ඔබාමා හා සීඅයිඒ යන දෙකෙන් වොෂින්ටනය පාලනය කරන්නේ කවුරුන් විසින් ද?

Obama and the CIA—who runs Washington?

2014 ජූලි 11

අත්අඩංගුවට ගැනීම්, කඩා වැදී සෝදසි කිරීම්, නිවහන් පරීක්ෂා කිරීම් හා බර්ලිනය තුල සිදුවන පුළුල් ඔත්තු බැලීම් මාලාවක් පිලිබඳ සාකච්ඡා, එක් අතකින් කේජීබී (සෝවියට් ඔත්තු සේවාව) ද, අනෙක් පසින් එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය හා ජර්මානු ඔත්තු සේවා ද අතර සැඟවුනු සටන් බිමක් බවට එම නගරය පත්ව තිබූ කාලයක් ගැන කථා කරන ජෝන් ල කැරේගේ සීතල යුද්ධ නවකතා සිහියට නඟයි.

කෙසේ නමුත් අද, ජර්මානු පොලීසියේ හා ඔත්තුසේවා මෙහෙයුම්වල ඉලක්ක වී ඇත්තේ සෝවියට් ඔත්තුකරුවන් නො ව ඇමරිකානුවන්ය. රටේ ප්‍රධාන ඔත්තුසේවා ඒජන්සිය වන බීඑන්ඩී හි සේවකයෙකු සීඅයිඒ සංවිධානයට රහස් ලියිවිලි සිය ගනනක් රහසේ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙකු පරීක්ෂාවට ලක් කෙරේ. අනෙකුත් අත්අඩංගුවට ගැනීම් ලඟ දී සිදුවීමට ඉඩ ඇත.

සිද්ධියේ බැරෑරුම්කම අවධාරනය කෙරුනේ, 10දා චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් සීඅයිඒ බර්ලින් ස්ථානාධිපති නෙරපා හැරීම මෙන් ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පලමු වරට ජර්මනිය වොෂින්ටනය ගැන ඔත්තුබැලීම් නැවත ක්‍රියාත්මක කරනු ඇතැ යි ජර්මානු නිධාරීන් අදහස් දැක්වීමත් සමග ය. සිද්ධිය සලකුනු කරන්නේ නාසි තන්ත්‍රයේ වැටීමේ සිට ආසන්න වශයෙන් අවුරුදු 70ක එක්සත් ජනපද-ජර්මානු සම්බන්ධතාවන්ගේ බැරෑරුම් අර්බුදය යි.

එසේ වෙතත් අපට පවසන්නේ, ජනාධිපති බරක් ඔබාමා ජර්මනිය තුල එජ ඔත්තු බැලීම පිලිබඳව කිසිවක් නොදැන සිටින බව පමනක් නො ව, සිද්ධියෙන් දිනකට පසුව, ඔහු මර්කෙල් සමග දුරකතන සාකච්ඡාවත් පැවත් වූ අවස්ථාවේ දී පවා අත්අඩංගුවට ගැනීම ගැන කතා නොකල බව යි.

ඔබාමා හා සීඅයිඒ සංවිධානය ඔත්තු බැලීමේ කටයුත්ත පිලිබඳව නිශ්ශබ්දව සිටින අතර ඔහු ඒ ගැන නොදන්නා බවට කතාව සැබවින් ම කාන්දු කරන ලද්දේ ධවල මන්දිරය විසිනි. “සීඅයිඒ බිල්ලට දීම” ලෙස විස්තර කර ඇති කාරනය ගැන රිපබ්ලිකානුවන් හා ඔත්තුසේවා ප්‍රජාවේ සමහර කොටස්වලින් දේෂාරෝපන එල්ලවී ඇත.

ඔහු දන්නා දෙයක් නැතැ යි ඔබාමා කරන ප්‍රකාශයන්හි අරමුන පැහදිලි ය. ජර්මනිය තුල එජ නව ඔත්තු බැලීමේ සෝලිය, එජ ඔත්තු සේවා ඒජන්සිය ජර්මානුවන් මිලියන ගනනකගේ විද්‍යුත් සන්නිවේදනය නොනවත්වා අධීක්ෂනය කරමින් සිටින බව හෙලිදරව් කරමින් ජාතික ආරක්ෂක ඒජන්සියේ අකටයුතු හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන්, ලියවිලි මුදාහැරියාට වසරකට පසුව මෙම තත්වය එලිමහනට පැමිනියේය. එමෙන් ම හොර රහසේ ඇහුන්කන් දෙන බොහෝ ජංගම දුරකථන අතර මර්කෙල්ගේ ම දුරකථනය ද වු බව හෙලිකිරීමෙන් මාස නවයකට පසු ය.

එතැන් සිට එජ පාලනාධිකාරය, යුක්‍රේනය හා නැගෙනහිර යුරෝපයේ ඕනෑ ම තැනක වොෂින්ටනය සූදානම් කරන ආක්‍රමනය සමග ජර්මනිය සමීපව සම්බන්ධකර ගැනීමට උත්සාහ කරමින් හා ජර්මනියේ ඔත්තු සේවා ඒජන්සි සමග ගුප්ත සහයෝගිත්වයක් පවත්වා ගෙන යමින්, ජර්මනිය තුල මෙම හෙලිදරව්වීම් සම්බන්ධයෙන් හටගෙන ඇති මහජන කෝපය සමනය කිරීමට උත්සාහ ගෙන ඇත. නව හෙලිදරව් කිරීම් ජර්මනියේ මහජන ද්වේෂය යලි මතු වීමේ තර්ජනය පැනනඟින මොහොතේ, ජර්මන් අධිරාජ්‍යවාදයේ කේවල මූලෝපායාත්මක උත්සුකයන් ඉදිරියට ගෙනයාමට වඩාත් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක්, රටේ දේශපාලන සංස්ථාපිතයේ එන්ට එන්ටම වැඩි වන කන්ඩායම් විසින් ඉල්ලා සිටියි.

ඔබාමා මුහුන දෙන දුෂ්කර තත්වය, අවුරුද 54ට පෙර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති අරමුනු හරහා කැපී ගිය, ප්‍රැන්සිස් ගැරී පවර්ස් විසින් පදවන ලද ඉතා රහසිගත යූ-2 ඔත්තු යානය, සෝවියට් සංගමයට ඉහල අහසේ දී වෙඩි තබා බිම හෙලූ අවස්ථාවේ දී ජනාධිපති අයිසන් හවර් මුහුන දුන් සෝලියේ සමහර සාරභූත ලක්ෂනයන් සමග සමාන වේ.

1960 මැයි 01දා යූ-2 බිමදැමීම, නැගෙනහිර - බටහිර සමුළුව ආසන්න‍යේ දී සිදුවීමත් සමග අයිසන් හවර් පාලනාධිකාරය, ― නින්දා සහගත ප්‍රතිඵල සමග― ගුවන් යානය මාර්ගයෙන් ඉවතට ගිය කාලගුනික යානයක් යයි ප්‍රකාශ කරමින් සිද්ධිය වසන් කිරීමට මුලින් උත්සාහ කලේ ය. කෙසේ නමුත්, සෝවියට් සංගමය නියමුවා අල්ලා ගෙන තිබූ අතර ඇමරිකානු යුක්ති සහගත කිරීම ක්ෂනිකව එලිදරව් කිරීමට හැකිවිය. ඒ අතර ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග “සාමකාමී සහජීවනයේ” පදනම මත මොස්කව් නිලධරය, ඔත්තු යානය පිලිබඳ සියලු දේෂාරෝපන පැවරිය යුත්තේ, සීඅයිඒ සංවිධානය හා එහි දේශපාලනිකව බලගතු අධ්‍යක්ෂ ඇලන් ඩලස් වෙත බවටත්, අයිසන් හවර් තනිව ම වග කිව යුතු නැති බවටත් ආස්ථානයක් ගත්තේ ය.

සිද්ධිය පිලිබඳ ධවල මන්දිරයේ නිශ්ශබ්දතාව සෙනෙට් සභා රැස්වීමේ දී අයිසන් හවර් වෙත විවේචන එල්ල වීමට මග පෑදුවේ ය. එවකට ඩෙමොක්‍රටික් බහුතර ප්‍රධානී මයික් මැන්ස්ෆීල්ඩ් ප්‍රකාශ කලේ, යූ-2 ඔත්තු බැලීම පිලිබඳව අයිසන් හවර්ට දැනුමක් නො වීය යන වාර්තා “ෆෙඩරල් නිලධරය මත මෙම පාලනාධිකාරියට මොනයම්ම හෝ සැබෑ පාලනයක් ඇද්ද, නැද්ද” යන ප්‍රශ්නය මතු කරන බව යි. එක්සත් ජනපද මාධ්‍යය ද එම තේමාව ම හඬ නැඟීමට පටන් ගත් අතර ඔත්තු සේවා ඒජන්සිය මත පාලනය ගෙනයාමට අසමත්වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති විවේචනයට ලක් කලේය. යානය බිම හෙලා දින දහයක් ගතවූ තැන අයිසන්හවර්ට, ඔත්තු වැඩසටහන පිලිබඳ වගකීම බාරගනිමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට බල කෙරුනි.

මාස කිපයකට පසු අයිසන් හවර්ට, තමා විසින්ම හඳුන්වන ලද “ මිලිටරි -කාර්මික සංකීර්නයේ” වර්ධනය තුල අන්තර්ගත අන්තරායන් පිලිබඳව අනතුරු අඟවමින් ඔහුගේ සමුගැනීමේ කතාව කිරීමට සිදුවිය. එයින් මතු කල “අසාධාරන බලපෑම්, අවතැන් වූ පාලනයක විනාශකාරී නැගී ඒමක” අනතුර මතු කලේ යැයි ඔහු පැවසී ය.

ජර්මානු සිද්ධියට සම්බන්ධව අද කොන්ග්‍රසය හෝ සංගත මාධ්‍ය තුල කිසිවෙකු, අයිසන් හවර්ට සිතා ගැනීමටවත් නොහැකි තරම් දුරට වර්ධනය වී ඇති, මිලිටරිය සමග එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි මත ඔබාමා “මොනයම් හෝ සබෑ පාලනයක්” පවත්වාගෙන යන්නේ දැ යි ප්‍රශ්න කරන්නේ නැත. ලෝකය වටා අඛන්ඩ හා මිනීමරු ප්‍රචන්ඩත්ය, ප්‍රකෝපකිරීම් හා දැවන්ත ඔත්තුබැලීම් ගෙන යමින්, වොෂින්ටනය තුල සැබෑ බලය හසුරුවන රහස්‍ය මිලිටරි - ඔත්තු සේවා සංවිධානවල දැවැන්ත වර්ධනය තුල, අයිසන් හවර්ගේ අනතුරු ඇඟවීම් සම්පූර්නයෙන් සැබෑ වී ඇත.

එම කාරනය වෙනුවෙන්, සීඅයිඒ සංවිධානය, ජාතික ආරක්ෂක ඒජන්සිය හා පෙන්ටගනය මත සිය අධිකාරය තක්සේරු කිරීමේ අවශ්‍යතාව ද ඔබාමාට හැ‍ඟෙන්නේ නැත. ඒවායේ නාමික “අන දෙන නිලධාරියා”ලෙස සේවය කරනවා මිස ඒවායින් වෙනස් වූ උත්සුකතාවන් ඔහුට නැත. ඔහුගේ රාජකාරිය මිලිටරිය හා ඔත්තු සේවා ඒජන්සි පාලනය කිරීම නො ව, සමස්ත ඔත්තු බැලීම, ඩ්‍රෝන් ඝාතන, ― ධවල මන්දිරයේ “ත්‍රස්ත අඟහරුවාදා” දිනයේදී ඒවායේ ඉලක්ක තෝරා ගැනීමට ඔහු උදව් කරයි ― හා මිලිටරි සංහාර යන සියල්ල “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” අත්‍යාවශ්‍ය උපකරන බව හා එවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා පාලන ක්‍රමවේද සමග සුසංවාදී බව ඇමරිකානු හා ලෝක මහජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් මහජන සමබන්ධතා නිලධාරියෙකුගේ සේවය සැපයීම ය.

උපාධිය ලබා ගැනීමෙන් පසුව, සැඟවුනු සීඅයිඒ ඒජන්තයින්ට පෙරමුනක් ලෙස සේවය කරමින්, එක්සත් ජනපද සංගත සඳහා ඔත්තු ලිපි ගොනු සැපයූ බිස්නස් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් නම් ආයතනයේ “විශ්ලේෂකයෙකු” ලෙස ඔහුගේ පලමු රැකියාව ලබාගත් ඔබාමා මූර්තිමත් කරන්නේ, මෙම මිලිටරි ඔත්තු සේවා සංකීර්නය යි. මෙය අදත් ඔහුට ඉතාමත් සැපපහසු වාතාවරනයි: ලුහුඬු රහස් ඔත්තු හා රහස් තෝම්බු පුනරීක්ෂනය ඔහුගේ කාර්යය යි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ආන්තික අර්බුදය හා 20වැනි සියවසේ දී ඔවුන් දෙවරක්ද කල ආකාරයට නව ලෝක යුද්ධයක නැගී ඒමට තර්ජනය කරන වැඩිවෙන අධිරාජ්‍යවාදී ආතතීන් යන දෙක අවධාරනය කිරීම වෙනුවෙන් ජර්මන් ඔත්තු බැලීමේ සිද්ධිය ප්‍රයෝජනවත් වී ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: