එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කිරීමට මන්ඩලයක් පත් කරයි

UN appoints panel for inquiry into Sri Lankan human rights violations

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2014ජූලි 5

2009 වසරේදී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව යුද්ධයේ අවසන් මාසවලදී ශ‍්‍රී ලංකාන්ඩුව හා එහි ආරක්ෂක බලකායන් විසින් සිදුකර ඇතයි කියන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා මන්ඩලයක් එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් පිලිබඳ (යූඑන්එච්ආර්සී) මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි විසින් පසුගිය සතියේදී පත් කලා ය.

සියවසකින් කාර්තුවකට වැඩි කාලයක් පැවතී ගෙන ගිය සිවිල් යුද්ධය අතරතුර දෙලක්ෂකය ආසන්න පිරිසක් මරුමුවට පත් වූ අතර එයින් බහුතරය ශ‍්‍රී ලංකා මිලිටරිය හා ආන්ඩු හිතැති ඝාතක කල්ලි විසින් මරාදමන ලද දෙමල ජාතිකයන් ය. තවත් නොයෙකුත් යුද අපරාධවලට ද වගකිවයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ සිදුකල මිලටරි ප‍්‍රහාරයේ අවසන් මාසවලදී 40,000ක සිවිල් ජනකායක් මරා දමා ඇති බව එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවක් ඇස්තමේන්තු කර ඇත.

ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා ඉල්ලුම් කරමින් මාර්තු මාසයේදී යූඑන්එච්ආර්සී සමුලුවක් මගින් එක්සත් ජනපදය පිටුබලය දුන් යෝජනාවක් සම්මත කරගැනීමෙන් පසුව යූඑන්එච්ආර්සී පරීක්ෂන මන්ඩලය පත් කර ගැනින. මෙම යෝජනාව ශ‍්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජනපද පිලිවෙතේ තවදුරටත් තියුනු හැරී ගැනීමක් සටහන් කලේ ය.

පසුගිය කාලය පුරා බලයට පත් කොලඹ ආන්ඩු විසින් එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය ජනවාර්ගික යුද්ධයේදී එක්සත් ජනපදය හා එහි සගයන් සියල්ලෝම යුද්ධයට සහය දුන්හ. ඔවුහු යුද්ධයේ අවසන් අදියරවලදී මිලිටරිය සිදුකල මානව හිමිකම් කඩකිරීම් පිලිබඳව විවේචනය කිරීම ආරම්භ කලේ, යුද්ධය දිනීම සඳහා රාජපක්ෂ ආන්ඩුවට ආයුධ හා අරමුදල්වලින් ආධාර කිරීම මගින් පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ සැලකිය යුතු අධිකාරියක් චීනය තහවුරු කරගෙන ඇතැයි පැහැදිලිවම දැකගත හැකිවූවිට පමනකි.

චීනයෙන් රාජපක්ෂ දුරස්ත කරවා ගැනීම සඳහා පීඩනය යෙදීමේදී යුද අපරාධ චෝදනා ඉස්මත්තට පමුනුවිය හැකි ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා කැඳවුම් කිරීම එක්සත් ජනපදය විසින් මේ වසර තෙක්ම නවතා දමා තිබිනි.

චීනය මිලිටරිමය වසයෙන් වැටලීමටත් රාජ්‍ය තාන්ත‍්‍රික වසයෙන් හුදකලා කිරීමටත් ඔබාමා පාලන තන්ත‍්‍රය එහි “ආසියාවට හැරීමේ පිලිවෙත” ආක‍්‍රමනකාරී ලෙස කි‍්‍රයාවට දමමින් සිටී. මුහුදුසීමා පිලිබඳ මතභේද මත චීනයට එරෙහිව ජපානය, පිලිපීනය හා වියට්නාමය ගෙනයන ක‍්‍රියාමාර්ග උත්සන්න කිරීමට වොෂිංටනය ප‍්‍රකෝපකාරී ලෙස පිටුබලය දෙමින් සිටී. පුලුල් පරිමානයේ යුද්ධයක් ඇවිලවිය හැකි මිලිටරි ගැටුම් සඳහා වූ අවදානම එමගින් ඇති කෙරෙයි. බීජිනය සමග ඇති එහි සමීප සබඳතා අවසන් කර රාජපක්ෂ ආන්ඩුව මෙම ඇමෙරිකානු ප‍්‍රහාරය සමග පෙල ගස්වා ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍යව ඇත.

ශ‍්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කල ත්‍රෛසාමාජික මඬුල්ලට පහත අය ඇතුලත් වේ: කොසෝවෝහි එක්සත් ජනපදය පිටුබලය දෙන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට මෙහෙයවුනු ක‍්‍රියාවලිය තුල සම්බන්ධ වූ කොසෝව සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හා හිටුප පින්ලන්ත ජනාධිපති මාර්ටි අහ්ටිසාරි: කෙහ්මර් රූර් යුද අපරාධ පිලිබඳ කාම්බෝඩියානු පරීක්ෂන මන්ඩලයේ සාමාජිකයෙකු හා හිටපු නවසීලන්ත ආන්ඩුකාර සිල්වියා කාට්රයිට්: සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු ද වන පාකිස්ථානයේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු සභාපති අස්මා ජහන්ගිර්.

පිල්ලේගේ කාර්යාලය නිවේදනය කලේ, මන්ඩලය “පරීක්ෂන කාලය අතරතුර උපදෙස් හා මගපෙන්වීම සම්පාදනය කරමින් මෙන්ම ස්වාධීන පැහැදිලි කිරීම් සිදුකරමින්, සහායක භූමිකාවක්” ඉටු කරනු ඇති බව යි. නේපාලය, හයිටි, සූඩාන් හා සෝමාලියාව තුල පූර්ව එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම්වලදී ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන සැන්ඩ‍්‍රා බීඩාස් විසින් 12 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂන කන්ඩායම සම්බන්ධීකරනය කෙරෙනු ඇත. 2015 අපේ‍්‍රල් මැද වනතෙක් මාස 10ක් පුරා විමර්ශනය සිදු කෙරෙයි.

මාර්තු මාසයේදී යූඑන්එච්ආර්සී යෝජනාවට ඒකාබද්ධව අනුග‍්‍රහය දැක්වූ එක්සත් ජනපදය හා එංගලන්තය විමර්ශන මන්ඩලයට සහය පල කලේ ය. යූඑන්එච්ආර්සී හා එහි විමර්ශනය සමග මුලුමනින්ම සහයෝගී වීමට සහ “ප‍්‍රජාතාන්ත‍්‍රික ආන්ඩුකරනය, මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, යුක්තිය හා වගවීමට සම්බන්ධ අතිමූලික උත්සුකතාවන් ඉෂ්ට කිරීමට අර්ථාන්විත සහ සංයුක්ත පියවර ගැනීමට” වොෂිංටනය ශ‍්‍රී ලංකාවෙන් “දැඩි ලෙස ඉල්ලා සිටි” බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා මාරි හාර්ෆ් කීවා ය.

මෙම ප‍්‍රකාශ සපුරාම වංචනික ය. උක්ත දෙරටම ශ‍්‍රී ලංකාවේ යුද්ධයට මුලුමනින්ම පිටුබලය දුන් අතර සියලුම දුෂ්ප‍්‍රයුක්තීන්ට හා යුද අපාරාධවලට වගකීම දරති. වොෂිංටනය හා ලන්ඩනය දශක ගනනාවක් පුරා විහිදුනු යුද අපරාධවල වාර්තාවන් සතුව සිටිති. මිලියන ගනනක ජනයාට මරනය අත් කර දෙමින් ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුල සිදු කරන ලද එක්සත් ජනපද‐නීත ආක‍්‍රමනයන් ඉන් කීපයක් පමනි. ලිබියාව හා සිරියාව තුල පාලන තන්ත‍්‍ර මාරුවලට පිටුබලය දුන් ඔබාමා පාලානාධිකාරය ඉස්ලාමික මූලධර්මවාදීන් සන්නද්ධ කිරීම හේතුවෙන් සාපරාධී කි‍්‍රයාවන් තවදුරටත් වර්ධනය විය.

රාජපක්ෂ ආන්ඩුව එක්සත් ජාතීන්ගේ යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් එහි සාමාජිකයන්ට ශ‍්‍රී ලංකාවට ඒමට වීසා නිකුත් කිරීම අත්හිටවූවේ ය. යුද අපරාධ පිලිබඳව මිලිටරයේ ඉහල ධුරාවලියේ පමනක් නොව රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සබඳතාව හෙලි කෙරෙන සාක්ෂි තිබියදීත් ඒ පිලිබඳව කවර හෝ වගකීමක් ගැනීමට ආන්ඩුව තවමත් එකහෙලා ප‍්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් කමිටුව විමර්ශනයේ වැඩ ආරම්භ කරමින් සිටී. “ආන්ඩුවේ සහයෝගි-නොවීම හේතුවෙන් ජාත්‍යන්තර විමර්ශන නතර නොකෙරෙනු ඇත,” ජහාන්ගර් බීබීසීයට සඳහන් කලා ය. ශ‍්‍රී ලංකා ආන්ඩුව “විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි දීමෙන් මහජනයා වැලැක්වීමට උත්සාහ කරන්නේ නම් එය තමන්ගේ තත්වය තවදුරටත් නරක අතට හරවා ගනු ඇතැ” යි ඇය අනතුරු ඇඟවුවා ය.

දකුනු ආසියාව සඳහා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මාර්තුවේදී සඳහන් කලේ, ශ‍්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන්නේ ද යන්න ගැන ඔබාමා පාලනාධිකාරිය තීන්දු කර නැති බව යි. රාජපක්ෂ වොෂිංටනය සමග පෙල ගැසෙන්නේ නම්, වොෂිංටනය එහි “මානව හිමිකම්” ඉල්ලීම් ක්ෂනිකව ඉවත දමනු ඇත. එසේ නොවන්නේ නම්, අනෙකුත් විසඳුම් අතරට පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් ද ඇතුලත් වෙනු ඇත.

කම්කරු පන්තියේ ජීවන කොන්දේසි මත ආන්ඩුවේ ප‍්‍රහාර හා යුද අපරාධවලින් අවධානය වෙනතක හැරවීමට බටහිර විරෝධී වාචාල දෙඩවීමටත් ජාතිකවාදී මනෝගතීන් ඇවිලවීමටත් රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ විමර්ශනය යොදා ගනිමින් තිබේ. කිසිදු සුවිශේෂි රටක් නම් කිරීමෙන් තොරව “ජාත්‍යන්තර ප‍්‍රජාව” තමන්ගේ ආන්ඩුව දන්ඩනයට පාත‍්‍ර කර ඇතැ යි රාජපක්ෂ කීවේ ය.

ඒ අතරම, එක්සත් ජනපදයේ පීඩනය පිලිබඳව තැති ගෙන සිටින රාජපක්ෂ, චීනයේ වෙලඳ ගමනාගමනය වැඩිමනක් සිදුකෙරෙන ඉන්දියානු සාගරය තුල ශ‍්‍රී ලංකාවේ මූලෝපායික ස්ථානගත වීම පිලිබඳ හොඳින් දැනුවත්ව සිටිමින්, වොෂිංටනය සමග යහපත් සබඳතා පවත්වා ගැනීමට වෑයම් කරයි. මෙම සතියේදී කලම්බුටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කලේ, ලංකාවේ අවශ්‍යතාවන් අභිවර්ධනය කිරීමට විදේශ අමාත්‍යාංශය තවත් එක්සත් ජනපද සංවාද ආයතන දෙකක් වන මැඩිසන් ගෲප් හා බෙල්ට්වේ කුලියට ගත් බව යි. තවත් එවැනි සමාගම් දෙකක් එක්සත් ජනපද අගනුවර දැනටමත් වැඩ කරමින් සිටී.

එයින් එක් සමාගමක් වන තෝමස් ඇඞ්වයිසරි ගෲප් ජනවාරි මාසයේදී ශ‍්‍රී ලංකාව ගැන සාකච්ඡාවකට ආරාධනයක් යවමින් සඳහන් කලේ, රට ”ඉන්දියානු සාගරයේදී ප‍්‍රධාන මුහුදු වෙලඳ මාර්ගවල කේන්ද්‍රස්ථානය” පිහිටා තිබෙන බවත් චීනය දැනටමත් “ශ‍්‍රී ලංකාව විනිවිදිමින් සිටින” බවත් ය. “එක්සත් ජනපදය සමග සබඳතා මෙයටත් වඩා ශක්තිමක් කර ගැනීම” සහතික කරගැනීමට ශ‍්‍රී ලංකා ආන්ඩුවට අවශ්‍යව ඇතයි තෝමස් ඇඞ්වයිසරි ගෲප් පැහැදිලි කලේ ය.

දෙමල ප‍්‍රභූවේ පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), එජා විමර්ශනය ප‍්‍රතික්ෂේප කරමින් ආන්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවට විරුද්ධව ඡන්ද ප‍්‍රකාශ කලේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය (එජාප) ජනතා විමුක්ති පෙරමුන හා පාලන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලමුකො) පාර්ශවකරුවෙක් නව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ඡන්ද දීමෙන් වැලකී සිටියේ ය.

ටීඑන්ඒ, රාජපක්ෂ ආන්ඩුව සමග “බලය බෙදාගැනීමේ” ගනුදෙනුවකට යාම සඳහා එක්සත් ජනපදයේ සහය බලාපොරොත්තු වෙයි. එය සැලකිලිමත් වන්නේ තමන්ගේ ධනපති අවශ්‍යතා ගැන මිසක් දෙමල ජනයාගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් ගැන නොවේ. ශ‍්‍රීලමුකො ද මෙයට වෙනස් නැත. ආන්ඩුව පිටුබලය දෙන බෞද්ධ අන්තවාදී කල්ලි මෑතදී මුස්ලිම්වරුන් වෙත දියත් කල ප‍්‍රචන්ඩ ක‍්‍රියා රාජපක්ෂ හා ශ‍්‍රීලමුකො අතර ආතතීන් අවුලුවමින් එය ඡන්දය දීමෙන් වැලකී සිටීමේ තැනට තල්ලු කලේ ය.

එජාප හා ජවිපෙ සැලකූ කල, එජාපය දෙමල විරෝධී යුද්ධය ඇරඹු අතර පක්ෂ දෙකම 1983 අරඹා දශක තුනක් තිස්සේ ඇදී ගිය මිලිටරි මෙහෙයුමට සහය දී තිබේ. මහධනපති පන්තියේ සාම්ප‍්‍රදායික පක්ෂය වන එජාපය එක්සත් ජනපද පිලිවෙත්වලට එහි පිටුබලය පිලිබඳ ඉඟි කරමින් ජාත්‍යන්තර විමර්ශනයකට එය අවසර දෙනු ඇතැයි පැවසූ අතර “ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනයේ පද්ධතීන් හා ආයතන පුනස්ථාපනය කිරීමට” ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ ස්වාධීන පරීක්ෂනයක් ඉල්ලා ජවිපෙ පාර්ලිමේන්තු සංශෝධනයන් ඉදිරිපත් කලත් පාලක සන්ධානය එය ප‍්‍රතික්ෂේප කලේ ය. ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් පිලිබඳ ආරක්ෂකයෙක් ලෙස ජවිපෙ රඟදැක්වීම ආන්ඩුව කෙරේ වැඩෙන මහජන විරුද්ධත්වය ගසාකෑම සඳහා උපාමාරු දැමීමකි.

සිංහල, දෙමල හා මුස්ලිම් යන සෑම ජාතියකම වැඩකරන ජනයා වොෂිංටනයේ හා කොලඹ යුද අපරාධකරුවන්ට එරෙහිව තමන්ගේ ස්වාධීන පන්ති ආස්ථානය ගත යුතු ය. ඔවුන් රාජපක්ෂ ආන්ඩුවට හෝ ධනපති පන්තියේ කවර කන්ඩායමකට හෝ සහාය නොදෙන අතර, මානව හිමිකම් ප‍්‍රශ්න ගසා කෑමට වොෂිංටනය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ට ද සහාය නොදිය යුතු ය.

යුද අපරාධවලට වගකිවය යුත්තන් ඒ සඳහා වගවන්නන් කල හැකි වන්නේත්, ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් ආරක්ෂා කරගත හැකි වන්නේත් ධනපති පන්තියට හා අධිරාජ්‍යවාදයට එරෙහිව අරගලයේදී පමනි. මෙයින් අදහස් වන්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරවත් සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් -ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක්- සඳහා සටන් වැදීම යි.

Share this article: