නම් සම්පූර්න පරීක්ෂනයක් අවශ්‍ය ය.

ආන්ඩුව මේ වාර්තා කිසිවක් මහජනයාගේ පරීක්ෂාවට ඉදිරිපත් කර නැත. කෙසේවෙතත්, ආන්ඩුවේ අපකීර්තිමත් වාර්තාව නම්, තමන්ගේ හා ධනපතියන්ගේ උවමනාවට ඇත්ත කනපිට පෙරලීමට ක‍්‍රියා කරන බව යි. පාලකයන් උපුටා දැක්වූ වාර්තා ආන්ඩුවේ ආයතන විසින් සකස් කර ඇත්තේ කොම්පැනියේ වාසිය සඳහා යොදා ගැනීමට හැකිවන ලෙස යි.

දෙසැම්බර් 28 දින දි අයිලන්ඩ් පුවත් පතේ කතුවැකිය මෙසේ පවසයි: "ප‍්‍රදේශයේ ලිං වතුර දූෂිත නැතහොත් ප‍්‍රමිතියෙන් බාලවීම කම්හල නිසා සිදුවූ දෙයක් නොවේ." මෙසේ ප‍්‍රකාශ කරන්නට අයිලන්ඩ් ලියුම්කරු හයිය අරගෙන තිබෙන්නේ කුමන පරීක්ෂනයක් කිරීමෙන් ද? සිදුවුයේ කුමක් ද යන්න ගැන මොන ම ස්වාධීන පරීක්ෂාවක් වත් කිසිදු ජන මාධ්‍යයක් විසින් සිදු කර නැත. ඒ වෙනුවට ඒවා කොම්පැනියේ ද ආන්ඩුවේ ද හොරනෑ ලෙස ක‍්‍රියා කරයි.

ආන්ඩුව ද ජන මාධ්‍ය ද විවෘතව ඉදිරිපත්වී සිටින්නේ කම්කරුවන් හා අනෙකුත් දුගීන්ට එරෙහිව, ලාභ පිපාසිත ධනපති කොම්පැනිකාරයන් හා විශේෂයෙන් ම විදේශ ආයෝජකයන් ආරක්ෂා කිරීමට යි. ජලය දූෂනය වීම හේතුකොට ගෙන තමන් හමේ රෝග, පාචනය, වමනය හා වකුගඩුවල ගල් සෑදීම යනාදී විවිධ රෝගයන්ට මුහුන දී ඇති බව ප‍්‍රදේශයේ ජනයා පැමිනිලි කරති. කම්හලේ කම්කරුවන් දුෂ්කර සේවා කොන්දේසිවලට ද නොයෙක් සෞඛ්‍ය ප‍්‍රශ්නවලට ද මුහුන දුන් බව සමාජවාදී සමානතා පක්ෂය විසින් පිහිටුවා ඇති වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවට වාර්තා විය.

අගෝස්තු 1 දා, වැලිවේරියේ ජල දූෂනයට එරෙහිව පැවැත්වූ මහජන උද්ඝෝෂනයක් මැඩලීමට ආන්ඩුව විසින් මුදා හැරි හමුදාව සිසුන් දෙදෙනෙකු හා තරුන කම්කරුවෙකු වෙඩි තබා ඝාතනය කලේ ය. තවත් දුසිම් ගනනාවකට තුවාල කලේ ය. ආන්ඩුව ද ජනමාධ්‍ය ද කොම්පැනිය ද මේ මුර්ග ප‍්‍රහාරය ගැන දැන් සම්පූර්නයෙන් නිහඬ ය. මෙම මිලිටරි මෙහෙයුම යලිත් පෙන්නුම් කලේ තම අයිතීන් සඳහා අරගලයට එන කම්කරුවන් මිලිටරි විධික‍්‍රමවලින් මැඩලීමට ආන්ඩුව නොපැකිලෙන බව යි.

වැලිවේරිය ජනයාගේ කෝපයට ලක්ව සිටින ආන්ඩුව, කම්හල වසා දමන බව ප‍්‍රචාරය කිරීමෙන් මේ වසරේ මුල පැවත්වීමට නියමිත බස්නාහිර පලාත් සභා මැතිවරනයේ දී දේශපාලන වාසියක් ගැනීමට ගනන් බලයි. වැලිවේරිය කම්හල වසා දමා වෙනත් තැනකට ගෙන යාමට සමාගමට ජනාධිපති දැනුම් දුන් බව ගිය අගෝස්තු මාසයේ දී ම ප‍්‍රකාශ විය. ආන්ඩුවේ හා කොම්පැනියේ පොරොන්දු විශ්වාස නොකරන ප‍්‍රදේශයේ ජනයා සිදුවන්නට යන්නේ කුමක්දැයි තමන් සුපරීක්ෂාකාරීව සිටින බව ප‍්‍රකාශ කරති.

එක පැත්තකින් කොම්පැනිය, අයිතිකරුවන් හා ආන්ඩුව ද අනෙක් පැත්තෙන් විපක්ෂයේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ද පලාතේ මහජනයා හා වෙනිග්‍රොස් කම්කරුවන් කෙටවීමේ ප‍්‍රයත්නයක යෙදෙති. පසුගිය නොවැම්බර් මාසයේ කම්හලේ පාලකයන් ආන්ඩුවේ සහයෝගය ඇතිව ගම්පහ නගරයේ වෙනිග්‍රොස් කම්කරුවන්ගේ යයි පා ගමනක් සංවිධානය කර කම්හල විවෘත කල යුතු බවට උද්ඝෝෂනය කලේ ය. කම්කරුවන් අතලොස්සක් සම්බන්ධවූ ඊට බස් රථ යොදවා පිටපලාත්වලින් ගෙන්වූ පිරිස් යොදවා ගැනිනි. ඊට පසුදින සියනෑ ජලය සුරැකීමේ සංවිධානය සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම නමින් පලාතේ පා ගමනක් මෙහයවූයේ කම්හල වෙනත් තැනක පිහිටවිය යුතු බව ඉල්ලමිනි. අපකීර්තිමත් එජාපය තැත් කරන්නේ මහජන විරෝධය තමන්ගේ ඡන්ද වැඩි කර ගැනීමට ගසා කමින් ප‍්‍රදේශයේ ජනයා ද කම්කරුවන් ද මුහුන දෙන ප‍්‍රශ්න යට ගැසීමට ය.

එජාපය ද, එහි ප‍්‍රමුඛයෙකු විසින් මෙහෙය වෙන සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ද වෙනත් තැනකට කම්හල මාරු කිරීමෙන් ප‍්‍රශ්න විස‍ඳෙතැයි ගෙන යන ප‍්‍රචාරයට මහජනයා සම්මාදන් නොවිය යුතු ය. අප ජලයෙන් වැලිවේරියේ ජනයා මුහුන දෙන ප‍්‍රශ්න ම, කම්හල මාරු කෙරෙන්නේ නම් එම ප‍්‍රදේශයේ ජනයා ද එහි සේවය කරන කම්කරුවන් ද මුහුන දෙනු නියත ය. මහජනයා ගැන කිසිම තැකීමක් නැතිව ලාභ හඹායන ධනපතියන් කරන නිෂ්පාදන හා සේවා කටයුතුවලින් පරිසරයට සිදුකරන අසීමිත හානිය වැලැක්වීම වැඩකරන ජනයා සතු අයිතියකි.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය වර්ධනය කිරීම දැවෙන අවශ්‍යතාවක් ලෙස මතුවී ඇත්තේ මෙම තතු තුල ය. සමාජවාදී සමානතා පක්ෂය මෙම පරීක්ෂනය දියත් කරමින් පහත සඳහන් කරුනු විමර්ශනයට ලක්කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේ ය:

• වෙනිග්‍රොස් සමාගම ප‍්‍රදේශයේ ජල සැපයුම දූෂනය කිරීම හා ගම්වාසීන්ගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි ඉන් මතු කෙරෙන තර්ජනය

•කම්හලේ වැඩකරන කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි

•අගෝස්තු 01දා ඝාතනයන්ට වගකිවයුත්තෝ කවරහු ද?

• ප‍්‍රදේශවාසීන්ගේ මෙන් ම කම්කරුවන්ගේ ද සෞඛ්‍යයට තර්ජනයක්ව ඇති කාර්මික දූෂනයේ පීඩාවට විසඳුම කුමක් ද?

ස්වාධීන කම්කරු පරීක්ෂනය නිවේදනය කරමින් සසප නිකුත් කල ප‍්‍රකාශයේ අපි මෙසේ සඳහන් කලෙමු:

"වැලිවේරියේ ජල දූෂනය අයිස් කුට්ටියේ තුඩක් පමනි. අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ රජයට අයත් ආයතනයක ටැංකියක ක්ලෝරීන් බටය පුපුරා යාම නිසා ඔක්තෝබර් 09දා, වතු කම්කරුවන් සිය ගනනක් රෝහල්ගත කිරීමට සිදු විය. කැස්බෑවේ එස් ඇන්ඩ් ඩී කම්හලෙන් ඇමෝනියා වායුව කාන්දු වීමක් නිසා ඔක්තෝබර් 21දා, ගම්වාසීන් 350ක් පමන විපතට පත් විය.

"කාර්මික දූෂනය හේතුවෙන් ලොව පුරා වැඩකරන ජනතාවගේ ජීවිත විපතට පත්ව ඇත. චීනය, පකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල එවන් සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ. ඒවා ගෝලීය සංගතවල ප‍්‍රධාන ලාභ ශ‍්‍රම වේදිකාවන් ය. මෙය වනාහි නිරන්තරව ලාභය හඹා යාමේ ව්‍යායාමය වෙනුවෙන් වැඩකරන ජනතාවගේ මූලික අයිතීන් බිල්ලට දී ඇති සමාජ පර්යායක නිමැවුමකි."

මෙම ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහයෝගය දීමට ඉදිරිපත්වන ලෙස කම්කරුවන්, තරුනයන්ගෙන් හා අවශේෂ ජනයාගෙන් අපි ඉල්ලමු.

අපේ ලිපිනය මෙසේ ය:

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව

716 1/1, කෝට්ටේ පාර,

ඇතුල් කෝට්ටේ,

කෝට්ටේ.

දුරකථන අංක: 011-2869239 /011-3096987

Share this article: