සරයේවෝ සිද්ධියේ පටන් වසර සීයක්

One hundred years since Sarajevo

2014 ජූනි 28

පලමු ලෝක සංග්‍රාමය පුපුරා යාමට තුඩුදුන් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාද වරයා ඝාතනය කිරීමේ සියවන සංවත්සරය අදට (2014 ජූනි 18දාට) යෙදී ඇත. 1914 ජූනි 28 ඉරිදා පෙරවරුවේ, ඔස්ට්‍රෝ-හන්ගේරියානු අධිරාජ්‍යයා වූ ෆ්‍රාන්ස් ජොසෆ් ගේ බෑනනුවන් හා ඔහුගේ ඔටුන්න හිමි මහාදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්, බොස්නියාවේ සිදුකල රාජ්‍ය සංචාරයෙහි අවසන් දින සරයේවෝ නුවර හරහා රිය පෙරහැරකින් ගමන් ගනිද්දී ඝාතනය කරන ලදී. ආදිපාදවරයාගේ බිරිඳ වූ සොෆියාගේ ජීවිතය ද බිලිගත් වෙඩි ප්‍රහාරයේ කම්පනකාරී ස්වභාවය හැරෙන්නට, හැප්ස්බර්ග් රජ පෙලපතේ උරුමක්කාරයා මරා දැමීම විශේෂිතව වැදගත් ප්‍රතිවිපාක දනවනු ඇතැයි නොසැලකුනි.

කෙසේ වුව ද ඝාතනයෙන් පසුව ජූලි මාසය පුරා අර්බුදය එක දිගට පැතිර ගියේය. ප්‍රධාන යුරෝපීය ධනපති රටවල ප්‍රතිචාරය, පූර්ව දශකය පුරාවට ගොඩනැ‍ඟෙමින් තිබුනු ප්‍රතිවිරෝධී භූදේශපාලනික හා ආර්ථික අවශ්‍යතා මඟින් උද්ගත කරන ලද ආතතීන් මඟින් හැඩගන්වනු ලැබිනි. ප්‍රතිගාමී හැප්ස්බර්ග් රාජන්ඩුව, බෝල්කන් කලාපයේ ඔස්ට්‍රෝ-හන්ගේරියානු අධිරාජ්‍යයේ ආධිපත්‍යයට අභියෝගයක් වූ ජාතික අභිලාෂයන් සහිත සර්බියානු තන්ත්‍රයට පහර දීම සඳහා ඝාතනය නිමිත්තක් කරගත්තේය.

දෙවන විල්හෙල්ම් අධිරාජ්‍යයා බර්ලිනයේ සිට, ඔස්ට්‍රෝ-හන්ගේරියානු ආන්ඩුව වෙත කොල එලිය දැල්වූයේ, සර්බියානුවන්ට මුහුන දීමේදී ඔවුන්ට කිසිසේත්ම නොපිලිගත හැකි, යුද්ධයට තුඩුදෙන්නාවූ අවසන් නිවේදනයක් සමගින්ය. ඔවුන් මෙම පියවර ගනු ලැබුවේ, ඔස්ට්‍රියාව විසින් සර්බියාව ආක්‍රමනය කරනු ලැබුවහොත්, බෝල්කන්හි සිය අවශ්‍යතා සුරැකීම පිනිස රුසියානු අධිරාජ්‍ය ද මැදිහත්වීමට පොලඹවනු ඇති බව දැනගෙනය. රුසියාව සමග ප්‍රධාන පෙලේ යුද්ධයකට පැටලීමේ හැකියාව ජර්මානු තන්ත්‍රය විසින් දැක ගත්තේ, නැ‍ඟෙනහිර යුරෝපය තුල සිය ආධිපත්‍යය පිහිටුවාගැනීමටත් එබැවින් මහාද්වීපය පුරා බල තුලනය වෙනස් කිරීමටත් ලැබෙන අවස්ථාවක් ලෙසය.

කෙසේ වෙතත්, ජර්මානු බලය වර්ධනය වීම වැලැක්වීම සඳහා රුසියාව සමග සන්ධානයකට එලඹ සිටි ප්‍රන්සයේ පාලක පන්තිය, මෙම (ජර්මානු) අභිලාෂය පිලිබඳව බියට පත් විය. ජර්මනිය හා රුසියාව අතර යුද්ධ තත්වයකදී, ජර්මානු ජයග්‍රහනයක් පිලිගෙන පැත්තකටවී බලා සිටිය නොහැකි බව ප්‍රන්ස ධනේශ්වරය ඒත්තු ගෙන සිටියේය. ඒ සමඟම රුසියාව සමග යුද්ධයක් පැන නැඟුනහොත්, ප්‍රන්සයට පහර දීම සඳහා ජර්මානු තන්ත්‍රය, දිගු කලක් තිස්සේ සූදානම්ව සිටියේය.

අර්බුදය ව්‍යසනකාරී සමාප්තියකට තුඩු දුන්නේය. අගෝස්තු පලමු සතිය වන විට, ජර්මනිය හා ඔස්ට්‍රෝ-හන්ගේරියාව එක් පසෙකටත් ප්‍රන්සය, රුසියාව හා මහා බ්‍රිතාන්‍ය අනෙක් පසටත් වශයෙන් යුරෝපයේ මහ බලවතුන් යුද්ධ තත්වයකට එලඹ සිටියහ.

ජූනි 28දා සරයේවෝහි ඝාතනයෙන් කුපිත කරන ලද, අගෝස්තු පලමු සතිය වන විට පූර්න පරිමානයේ යුරෝපීය යුද්ධයකට තුඩු දුන්, සිදුවීම් පෙල විශ්ලේෂනය කරමින් ලියන ලද නිමක් නැති ලේඛන දැකිය හැකිය. මෙම ලේඛනයන්ගෙන් බොහොමයක්, යුද්ධය පැන නැඟීමට මූලික වගකීම දරන්නේ කවර තන්ත්‍රයක් දැයි තහවුරු කිරීමට උත්සාහ කර ඇත. නිදසුනක් ලෙස ජර්මානු තන්ත්‍රයේ දුර දිග යන අභිලාෂයන් වැනි එක් හෝ තවත් ආන්ඩුවක යුද අරමුනු වලට සම්බන්ධ වැදගත් තොරතුරු සොයාගැනීමට මෙම පරියේෂන මුල්වී ඇති නමුත් යුද්ධයේ සාරභූත හේතු කාරනා සොයාගැනිමට ගැඹුරු තලයක විශ්ලේෂනයක් අවශ්‍ය කෙරේ.

සරයේවෝ ඝාතනය, යුරෝපීය හා ජාත්‍යන්තර භූදේශපාලනයේ වහා ගිනි ඇවිලෙන සුලු ව්‍යුහයට ගිනි තැබූ ගිනි පුපුරට වඩා වැඩි දෙයක් නොවීය. ආදිපාද වරයා ඝාතනය නොකලේ නම් 1914 අගෝස්තුවේ යුද්ධය හට නොගැනීමට ඉඩ තිබූ නමුත් ප්‍රමාදවී නොව වඩා ඉක්මනින්ම වෙනත් සිද්ධියක් පූර්න යුද්ධයකට තුඩු දිය හැකිව තිබුනි.

පලමු ලෝක යුද්ධය පුපුරා යාමට පූර්වයෙන් වූ වසරවල සැබවින්ම, යටත් විජිත හා මූල්‍ය උත්සුකයන් මත ප්‍රධාන ධනපති බලවතුන් අතර ගැටුම් වලින් පැන නැංඟාවූ “යුද භීතිකාවන්” මාලාවක් දැකගත හැක. යුරෝපයේ දේශපාලන වාතාවරනය වඩ වඩාත් ආතති සහගත විය. විසිවන සියවසේ පලමු දශකය තුල යුද ආම්පන්න සඳහා දැරුනු රාජ්‍ය වියදම් නාටකාකාර ලෙස ඉහල නැඟුනි.

වර්ධනය වෙමින් තිබුනු දෙවන ජාත්‍යන්තරයේ ධජය යටතේවූ කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරය, ධනේශ්වර මිලිටරිවාදය විසින් මතු කල අන්තරායන් පිලිබඳව වඩ වඩාත් කලබලයට පත්ව තිබුනි. “මහ බලවතුන්” අතර යුද්ධයේ හැකියාව මතුව ආවේ ධනේශ්වර ක්‍රමයේම ස්වභාවයෙනි. මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකු වූ රුඩොල්ෆ් හිල්ෆඩිං 1902 තරම් ආසන්නයේ, “ලෝක වෙලඳපොල සඳහා තියුනුවන අරගලය, ධනේශ්වර ජාතීන්ගේ විදෙස් පිලිවෙත කෙරෙහි ප්‍රතිවිපාක ජනනය කිරීමෙන් තොරව නොපවතිනු ඇත.” යනුවෙන් අනතුරු ඇඟවීය. “ධනේශ්වර වානිජ්‍ය පිලිවෙතේ අලුත්ම අදියරෙහි නොවැලැක්විය හැකි ප්‍රතිවිපාක වන්නේ, යුද ආම්පන්න වර්ධනය වීම, නාවික ශක්තිය වැඩිවීම, අභ්‍යන්තර ප්‍රතිචාර, ප්‍රචන්ඬත්වය හා විදෙස් පිලිවෙතේ සාමයට එල්වන තර්ජන” බව ඔහු පෙන්වා දුන්නේය. (රිචඩ් බී. ඩේ හා ඩැනියෙල් ගයිඩෝ විසින් සංස්කරනය කල, [Discovering Imperialism: Social Democracy to World War I අධිරාජ්‍යවාදය සොයාගැනීම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පලමු ලෝක යුද්ධය කරා , හි සඳහන්වේ, 2011 චිකාගෝ, 348-49 පිටු)]

එම දශකය පෙරට යද්දී හා අධිරාජ්‍යවාදයේ ව්‍යසනකාරී ඇඟවුම් වඩ වඩාත් ප්‍රාදූර්භූත වෙද්දී, යුද්ධයට එරෙහි අරගලය දෙවන ජාත්‍යන්තරයේ කටයුතුවල හරි මැද තබනු ලැබීය. 1907 ස්ටුට්ගාට්හි පැවැත්වූ දෙවන ජාත්‍යන්තරයේ සමුලුවේදී යටත් විජිතවාදය හෙලාදකිනු ලැබූ අතර එහි මෙසේ සඳහන් විය. “එය, වහල් භාවයටත්, බලහත්කාරී ලෙස ශ්‍රමය සූරාකෑම, හෝ යටත්කරගත් රටවල ස්වදේශික ජනතාව මූලෝත්පාඨනයටත් තුඩු දෙයි. තමන් යෙදී සිටින්නේ ශිෂ්ඨාචාර කිරීමේ දූත මෙහෙවරක බව කියා සිටි ධනේශ්වර සමාජයේ ප්‍රකාශ, අත්පත්කර ගැනීමේ හා සූරාකෑමේ සිය ගිජුකම වසාගන්නා වේල් පටයකට වැඩි දෙයක් නොවේ.” (එම, පිටුව 28)

වසර පහකට පසුව 1912 වසරේ බසෙල්හි පැවැත්වූ සිය සමුලුවේදී දෙවන ජාත්‍යන්තරය පහත සඳහන් ප්‍රකාශනය නිකුත් කරමින් පැවසුවේ:

යුද්ධය පැනනැඟීමේ තර්ජනය මතුවුවහොත්, එයට සම්බන්ධ රටවල කම්කරු පන්තිවල හා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ වගකීම විය යුත්තේ.....යුද්ධය හටගැනීම වැලැක්වීම සඳහා සාර්ථක යයි තමන් සලකන සෑම උත්සාහයක්ම දැරීමය... කෙසේ හෝ යුද්ධය පැනනැඟුනොත් ඔවුන්ගේ වගකීම විය යුත්තේ, එහි ඉක්මන් අවසානය සඳහා යුද්ධයෙන් නිර්මානය වන දේශපාලන හා ආර්ථික අර්බුදය, ජනතාව අවදි කිරීමටත් එමගින් ධනපති පන්ති පාලනයේ ඇද වැටීම වේගවත් කිරීමටත් තමන් සතු සියලු බලය යොදා මැදිහත් වීමයි. යනුවෙනි.

එහෙත් දෙවසරකටත් අඩු කාලයකදී යුද්ධය පුපුරා ගිය කල දෙවන ජාත්‍යන්තරයේ නායකයෝ, තමන්ගේ බැරෑරුම් කැපවීම ප්‍රතික්ෂේප කලහ. 1914 අගෝස්තුවේදී ජාත්‍යන්තරයේ විශාලතම හා දේශපාලනිකව වඩා ආනුභාවයකින් යුත් ශාඛාව වූ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) යුද්ධය ගෙනයාමට හැකියාව ලැබෙන පරිදි ආන්ඩුවට මූල්‍ය නය සම්පාදනය කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. දේශපාලන ද්‍රෝහිත්වයේ මෙම ක්‍රියාව, විප්ලවවාදී බලවේගයක් ලෙස දෙවන ජාත්‍යන්තරයේ අවසානය සනිටුහන් කලේය. විප්ලවවාදී ජාත්‍යන්තරයක් යලි ගොඩනැඟීමේ කර්තව්‍යය, දෙවන ජාත්‍යන්තරය ජාතික පාලක පන්තීන්ට හා අධිරාජ්‍යවාදයට යටත්වීමට විරුද්ධවූ අයගේ කර පිට වැටුනි. මෙම අරගලයේ නායක ක්‍රියාකලාපය ඉටු කලේ ව්ලැඩිමීර් ලෙනින්ය. යුද්ධය කෙරෙහි විරුද්ධත්වය හා සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආරක්ෂාව සඳහා ඔහුගේ කැපවීම, 1917 ඔක්තෝබරයේ රුසියානු සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා පදනම දැමීය.

යුද්ධය පැනනැඟීමේ වගකීමෙන් තමන්ගේ ආන්ඩු නිදොස් කිරීම මගින් සිය පාවාදීම යුක්තිසහගත කල දෙවැනි ජාත්‍යන්තරයේ සියල්ලන්ටම එරෙහිව ලෙනින් අවධාරනය කලේ, යුද්ධය වැඩී ආවේ අධිරාජ්‍යවාදී දේශපාලනයෙන් හා ආර්ථිකයෙන් බව හා එම නිසා සියලු ආන්ඩු ඊට වගකිවයුතු බවය. පසුකාලීන පරියේෂන ලෙනින්ගේ චෝදනාව සනාථ කලේය. සෑම ආන්ඩුවක්ම තමන්ගේ රටෙහි ධනපති පන්තියේ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨානශීලී විය. එක් ඉතිහාසඥයෙකු ලිවූ පරිදි, “ඔවුන් සියල්ලන්ටම පාහේ යුද්ධය තවදුරටත් නරකම විකල්පය නොවීය.” [ඩේවිඩ් ජී. හර්මන්, The Arming of Europe and the Making of the First World War (යුරෝපය සන්නද්ධ කිරීම හා පලමු ලෝක යුද්ධය කඩාපාත් කිරීම,. ප්‍රින්ස්ටන්, 1996, 226 පිටුව),]

ලෝක යුද්ධය වනාහි අහම්බයක්‍ හෝ වැරදි ප්‍රතිපත්ති වල අනපේක්ෂිත ප්‍රතිපලය නොවීය. එය නැඟී ආවේ, ධනපති ක්‍රමය හා ජාතික රාජ්‍යයන්ගේ නොවැලැක්විය හැකි ප්‍රතිගතිතා තුලින්ය. යුද්ධය ආරම්භවී කෙටි කලකට පසුව දෙවන ජාත්‍යන්තරයේ තවත් විප්ලවවාදී විරුද්ධවාදියෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි, යුද්ධයේ ඓතිහාසික වැදගත්කම පැහැදිලි කලේය.

යුද්ධය ප්‍රකාශ කලේ ජාතික රාජ්‍යයේ බිඳ වැටීමයි. එහෙත් ඒ සමඟම එය, ධනේශ්වර පද්ධතියේ ආර්ථික බිඳ වැටීම ද ප්‍රකාශයට පත් කලේය. ....

1914 යුද්ධය වනාහි, එහිම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මගින් විනාශයට පත් කල ආර්ථික පද්ධතියක යෝධ බිඳවැටීම විය.

එහෙත් ආර්ථික ක්‍රමයේ ප්‍රතිවිරෝධතා ප්‍රකාශයට පත් කරන එකම රූපාකාරය යුද්ධය නොවීය. ලෝක ධනවාදයේ අර්බුදයෙහි තවත් ප්‍රතිපලයක් ද ට්‍රොට්ස්කි පෙර දුටුවේය.

නව සමාජවාදී ආර්ථික ක්‍රමයක ද්‍රව්‍යමය කොන්දේසි ධනවාදය විසින් නිර්මානය කර තිබේ. අධිරාජ්‍යවාදය ධනේශ්වර ජාතීන් ඓතිහාසික ව්‍යසනයක් කරා මෙහෙයවා ඇත. කම්කරු පන්තියට විප්ලවයේ මාවත ගන්නා ලෙස ප්‍රචන්ඬ ආකාරයෙන් බල කරමින්, 1914 යුද්ධය, මෙම ව්‍යසනයෙන් ඉවත්වන මඟ පෙන්වා දුන්නේය. [ War and the International (යුද්ධය හා ජාත්‍යන්තරය, (කලම්බො 1971, vii-viii පිටු)]

සරයේවෝ සිට වසර සීයක් ඉක්ම ගොස් තිබේ. සියවසක ගමන් ම‍ඟේදී මානව වර්ගයා මිලියන දුසිම් ගනනක ජීවිත වනසා දැමූ විනාශකාරී ලෝක යුද්ධ දෙකක් තුලින් ගමන්කොට ඇත. දෙවන ලෝක යුද්ධයේ අවසානයේ පටන් අධිරාජ්‍යවාදය විසින් අවුලුවන ලද නිමක් නැති ප්‍රාදේශීය යුද්ධ තවත් මිලියන දුසිම් ගනනකගේ ජීවිත විනාශ කරනු ලැබිනි. එසේම දැන්, තවත් ගෝලීය අග්නි ජාලාවක් සූදානම් කෙරෙමින් තිබේ.

මානව වර්ගයාට තවත් ලෝක යුද්ධයකින් පන බේරාගත නොහැකිය. එය නොවරදවාම සිදුවනු ඇත්තේ න්‍යෂ්ටික ආයුධ වලිනි. එවන් ව්‍යසනයක් වලකාලිය යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම බැරෑරුම් සංවත්සරයට එලඹෙන්නේ, අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි අරගලයට පිවිසෙන ලෙස ලොව පුරා කම්කරුවන්ට හා තරුනයන්ට කැඳවුම් කරමිනි.

ඩේඩිඩ් නොර්ත්

Share this article: