කොම්පැනියේ මර්දනය ඉදිරියේ ජවිපෙ වෘත්තීය සමිතිය හොල්සිම් අරගලය විසුරුවා හරියි

කපිල ප්‍රනාන්දු සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 ජුනි 5

අනෙකුත් අංශවල මෙන්ම හොල්සිම් සිමෙන්ති කම්කරුවන්ටද අයිතීන් සඳහා අරගලයට නව ක්‍රියාමාර්ගයක් හා සංවිධානයක් අවශ්‍යය.

රැකියා ස්ථිර කර ගැනීම සහ යහපත් සේවා කොන්දේසි ඉල්ලා කම්හල් පරිශ්‍රය වාඩිලාගෙන සති දෙකක් අධිෂ්ඨානශීලී අරගලයක යෙදී සිටි හොල්සිම් කම්කරුවන්ගේ අරගලය කොම්පැනි හිමියන් හා ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන් මෙහෙයවූ මැර ප්‍රහාර ඉදිරියේ විසිරුවා දැමීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේසං) අඟහරුවාදා පියවර ගත්තේය. වර්ජනයේ යෙදී සිටි සමාගමේ කොන්ත්‍රාත් කම්කරුවන්ට ආපසු වැඩට යාමට සිදු වුයේ කිසිදු ඉල්ලීමක් ජයග්‍රහනය කිරීමෙන් තොරව ය. පුත්තලම සහ ගාල්ල කම්හල්වල කොන්ත්‍රාත් කම්කරුවෝ 500 පමන අරගලයට සම්බන්ධ වී සිටියහ.

කම්හල් පරිශ්‍රය වාඩිලාගෙන සිටි පුත්තලම කම්හලේ කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ජුනි 1 දා රාත්‍රියෙහි එල්ල කල මෘග මැර ප්‍රහාරයකින් වයස අවුරුදු 3 ක කුඩා ගැහුනු දරුවෙකු ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා තිබේ. ගැහුනු දරුවා සහ බරපතල කැපුම් තුවාල සහිත 4 දෙනෙකු පුත්තලම් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. ගැහුනු දරුවා තුවාල ලබා ඇත්තේ ඇය නිදා සිටි පැදුර පිටින් ම ඔසවා මැරයන් විසින් පාරට විසි කිරීම නිසාය. කම්කරුවන් ලැගුම් ගෙන සිටි අට්ටාලය ද කඩා විසිකර ඇත.

ප්‍රහාරයට ලක් වු කම්කරුවෙක්

ප්‍රහාරයට ලක් වු කම්කරුවෙක් සිද්ධිය මෙසේ විස්තර කලේ ය: “ඒ වෙලාවේ රෑ 9.30ට විතර ඇති. රෑ නිසා අපේ කට්ටිය වැඩිය හිටියේ නෑ. කොහොම හරි මැරයෝ කඩු කිනිසි පොලු අරගෙන ආවේ. මට ගහනකොට මම අත දැම්මා මම හිතුවේ පොල්ලකින් මේ ගහන්නේ කියලා අත කැපුනහමයි දනුනේ ඒක කඩු ප්‍රහාරයක් කියලා. මට එලවා එලවා ගැහුවා. මට ගහනකොට පාරේ අයිනේ පොලිස් ජීප් එකක් බලාගෙන ගියා මිසක් මාව බේරා ගන්න කිසි දෙයක් කලේ නැහැ”

මැරයන් කලින් සිටම තර්ජනය කරමින් සිටි බව ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගැහුනු දරුවාගේ මව පැවසීය. “මගේ මහත්තයා අවුරුදු අටක් තාවකාලික කම්කරුවෙක් විදිහට වැඩ කෙරුවා. කලින් ඉඳලම මැරයෝ තර්ජන කරපු නිසා තමයි ගැහැනු හා ලමයි වර්ජනයට එකතු වුනේ. මගේ කට වැඩියි කියලා ලමයි නිදා සිටි පැදුර පිටින් උස්සලා අඩි හතරක් විතර දුරට මහ පාරට විසි කෙරුවා. දුවගේ හිස පාරේ වැදිලා ගෙඩි ගැහිලා තියෙන්නේ. වමනය කරපු නිසා රෝහලට ආවේ. මම බයේ ඉන්නේ මගේ මහත්තයටත් මොකක් හරි අනතුරක් කරයි කියලා.”

ප්‍රහාරයට ගුන්ඩන් 50 ක් පමන පැමින තිබේ. හොල්සිම් සමාගමේ කම්හල් කලමනාකරු ජයන්ත රත්නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රතික සංජීව විසින් මැර කංඩායම මෙහෙය වූ බව කම්කරුවෝ කීහ. සංජීව නැමැත්තා කම්හලට කම්කරුවන් සපයන එක් කොන්ත්‍රාත් කරුවෙකි. මැරයන්ට රිසිසේ කම්කරුවන්ට පහර දීමට ඉඩහැර කම්හල් පරිශ්‍රයේ සහ අවට සිටි පොලිස් නිලධාරීන් නිහඬව සිටි බවට කම්කරුවෝ චෝදනා කරති. ප්‍රහාරයට පෙර දහවල් කාලයේ සංජීව ඇතුලු සන්නද්ධ මැරයන් ප්‍රදේශයේ සැරි සැරිසැරූ බව ද කම්කරුවෝ කීහ.

ඒ සම්බන්ධයෙන් කම්කරුවන් පුත්තලම පොලිසියට කල පැමිනිල්ල භාර ගෙන නැති අතර පොලිස්පතිට පැමිනිලි කිරීමෙන් පසුව ද ප්‍රහාරය වැලක්වීම සඳහා කිසිදු පූර්ව පියවරක් ගෙන නැත. පහරදුන් මැරයන් තවමත් නිදැල්ලේ හැසිරෙයි. එහෙත් කිසිදු හේතුවක් නැතිව තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කම්කරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. ඔවුන්ට විරුද්ධව දැනට චෝදනා ඉදිරිපත් කර නැති අතර නඩුව මෙම මස 11 යලි කැඳවීමට නියමිතය.

මෙම මෘග ප්‍රහාරය ආන්ඩුවේ, පොලිසියේ සහ කම්හල් පාලනාධිකාරයේ අනුදැනුම ඇතිව කම්කරුවන්ගේ අරගලය බිඳීම සඳහා ඉතා දැනුවත් ව සංවිධානය කෙරුනක් බව පැහැදිලිය. වර්ජනය බිඳීම සඳහා සමාගම් පාලකයන්ගේ, කොන්ත්‍රාත්කරුවන්ගේ සහ ආන්ඩුවේ අත ශක්තිමත් වූයේ, ඔවුන් සංවිධානය වී සිටින ජවිපෙ ට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය විසින් හොල්සිම් කම්කරුවන්ගේ අරගලය හුදකලා කිරීමත් පාලකයන්ට හුදු බලපෑම් දැමීමකින් අයිතීන් දීමට නම්මා ගත හැකිය යන මිථ්‍යාවේ ඔවුන් ගිල්වා සිටි නිසාය.

වර්ජනය ආරම්භ කෙරුනේ මැයි 19 දාය. පුත්තලමේ ප්‍රහාරයට පෙර ගාල්ලේ වර්ජකයන්ට සන්නද්ධ මැර ප්‍රහාරයක් එල්ල කෙරුනි. ඉන් එක් කම්කරුවෙකු තුවාල ලැබුවේය. හොරිකඩයන් සේවයේ යෙදෙව්වේ ය. පොලිසිය වර්ජකයන් කම්හල් පරිශ්‍රයෙන් ඉවත් කිරීම සඳහා අධිකරන නියෝගයක් ලබා ගැනීමේ තැතක යෙදී සිටියහ. පුත්තලම කම්හලෙන් පිටතට සිමෙන්ති ගෙනයාම වැලැක්වීම සඳහා වර්ජකයන් එහි ප්‍රධාන ගේට්ටුව අවහිර කරගෙන සිටි නිසා හමුදාව යොදාගෙන සිමෙන්ති පිටතට ගෙන ගියේ ය.

පුත්තලම මැර ප්‍රහාරය සිදු වූ දින (2) සඳුදා උදේ ගාල්ලේ කම්කරුවන් හමුවීමට පැමිනි ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන නිසාන්ත මුතුහෙට්ටිගේ ඔවුන්ට ආපසු වැඩට යන ලෙස කියා ඇත. ඔහුගේ මැදිහත්වීමෙන් පසුව කම්කරුවන් අතර භේදයක් නිර්මානය වී කායික ගැටුමක් දක්වා එය වර්ධනය වී තිබේ. ගැටුමේ දී පහර කෑමට ලක් වූ කම්කරුවෙකු කල පැමිනිල්ලකට අනුව පොලීසිය විසින් කම්කරුවන් දෙදෙනෙකු පසුදින අත්අඩංගුවට ගනු ලැබුහ.

මේ සියල්ල සිදු කෙරුනේ වර්ජනය කඩාකප්පල් කර කම්කරුවන් ආපසු වැඩට තල්ලු කිරීම සඳහා ය. එහෙත් කොන්ත්‍රාත් කම්කරුවන්ගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සෙසු සාමාජිකයන් තබා හොල්සිම් සමාගමේ ස්ථීර කම්කරුවන්වත් අරගලයට සම්බන්ධ කිරීමට වෘත්තීය සමිති නායකත්වය කිසිදු පියවරක් නොගත්තේය. ඒ වෙනුවට කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමෙන් තොරව ආපසු වැඩට යන ලෙස වෘත්තීය සමිතිය විසින් ඔවුන් ට උපදෙස් දී ඇත. හුදකලාව සහ අරගලය පෙරට ගෙන යාමේ ඉදිරිදර්ශනයක් නොමැති තතු යටතේ ජුනි 3 වන විටත් පුත්තලමේ කම්කරුවන්ගෙන් කොටසක් සේවයට වාර්තා කර තිබුනි.

1997 සිට හොල්සිම් සමාගම තුල ජවිපෙ වෘත්තීය සමිතිය ක්‍රියාත්මක වී ඇතත් කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීම සහ යහපත් සේවා කොන්දේසි තහවුරු කිරීම සඳහා මොන ම අරගලයක්වත් නො කිරීම අහම්භයක් නොවේ: මෙම අරගලය කැඳවුම් කලේ ඔවුන් අතර සිය රැකියා ස්ථීර නො කිරීම හා තමන් මුහුන දී සිටින රුදුරු සූරාකෑමේ කොන්දේසි සම්බන්ධයෙන් වසර ගනනාවක් පුරා වර්ධනය වෙමින් තිබුන කෝපය හා නොසන්සුන්කම පුපුරා ඉස්මත්තට ඒම වලක්වා ලීමට ය.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වන ජවිපෙ මහ ධනපති පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) මෙන් ම විදේශීය ආයෝජකයන්ගේ හා දේශීය ධනපතියන්ගේ ලාබ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන් පක්ෂයකි.

ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මෑත දී සඳහන් කලේ “සංවර්ධනයේ එන්ජිම” පුද්ගලික අංශය බවයි. ඒ නිසා “සංවර්ධනයේ එන්ජිමට” බාධා නො වන ආකාරයට කම්කරුවන් හීලෑ කර තබා ගැනීම පක්ෂයේ සහ එහි වෘත්තීය සමිතිවල ප්‍රමුඛ වගකීමක් ලෙස ජවිපෙ සලකයි.

ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති මෙන් ම සමස්තයක් ලෙස වෘත්තීය සමිති කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඒ වෙනුවට ඒවා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ ධනපති පන්තියේ අවශ්‍යතාවයන් ආරක්ෂා කරන සංවිධාන බවට පරිවර්තනය වී තිබේ. කම්කරු පන්තියට නව සංවිධාන අවශ්‍ය වී ඇත. වෘත්තීය සමිතිවලින් බිඳී කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම හා එවන් කමිටු හරහා රැකියා සහ යහපත් සේවා කොන්දේසි සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතුය. සියලු දෙස් විදෙස් මහා සමාගම්, වතු හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට, රාජපක්ෂ ආන්ඩුව විස්තාපනය කරමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම කම්කරුවන් ගේ අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගයයි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී මෙම අරගලයට එක් වන්න.

Share this article: