ජුලී හයිලන්ඩ්: යුරෝපා කප්පාදුවේ දුෂ්ට සමාජ ප්‍රතිවිපාක

Julie Hyland: The socially criminal consequences of austerity in Europe

ජුලී හයිලන්ඩ් විසිනි, 2014 මැයි 09

අප මෙහි පලකරන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මැයි 4වැනිදා පැවත් වූ අන්තර්ජාල මැයි රැලියේ දී, බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ජුලී හයිලන්ඩ් කල කතාව යි.

1889 ජූලි 14දා පැරීසියේ දී පැවති, පසුව දෙවැනි ජාත්‍යන්තරය බවට පත් වූ නියෝජිත රැස්වීමේ සිට දැන් වසර 125ක් ගතවී ඇත. ඇමරිකානු කම්කරුවන්ගේ ආදර්ශය මගින් පොලඹවනු ලදු ව ඔවුහු මැයි 01දා ජාත්‍යන්තර කම්කරු සහයෝගිත්වයේ දිනය ලෙස ප්‍රකාශ කලහ.

එම රැස්වීම ම පැවත්වුනේ, ප්‍රන්ස විප්ලවයේ ආරම්භක වෙඩිමුරය බවට පත්වූ, බැස්ටිලයට කඩාවැදීමේ, සියවන සංවත්සර දිනයේදී එම නගරයේදීම ය. නිදහස, සහෝදරත්වය හා සමානත්වය සඳහා අරගලය ගෙනයනු ඇත්තේ, සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තිය විසින් පමනක් බව ඉන් පැහැදිලි කල මොහොතේ පටන් එය මුළුමනින් ම අර්ථාන්විත විය.

“සියළු යුද්ධ අවසන් කිරීමට යුද්ධය” හා “ප්‍රතිසංස්කරනයේ දීර්ග පෙර ගමන” පිලිබඳ කතා සමග දේශපාලන අවස්ථාවාදය විසින් ග්‍රහනයට ගැනීමත් සමග, දෙවැනි ජාත්‍යන්තරය මෙම අරමුන පාවාදුන් බව අපි දනිමු.

එම ඉදිරිදර්ශනයේ ප්‍රතිමූර්තිය ලෙස යුරෝපීය සංගමය හුවාදැක්වීමත් සමග එම ප්‍රකාශන, 20වැනි සියවසේ පසුභාගයේ දී එහි හිනිපෙත්තටම නැඟ ගත්තේය. අන් කවරෙක්වත් නො ව යුරෝපීය ධනේශ්වරය ම විසින්, එක්සත්, සෞභාග්‍යමත් සමාජීය යුරෝපයක් තුල කම්කරුවන්ගේ අයිතීන් තහවුරු කොට සුරක්ෂිත කරනු ඇතැයි එමගින් කියා සිටියේය.

යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන “ට්‍රොයිකාවේ” නියෝග පරිදි, එකකට පසුව තවත් රටක් තුල, කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී වරමකින් තොරව ආන්ඩු විසින් පටවන ලද නිමක් නැති කප්පාදු වටයන් ක්‍රියාවට නැඟීමත් සමග, මෙය දැන් නංවන්නේ කොතරම් විකාර හඬක් ද?

පසු ගිය මාසය අවසානයේ දී, යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනය සඳහා බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂ පැහැදිලි කල පරිදි, ධනේශ්වරය 2008 මූල්‍ය අර්බුදය ඩැහැ ගනු ලැබුවේ, කම්කරු පන්තිය මෙතෙක් දිනාගෙන ඇති සමාජ ජයග්‍රහනයන් විනාස කිරීමට මෙන් ම සිය නැගෙනහිර යුරෝපීය හා ආසියානු තරඟකරුවන්ට එරෙහිව යුරෝපීය ප්‍රාග්ධනයේ තරඟකාරිත්වය වැඩි කිරීමට ය.

එහි ප්‍රතිඵලය වශයෙන් යමෙකු, අද යුරෝපයේ සමාජ තත්වය අඩ නිරුවත් එකක් ලෙස (ප්‍රන්ස විප්ලවයට පෙර තත්වයක් ) හඳුනාගැනීමට ඉඩ තිබේ. අතිශය පරපුටු හා‍ ගරා වැටෙන මූල්‍ය කතිපයාධිකාරය, මිලියන ගනනාවක් ජනතාව දරිද්‍රතාවට, විරැකියාවට, ඌන සේවාවට හා අයිතීන් විනාස කිරීමට ඇද දමන මහාද්වීපයක මුදුනේ ලැග සිටියි.

නිල වශයෙන්, යුරෝපියානුවන් මිලියන 120ක් ජීවත් වන්නේ දරිද්‍රතාවයේ හෝ එම අනතුර යටතේ ය. මිලියන 26ක් රැකියා නැත්තවුන්ය. තවත් මිලියන ගනනක් වැදගැන්මකට නැති කොන්ත්‍රාත්තු යටතේ අනියම් රැකියාවල නිරතව සිටිති. එහෙත් මෙම සංඛ්‍යාවන්ට, යුරෝපීය ධනේශ්වරය විසින් සිදුකරන ලද සුවිශාල අපරාධ සම්ප්‍රේෂනය කල නොහැකිවාක් මෙන් ම ද ‍කරන්නේ ද නැත.

හරියට ම තිස් වසරකට පෙර, සමාජය කියා යමක් නැතැ යි මාගරට් තැචර් පැවසුවා ය. අද දිනයේ ඇගේ කියමන, රටවල් පිටින් ආර්ථික, සමාජ හා සංස්කෘතික දිවි නසා ගැනීමකට යොමු කරන යුරෝපා සංගමයේ උපාය මාර්ගය වී ඇත.

ප්‍රතිඵලය ඉතා පැහදිලිව දැකිය හැක්කේ ග්‍රීසිය තුල ය. නාසි වාඩිලා ගැනීමෙන් පසු දක්නට නොලැබුනු තත්වයන් එරට තුල යලි මතු වී ඇත. තරුන විරැකියාව සියයට 60ක් දක්වා වන දැවන්ත මට්ටමක පවතින අතර, 2012 සිට 2013 අතර කාලයේ සිය ඉපයීම් ආසන්න වශයෙන් සියයට 40කින් පහත වැටුනු බව සාමාන්‍ය ග්‍රීක පවුලක් අත්දැක ඇත.

සෞඛ්‍ය රක්ෂනය නොමැති සංඛ්‍යාව 2008 සිට අඩු වශයෙන් පුද්ගලයන් මිලියන 2.3 දක්වා නැත්නම් බොහෝකොටම, ග්‍රීකයන් පස්දෙනෙකුට එක් අයෙකු දක්වා, සිව් ගුනයකින් වැඩිවී ඇත. සෑම දිනකම සංඛ්‍යාව 2,300කින් ඉහල නඟියි. චිකිත්සාව සඳහා ඉඩ ප්‍රස්ථා නොමැති කමින් විවෘත තුවාල සහිත පියයුරු පිලිකාවලින් පෙලෙන කාන්තාවන් පිලිබඳ වාර්තාවී ඇති අතර මෑතක දී එක් රෝහලක් සිය රක්ෂන ගාස්තු ගෙවන තෙක් අළුත උපන් දරුවෙකු ඇගේ මවට පැවරීම ප්‍රතික්ෂේප කලේ ය. එහෙත් සාහසික ට්‍රොයිකාව මස් රාත්තලම ඉල්ලා සිටියි.

ග්‍රීසිය ආපසු මුදල් වෙලඳපොලට පැමිනීම, යුරෝපා සංගමයේ සාර්ථකත්වයක් ලෙස හුවා දක්වමින්, ඇන්ජිලා මර්කෙල් ඇතන්ස් නඟරයේ සංචාරය කල අවස්ථාවේ දී, දැඩි ලෙස සන්නද්ධ කැරලි මර්දන පොලිස් භටයන් 5,000ක් ඇය වටා යෙදවීමට සිදුවීම පුදුමයක් නො වේ.

මුළු යුරෝපය ම සඳහා පර්යේෂනාගාරයක් ලෙස ග්‍රීසිය යොදා ගන්නා බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවීය. 1939දී ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදා ස්පාඤ්ඤය තුල ලත් ජයග්‍රහනයෙන් පසුව කම්කරු පන්තිය, තම ජීවන තත්වයන්ගේ මෙතරම් දැවන්ත පහත වැටීමක් අත්විඳ නැත. 2012දී පමනක් වැටුප් සියයට 8.5කින් වැටුන අතර පුද්ගලයන් මිලියන 13ක් ජීවත් වන්නේ දරිද්‍රතාව තුල ය. මෙම සංඛ්‍යාව ඉදිරි වසර හත තුල දී මිලියන 18කට, ආසන්න වශයෙන් ජනගහනයෙන් සියයට 40 දක්වා, නගිනු ඇතැ යි ඔක්ස්ෆෑම් සංවිධානය පෙර ඇඟවුම් කර ඇත.

යුරෝපා සංගමයේ හදාගත් දරුවා වන අයර්ලන්තය තුල, 2009 හා 2010 අතරතුර ආදායම් අසමානතාව, ජනගහනයේ ඉහල සියයට 20 පතුලේ සියයට 20ට වඩා පස් ගුනයක් ඉපයීම මගින් සලකුනු විය.

මෙම තත්වය පෘතුගාලය හා ඉතාලියේ ද එසේම ය. මෙය හුදෙක් ඊනියා “පර්යන්ත” රටවල ඉරනම පමනක් නො වේ. සෑම රටක් තුල ම වැටුප් පහත වැටී ඇත. සෑම රටකම සෞඛ්‍ය ආරක්ෂාව, අධ්‍යපනය හා ශුභසාධනය කප්පාදු කෙරේ. එමෙන් ම මෙය තව තවත් නරක අතට ද හැරෙමින් පවතී.

ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද්ගේ සමාජවාදී පක්ෂයේ ආන්ඩුව, මැනුවෙල් වාල්ස් නව අගමැති වශයෙන් පත් කිරීමට ගත් තීන්දුව, ප්‍රන්සයේ පමනක් නො ව මුළු යුරෝපයේම තියුනු දකුනට හැරීමක් සලකුනු කර යි. “ප්‍රන්ස බ්ලෙයාර්” ලෙස නම් පටබැඳී ඇති මේ මිනිසාගේ ඉලක්කය වන්නේ, වහා ම යුරෝ බිලියන 5ක අයවැය කප්පාදු අනුමත කර ගැනීම හා ඊලඟ වසර තුනේ දී පුළුල් කම්කරු ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම යි.

දැන් සිදුවෙමින් ඇති ආගාධයට ලුහුටා යාම පෙන්නුම් කරන්නේ, ජර්මනිය සමග එක පෙලට සිටීම සඳහා ප්‍රන්සය, එරට සමාජ වියදම්, දදේනි පංඟුවක් ලෙස වර්තමානයේ පවතින සියයට 56 සිට 45 දක්වා, එනම් වාර්ෂිකව ඩොලර් බිලියන 200කින්, අඩු කල යුතු බවට ඉල්ලීම් කෙරේ. මේ අතර, බ්‍රිතාන්‍ය ආන්ඩුවේ ඉලක්කය, සියයට 48 සිට සියයට 38 දක්වා සමාජ වියදම් කප්පාදු කිරීම යි.

අනාගත ආන්ඩුවලට දැඩි වියදම් මාර්ගෝපදේශ පිලිගැන්වීම සහතික කිරීම සඳහා කොන්සර්වටිව් - ලිබරල් සභාගය, කප්පාදු, නීති ගත කරමින් සිටියි.

එක්සත් රාජධානියේ මූර්ත වැටුප්, වර්ෂයකට පවුම් 1,600ටත් වඩා පහත වැටී ඇත. එය යුරෝපයේ විශාලම පහත වැටීමකි. ඒ නිසා ම පලමු වරට බොහෝ වැඩකරන කුටුම්භ, වැඩ නොකරන කුටුම්භවලට වඩා දුප්පත්ව සිටිති. මෙහි හා සහන කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස, වසර කීපයකට පෙර නොඇසූ දෙයක් වන, ආහාර බැංකු ඇද වැටීමේ තත්වයකට මුහුනදී ඇත. 2012 සිට ඉල්ලීම තුන් ගුනයකින් වැඩිවී ඇති බැවින් පසු ගිය වසරේ දී ආසන්න වශයෙන් පුද්ගලයන් මිලියනයකට හදිසි ආහාර ආධාර දීමට සිදුවී තිබුනි.

එහෙත් තවම අවසානයක් නැත. පාදක ලක්ෂය, හන්ගේරියාව හෝ පෝලන්තය වැනි අවුරුදු දහයකට පෙර යුරෝපා සංගමයට ඒකාබද්ධ කෙරුනු නැගෙනහිර යුරෝපීය රටවල් නොවේ. දැන් ප්‍රමිතිය වන්නේ මාසික අවම වැටුප යන්තම් යුරෝ 91ක් වන බල්ගේරියාව, රුමේනියාව හා අලුතෙන්ම යුක්‍රේනය යි. මේ රටවල්වල මිලියන ගනන් මිනිසුන්ට රැකියා සොයා ගැනීම සඳහා වෙනත් රටවලට යාමට බල කෙරී ඇත.

සිදුවන දෙය තාවකාලික ගැලපීමක් බව පාලක ප්‍රභූව තවදුරටත් මවා පාන්නේවත් නැත. අන්තර් ජාතික සංගත සඳහා යෝධ ලාභ ශ්‍රම තටාකයකට ටිකක් වැඩි හා ජනතාව සඳහා සමාජ කාලකන්නිකමේ හිරගෙදරක් වන මහද්වීපයක, මේ “නව සාමාන්‍ය” දැන් ස්ථාපිත කෙරේ.

සෑම අවස්ථාවක දී ම මෙම සියළු ප්‍රහාරයන්ට මග සකස් කර හා බලපෑම් කර ඇත්තේ, නමට පමනක් සීමාවූ ලේබර් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විසිනි. එමෙන් ම ඒවාට පහසුකම් සපයා ඇත්තේ, අපරාධයන්ගේ හවුල්කරුවන් ලෙස සිය භූමිකාව වසන්කිරීම සඳහා සංකේත වර්ජන පමනක් සංවිධානය කරන වෘත්තීය සමිති විසිනි. 2010 සිට ග්‍රීසියේ මහා වැඩවර්ජන තිස් හයක්, 2012දී පමනක් ස්පාඤ්ඤයේ වැඩවර්ජන 1,300ක් පැවත් වුව ද ඒ එකක් වත් තමන් විරෝධය පලකරන බව කියන ආන්ඩුව පෙරලා දැමිය යුතුය යන ඉල්ලීමවත් මතු කලේ නැත. යුරෝපීය වෘත්තීය සමිති සම්මේලනය සම්බන්ධයෙන් ගතහොත්, ග්‍රීසියේ හා වෙනත් තැනක කම්කරුවන් සමග සහයෝගිතාවය සඳහා එය ඇඟිල්ලක් වත් එසවූයේ ද නැත.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට හා වෘත්තීය සමිතිවලට සහාය දක්වන්නේ, ග්‍රීක නයවලින් සියයට 5ක් අවලංගු කරන බවට ශෝකජනක පොරොන්දු දෙන සිරිසා වැනි ව්‍යාජ වාම-සංවිධාන විසිනි. ඒ ද ආන්ඩුවට ඇතුල්වනතෙක් පමනි. මෙම සංවිධාන තමන් වාමාංශික යැයි මවා පාති. ඒ හෝ මේ කාරනය සම්බන්ධයෙන් ඔවුන් මැසිවිලි නැඟුව ද ඔවුන්ට ධනේශ්වරය තරහ ගස්වන කිසිදෙයක් කිරීමේ බලාපොරොත්තුවක්වත් නැත. ඔවුන් සිය වරප්‍රසාදිත ජීවන රටාව අවුල් කර ගැනීම ගැන කියනුම කවරේ ද? ඔවුන් බොහෝකොටම යුරෝපා සංගමයේ දැඩි ආරක්ෂකයින් බවට පත්ව ඇත්තේ ඒ නිසාම ය.

යුරෝපා සංගම් මැතිවරනය තුල, අන්ත දක්ෂිනාංශිකය වාසි ලබනු ඇතැයි යන භයානක තත්වය සඳහා වග කිව යුත්තෝ මොවුහු ය.

කෙසේ නමුත්, 1930 ගනන්වල දුර්දශාව හා භීතීන් යලි ඇතිවීම නොවැලැක්විය හැකි බව පෙන්වන කිසිවක් යුරෝපය තුල නැත. මෙම රැස්වීම ම එයට සාක්ෂියකි. සියල්ලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ, මෙම නව ලෝක තත්වයේ යථාර්තය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දිශානතිය නීර්නය කරන බව වටහා ගැනීමයි.

1939දී ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි: “ඓතිහාසික වර්ධනය තීරනාත්මක අවධියකට එලඹී ඇත. මේ අවස්ථාවේ දී, ප්‍රතිගාමී බාධාවන් අතුගා දමා නව පද්ධතියකට පදනම දැමිය හැක්කේ ජනතාවගේ ඍජු මැදිහත්වීමක් මගින් පමනකි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය තුරන්කිරීම සැලසුම්ගත ආර්ථිකයක පලමු පූර්වාවශ්‍යතාව යි. එනම්, පලමුව ජාතික පරිමානව ද අවසානයේ දී ලෝක පරිමානව ද මානව සම්බන්ධතා ක්ෂේත්‍රයට යුක්තිය හඳුන්වා දීමය. පටන් ගත් විට, රටකින් රටකට සමාජවාදය පැතිර යනවා ඇත්තේ අද දිනයේ ෆැසිස්ට්වාදය පැතිරෙනවාට වඩා මිනිය නො හැකි තරම් මහා බලයක් සමග ය. දියුනු ජාතීන්ගේ මඟපෙන්වීම මගින් හා සහාය ඇතිව පසුගාමී රටවල් ද සමාජවාදයේ ප්‍රධාන ප්‍රවාහයට ඇද ගනු ඇත. අන්තයටම කුනු වූ රේගු බදු බාධක ඇද වැටෙනු ඇත. සමස්ත ලෝකය ම කැබලි කරන ප්‍රතිඝතිතාවන් තම ස්වභාවික හා සාමකාමී විසඳුම් සොයා ගනු ඇත්තේ, යුරෝපය තුල මෙන්ම ලෝකයේ අනෙකුත් ප්‍රදේශ තුල ද එක්සත් සමාජවාදී සමූහාන්ඩු තුලය . නිදහස්වූ මානව වර්ගය සිය මුලු උසටම නැඟගනු ඇත.”

මෙය යි අපේ ඉදිරිදර්ශනය. එමෙන් ම අප, මැයි දිනයේ විප්ලවවාදී සම්ප්‍රදායන් යලි ප්‍රකාශකරන්නේ මෙම පදනම මත යි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ නායකත්වය ලෙස මෙම ව්‍යාපාරය ගොඩනැගීමට ඔබ එක්විය යුත්තේ ඒ හේතුව නිසා ය.

Share this article: