ගාසා තීරයේ ඊස්රායල් ආක්‍රමනයට විරුද්ධ වනු

Oppose the Israeli invasion of Gaza

2014 ජූලි 18

ගාසාව තුලට දියත් කර ඇති ඊස්රායල් හමුදා ආක්‍රමනය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් හෙලා දකියි. උතුරෙන් හා නැ‍ගෙනහිරෙන් සියොන්වාදී රාජ්‍යය ද දකුනෙන් ඊජිප්තු තන්ත්‍රය ද විසින් පනවන ලද සීමාවන් හමුවේ, හතරැස් සැතපුම් 200කටත් අඩු බිම් තීරුවක සිරවී සිටින මිලියන 1.8ක අනාරක්ෂිත පලස්තීන ජනතාවකට එරෙහිව ගනන් බලා සිදුකරන යුද අපරාධයක් දිග හැරෙමින් තිබේ.

හමාස් යන ඉස්ලාමීය පලස්තීන ව්‍යාපාරය ඊස්රාලයට එල්ල කරන මොට්ට රොකට් ප්‍රහාරයන්ට යුක්තිසහගත ප්‍රතිචාරයක් ලෙස මෙම සංහාරය හඳුන්වා දෙන සියලුම පාලක කවයන් හෙලා දැකිය යුතු ය. ඊස්රායල් ගුවන් ප්‍රහාරයන්ගෙන් සිය සාමාජිකයින් දුසිම් ගනනක් ද කාන්තාවන් හා ලමුන් ඇතුලු සිය ගනනක් පලස්තීන සිවිල් වැසියන් ද මරා දැමීමට එරෙහි හමාස්හි ප්‍රතිප්‍රහාරයෙන් මේ වන තෙක් මියගොස් ඇත්තේ එක් ඊස්රායල් වැසියෙකු පමනි.

ජූනි මාසය පුරාම ඊස්රායල් හමුදා, අතුරුදහන්වූ තරුනයින් තිදෙනෙකු සෙවීමේ මුවාවෙන් පල්ස්තීන ජනතාව ත්‍රස්ත කරමින්, හමාස් සාමාජිකයින් බවට සැක පිට 600ක් අත්අඩංගුවට ගනිමින් ද බටහිර ඉවුර හරහා කඩාවැදීමක යෙදී සිටියේ ය. පසුගිය දෙසතිය පුරා ඊස්රායලයඉලක්ක කර ගත්තේ, සිවිල් වැසියන්ගේ නිවාස 1000කට වැඩි ප්‍රමානයක් පමනක් නොව, භෝජන ශාලා, පල්ලි, සෞඛ්‍යය මධ්‍යස්ථාන, පැහැදිලිවම සලකුනු කර තිබූ මාධ්‍ය, වාහන, ජල පොම්පාගාර හා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ පහසුකම් ද වේ.

ගාසා ආක්‍රමනය ප්‍රකෝප කලේ ඊජිප්තු සටන් විරාමය හමාස් විසින් ප්‍රතික්ෂේප කිරීම මගින් බවට පල වන ප්‍රකාශ ද හෙලා දැකිය යුත්තේ ඊට අඩුවෙන් නොවේ. සියල්ලටත් වඩා බටහිර ඉවුරේදී හා වෙනත් තැන්වලදී අත්අඩංගුවට ගෙන ඊස්රායලය විසින් රඳවා ඇති අය හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා ආර්ථික තහංචි ඉවත් කිරීම යන පලස්තීනුවන්ගේ මූලික ඉල්ලීම් කිසිවක් එම ඊනියා සටන් විරාමයට ඇතුලත් නොවේ. එය ඉදිරිපත් කලේ, වියයුතු පරිදිම එය ප්‍රතික්ෂේප කෙරෙන තතු හමුවේ, එක්සත් ජනපදයට, යුරෝපීය බලවතුන්ට හා අරාබි රටවලට ඊස්රායල් ප්‍රහාර යුක්තිසහගත කිරීමේ සිය ප්‍රචාරනය ගෙනයාමට ඉඩ සැලසීමේ පරම අවශ්‍යතාව මුල්කරගෙන ය.

හමාස් සංවිධානයේ නිවාස ඇමති මව්ෆීඩ් අල් හසෙයිනා 17දා මෙසේ පැවසීය: "අපට සටන් විරාමයක් අවශ්‍ය නමුත් ඒ මොන වියදමක් හෝ දරා ලබාගන්නා එකක් නොවේ. දේශ සීමා විවෘත නොකරන, වැටුප් නොලැබෙන, රැකියා නැති සටන් විරාමය කුමක් ද?"

ගාසාවේ ගොඩබිම් හමුදා ආක්‍රමනයට පෙර, අඩුම ගනනේ පලස්තීනුවන් 243 දෙනෙක්වත් මරාදමා ඇති අතර 1800කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ව්‍යසනය දැන් තවත් නරක අතට හැරෙනු ඇත.

ඊස්රායල් ආරක්ෂක හමුදාවේ (ඊආහ) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් මොටි ඇල්මොස් ප්‍රකාශ කලේ, 17දා රාත්‍රී 10ට "දවැන්ත ගුවන් හමුදා, නාවික බලඇනි හා ඔත්තු සේවාවන්හි පිටුබලය සහිත විශාල ගොඩබිම් හමුදාවක්, ගාසාවේ ඇති බිම් ගෙවල්, ත්‍රස්තවාදීන් හා යටිතල ව්‍යුහය ඉලක්ක කරගෙන මෙහෙයුම් සිදුකරයි" යනුවෙනි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ඊස්රායල් ආන්ඩුව, තවත් 18,000ක ස්වෙච්ඡා හමුදාවක් බලමුලු ගැන්වීමට 17දා නියෝග කලේ ය. සිය ජනතාවගේ ආරක්ෂාව සලසන, සුලු වශයෙන් සන්නද්ධවූ පලස්තීන සටන්කරුවන් මුහුනදී සිටින්නේ, එක්සත් ජනපදය විසින් සපයා ඇති යුද ටැංකි, බැර කාලතුවක්කු, ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර්, සන්නද්ධ ඩ්‍රෝන් යානා හා නවීනතම හමුදා ඇඟලුම් වලින් සන්නද්ධ 60,000ක ඊස්රායල හමුදාවකට ය.

ට්විටර් වාර්තා හා වෙනත් තොරතුරු සම්පාදනය කර ඇති මාධ්‍යකරුවන්, බේට් ලාහියා හා අල් අටට්රා වැනි උතුරු ගසාවේ නගරවල ප්‍රචන්ඩ දර්ශන දැනටමත් සපයා ඇත. දේශසීමාවේ පලස්තීන කොටසට යුද ටැංකි හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කෙරේ. ගුවන් හා වෙරලාසන්න නාවික යාත්‍රා ප්‍රහාර ද ක්‍රියාත්මක ය. පිපිරුම්වල ආලෝකය හැරෙන්නට කලාපයම අන්ධකාරයේ ගිල්වමින් විදුලි බලය විසංධි කර ඇත.

"යම් වර්ගයක වායුවක සැර වැදීමෙන් රෝගී වූ බවට සැක කරන දුසිම් ගනනක් උතුරේ රෝහල්වලට" ඇතුල්කර තිබෙන බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේ ය. ගොඩබිම් ආක්‍රමනය සිදුවීමට පෙර පවා ඊආහ, 2008-09 වසරවල ගාසාහි සිදුකල හා 2004 ඉරාකයේ ෆලුජා නගරය යටත් කිරීමේදී ඇමරිකානු හමුදා භාවිතා කල ආකාරයේ නීති විරෝධී සුදු ෆොස්ෆරස් උන්ඩ එල්ලකර ඇති බවට සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති.

නෙතන්යාහුගේ නියෝජිතයන් පවසා ඇත්තේ, සිය අරමුන හමාස් ආන්ඩුව පෙරලා දැමීම නොවන බව යි. ආක්‍රමනයේ අරමුන, දැවැන්ත ජන ඝාතනයක් හා විනාශයක් සිදුකිරීමෙන් පසුව, ගාසාව දුම් දමන සුන්බුන් ගොඩක් බවට පත්කර ඉන් ඉවත්වීම ය. උතුරු තීරුවේදී ඊආහ, ඊස්රායල් දේශසීමාවට ආසන්න මුලුමහත් නගර හයකම ජනතාව සිය ගෙවල් දොරවල් අතහැර ගාසා නගරයේ සරනාගත රැකවරන ලැබිය යුතු බවට නියෝග කරමින් ගුව‍නේ සිට පත්‍රිකා හෙලා ඇත. මධ්‍යම කොටසේ නගර හතරක ජනතාව කාන් යූනිස් වෙත ද දකුනේ නගර දෙකක ජනතාව රෆා වෙත ද ගමන්කල යුතු බව නිවේදනය කර ඇත.

දස දහස් ගනන් ජනතාවකට ඉවත්විය නොහැකිව හෝ එම නියෝගයට අවනත නොවී හෝ ඊස්රායල් මිලිටරියේ අනුකම්පාව යටතට පත්ව සිටිති. ගාසාවේ සිට ඊස්රායලයට යන එන උමං විනාශ කිරීමේ හා හමාස් සටන්කරුවන්ට ඔවුන්ගේ මොට්ට රොකට් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව නතර කිරීමේ කඩතුරාව යටතේ, ඉලක්ක කල ජනාවාස මුලුමනින්ම බිමට සමතලා කිරීමට ඊආහට නියෝග දී ඇත් ද යන්න ඉදිරි දවස්වලදී දැකගත හැකිවනු ඇත.

නෙතන්යාහු තන්ත්රලයේ ක්‍රියා, සියොන්වාදයේ ආරක්ෂකයින්ගේ මුලු සදාචාර බිඳවැටීම ද මැද පෙරදිග නිකායවාදී යුදෙව් ධනපති රාජ්‍යයක් කපා වෙන්කර ගැනීමේ ඔවුන්ගේ ප්‍රතිගාමී ඉදිරිදර්ශනයේ ආන්තික ආවෘත අන්තය ද පිලිබඳව දෙස්දෙයි. ඊස්රායලය තුලම පවත්නා දැවැන්ත පන්ති හා සමාජ ආතතීන් පලස්තීන ජනතාවගේ දශක ගනනක් ඈතට දිව යන ප්‍රතිරෝධය තලාදැමීමේ සියොන්වාදීන්ගේ ව්‍යායාමය වෙත හැරවීමේ ක්‍රියාවලිය, ජනසංහාරක පරිමාවක් අත්කරගෙන තිබේ. එලඹෙන දින හා සති වලදී ගාසාවේ බොහෝ දෙනෙක් ඊස්රාලයේ මිසයිල් හා වෙඩි උන්ඩවලින් මියෑදෙනු ඇති අතර ලක්ෂ ගනනකගේ ජීවිත ජල, විදුලි බල සැපයුම් හා පිරිසිදු කිරීමේ පහසුකම් බිඳ වැටීමේ තර්ජනයට මුහුනදෙනු ඇත.

පලස්තීන ජනතාවට එරෙහි නෙතන්යාහු ආන්ඩුවේ යුද්ධය, එහි අපරාධයන්හි හවුල්කරුවන් රංචුවකගේ උදව්වෙන් තොරව කරගෙනයා නොහැකි ය. එජ අධිරාජ්‍යවාදය ඊස්රායලයට නිමක් නැතිව දේශපාලන හා මිලිටරි ආධාර සපයයි. යුරෝපීය බලවතුන් විය හැකි පරිදිම ප්‍රකාශයක් නිකුත් කරමින්, යුරෝපීය සංගමය, ගාසාවේ "අහිංසක ජීවිත විනාශ වීම ගැන සන්තාපයට" පත්වන බව පවසා, "සිය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ඊස්රායලයට අයිතියක් ඇති" බව කියා ඇත. ඊජිප්තුව, අනෙක් ධනපති අරාබි රටවල් හා පලස්තීන අධිකාරයේ සභාපති මොහමුඩ් අබ්බාස්, තමන් ඊස්රායලය සමග එකතුවී සකස් කල සටන් විරාමය ප්‍රතික්ෂේප කිරීම ගැන හමාස් සංවිධානයට දොස් පවරති. හමාස් සංවිධානයටම වුවත්, පලස්තීනුවන් අන්තයටම පාවා දුන් එම අරාබි ධනපති බලවේගයන්ට හා අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආයාචනා කිරීම හැරෙන්නට, ආක්‍රමනයට එරෙහි වෙනත් පිලිතුරක් ඇත්තේ නැත.

ගාසාවේ සිදුකරන ප්‍රචන්ඩත්වය, ඊස්රායලයේ ද මැද පෙරදිග හා ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින් තමන්ගේම ආන්ඩු හා පාලක පන්තීන් කෙරෙහි දක්වන නොසතුට හා විරුද්ධත්වය ගැඹුරු කරනු ඇත. ජූලි 12දා මෙම වෙබ් අඩවියේ පලවූ කතුවැකිය අවධාරනය කල පරිදි අනාගතය රඳා ඇත්තේ, ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයකදී අරාබි හා යුදෙව් කම්කරු පන්තියේ එක්සත්කම සඳහා වන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සටන්වදින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම මත ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනය

Share this article: