මුස්ලිම් විරෝධී ප‍්‍රහාරවලට එරෙහි විරෝධතාවන්ට ශ‍්‍රී ලංකාවේ ජනාධිපති අනතුරු අඟවයි

Sri Lankan president warns against protests over anti-Muslim attacks

වසන්ත රූපසිංහ විසිනි, 2014 ජූනි 30

ශ‍්‍රී ලංකාවේ දකුනු පලාතේ අලුත්ගම හා බේරුවලදී බෞද්ධ අන්තවාදී දාමරිකයන් විසින් මුස්ලිම් ජනයාට එල්ලකල ප‍්‍රහාරවලට එරෙහිව නැගෙන පුලුල් විරෝධතාවන් හමුවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව, පුලුල් පරිමානයේ මිලිටරි කඩාපැනීමක් වුවද සිදු කරන බවට තර්ජනය කරමින්, විරෝධතාවන්හි යෙදෙන්නන් බිය වැද්දීමට යත්න දරමින් සිටී.

ප‍්‍රචන්ඩ ක‍්‍රියා මෙහෙයවූ බොදුබල සේනා සංවිධානය (බොබසේ) ඔසවා තැබීමට තමා විසින් දෙන ලද පිටුබලය වහංගු කිරීමටත් තමා විසින්ම අවුලුවන ලද වාර්ගික ප‍්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් මුස්ලිම් විරෝධතාකරුවන්ට වරද පැටවීමටත් ආන්ඩුව "ආගමික හා ජනවාර්ගික සමගිය" සඳහා ව්‍යාජ කැඳවුම් ද කරයි.

බොබසේ ජූනි 15දා අලුත්ගමදී පැවත්වූ රැස්වීමකින් උසිගැන්වූ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලින් අවම වසයෙන් තිදෙනෙකු මියගොස්, දුසිම් ගනනකට තුවාල සිදු කෙරුනු අතර මුස්ලිම් ජනයාට අයත් ගෙවල් හා කඩසාප්පු සිය ගනනක් මුලුමනින්ම නැතහොත් පාර්ශවීය වසයෙන් විනාශ කරන ලදි. මේ සිදුවීම් බොහෝමයක් ඇතිවූයේ ආන්ඩුව විසින් ප‍්‍රදේශයේ දිගේලි කර තිබූ මිලිටරි බලකායන් බලා සිටියදී ය.

ජූනි 18දා මුස්ලිම් ජනයා මෙම ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව රටපුරා විරෝධතා පැවත්වූහ. මෙම විරෝධතා පැවත්වූ ප‍්‍රදේශ අතරට, මඩකලපුව, ත‍්‍රිකුනාමලය හා අම්පාර වැනි නැගෙනහිර පලා‍තේ නගර ද, යාපනය, වව්නියාව, මුලතිවු හා මන්නාරම යන උතුරු පලාතේ නගර මෙන් ම ගාල්ල, මාතර, හා වැලිගම යන දකුනු පලාතේ නගර ද මධ්‍යම කඳුකරයේ මහනුවර, කටුගස්තොට, අකුරන, බදුල්ල, බන්ඩාරවෙල හා වැලිමඩ යන නගර ද අයත් විය.

බොබසේ භූමිකාව සහ එයට ආන්ඩුවේ ඇති සම්බන්ධය වසන් කිරීමේ සහ පැන නැගිය හැකි කවර හෝ විරුද්ධත්වයක් හෝ විවේචනයක් මැඩපැවත්වීමේ අරමුනින්, කොලඹ ජන මාධ්‍යයේ පිටුබලය සහිත මෙහෙයුමක් දියත් කරමින් රාජපක්ෂ ආන්ඩුව මෙම උද්ඝෝෂනවලට ප‍්‍රතිචාර දැක්වුවේ ය. ජූනි 15දා පටන් රාජපක්ෂ පැවත්වූ සෑම කතාවක්ම පාහේ මෙම අරමුනු අරභයා කෙරෙනු අදහස් දැක්වීම්වලින් සමන්විත විය.

ජූනි 22දා හම්බන්තොට වරායේ රැස්වූ පිරිසක් අමතමින් රාජපක්ෂ නරුම ලෙස මෙසේ ඇසුවේ ය:"කාත්තන්කුඩි පල්ලියට ගහලා මුස්ලිම් වැසියන් ඝාතනය කරනවිට කෝ හර්තාල් කවුද කලේ?" ඔහු මෙහිදී සඳහන් කලේ, 1990දී නැගෙනහිර පලාතේ මඩකලපුවේදී මුස්ලිම් බැතිමතුන් 100කට වැඩි ප‍්‍රමානයක් ඝාතනය කරමින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) දියත් කල සංහාරය යි.

රාජපක්ෂ මෙහිදී වක‍්‍රව කියා සිටියේ, 1990දී විරෝධතා සංවිධානය නොකල මුස්ලිම් නායකයින් දැන් සිංහල-බෞද්ධ සංවිධානවලට එරෙහිව දේශපාලන හේතු මත විරෝධතාවන් සංවිධානය කල බව යි. එම සඳහන වාර්ගික බෙදුම්කඩනයන් තවදුරටත් ඇවිලවීමට සිතාමතාම සිදුකල ප‍්‍රකාශයකි. උක්ත ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව රාජපක්ෂ එයට වහාම මෙසේ ද එකතු කලේ ය:"අද මේ පොඩි සිද්ධියකට හර්තාල් කරනවා. ජාතිවාදය අවුස්සනවා. ඒක [ජාතිවාදය ඇවිස්සවීම] දෙගොල්ලොම [සිංහල හා මුස්ලිම්] නතර කල යුතු යි."

ආන්ඩුව විසින් අනුග‍්‍රහය ලබාදුන් බොබසේ මැනවින් සැලසුම් කොට දියත් කල ප‍්‍රහාර රාජපක්ෂ විසින් ගසාබසා දැමීමට තැත් කලේ ඒවා "පොඩි සිද්ධියක්" ලෙස විස්තර කරමිනි. ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලදී බොබසේ ඉටුකල සාපරාධී භූමිකාව වසන් කරන අතරේ වර්ගවාදය ඇවිස්සවීම පිලිබඳව ඔහු චෝදනා කලේ මුස්ලිම් ජනතාවට ය. ඒ අතරම "පොඩි සිදුවීම්වලටත්" හර්තාල් පැනනැගෙමින් තිබීම පිලිබඳව රාජපක්ෂගේ අනතුරු ඇඟවීම එල්ල වූයේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා ගොවීන් විසින් සිදුකරන ඕනෑම විරෝධතාවකට එරෙහිව ය.

ජූනි 21 දා බදුල්ලේ පැවැති රැලියකට සහභාගි වෙමින් "රටේ වත්මන් තත්වය පිලබඳ විශේෂ ප‍්‍රකාශයක්" ලෙස මාධ්‍ය තුල හැඳින්වූ ප‍්‍රකාශයක් රාජපක්ෂ නිකුත් කලේ ය. "එල්ටීටීඊයේ වර්ගවාදය හා බෙදුම්වාදය පරාජය කිරීමෙන් පසුව ක‍්‍රමක‍්‍රමයෙන් ස්ථාවරවූ ශ‍්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව නැවත අනතුරකට ලක් කිරීමේ උත්සහායක් මතුව තිබෙන බව පැහැදිලි යැ" යි ඔහු කීවේ ය.

වාර්ගික ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලට එරෙහිව සුලුතර මුස්ලිම් ජනයා විසින් දියත් කරන විරෝධතාවන් හා ඔහුගේ ආන්ඩුවේ පිලිවෙත් කෙරෙහි වැඩකරන ජනයාගේ විරුද්ධත්වය "ශ‍්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව අනතුරේ දැමීමට සිදුකරන වෑයම්" වසයෙන් හංවඩු ගැසීමට රාජපක්ෂ වෑයම් කලේ ය. 2009 වසරේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව වසර පහකට වඩා ගතවී තිබියදීත් දිවයිනේ උතුරේ තථ්‍ය මිලිටරි වාඩිලාගැනීමක් යටතේ දෙමල ජනයා කොටුකර තබා ගනිමින් "සාමය හා සංහිදියාව" පිලිබඳ ඔහු කරන මෙම ප‍්‍රකාශ මුලුමනින්ම නරුම ය.

"ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක්" පිලිබඳ ඔහුගේ චෝදනා පුනරුච්ඡාරනය කරමින් රාජපක්ෂ මෙසේ කීවේ ය:"ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීමට මාන බැලූ ජාත්‍යන්තර බලවේග කිහිපයක්ද මෙකී තත්වය ව්‍යාකූල කිරීමේ උත්සහායක බලවත්ව යෙදී සිටින බව අප අමතක කල යුතු නැත". මෑත වසරවලදී ශිෂ්‍යයන්, කම්කරුවන්, ගොවියන් හා ධීවරයන් විසින් පැවත්වූ ඕනෑම විරෝධතාවක් "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක" කොටසක් බවට හංවඩු ගසා තිබෙන රාජපක්ෂ, මෙම "ඇතැම් ජාත්‍යන්තර බලවේග" කවරේදැයි කිසිදා නම් කර නොමැත.

රාජපක්ෂගේ සැබෑ උත්සුකතාව වන්නේ, ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අනකරනු ලැබ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමමින් සිටින කප්පාදු පිලිවෙත් කෙරෙහි කම්කරුවන් හා පීඩිතයන් අතරින් වැඩෙමින් පවත්නා වෛරය යි. එල්ටීටීඊයට එරෙහිව යුද්ධය අවසන් වීමේ සිට, කොලඹ පාලක ප‍්‍රභූව මුහුනදී ඇත්තේ, වාර්ගික, භාෂාත්මක හා ආගමික රේඛාවන් හරහා ඒකාබද්ධ වෙමින් ඔවුන්ගේ රැකියා, ජීවින කොන්දේසි වෙත ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධත්වය පලකිරීමට වැඩකරන ජනයා ආරම්භකත්වය ගෙන තිබෙන තත්වයකට ය.

මුස්ලිම් විරෝධී ප‍්‍රහාරවලට එරෙහිව ශ‍්‍රී ලංකාවේ උතුරේ මුස්ලිම් හා දෙමල ජනයා ඒකාබද්ධව විරෝධතාවල යෙදීමෙන් මෙම උත්සුකතාව ඉස්මතු කෙරුනි.

ඔහුගේ ප‍්‍රකාශයේදී රාජපක්ෂ නිවේදනය කලේ, "කිසිදු පාර්ශවයකට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන ලෙසත් රටේ සාමන්‍ය නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරල ලෙසත්" තමන් පොලිසියට හා ආරක්ෂක සේවාවන්ට නියෝග කල බව යි. "විශේෂයෙන්ම ජාතීන් අතර වෛරය, ආගම් අතර වෛරය පැතිරවීම සඳහා උත්සහා ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිය උපරිමයෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සෑම ආරක්ෂක නිලධාරියෙකුම කැප විය යුතු යැයි" ඔහු තවදුරටත් කීවේ ය.

ආන්ඩුවේ හා එහි ආරක්ෂ බලකායන් පිලිබඳ වාර්තා පෙන්වා දෙන පරිදි, මෙම නියෝග එල්ල කර ඇත්තේ මුස්ලිම් ජනයා සහ අනෙකුත් සුලු ජන වාර්ගික කොටස් විසින් පවත්වන ඕනෑම විරෝධතාවකට මිස බොබසේ හා අනෙකුත් බෞද්ධ අන්තවාදී සංවිධානවලට එරෙහිව නම් නොවේ. ජූනි 15දා අලුත්ගම රැස්වීමේදී ප‍්‍රකෝපකාරී මුස්ලිම් විරෝධී කතාවක් කල බෞද්ධ භික්ෂුවක වන බොබසේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාරට කොලඹ පුරා නිදහසේ කරක් ගැසීමටත්, පුවත්පත් සාකච්ඡා තබමින් හා ප‍්‍රසිද්ධ උත්සවවලට සහභාගී වීමට හැකියාව ලැබී තිබේ.

Share this article: