රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා හොල්සිම් සේවකයෝ වැඩ වරති

නන්දන නන්නෙත්ති සහ කපිල ප්‍රනාන්දු විසිනි, 2014 ජුනි 2

හොල්සිම් ලංකා සිමෙන්ති නිෂ්පාදන සමාගමේ පුත්තලම සහ ගාල්ල කම්හල්වල 500 ට ආසන්න කොන්ත්‍රාත් කම්කරුවෝ රැකියා ස්ථීර කිරීම, යහපත් වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ද ඉල්ලීම් මත මැයි 19 සිට වර්ජනයක යෙදී සිටිති. අරගලය පෙරට ගෙන යාමේ අධිෂ්ඨානය ඇතිව ඔවුන්ගේ පවුල් සමග වර්ජිත කම්කරුවෝ කර්මාන්ත ශාලා පරිශ්‍රයන් වාඩිලාගෙන සිටිති.

රුදුරු සුරාකෑමට එරෙහිව කම්කරුවන්ගේ කෝපය වසර ගනාවක් පුරා කැකෑරෙමින් තිබෙන තතු තුල කම්කරුවන් සංවිධානය වී සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ද අන්තර් සමාගම් සේවක සංගමයට (අසසේසං) වර්ජනය කැඳවීමට බල කෙරී ඇත. එහෙත් සංගමයේ සමස්ත සාමාජිකයන්ගේ ශක්තිය වර්ජනය වටා බලමුලු ගැන්වීම කෙසේවෙතත් හොල්සිම් සමාගමේ ස්ථීර සේවකයන් පවා වර්ජනයට සම්බන්ද කර නොගැනීම මගින් කොන්ත්‍රාත් කම්කරුවන්ගේ අරගලය සමිති නායකත්වය විසින් හුදකලා කොට ඇත.

හොල්සිම් ලංකා සමාගම ස්විට්සර්ලන්තය පදනම් කරගත් සිමෙන්ති නිෂ්පාදනයේ යෙදී සිටින හොල්සිම් අන්තර්ජාතික සංගතයේ ශ්‍රී ලංකා ශාඛාවයි. කම්කරුවන් 70,000 අධික ශ්‍රම බලකායක් සහිතව සංගතය, රටවල් 70 තුල ක්‍රියාත්මක වෙයි.

කම්හලෙන් පිටතට සිමෙන්ති ප්‍රවාහනය වලක්වා ලීම සඳහා පුත්තලමේ වර්ජිත කම්කරුවෝ කම්හලේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරගෙන සිටිති.. සමාගම සහ කොන්ත්‍රාත්කරුවෝ ආන්ඩුවේ සහයෝගය ඇතිව වර්ජනය බිඳීමේ තැතක යෙදී සිටිති. ආන්ඩුව කම්කරුවන්ට විරුද්ධව කැරලි මර්දන භටකායන් සහිතව පොලිසිය යොදවා ඇත. වෘත්තීය සමිති නායකයන් හා ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් පවතින බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුහ.

පුත්තලමේ කම්හලේ වර්ජිත කම්කරුවන්ගෙන් කොටසක්

ගාල්ලේ වර්ජකයන්ට එරෙහිව හොරිකඩයන් යොදා ගැනීමට සමාගම සහ කොන්ත්‍රාත්කරුවෝ උත්සාහ කරති. කඩු සහ පොලුවලින් සන්නද්ධ කුලී මැරයන් විසින් වර්ජිත කම්කරුවන්ට පහර දීමෙන් එක් කම්කරුවෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. මැරයන් අතර හිටපු හමුදා සෙබලුන් සිටි බව කම්කරුවන් විසින් හඳුනාගෙන තිබේ. ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයෝ ද මෙම මර්දනකාරී ප්‍රචන්ඩ වැඩවලට හවුල් වී සිටින බව කම්කරුවෝ පැවසුහ.

ගාල්ල කම්හලේ වර්ජිත කම්කරුවෝ

වර්ජකයන්ට එරෙහිව අධිකරන නියෝගයක් ලබා ගැනීමට පොලීසිය උත්සාහ කරයි. එවැනි අධිකරන නියෝග කම්කරු අරගල මර්දනය කිරීමේ එක් රුපාකාරයකි. අරගල විසුරුවා හැරීම සඳහා වෘත්තීය සමිති ද නිරන්තරයෙන් ම අධිකරන නියෝග පිලිපදිති.

අරගලය බිඳීම සඳහා හමුදාව යොදා ගැනීම ගැන අසසේසං විසින් හොල්සිම් සමාගම විවේචනය කරමින් "වෘත්තීය සමිති අරගල කඩාකප්පල් කිරීම සඳහා හමුදාව යොදා ගැනීම මගින් හමුදාවේත් රටෙත් ප්‍රති මූර්තියට ජාත්‍යන්තර වසයෙන් හානි කරන " බවට චෝදනා කර ඇත.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වික්‍රමසුරිය "චෝදනාව ප්‍රතික්ෂේප" කරන නමුත් හමුදා මුලස්ථානය ගොඩනැගීමට සිමෙන්ති "ඉල්ලු" බව පිලිගෙන ඇත. මුලස්ථානය ගොඩනැගීම ප්‍රමාද වූනොත් එය හමුදාවට බලපානු ඇතයි බ්‍රිගේඩියර් ප්‍රකාශ කලේ ය. හමුදාවට් සහාය දීම සහ අරගල කඩාකප්පල් කිරීම සඳහා හමුදාව යොදා ගැනීමට ආන්ඩුවට ඉඩ සලසා දීම ගැන ජවිපෙ ට සහ එහි වෘත්තීය සමිතිවලට කුප්‍රකට වාර්තාවක් ඇත.

හොල්සිම් අන්තර්ජාතික සංගතය වෙනුවෙන් මර්දන පියවරයන් ක්‍රියාවට දැමීම මගින් අරගලය බිඳීම සඳහා ආන්ඩුව අධිෂ්ඨානශීලී ව සිටින බව පෙන්නුම් කරයි. රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන සහ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා මංමුලාවෙන් පෙලෙන මහ ව්‍යාපාරිකයන්ගේ පාලන තන්ත්‍රයකි. ආයෝජකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන බව යලි යලිත් ප්‍රදර්ශනය කිරීමට එයට වුවමනාය.

හොල්සිම් සමාගම පිහිටු වුයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන කාලයේ 1996 දී පුත්තලම සිමෙන්ති සංස්ථාව පුද්ගලීකරනය කිරීමෙන් පසුවය. එතැන් පටන් 1500 ක් පමන සිටි ශ්‍රම බලකාය 900 ත් වඩා අඩුකර ඇති අතර ඒ අතරින් ස්ථීර කම්කරුවන් සිටින්නේ 370 පමනි වසර 20 වඩා වැඩි කාලයක් සේවය කරන කොන්ත්‍රාත් කම්කරුවෝ සිටිති.

කම්කරුවන්ගේ වැටුපෙන් කොමිස් මුදල් ලබා ගැනීමේ ක්‍රමයට පුද්ගලික කොන්ත්‍රාත් කරුවන් හෝ එවැනි සමාගම් විසින් මෙම කම්කරුවෝ කුලියට දෙති. සමහර කොන්ත්‍රාත්කරුවෝ ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ වෙති. කම්කරුවන් කොන්ත්‍රාත් පදනමේ තබා ගැනීම ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කරමින් රුදුරු කොන්දේසි වලට යටත් කිරීමේ ක්‍රමයකි.

නිෂ්පාදන සහ ප්‍රවාහන අංශවල සේවකයන්ට පැය 12 වැඩමුර ක්‍රමයක් ඇත. ඔවුන්ගේ මාසික මුලික වැටුප රුපියල් 15,000 අඩුය. දවස් 22 සඳහා රුපියල් 22,200 පැමිනීමේ දීමනාවක් ඔවුන්ට ගෙවනු ලබයි. එක් දිනක් නිවාඩු ගත්තොත් රුපියල් 567 ක් පැමිනීමේ දීමනාවෙන් කපන අතර ඊට වැඩියෙන් නිවාඩු ගත්තොත් දිනකට රුපියල් 1065 බැගින් අඩුකරයි.

වාහක පටියේ ආධාරය ඇතිව පැටවුම් අංශයේ කම්කරුවන් හයදෙනෙකු පැය 12 වැඩ මුරයක දී සිමෙන්ති බැග් 4500 ක් පැටවිය යුතු ය. අතිරේක බැග් එකක් සඳහා ඔවුන්ට ගෙවන්නේ රුපියල් 1 ශත 40 ක් පමනි. "සාමාන්‍ය' වැඩවල යෙදෙන කම්කරුවෝ උදේ 8 සිට සවස 5 දක්වා වැඩ කල යුතු ය. ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 900 පමනක් වන අතර ගෙවීම් කරන්නේ වැඩ කරන දින ගනනට පමනි.

ලෝක සමාජවාදී වෙබ අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල වර්ජිත කම්කරුවෝ දුෂ්කර සේවා කොන්දේසි සහ අඩු වැටුප් ගැන විස්තර කලහ. 2003 සිට පුත්තලම කම්හලේ වැඩ කරන කම්කරුවෙක් ප්‍රකාශ කලේ: " තවත් 9 දෙනෙක් සමග මම කම්හලේ මැෂින්, පාරවල් සහ ගෙවත්ත පිරිසිදු කරනවා. ඒ වැඩත් අත්‍යාවශ්‍ය වැඩ වුනත් අපි ව ස්ථීර කරන්නේ නැහැ. මගේ මාසික මුලු වැටුප රුපියල් 29,000 ක් පමන. මගේ දුවගේ අධ්‍යාපන කටයුතුවලට ඒකෙන් සැහෙන මුදලක් වැය කරන්න වෙනව. ගමන් ගස්ස්තු, වතුර සහ විදුලි බිල් සඳහා තවත් රුපියල් කිහිප දාහක් වියදම් කරන්න ඕන. ඉහල යන ජීවන වියදමත් සමග වියදම පිරිමහ ගන්න එක හරි ම අමාරුයි. මැරයන් සමග ආපු ආන්ඩුවේ දේශපාලනඥයෝ වර්ජනය නතර කරන්න කියලා අපට තර්ජනය කලා"

මැෂින් වලට හුනුගල් පටවන කම්කරුවෙක් මෙසේ පැවසුවේ ය "දවසකට පැය 12 ක් සහ ඒ වගේ වැඩමුර 20 ක් මාසෙකට අපි කරන්න ඕන. අපට වැටුප් ගෙවන නිශ්චිත දවසක් නැහැ. ඒ නිසා පඩි ගෙව්වහම නය බේරනකම් අත්‍යවශ්‍ය බඩු නයට ගන්නවා"

දේශීය සිමෙන්ති පරිභෝජනයෙන් සියයට 40 ක් සම්පාදනය කරන හොල්සිම් සමාගම දැවැන්ත ලාබයක් උපයයි. මෑත වසරවලදී එය කිලෝ 50 ක සිමෙන්ති බෑගයක මිල කිහිප වතාවක් ඉහල දැමුවේ ය. ආන්ඩුව ට ගෙවිය යුතු බදු ගෙවීමෙන් පසුවත් ලාභය විශාල වසයෙන් ඉහල ගියේ ය.

කම්කරුවන් රුදුරු සූරාකෑමට යටත් කිරීම සඳහා අසසේසං ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. එය විසින් වසර ගනනාවක් ම කොන්ත්‍රාත් කම්කරුවන් නොතකා හරිනු ලැබ ඇත. සමාගම සහ සංගමය අතර සාමුහික ගිවිසුමට ඔවුන් ඇතුලත් කර ගැනුනේ ද නැත.

අසසේසං මෙම වර්ජනය කැඳවුම් කලේ කොන්ත්‍රාත් කම්කරුවන් අතර ඔවුන්ගේ දුෂ්කර සේවා කොන්දේසි ගැන කෝපය සහ නොසන්සුන්කම වර්ධනය වන තතු තුල ය. හුදෙකලා වර්ජනයක් දිගට පවත්වාගෙන යාම මගින් යමක් දිනා ගත හැකියයි වෘත්තීය සමිතිය කම්කරුවන් අතර මිත්‍යාවක් වපුරයි. ඉල්ලීම් දිනා ගැනීම සඳහා අරගලය පුලුල් කිරීමට බාධා කරන විලංගුවක් බවට වෘත්තීය සමිතිය පත් ව ඇත.

ජවිපෙ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටසකි. පක්ෂය සහ එහි වෘත්තීය සමිති ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සහ දේශීය මහ ව්‍යාපාරිකයන්ගේ ඒජන්තයෝ ලෙස ක්‍රියා කරති. පෙබරවාරි මාසයේ ප්‍රසිද්ධ කල "අපේ දැක්ම" ක්‍රියාමාර්ගය තුල ශ්‍රී ලංකාව කාර්මීකරනය වූ රටක් බවට "පරිවර්තනය" කිරීමට හා ඒ සඳහා වාසිදායක කොන්දේසි නිර්මානය කිරීමට ආයෝජකයන්ට සහන සලසන බවට ජවිපෙ පොරොන්දු විය.

හොල්සිම් කම්කරුවන්ගේ රැකියා සහ සේවා කොන්දේසි කප්පාදු කිරීම ගැඹුරුවන ලෝක ධනවාදී අර්බුදය තුල ලාබය සඳහා අන්තර්ජාතික සංගතවල ධාවනයේ කොටසකි. ඊට එරෙහිව ඉස්මතු වන කවර විරුද්ධත්වයක් වූව මර්දනය කරමින් ආයෝජකයන්ට වාසිදායක කොන්දේසි සකසා දීමට රාජපක්ෂ ආන්ඩුව කැප වී සිටියි.

යහපත් වැටුප් සහ සේවා කොන්දේසි සඳහා හොල්සිම් ලංකා කම්කරුවන්ගේ අරගලය මෙම අන්තර්ජාතික සංගතය ක්‍රියාත්මක වන සෙසු රටවල කම්කරුවන්ගේ අරගලයේ කොටසකි. උදාහරනයක් ලෙස උතුරු ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ පිහිටි හොල්සිම් කම්හලේ කම්කරුවෝ ආන්ඩුවේ පඩි පාලක සභාවේ නිර්දේශවලට අනුව වැටුප් ගෙවීමේ හා සේවයෙන් ඉවත් කල කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමේ ඉල්ලීම් මත මැයි 18 වර්ජනය කලහ. එහි කම්කරුවන්ගෙන් සියයට 80 ක් කොන්ත්‍රාත් කම්කරුවන්ය.

හොල්සිම් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා පෙරට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. ඒ සමග ම අරගලය පෙරට ගෙන යාම සඳහා වෘත්තීය සමිතියෙන් ස්වාධීනව සාමාජිකයන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස හොල්සිම් කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී. සමාගමේ සැලසුම් සහ ආන්ඩුවේ ප්‍රහාරය පරාජය කිරීම සඳහා කම්කරුවන්ට දේශපාලන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ.

ස්ථීර කම්කරුවන්ගේ, අවශේෂ කම්කරු පන්තියේ හා හොල්සිම් සංගතයේ සහෝදර කම්කරුවන්ගේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය සිය අරගලය වටා රැලි කර ගැනීම සඳහා හොල්සිම් ලංකා කම්කරුවෝ සටන් කල යුත්තාහ. රැකියා ස්ථීර කර ගැනීම සඳහා අරගලය කොන්ත්‍රාත් ක්‍රමයට සහ රුදුරු සූරාකෑමට ද ධනේශ්වර ලාබ ක්‍රමයට ද එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ පොදු අරගලයක් බවට පරිවර්තනය කල යුතු ය.

Share this article: