ශ‍්‍රී ලංකා ආන්ඩුව මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරවලට සුදුහුනු ගෑමට වෑයම් කරයි

Sri Lankan government tries to whitewash anti-Muslim attacks

වසන්ත රූපසිංහ විසිනි, 2014 ජූනි 19

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව එකදිගට මුදාහැර ඇති ප‍්‍රචන්ඩත්වය මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සිංහල-බෞද්ධ අන්තවාදී කල්ලියක් වන බොදුබල සේනා සංවිධානය (බොබසේ) විසින් අවුලුවන ලද ප‍්‍රහාරවලට තමන් දරන දේශපාලන වගකීම වසන් කිරීමේ වෑයමක නිරත වෙමින් සිටී.

කොලඹින් කිලෝමීටර් 60ක් පමන දුරින් පිහිටි අලුත්ගමදී පසුගිය 15දා මුස්ලිම් ජනවර්ගයා වෙත තර්ජනය කරමින් පවත්වන ලද රැස්වීමකින් අනතුරුව ප‍්‍රචන්ඩ ක‍්‍රියා ආරම්භ කෙරුනි. ( කියවන්න: “ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ කල්ලි මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය යොදා ගනිති”)

බෞද්ධ භික්ෂුවක් වන බොබසේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර එහිදී තර්ජනය කලේ, ඕනෑම මුස්ලිම් ජාතිකයෙකු හෝ විදේශිකයෙකු සිංහල මිනිසෙකුට අතතැබුවොත් "එය ඔවුන්ගේ අවසානය වෙනු ඇත" යනුවෙනි. මේ අයුරින් මෙම ෆැසිස්ට් කල්ලිය දහසක පමන මැර පිරිසක් ප‍්‍රචන්ඩ ක‍්‍රියා සඳහා මෙහෙයවූ අතර ඒ හේතුවෙන් තිදෙනෙකු මරනයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. ගෙවල් හා කඩසාප්පු ගනනාවක් ගිනිබත් කෙරින. එදිනම යාබද බේරුවල නගරයට ද ප‍්‍රහාර ව්‍යාප්ත කෙරුනි.

ප‍්‍රදේශයට සන්නද්ධ මිලිටරි ඒකක හා කුප‍්‍රකට විශේෂ පොලිස් කාර්ය බලකාය යැවීමටත් අවසානය නිශ්චය නොකෙරුනු ඇඳිරි නීතියක් පැනවීමටත් ආන්ඩුව ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් අවස්ථාවක් කරගත්තේ ය. දාමරිකයෝ මෙම ඇඳිරි නීතියේ කවරය යටතේ 16දා රාත‍්‍රියේදී පොලිසිය හා මිලිටරිය බලාගෙන සිටියදීම අලූත්ගමින් කිලෝමීටර් කීපයක් දුරින් පිහිටි මතුගම හා වැලිපැන්න නගර දෙවනත් කලහ. වැලිපැන්න නගරයේදී, ගිනි අවි, පෙට‍්‍රල් බෝම්බ හා මන්නාවලින් සන්නද්ධ වූ 50ක 60ක පමන මැර කල්ලියක් එදින රාත‍්‍රියේදී නිවාස 9 ක් කඩසාප්පු 26 ක් විනාශ කලහ.

දාමරිකයෝ මුස්ලිම් ජාතිකයෙකුට අයත් සත්ව ගොවිපලකට පහරදුන් අතර එහි මුරකරු ලෙස සේවය කල 58 හැවිරිදි දමිල ජාතිකයෙකු පහරදී ඝාතනය කලහ. ඔහු සමග සේවය කල අනෙක් සේවකයා දැඩි තුවාල ලබා රෝහල් ගත කරන ලදි. කඳුකරයේ පිහිටි බදුල්ලේදී, බොබසේ විසින් සංවිධානය කරන ලද 200ක පමන මැර කල්ලියක් මුස්ලිම් කඩසාප්පුවලට පහර දී අනෙක් ඒවාද වසා දමන ලෙස තර්ජනය කලහ. ආන්ඩුව අලුත්ගම ඇඳිරි නීතිය 17 දා උදෑසන 8 සිට මධ්‍යහ්න 12 දක්වා පාර්ශ්වීය වසයෙන් ඉවත් කලේ ය.

ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලට බියෙන් කොලඹ පවා බොහෝ මුස්ලිම් සිසුහු පාසල් නොපැමිනියහ.

පහරදීමට ලක්වූ පෙදෙස් අලලා මිලිටරි-පොලිස් පාලනයක් ස්ථාපිත කෙරින. අලුත්ගම, වැලිපැන්න, දර්ගා නගරය, බේරුවල හා මග්ගොන යන නගරවලට යුද හමුදාව දිගේලි කල බව මිලිටරි ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ප‍්‍රකාශ කලේ ය. අනෙකුත් ප‍්‍රදේශවලට එස්ටීඑෆ් භටයින් යෙදවින.

ප‍්‍රහාර කෙරෙහි වැඩෙන මහජන වෛරය මධ්‍යයේ, ආන්ඩුව ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව ක‍්‍රියා කරන වගක් මවාපාන සන්දර්ශනයක් ආරම්භ කලේ ය. පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහන 17 දා මාධ්‍යයට කීවේ, කැරලිවලට සම්බන්ධ සැකකරුවන් 41ක් -ඔවුන්ගෙන් වැඩිමනක් සිංහල ජාතිකයන් ය- අත්අඩංගුවට ගෙන තිබෙන බව යි. මෙම සැකකරුවන්ගෙන් 20ක් උසාවියට ඉදිරිපත් කර ජූනි 29 දා දක්වා බන්ධනාගාර ගත කර තිබේ. බොබසේ මාවනැල්ල නගරයේදී පැවත්වීමට සූදානම්වූ රැලියක් වැලැක්වීමට පොලිසිය මහේස්ත‍්‍රාත් උසාවියෙන් තහනම් නියෝගයක් ලබා ගත්තේ ය.

මැරයින්ට සිත්සේ කටයුතු කිරීමට ඉඩ ලබාදීමෙන් අනතුරුව, අලුත්ගම ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිලිබඳ පොලිස් පරීක්ෂනයක් කිරීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් නිවේදනය කලේ ය. මෙය සුදුහුනු ගෑමක් වනු ඇත. සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂන යොදා ගන්නේ, විවේචන යටපත්කර ගැනීම සඳහා ය. ප‍්‍රහාර උසිගැන්වූ බොබසේ පිලිබඳ වචනයක් හෝ ඉලංගකෝන් සඳහන් කලේ නැත.

මුස්ලිම්වරුන්ට තර්ජනය කරමින් සිංහල මැරයින් මෙහෙයවූ ඥානසාර කොලඹ පුරා එලිපිට කරක් ගසමින් සිටී. 17දා පුවත්පත් සාකච්ඡාවක් පවා පැවැත්වූ ඔහු ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට තම සංවිධානය සම්බන්ධ නැතැයි කීවේ ය.

බොබසේ අපරාධකරුවන් කොක්කෙන් ගලවා යවන ආන්ඩුව, මාධ්‍ය වෙත අනතුරු ඇඟවූයේ වාර්ගික ඝාතනයන්ගේ වගකීම් ඒවාට පටවමිනි. "සියලුම මාධ්‍ය සංවිධාන, රට තුල ආගමික සහජීවනයට හානිවිය හැකි සිද්ධි වාර්තාකරනයේදී වගකීමෙන් යුතුව ක‍්‍රියාකරන්නැයි" නියෝග කරමින් ආන්ඩුව නිල නිවේදනයක් නිකුත් කලේ ය. "ඊයේ දින අලුත්ගම සිදුවීම සම්බන්ධයෙන් පැතිරෙන කටකතා හා නිකුත් කෙරෙන ප‍්‍රකාශ හා නිවේදන මාධ්‍ය සංස්කෘතියටත් සාරධර්මවලටත් පටහැනි ය" එය තවදුරටත් සඳහන් කලේ ය.

ප‍්‍රහාර උසිගැන්වුයේ මාධ්‍ය කටකතාවත් සාවද්‍ය වාර්තාවන්වත් නො වේ. ඇත්තවසයෙන් ම කියතොත්, මූලික වසයෙන් ආන්ඩුවේ හා පොලිස් ප‍්‍රකාශ වාර්තා කරමින් සියලුම මුද්‍රිත හා ඉලොක්ට්‍රොනික මාධ්‍ය පාහේ ස්වයං-වාරනයක් පනවාගෙන ක‍්‍රියාකර තිබේ. මාධ්‍යය ආන්ඩුව සමග එක්ව මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රහාරවලට බෞද්ධ අන්තවාදීන්ගේ වගකීම ආවරනය කරමින් ඒවා "අන්තර්-ආගමික" ගැටුම් වසයෙන් නම් කරයි.

ආන්ඩුව සමාජ වෙබ් අඩවිවලටද චෝදනා කලේ, "අලුත්ගම සිද්ධියේදී පෙන්නුම් කල පරිදි, සුලු සිදුවීම් තාක්ෂනය යොදාගෙන ප‍්‍රමුඛ සිද්ධීන් ලෙස මවා පෙන්වීමට හැකිව තිබේ" යැයි කියමිනි. බෞද්ධ අන්තවාදීන් විසින් ප‍්‍රහාර ඇවිලවීමට සමාජ වෙබ් අඩවි යොදාගෙන තිබෙන බව පැහැදිලි නමුත්, ආන්ඩුවේ මෙම විවේචන මගින් පෙන්නුම් කෙරෙන්නේ, සමාජ මාධ්‍යවලට සීමාපැනවීම් බලාත්මක කිරීමට කලක සිට ඇති සූදානම යි.

ආන්ඩුවේ මෙම සැලස්ම ආන්ඩුව විසින් පාලනය කරන ෙඩ්ලි නිව්ස් කතුවැකියක් තුලින් ප‍්‍රතිරාව නැංවී ය:"සමාජ වෙබ් අඩවිවල සංවාද මන්ඩප තුල, (අලුත්ගම) සිදුවීම් පිලිබඳ ආරංචි පැතිරවීමට පවතින උමතුව මගින් පෙන්නුම් කරන්නේ, තමන්ගේ පටු දේශපාලනික අරමුනු සඳහා යම් සිදුවීමක් ගසාකෑමට අවශ්‍යවූවන්ට එවැන්නක් කිරීම සඳහා විශේෂ ආරාධනයක් අනවශ්‍ය බව යි”.

මෙම ප‍්‍රධාන ගනයේ වාර්ගික ප‍්‍රහාරයට අනෙකුත් පක්ෂ දක්වන ප‍්‍රතිචාර ඒවායේ කුහකත්වය පිලිබඳ දෙස් දෙයි. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය සඳහන් කලේ, ආන්ඩුව බොබසේ වෙත සහනශීලී වෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට වාර්ගික ආතතීන් උසිගන්වන බව යි. කෙසේනමුත්, එය බලයේ සිටියදී කම්කරු පන්තිය බෙදීමට වාර්ගික ප‍්‍රකෝපකරනයන් ඇවිස්සීමේ මෙවැනිම වාර්තාවක් යූඇන්පියට ඇත.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ වාර්ගික යුද්ධයට පිටුබලය ලබාදුන් ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) ප‍්‍රචන්ඩ ක‍්‍රියා හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කලත් බොබසේ නමවත් එහි සඳහන් නොකෙරිනි. "ජනවර්ග දෙකටම ඉවසීමෙන් කටයුතු කරමින් නීතිය හා සාමය ආරක්ෂා කරන්නැයි" එය මහජනතාවට ආයාචනා කලේ ය. බෞද්ධ අන්තාවදීන්ට කෙරෙන මෙම සුදුහුනු ගෑම, ජේවීපියේ වාර්ගික වැඩපිලිවෙලත් එවැනි අන්තවාදීන් කෙරෙහි එහි සහයෝගීවීමත් සමග එකපෙලට පිහිටා සිටී.

පාලක සන්ධානයේ කොටස්කරුවෙක් ද වන ප‍්‍රධාන මුස්ලිම් ධනපති පක්ෂය ද වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් 16 දා ඒඑෆ්පී පුවත්සේවයට කීවේ, ප‍්‍රහාර සඳහා "ආන්ඩුව වගකිවයුතු" බව යි. එහෙත් ඊට පසු දින, පොලිසිය සිදුවීම්වලට වගකිවයුතුයැයි කියමින් ඔහු පසුබෑවේ ය. ආන්ඩුවෙන් ඉවත්වෙන ලෙස ඔහුගේ පක්ෂයට පීඩනය වැඩෙමින් තිබේ. එක්සත් ජනපද යුද අපරාධ විමර්ශන කන්ඩායමට රටට ඇතුලුවීම වලක්වමින් ආන්ඩුව ඉදිරිපත් කල යෝජනාවක් පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ගත් 17දා එය ඡන්දය දීමෙන් වැලකී සිටියේ ය.

ප‍්‍රකෝපකරනයන් දියත්කිරීමට හේතුවූ රැස්වීම පැවත්වීමට බොබසේ වෙත ආන්ඩුව කිසිදු පැකිලීමකින් තොරව අවසර ලබා දී තිබීම හේතුවෙන් රාජපක්ෂ වරද නිවරැදි කිරීමේ තැතක නිරතව සිටී. මුස්ලිම්වරුන් වෙත එල්ලවූ ප‍්‍රචන්ඩ ප‍්‍රහාරය හෙලාදැකි එක්සත් ජනපදය, යුරෝපියානු සංගමය හා කැනඩාව, එල්ටීටීඊයට එරෙහි 2009 වසරේ අවසන් මාසවලදී මිලිටරි මෙහෙයුම්වලදී ආන්ඩුව සිදුකල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා ද පීඩනය යොදමින් සිටී. මානව හිමිකම් පිලිබඳව මොනම කැක්කුමත් මෙම බටහිර රටවලට නැති නමුත්, විශේෂයෙන්ම එක්සත් ජනපදය පරීක්ෂනයක් පිලිබඳ තර්ජනයක් යොදා ගනිමින් කොලඹ ආන්ඩුවට පීඩනය යොදමින් සිටින්නේ එය චීනයෙන් ඈත්කරවා ගෙන බීජීනයට එරෙහි වොෂිංටනයේ මිලටරිමය සූදානම්වීම සමග පෙලගස්වා ගැනීමට ය.

කෝපයට පත් මුස්ලිම් ජනයා අස්වැසීමට 17දා රාජපක්ෂ බේරුවලට ගියේ ය. කෙසේනමුත්, බොබසේ ආරක්ෂා කිරීමට ආන්ඩුව දරන වෑයම සුවිශේෂී ය. එය, අනෙකුත් ෆැසිස්ට් පන්නයේ සංවිධාන වන රාවනා බලය හා සිහල රාවයට අනුබල දෙමින් සිටී. බෞද්ධ භික්ෂූන්ගේ පක්ෂයක් වන ජාතික හෙල උරුමය පාලක සන්ධානයේ කොටස්කරුවෙකි.

ආන්ඩුවේ කප්පාදු හා මහා ව්‍යාපාරික හිතැති වැඩසටහන්වලට වැඩකරන ජනයා අතර වැඩෙන අතෘප්තිය හමුවේ, රාජපක්ෂ වඩවඩාත් මෙම වර්ගභේදවාදී සංවිධාන මත යැපෙන අතර මේවා කම්කරු පන්තියට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මුදා හැරීමට පසුබට නොවනු ඇත.

Share this article: