ජපාන මිලිටරිවාදයේ යලි හිස එසවීම

The re-emergence of Japanese militarism

2014 ජූලි 03

“සාමුහික ආත්මාරක්ෂාවට” අවසර ලැබෙන පරිදි රටේ ව්‍යවස්ථාව “යලිඅර්ථකතනය” කිරීමේ ප්‍රකාශයකට ජපානයේ කැබිනට් අනුමැතිය පලකරමින් 01දා ගනු ලැබූ තීරනය, ජපාන මිලිටරිවාදය පුනර්ජීවනය කරන තියුනු සන්ධිස්ථානයක් සලකුනු කරයි. අනෙකුත් ජාතීන්ට ආධාර කිරීමේ කඩතුරාව යටතේ නිකුත්කල මෙම ප්‍රකාශය, සිය අනුචරයින් සමග එක්ව ආක්‍රමනික යුද්ධ ගෙනයාම හා නව මිලිටරි බැඳීම් ඇතිකර ගැනීම සඳහා ජපන් අධිරාජ්‍යවාදයට ඉඩ සැලසෙන පරිදි මිලිටරි බලය යෙදවීම මත පනවා ඇති ව්‍යවස්ථාමය සීමාවන් ඉවත් කිරීම දෙසට තැබූ මූලික පියවරකි.

සැඟවුනු අර්ථ සහිත ප්‍රකාශනය, ජපාන මිලිටරිය සාමය සඳහා වන බලවේගයක් බව සහතික කරන බවට ජපන් අගමැති කරන ප්‍රකාශ වලින් කිසිවෙකුත් රැවටෙනු නැත. නිල වශයෙන් යුද්ධය ප්‍රතික්ෂේප කර සන්නද්ධ හමුදා කිසිවිටෙකත් පවත්වා නොගත යුතු යයි සඳහන් කෙරෙන ව්‍යවස්ථාවට ඇතුලත් ඊනියා සාමවාදී වගන්ති, ‍ලෝකයේ බිහිසුනුම මිලිටරියක් ගොඩනැඟීමට ජපානයට ඉඩ සැලසෙන පරිදි, යලි අර්ථගැන්වීමට ජපානයේ බලයට පත්වූ ආන්ඩු දැනටමත් කටයුතු කර ඇත.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රකෝපකරනයන් හා මිලිටරි මාධ්‍යයන් තුලින් ටෝකියෝවේ මූලෝපායික හා ආර්ථික ආසක්තයන් පෙරට ගෙනයාමට වැඩි කිසිවක් නොවන පිලිවෙත හමුවේ, අබේගේ “සාමයට කැපවුනු” වැඩසටහන සඳහා දැන් ඔහුට ඉස්පාසුවක් ලැබී තිබේ.

ජපානයේ නිවේදනය නිකුත් වුනේ, ලෝකය පුරා භූදේශපාලන එදිරිවාදීකම් හා ආතතීන් ගිනියම් කරන, ගැඹුරු වෙමින් ඇති ගෝලීය ආර්ථික අර්බුදයක සන්දර්භය තුලය. අබේ ආන්ඩුවේ නිවේදනයෙහි ක්ෂනික ඇඟවුම වනු ඇත්තේ, ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” හා චීනයට එරෙහි එහි යුද සූදානම සඳහා ජපානයේ සමීප සහයෝගය පිලිබඳව කොල එලිය දැල්වීමයි. පෙන්ටගනයේ මිලිටරි සැලසුම් කරුවෝ, චීනය සමග කෙරෙන ඕනෑම යුද්ධයකදී ජපානයේ පිහිටුවා තිබෙන එක්සත් ජනපද මිලිටරි කඳවුරු අත්‍යවශ්‍ය උපාංඟයක් ලෙස සලකති.

ඔබාමාගේ “හැරීම” දැනටමත් නැ‍ඟෙනහිර ආසියාව වෙඩි බෙහෙත් ගබඩාවක් බවට හරවා ඇත. වොෂින්ටනයේ දිරිමත් කිරීම ද ඇතිව පසුගිය සිව් වසර පුරා ටෝකියෝව, නැ‍ඟෙනහිර චීන මුහුදේ පිහිටි ජනාවාස රහිත ගල්පර සමූහයක් වන සෙන්කාකු/ඩයෝයු දිවයින් අරභයා බීජිනය සමග පැනනැඟී ඇති මතභේද, දශක හතරක් තිස්සේ පැවති සුලු සිද්ධියක සිට අන්තරාදායක ජ්වලන කේන්ද්‍රයක් බවට පත්කර තිබේ. ජපාන හා චීන නැව් හා ගුවන් යානාවක් අද දිනයේ අවදානම් සහිතව එකිනෙකා ආසන්නයටම පැමින උපාමාරු දැමීමේ නිරතවූ අතර අනතුරක් හෝ වැරදි ගනන් බැලීමක් විවෘත ගැටුමක කොන්දේසි නිර්මානය කරනු ඇත.

එජ සන්ධානයේ කුඩය යට ජපානය දැනට තමන්ගේම අරමුනු හඹා යන නමුත් එය එසේම පවතිනු ඇති බවට කිසිදු සහතිකයක් නැත. තමන්ගේම අදූරදර්ශී අරමුනු සඳහා ජපානයේ යලි මිලිටරීකරනයට ක්‍රියාශීලීව සහයෝගය දෙන අතර වොෂින්ටනයට, හරියටම චීනයේ හා ආසියා පැසිෆික් කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් මිලියන දුසිම් ගනනකගේ ජීවිත කැප කරමින් 1941 හා 1945දී එජ හා ජපන් අධිරාජ්‍යවාදී බලවතුන් ලේවැකි යුද්ධ දෙකක් ගෙනගිය බව අමතකවී ඇති සැටියකි. ජපාන මිලිටරිවාදය කපාහැරීමේ උත්සාහයක යෙදෙමින් පශ්චාත් යුද්ධ ඇමරිකානු යටත් කිරීමේ අදියරක් ලෙස සකස් කල එම ව්‍යවස්ථාවම අබේ ආන්ඩුව විසින් යලි අර්ථකතනය කිරීම ඔබාමා පාලනයේ පැසසුමට ලක්ව තිබේ.

නරක අතට හැරෙන ගෝලීය ආර්ථික බිඳවැටීම හමුවේ ජපන් පාලක පන්තිය, දශක දෙකක් පුරා පැවති ආර්ථික පල්වීමෙන් පසුව සිය බෙලහීනත්වය හා ගොදුරක් බවට පත්වීමේ අවදානම් තත්වය පිලිබඳව හොඳින් දැන සිටියි. සිය 1868 මෙයිජි ප්‍රතිස්ථාපනය ආරම්භයේ පටන් ජපන් අධිරාජ්‍යවාදයට, වඩා බලවත් හා පැලපදියම්වී සිටි එදිරිවාදීන්ගේ අවශ්‍යතාවන්ට එරෙහිව මිලිටරි වාදයේ පිහිට පැතීමට සිදුව තිබුනි. ප්‍රධාන කොටම සිය පාලක ප්‍රභූවේ අරමුනු ඉදිරියට ගෙනයාම පිනිස ජපානය, එජ සමග සහයෝගයෙන්, ස්වාධීනව හෝ ඊට එරෙහිව, කලාපයේ හා ජාත්‍යන්තර සම්බන්ධකම් තරකරමින් ද යලි සන්නද්ධ කරමින් ද සිටියි.

ජනවාරියේ ඩේවෝස්හි පැවති ලෝක ආර්ථික සමලුවේදී කථාකරමින් අබේ, වර්තමානයේ ආසියාවේ පවතින තත්වය පලමු ලෝක යුද්ධයට පෙරාතුව යුරෝපයේ පැවති තත්වයට සමාන කලේය. අද දිනයේ චීනය හා 1914 අවධියේ ජර්මනිය අතර සාවද්‍ය සමාන්තරයක් අඳිමින් අබේ, තම ආන්ඩුවේ යලි මිලිටරීකරන න්‍යායපත්‍රය යුක්තිසහග කිරීමේ අටියෙන්, බීජිනය මත “ආක්‍රමනකාරීත්වයේ” හා “ව්‍යාප්තවාදයේ” ලේබලය ඇලවීමට උත්සාහ දැරීය.

එසේ වුවත්, බොහෝ අටුවාකාරයින් පෙන්වාදී ඇති, සියවසකට පෙර ලෝකය සමග අදට පවතින සමාන්තරයන්හි මූලික සත්‍යයක් දැකගත හැකිය. 20වන සියවස තුල ලෝක යුද්ධ දෙකක් පැන නැංවූ ධනවාදයේ මූලික ප්‍රතිවිරෝධයන්, යලි වතාවක් මානව වර්ගයා නොවැලැක්විය හැකි පරිදි බිහිසුනු අග්නි ජාලාවක් දෙසට ඇද ගනිමින් තිබේ. ජපානයේ යලි සන්නද්ධ වීම, මෙම යුද ධාවනයේ උත්සන්න වීමක් බව සෑම තැනකම කම්කරුවන්ට හා තරුනයන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි.

ලෝකය පුරා සිටින එරට අනුචරයින්ගේ මෙන්ම අබේ ආන්ඩුවේ යුද සූදානම ද 1930 හා 40 ගනන්වල ජපන් අධිරාජ්‍යවාදයේ බිහිසුනු අපරාධයන්ට සුදුහුනු ගෑමේ දෘෂ්ටිමය ව්‍යාපාරයක් සමග අත්වැල් බැඳගෙන පෙරට යයි. මෙම ඓතිහාසික මුසාකරනයන්හි අරමුන වන්නේ, යුද්ධය සඳහා මහජන මතයක් නිර්මානය කිරීමය. එහෙත් විනාශකාරී ජපන් මිලිටරිවාදය හා එහි පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන්, ජපාන කම්කරු පන්තියේ විඥානය මත නොමැකෙන සලකුනක් තබා ඇත. ව්‍යවස්ථාව “යලි අර්ථ දැක්වීමේ” ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රම අබේ විසින් යොදාගනු ලබන්නේ එබැවින්ය. නිල වශයෙන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කුමන හෝ උත්සාහයක් වැඩකරන ජනතාවගේ පුලුල් විරෝධය හමුවේ අසාර්ථක වනු ඇත.

ජපාන මිලිටරිවාදයේ පුනර්ජීවනය, චීනය හා ආසියාව පුරා ආතතීන් ගිනියම් කර ඇති බව නිසැකය. ජපාන හමුදා, කොරියාවේ, චීනයේ සිට මලයාව, ඉන්දුනීසියාව හා ගිනිකොන දිග ආසියාවේ බොහෝ කෙටස් දක්වා, බිහිසුනු අපරාධ සිදුකොට තිබේ. චීන හා දකුනු කොරියානු ආන්ඩු, තමන්ගේම මිලිටරි තරකිරීම් යුක්තිසහගත කිරීමටත් සිය තුනී සහයෝගිතා පදනම් නඟා සිටුවීමටත් සිය රටවල් තුල ජාතිකවාදය හා ස්වෝත්තමවාදය ඇවිස්සීම සඳහා මෙම අතීත මතකය ගසාකයි. ෆිලිපීනයේදී අකිනෝ පාලනය, බීජිනයට එරෙහි ටෝකියෝවේ හා වොෂින්ටනයේ යුද වියරුව සමග පෙලගැසීම සඳහා, යුද්ධ අවධියේ ජපන් වාඩිලෑම පිලිබඳ මතකය වල දැමීමට උත්සාහ කරයි. මේ කිසිදු පාලන තන්ත්‍රයක් යුද්ධය කරා වන තල්ලුව නතර කිරීමට සමත් නොවන අතර ඔවුන්ගේ කටයුතු එය වේගවත් කරනවා පමනි.

ජපානයේ, චීනයේ, එජ හා ලෝකය පුරා යුද්ධයේ හා මිලිටරිවාදයේ නැඟී එන තර්ජනයට එරෙහිව පුලුල් මහජන විරෝධයක් පවතින නමුත් එම මතය කිසිදු රටක දේශපාලන සංස්ථාපිතය තුල ප්‍රකාශනයක් අත්කර නොගනියි. නව ලෝක යුද්ධයක් වැලැක්වීමේ එකම මඟ, ධනවාදය අහෝසි කර ගෝලීය පරිමානයෙන් සමාජවාදය පිහිටුවීම සඳහා ජපානයේ, චීනයේ, එජ, ආසියාව හා ලෝකය පුරා කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැඟීමයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් සටන් වැදීමට කැපවී සිටින‍්නේ මේ වෙනුවෙනි.

පීටර් සිමන්ඩ්ස්

බලන්න:“අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය

Share this article: