ගැඹුරු වන ගෝලීය මූල්‍ය හා ආර්ථික බිඳවැටීමක්

A deepening global economic and financial breakdown

2014 ජූලි 02

පසුගිය 29දා නිකුත් කරන ලද ජාත්‍යන්තර සමථ බැංකුවේ වාර්ෂික වාර්තාව, 2008 සැප්තැම්බරයේ ආරම්භවූ ගෝලීය ධනේශ්වර බිඳවැටීම හා එය විසඳීමට කිසිදු ප්‍රතිපත්තියක් සැකසීමට පාලක ආර්ථික හා මූල්‍ය ප්‍රභූව දක්වන අසමත්කම යන දෙකටම අවධානය යොමුකරයි.

සැබවින්ම වාර්තාව පැහැදිලි කරන ආකාරයට, පූර්න බිඳවැටීමකින් ගෝලීය මූල්‍ය පද්ධතිය ගලවා ගැනීම සඳහා 2008 පසුව ගනු ලැබූ පියවර, එනම්, නිමක් නැතිව අතිශයින්ම ලාභ මුදල් සම්පාදනය කිරීම, තවත් උනුවී යාමකට කොන්දේසි නිර්මානය කරයි. එහෙත් නොසංසි‍ඳෙන ලාභ පිපාසාවෙන් පෙලෙන මූල්‍ය ප්‍රභූවේ දැඩි ග්‍රහනයට හසුව තිබෙන මහ බැංකු එම ක්‍රියාවලිය ඔස්සේ දිගටම ගමන් කරයි.

භූදේශපාලන පද්ධතිය එන්ට එන්ටම පිස්සන් කොටුවක තත්වයට පත්වෙමින් තිබියදී, ලෝක යුද්ධයක කොන්දේසි නිර්මානය කරමින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එක් මිලිටරි ව්‍යසනයකින් තවෙකකට තල්ලුවෙමින් සිටින ආකාරයටම මූල්‍ය පද්ධතිය ද කිසිදු විශ්වාසනීයත්වයකින් හෝ තර්කයකින් තොරව, පසුගිය අර්බුදයටත් වඩා විශාලත්වයෙන් වැඩි විභවයක් සහිත තවත් උනුවී යාමක් දෙසට තල්ලු වේ.

විසඳුමක් ඉදිරිපත් කිරීම කෙසේ වෙතත්, ව්‍යාකූලත්වය පෙන්නුම් කරමින් සමථ බැංකු වාර්තාවේ කතුවරු, “වෙලඳපොලවල් අතර ගැටලු සහගත වෙන්වීම හා ගෝලීයව කැපී පෙනෙන ආර්ථික වර්ධනයන් සැහැල්ලුවෙන් ගැනීම” වෙත ඇඟිල්ල දිගු කරති.

2009 සිට කොටස් වෙලඳපොලවල් එක එල්ලේ ඉහල නැඟී ඇත. ගෝලීය ආර්ථිකය පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධියෙන් පසු පහලම “ප්‍රකෘතියේ” අනුපාත අත්විඳින අතර කොටස් අගය පසුගිය වසර පුරා නව වාර්තාගත ඉහලකට නැඟී ගියේය. තවමත් ආර්ථිකය 2007 අත්කරගෙන තිබූ මට්ටමටවත් පැමින නැත.

ප්‍රවනතා පිලිබඳ සංඛ්‍යා සලකා බලන කල ව්‍යසනය වඩාත් පැහැදිලි වේ. මේ වසරේ පලමු කාර්තුව තුල ආර්ථිකය සියයට 2.9ක හැකිලීමකට මුහුනපෑ එජ, අර්බුද පූර්ව ප්‍රවනතාවය දිගටම පැවතුනේ නම් තිබිය යුතු නිමැවුමේ මට්ටමෙන් සියයට 12.5ක් පහතින් පවතී. බ්‍රිතාන්‍යයේ එය සියයට 18.5ක් ද මූල්‍ය අර්බුදයෙන් දරුනු ලෙස බැටකෑ ස්පාඤ්ඤයේ එය සියයට 29ක් ද වේ.

අර්බුද පූර්ව ප්‍රවනතාවය අනියතව පැවතිය නොහැකිය යන කාරනයට ඉඩ දුන් විට පවා හා සමථ බැංකුව කියන පරිදි වඩාත් “සංකීර්න සංඛ්‍යාත්මක මිනුම්” භාවිතා කලේ නම් වුවත් දියුනු ආර්ථිකයන්හි පශ්චාත් අර්බුද හිඟය සියයට 7.5-10 අතර වනු ඇත. “වර්ධන ප්‍රවනතාව යලි අත්කර ගැනීමේ බලාපොරාත්තු හීන” වීමේ කාරනය ගැන සඳහන් කරමින් ඉහල වර්ධන අනුපාතයක් කරා යලි ලඟාවීම ඔවුහු බැහැර කරති. දියුනු ආර්ථිකයන්හි පලදායිතාවයේ පහත වැටෙන ප්‍රවනතා හා හීන ඉල්ලුම නිසා ආයෝජන පහත වැටීම ගැන ඔවුන් සඳහන් කරයි.

සමස්ත ආර්ථිකය පල්වන අතර මූල්‍ය වෙලඳපොලවල් ශුභවාදයෙන් පිරී ඉතිරෙයි. 2014 මැයි දක්වා වන මාස 12 තුල වෝල් වීදියේ එස්ඇන්ඩ්පී 500 දර්ශකය සියයට 20ක තරම් ඉහල යෑමක් අත්විඳි අතර අනාගතයේ බලාපොරොත්තු වන වාසිය එම කාලයටම සියයට 8 වඩා අඩු විය. දර්ශකයේ මිල/ආදායම් අනුපාතය මැයි මාසය තුල පසුගිය 50 වසරේ සාමාන්‍යයට වඩා ඒකක 6ක් උඩින් පිහිටියේය.

එජ, එංගලන්ත, හා ජපාන මහ බැංකු විසින් ගෙන යන, මූලිකවම තොග පිටින් මුදල් අච්චු ගැසී‍ම පදනම් කරගත් “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ”වැඩසටහනෙහි ප්‍රතිපලය වශයෙන් වෙනස සිදුව ඇත. එම ප්‍රතිපත්තියම අනුගමනය නොකල ද ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල මහ බැංකු වලට තම පොලී අනුපාත පහත හෙලීමට බල කෙරී ඇති අතර එය කොටස් වෙලඳපොලවල නැඟීමකට මුල්වී ඇත.

“අසාමාන්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ” ප්‍රතිපලය වී ඇත්තේ, මහ බැංකුවල වත්කම් දැවැන්ත ලෙස ප්‍රසාරනය වීමයි. 2007වේගයෙන් වර්ධනය වීමෙන් පසුව2014 වන විට “ඒවා දෙගුනයකටත් වඩා වැඩිවී ඇති අතර පෙර නොවූ විරූ ඩොලර් ට්‍රිලියන 20ක් එනම්, ගෝලිය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30ක්, දක්වා වැඩිවී ඇත.”මෙහි ප්‍රතිපලය වශයෙන් 2008 බිඳවැටීමට තුඩු දුන් පරපුටු හා තරයේම සාපරාධී භාවිතයන් යලි ක්‍රියාවට නැගෙමින් තිබේ. “ගනුදෙනු උන්මාදය, තිරිසන් ආවේෂය, එක්රැස්වීමේ උන්මාදය යන කවරකින් හැඳින් වුව ද එය යලි පැමින ඇත.” මේ වසරේ පලමු මාස හය තුල ලෝක පරිමාන අත්පත්කර ගැනීම් හා ඒකාබද්ධ වීම් සියයට 75කින් ඉහල ගිය බව සඳහන් කරමින් මේ සතිය මුල ෆිනෑන්ෂල් ටයිම්ස් එසේ ලියා තිබුනි. ඒවායේ මූල්‍ය අගය 2007 වසරෙන් පසු ඉහලම වටිනාකම සලකුනු කරමින් ට්‍රිලියන 1.75 ක් බවට පත්ව ඇත.

එම පුවත්පතේම වෙනත් ලිපියක් තුල සඳහන් වූයේ, එජ සමාගම් “ඒකාබද්ධවීම්, අත්පත්කර ගැනීම් හා කොටස් යලි මිලට ගැනීම් වලින් වාර්තාගත නය සම්භාරයක් උරුම කරගෙන සිටින අතර තරඟය තුල ඉදිරියට යැම පිනිස වත්කම් කලමනාකරුවන් අවදානම් සහිත ජවාරම් සිදුකරමින් සිටී” යනුවෙනි.

නිව් යොර්ක් ටයිම්ස්හි මෑත පලවූ ලිපියක නිවාස නය වෙලඳපොලවල “අවමුඛ” යන්න “නරක වචනයක්” ලෙස භාවිතයෙන් ඉවත් වෙමින් ඇති බව සඳහන් විය. බිඳ වැටීමට තුඩු දෙමින් 2007-08 වසරවල සිදුවූ පරිදි, නය සුරැකුම් තුල ගොනු කර ආයෝජකයින්ට අලෙවි කිරීමට හැකි තරම් අවමුඛ නයදීම්වල මට්ටම විශාල නොවන අතර “නය හිමියන් කියන්නේ, අවමුඛ උකස්කරයන්ගේ පිටුබලය සහිත සුරැකුම් යලිත් වෙලඳපොල හමුවට පැමිනීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනක්” බවය.

මහ බැංකු මුදල් පිටාර ගැලිම පූර්වයෙන් ඇතිවූ කඩාවැටීමේ තත්වය ප්‍රති නිර්මානය කරනවා පමනක් නොව, එය තවත් ජ්වලන කේන්ද්‍රයන් එකතු කරයි. දියුනු ආර්ථිකයන්හි අවම පොලී අනුපාත ඉහල ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඊනියා නැඟී එන වෙලඳපොලවලට මුදල් ගලායාමේ තත්වය ඇතිකර තිබේ. එහෙත් මෙම ගලා ඒම් වේගයෙන් අනෙක් පසට හැරිය හැකිය. 2013 හා 2014 මුල දක්නට ලැබුනු පරදි තුර්කිය හා දකුනු අප්‍රිකාව ද ඇතුලු රටවල් ගනනාවක මහ බැංකු වලට මුදල් ඉවතට ගැලීම පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහල දැමීමට සිදුවූ පරිදි ය. මෙම කලබැගෑනිය පාලනය කරගැනීමට හැකිවූ නමුත් 1997-98 ආසියානු අර්බුදය පරිමානයේ වඩාත් වැදගත් කඩාකප්පල් වීමක් ප්‍රමුඛ ඇඟවුම් ඇතිකල හැකිය. මක්නිසා ද යත් සමථ බැංකුව කියන ආකාරයට නැඟී එන වෙලඳපොලවල් දැන් ලෝක ආර්ථිකයේ වඩාත් විශාල පංඟුවකට වග කියන අතර වඩා සමීපව ගෝලීය මූල්‍ය පද්ධතියට ඒකාග්‍රවී ඇති බැවින්ය.

එජ මෙන්ම අනෙකුත් මහ බැංකු වල ද “පහසු මුදල්” ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක්කරන අතරම සමථ බැංකුවට, අර්බුදය විසඳීමේ ප්‍රතිපත්තියක් ඇත්තේ නැත. එහි විවේචන පදනම්ව ඇත්තේ මුදල් වෙලඳපොලවල් තුලට මුදල් පිටාර ගැලීම දැවැන්ත අන්තරායන් මතුකරන කෙටිකාලීන විසඳුමක් බව හඳුනාගැනීම මතය.

ගෝලීය ප්‍රති විප්ලවය උත්සන්න කිරීම සඳහා යොදාගන්නා සියලු වැකි, එනම්, “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” දැඩි “නම්‍යශීලිත්වයක්” හා “මූල්‍ය ස්ථාවරත්වය” වාර්තාවට අන්තර්ගත වී ඇත. මෙම ඉදිරිදර්ශනය පාදකව ඇත්තේ ගෝලීය ප්‍රාග්ධනයේ දේශපාලන ආර්ථිකය මතය. ඇඩ්රිනලින් වර්ගයේ උත්තේජනයක් මුදල් එන්නත් කිරීමට මගින් සැපයිය හැකි වන නමුත් අවසාන විග්‍රහයේදී ප්‍රාග්ධනය, ලේ උරාබොන වෑම්පයරයෙකුගේ විලාසයෙන් ගෝලීය කම්කරු පන්තියෙන් නවමු ලේ උරාබීම මත පදනම් වන්නේ, වැටුප් පහත හෙලීම, සේවා තත්වයන් කප්පාදු කිරීම හා සූරාකෑම උග්‍ර කිරීම තුලින්ය.

නික් බීම්ස්

Share this article: