ඉන්දියාවේ පාර්ලිමේන්තු භූ තල දර්ශනයේ විපර්යාසයක්

India’s parliamentary landscape transformed

කීත් ජෝන්ස් විසිනි, 2014 මැයි 21

පසුගිය දින කිහිපයේ අවසානය දුටු ඉන්දීය මහා මැතිවරනයෙන් හින්දු ජාතිභේදවාදී භාරතීය ජනතා පක්ෂිය (බීජේපී) හා එහි ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය (එන්ඞීඒ) ලද ජයග‍්‍රහනය වෙලඳපොලවාදී “ප‍්‍රතිසංස්කරන” සඳහා ලද දැවැන්ත මහජන අනුමැතියක් ලෙස ප‍්‍රකාශ කිරීමට ඉන්දීය සංස්ථාපිත මාධ්‍ය පෙරට පැන ඇත.

මෙය මුසාවකි. මහජන ඡන්දවලින් සියයට 31 ක් ලත් බීජේපීය දශක තුනක් තුල ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගත් ප‍්‍රථම පක්ෂය බවට පත් වූ නමුත් එය සහ එහි ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ජයග‍්‍රාහී වූයේ අනෙකුන්ගේ පැහැරහැරීම් නිසා ය. බුරා නැගෙන උද්ධමනයත්, මහා පරිමාන විරැකියාවත්, ජනපද සිසාරා පැතිර ගිය දරිද්‍රතාවයත්, සදා පුලුල් වෙමින් පැවති සමාජ අසමානතාවයත් සමග ඉතා නිවැරදි ලෙස අනන්‍යකොට හඳුනා ගෙන තුබූ කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් යුතු දස වසක එක්සත් ප‍්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුවට එරෙහිව නැගී ආ මහජන කෝපයේ වාසිය මුලුමනින්ම අහේතුකව අයිති කර ගන්නට ඔවුන්ට හැකි විය.

කවර හෝ බීජේපීවාදී “සුනාමියක්” වී නම් එය සමාගම්වල අධ්‍යක්ෂක මන්ඩල රැස්වීම් කාමරවලට ද, ඉහල මධ්‍යම පන්තියේ වඩාත්ම කෑදර කොටස්වලට ද, ආර්එස්එස් (රාෂ්ටී‍්‍රය ස්වයංසේවක් සංගම්) හා එහි හින්දු ස්වෝත්තමවාදී සංවිධාන ජාලයේ කිපුනු සුලු ධනපතීන්ට ද සීමා විය.

මැතිවරනයේ බීජේපී ජය සහතික කිරීමට ඉන්දීය ව්‍යාපාරික ආයතන බිලියන ගනනින් මුදල් පොම්ප කලෝය. හින්දුන්ගේ ශක්තිමත් නායකයා ලෙස තමාම වර්නනනා කරගත් ගුජරාට මහ ඇමති නරේන්ද්‍ර මෝඩි “සංවර්ධනයේ” නියමුවා ලෙස ජය කිරුලු පලඳවමින් ද, 2002 ගුජරාටයෙහි මුස්ලිම් විරෝධී ජන ඝාතනයට පෙලඹවීම් කල තැනැත්තා ලෙස ඔහුගේ භූමිකාව වසන් කරමින් ද සංස්ථාපිත මාධ්‍ය ම සිය කොටස ඉටු කලෝය.

සාමාජීය වශයෙන් ගිනි අවුලන සුලු නව ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරනවලට එරෙහි මහජන විරෝධය ඉදිරියේ ඒවා කි‍්‍රයාවට නැංවීමේ උපකරනය ලෙස බීජේපීය මෝඩි ගේ නායකත්වයෙන් යුත් ධනේශ්වරය විසින් වැලඳ ගනු ලැබ ඇත. ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයේ ඉහලින් ම ඇත්තේ කම්කරුවන් දොට්ට දැමීම හා කම්හල් වැසීමට පනවා ඇති සීමා ඉවර කර දැමීම, වැඩකරන ජනයාගේ බදු බර තව දුරටත් ඉහල දැමීම, මහා පරිමාන පෞද්ගලීකරනය, සහ සැබැවින් ම විදේශීය ආයෝජන වලට තවමත් ඉතිරිව ඇති සෑම සීමාවක් ම ඉවත් කිරීමයි.

මෙම න්‍යාය පත‍්‍රය වූ කලී, කොංග‍්‍රසයේ නායකත්වයෙන් යුත් යූපීඒ රජය විසින් කි‍්‍රයාවට නැංවීමට යලියලිත් තැත් කරන ලද්දක් වන නමුත්, එම කි‍්‍රයාදාමය ඉතා සෙමෙන් හා අදිමදි කරමින් සිදුකෙරෙතැයි සැලකූ දේශීය හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය අවසානයේ එම රජය කෙරේ විශ්වාසය භංග කරගත්තෝ ය.

ඉන්දීය කම්කරු ජනයා අතර මෝඩි හා බීජේපීය කෙරේ කවර හෝ උද්‍යෝගයක් පවතීනම් එය පදනම් වී තිබුනේ බොරු බේගල් මතය. ඒ අනුව මැතිවරන ප‍්‍රචාරක ව්‍යාපාරය අවසන් වීමත් සමග බීජේපී නායක සුබ‍්‍රමනියම් සාමි උද්ගතව හින්දු පුවත්පතට ප‍්‍රකාශ කලේ ආහාර මිල සඳහා තිබූ සියලු සහනාධාර කපා හැර සෑම ආදායම් බද්දක්ම පාහේ අහෝසි කිරීමට බීජේපීයට අවශ්‍ය බවයි. මෙම බදු අහෝසිය නිසා වන රාජ්‍ය ආදායම් හිඟය ස්වභාවික සම්පත් හා අනෙකුත් මහජන දේපල විකිනීම මගින් පියවා ගැනෙනු ඇත. ස්වාමි පැහැදිලි කලේ, එහෙත්, තමන්ට “ධනපතීන්ට පක්ෂපාත වූවන්” යයි පහර දෙනු ඇතැයි යන බිය නිසා බීජේපීය එවැනි “විප්ලවවාදී” අදහස් සිය මැතිවරන ව්‍යාපාරය තුල දී ඉස්මතු නොකල බවයි.

බීජේපීය දැවැන්ත ජනවරමක් දිනා ගෙන ඇතැයි මාධ්‍යවලින් කෙරෙන කියා පෑම්වල අරමුන වන්නේ කම්කරු පන්තිය බිය වැද්දීම හා රජයේ පන්ති යුද්ධ පිලිවෙත්වලට එරෙහිව ඉක්මනින් ම පැන නැගෙනු ඇති මහජන විරෝධය කෙරේ එල්ල කෙරෙන රාජ්‍ය මර්දනයට නිත්‍යානුකූලභාවයක් ලබා දීමයි.

ඉහත සඳහන් දෑ තහවුරු කිරීමෙන් ඉක්බිතිව කිව යුත්ත නම්, මැතිවරනය විසින් සැබැවින්ම කොංග‍්‍රස් පක්ෂයට මෙන් ම ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙකටම - ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට හා ඉන්දීය (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂයට - ද පැවති මහජන සහයෝගයේ ඉමහත් නාය යාමක් පෙන්නුම් කොට ඇති බවයි. හින්දු ජාතිභේදවාදී බීජේපීයට බලයට එන්නට ඉඩ නොදීමේ නාමයෙන් ස්ටැලින්වාදීහු දක්ෂිනාංශික ඉන්දියානු ආන්ඩු මාලාවකට මුක්කු ගසා ඇත්තාහ. ඉන්දියාව ගෝලීය මුල්‍ය ප‍්‍රාග්ධනය සඳහා ලාභ ශ‍්‍රමයේ තෝතැන්නක් බවට පත් කිරීම අරමුනු කර ගත් ධනේශ්වරයේ නව ලිබරල්වාදී “නව ආර්ථික ප‍්‍රතිපත්තිය” මුල පිරු 1991 හා 1996 අතර පැවති කොංග‍්‍රස් ආන්ඩුව ද ඒ අතර වෙයි. 2004 හා 2009 අතරතුර වූ යූපීඒ පාලනයේ ප‍්‍රථම කාල පරිච්ඡේදය තුල ඔවුන්ගේ සහයෝගය මීට ද වඩා වැදගත් විය. 2004 මැතිවරනයෙන් ඉක්බිති කුලය මත පදනම් වූ හා ප‍්‍රාදේශීය පක්ෂ රොත්තක් යූපීඒයට ගාල් කිරීමට ආධාරකල ස්ටැලින්වාදීහු එවක් පටන් ඊලඟට එලැඹි සිව් වසර පුරා එම සන්ධානය බලයේ තබා රැක ගත්තෝය.

ඉන්දියාව පාලනය කිරීම සඳහා ඉන්දියානු ධනපති පන්තියේ වැඩි කැමැත්ත මේ දක්වා ම දිනා සිටි පක්ෂය වූයේ කොන්ග‍්‍රස් පක්ෂයයි. නිදහස ලැබීමෙන් පසු ගත වූ මුල් දශක හතරෙන් වසර දෙක හමාරක් හැර ඉතිරි මුලු කාලයම ඉන්දියානු ආන්ඩු පිහිටුවන ලද්දේ එම පක්ෂය විසිනි. තව ද, පසුගිය ශත වර්ෂ කාල තුල ඉන්දියාව ලෝක ප‍්‍රාග්ධනයේ ලාභ ශ‍්‍රම තිප්පලක් බවට පත් කිරීම සඳහා වූ ධනපති පන්තියේ තල්ලුව කි‍්‍රයාවට නැංවීමේත්, ඉන්දියාව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතර “උපායාත්මක සහසම්බන්ධය” ඇති කිරීමේත් බරෙන් වැඩි කොටසකට කර ගසනු ලැබුවේ ද එය විසිනි.

එහෙත් දැන් එය ඓතිහාසික බිඳ වැටීමකට භාජනය වී ඇත. ඡන්ද සංඛ්‍යාවෙන් හුදු සියයට 19ක් ලබා ගනිමින් කොංග‍්‍රසය ලෝක් සභා ආසන 545න් ආසන 44ක් පමනක් දිනා ගත්තේය. මෙම ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුව තුල නිල විපක්ෂය බවට පත් වීමට වත් ප‍්‍රමානවත් නුවූවකි. මේ දක්වා කිසි විටෙක කොංග‍්‍රසය ලෝක් සභා ආසන 144කට අඩු ජයක් ලැබූ අවස්ථාවක් නොවූ අතර මහජන ඡන්දයෙන් ඔවුන් ලද අනුපාතය සියයට 26කට වඩා පහත බැස්සේ ද නැත.

බටහිර බෙංගාලය, බිහාරය, උත්තර් ප‍්‍රදේශ් හා තමිල්නාඩුව ඇතුලු ඉන්දියාවේ ඇතැම් විශාලතම ප‍්‍රාන්තයන්හි දී කොංග‍්‍රස් පක්ෂය සිව්වන හෝ ඇතැම්විට පස්වන තැනට පවා ඇද වැටී ඇත.

එහි පාර්ලිමේන්තු නියෝජනයෙන් පහෙන් පංගුවකට ආසන්න කොටසක් මෙ වර පැමින සිටින්නේ ඉන්දියානු ජනගහනයෙන් සියයට 3කට ද අඩුවෙන් වාසය කරන කේරලයෙනි.

මිලියන 200කට අධික ජනගහනයක් ඇති ඉන්දියාවේ විශාලතම ප‍්‍රාන්තය වන උත්තර් ප‍්‍රදේශ් තුල කොන්ග‍්‍රසයට රැක ගත හැකි වූයේ ආසන දෙකක් පමනකි. ඒ ආසන දෙක, පක්ෂ සභාපති සෝනියා ගාන්ධිගේ හා ඇගේ පුත්, නේරු ගාන්ධි දේශපාලන රජ පෙලපතේ උරුමක්කාර රාහුල් ගාන්ධිගේ ය.

ඉන්දියාවේ අගනුවර හා විශාලතම නාගරික කලාපය වන, දිගු කලක් කොංග‍්‍රස් බලකොටුවක් ව පැවති දිල්ලියේ එකදු අසුනක් හෝ දිනා ගැන්මට අසමත් වූ කොන්ග‍්‍රසය යන්තම් දෙවසරකට ඉහත පිහිටුවන ලද මධ්‍යම පාන්තික “දුෂන විරෝධී පක්ෂයක් වන ඒඒපී (පොදුජන පක්ෂය) හා බීජේපී යන දෙපක්ෂයටම වඩා ඉතා පසුපසින් සිටි කොංග‍්‍රසය ලබා ගත්තේ ඡන්දවලින් සියයට 15ක ප‍්‍රතිශතයක් පමනි.

2009 මැතිවරනයේ දී ඉන්දියාවේ වැඩිම ජනගහනයක් ඇති ප‍්‍රාන්ත අතරින් දෙවන තැනට වැටෙන මහාරාෂ්ට‍්‍රයේ ආසන 25ක් දිනා ගැනීමට කොංග‍්‍රසය ද යූපීඒය තුල එහි හවුල්කාර නැෂනලිස්ට් කොංග‍්‍රස් පක්ෂය ද සමත්ව තිබිනි. මෙවර කොංග‍්‍රසයට මහාරාෂ්ට‍්‍රය තුල හිමි වූයේ ආසන දෙකකි. එහි හවුල්කරුවාට කිසිදු ආසනයක් දිනා ගත නොහැකි විය. ප‍්‍රාන්ත මැතිවරනය මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබිය දී එම ප‍්‍රාන්තයේ කොංග‍්‍රස් මහ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයැයි කොංග‍්‍රසය තුලින් ම හඬ නැගෙමින් පවතී.

මේ දක්වා ම කොංග‍්‍රස් බලකොටුවක්ව පැවති ආන්ද්‍ර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය දෙකඩ කිරීමේ යෝජනාවකට පසුගිය දෙවසර පුරා කොංග‍්‍රස් නායකත්වයෙන් යුත් ප‍්‍රාන්ත ආන්ඩුව තල්ලුව දුන්නේ එමගින් තමන්ට වැඩි ආසන සංඛ්‍යාවක් අත්පත් කර ගැනීමට අවස්ථාවක් හිමිවේය යන අපේක්ෂාවෙනි. 2009 මැතිවරනයේ දී ආසන 33ක් ජය ගත් ආන්ද‍්‍ර ප‍්‍රදේශ්හි මෙවර ඔවුන්ට අවසානයේ හිමි වූයේ ආසන 2ක් පමනෙකි.

කොංග‍්‍රසයේ අන්ත පරාජයට හවුල් වන ප‍්‍රාදේශීය පක්ෂ රැසක් වෙයි. ඉන් බොහොමයක් කොංග‍්‍රසයේ හවුල් කරුවෝ ය, නැතහොත් මෑතක් වන තුරු හවුල්කරුවන් ව සිටි පක්ෂයෝය. යූපීඒ රජය බලයේ සිටි දස වසරෙන් නවයක් ම එහි සේවය කල තමිල්නාඩුවේ ඞීඑම්කේ පක්ෂයට එහි ලෝක් සභා අසුන් සියල්ල අහිමි විය. යූපීඒ රජය විසින් විදුලි සංදේශ පේ‍්‍රක්ශාවලිය වෙන්දේසියේ විකිනූ ගනුදෙනුවෙහි දුෂන චෝදනාවකට ඞීඑම්කේ නායකත්වය පැටලී තිබින. මෙම පේ‍්‍රක්ශාවලි වෙන්දේසිය වූ කලී, කොංග‍්‍රසය නායකත්වය දුන් ආන්ඩුව මහජන දේපල මහා ව්‍යාපාරවලට තුට්ටු දෙකට විකුනා දමමින් හෝ ඇතැම් අවස්ථාවල දී එකහෙලා තෑගි කරමින් ගෙන ගිය කි‍්‍රයාකලාපයෙන් නැගුනු මහා දූෂන අපවාදයන් මාලාවෙන් එකකි.

යූපීඒ සැදුම්ලත් එක් හවුල්කරුවෙකු වූ ද, මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන එකම ඉන්දීය ප‍්‍රාන්තයේ පාලක පක්ෂය වූ ද ජම්මු කාශ්මීර ජාතික සංගමයට ද සිදු වූයේ සිය ලෝක් සභා නියෝජනය අහිමි කර ගැනීමටය.

මීට ඉහත තමන් ලද වැඩිම මුලු ආසන සංඛ්‍යාව ඉක්මවා තවත් ආසන සියයක් වැඩිපුර ලබා ගැනීමට සමත් වූ බීජේපීයේ ජයග‍්‍රහනයට තීරනාත්මක වූයේ හින්දි භාෂාව කථා කරන ඉන්දියානු ප‍්‍රදේශවල කොඳු නාරටිය වූත්, රටේ දුප්පත්ම ප‍්‍රාන්තයන් දෙකක් වූත් උත්තර් ප‍්‍රදේශ් හා බිහාරය ඇතුලුව ඉන්දියාවේ උතුරු දිග හා බටහිර ප‍්‍රදේශයන්හි එය ප‍්‍රදර්ශනය කල ශක්තියයි.

උත්තර් ප‍්‍රදේශ්හි ආසන 80න් 71ක් ම දිනා ගැනීමට බීජේපීය සමත් විය. 2009 එය දිනා ගත් ආසන 10 සිට මේ තත්වයට නැගුනේ බොහෝදුරටම, යූපීඒ ආන්ඩුවේ කොටස්කරුවකු නොවූ නමුත් තීරනාත්මක ඡන්ද විමසීම් ගනනාවකදී ම ඊට අවශ්‍ය බහුතර ඡන්ද ප‍්‍රමානය සම්පාදනය කර දුන් සමාජවාදී පක්ෂයේත් (එස්පී), බහුජන සමාජ් පක්ෂයේත් (බීඑස්පී) වියදමිනි. එස්පී හා බීඑස්පී යන පක්ෂ දෙකෙහිම ප‍්‍රකාශිත අරමුන වන්නේ ඉතිහාසය පුරා පීඩිතයන්ව සිට තිබෙන පහත් යයි සම්මත කුලවල ජනයා නියෝජනය කිරීමයි. එහෙත් ඇත්තෙන්ම ඔවුන් කථා කරන්නේ ඉන්දියාවේ සකාරත්මක ක‍්‍රියා (කුලහීන යයි සම්මත ජනයා අතර ඉහල කොටස් වලට විශේෂ සහනයන් දෙන - පද්ධතියෙන් පෝෂනය ලබන වරප‍්‍රසාදිත සුලුතරයක් වෙනුවෙනි. ඉන්දීය ධනේශ්වරයේ නව ලිබරල් වැඩ පිලිවෙලට පූර්න සහයෝගය දෙමින් එය කි‍්‍රයාත්මක කිරීමට ඔවුන් කටයුතු කොට ඇත.

බිහාරයේදී බීජේපී මඩිය පුරවා ගැනුනේ ජනතා දාල් (එක්සත්) පක්ෂයේ වියදමිනි. එය පසුගිය වසර වන තුරුම බීජේපී නායකත්වයෙන් යුත් එන්ඩීඒ සන්ධානයේ දෙවන විශාලතම පක්ෂය විය.

ජේඞී(යූ)ව බීජේපීය සමග එහි 17 අවුරුදු සන්ධානය බිඳ දැමූ විගස ස්ටැලින්වාදීහු එය “අනාගමික පක්ෂයකැ”යි ද, “කොංග‍්‍රස් නොවන, බීජේපී නොවන” තුන්වන පෙරමුනක සාමාජිකත්වය දරතැයි අපේක්ෂා කල හැකි පක්ෂයකැයි ද තැරැව්කාරකම් කිරීමට පටන් ගත්හ. ජාතික මැතිවරනයෙන් ජේඞී(යූ)ව සතු ආසන සංඛ්‍යාව 21 සිට 2 දක්වා අඩුවීමත් සමග බිහාරයේ ජේඞීයූ මහ ඇමති නිතීෂ් කුමාර් සිය ඉල්ලා අස්වීම නිවේදනය කොට ඇත.

බීජේපීයේ ඡන්ද විජයග‍්‍රහනයේ වැදගත් සාධකයක් වූයේ නව ප‍්‍රාදේශීය අනුචරයන් විශාල සංඛ්‍යාවක් වෙතින් එය ලද සහායයි. ඉලක්කම් දෙකේ ප‍්‍රතිශතයකට නැගුනු උද්ධමනයත් දැවැන්ත විරැකියාවත් කෙරේ යූපීඒ රජය දැක්වූ දුෂ්ට නොතැකීම නිසා ඊට එරෙහිව මහජන කෝපය නැගුනු අතර, කම්කරු ජනයාට එරෙහිව ඇති තරම් ප‍්‍රහාර පියවර නොගැනීම ඉන්දීය සමාගම් රජය පිලිබඳ තැබූ විශ්වාසය බිඳ වැටීම සම්පාතවීම වටහාගත්, ප‍්‍රාදේශීය ධනපති පක්ෂ දුසිම් දෙකක් පමන ඡන්ද සටනේ දී එන්ඞීඒයට ඇතුලු වූහ. මෙමගින් එන්ඞීඒහි සාමාජික පක්ෂ ගනන 30කට ආසන්න සංඛ්‍යාවක් කරා නැගුනු අතර, එන්ඞීඒ බලපෑම සැබැවින්ම ඉන්දියාවේ සෑම ප‍්‍රදේශයක් කරා ම පැතිර ගියේය.

බීජේපීය එහි ආධාරක ප‍්‍රදේශ, සිය සාම්ප‍්‍රදායික බල ප‍්‍රදේශ වූ උතුරු දිග හා බටහිර ඉන්දියාවෙන් එපිටට, වර්ධනය කොට ගෙන ඇති අතර ම, නැගෙනහිර හා දකුනු දිග ඉන්දියාවේ එය තවමත් පවතින්නේ බෙහෙවින් සුලුතර පක්ෂයක් වශයෙනි. බටහිර බෙංගාලය හා ඔඩිෂාහි ආසන 63කින් එය ලබා ඇත්තේ ආසන 3ක් පමනෙකි. දකුනු ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍ය 4කින් - එනම්, ආන්ද්‍ර ප‍්‍රදේශ්, තමිල්නාඩු, කේරල හා කර්නාටක යන ප‍්‍රාන්තවල - ආසන 129කින් ඊට ජය ගත හැකි වූයේ ආසන 21ක් පමනි. කෙසේ වෙතත්, ආන්ද‍්‍ර ප‍්‍රදේශ්හි එහි අනුචරයා වූ තෙලිඟු දේශම් පක්ෂය තවත් ආසන 16ක් දිනා ගත්තේය.

බටහිර බෙංගාලයේ, තමිල්නාඩුවේ හා ඔඩිෂාහි ආසනවලින් ලොකු කුට්ටිය දිනා ගැනුනේ පිලිවෙලින් ති‍්‍රනමුල් කොංග‍්‍රසය, ඒඅයිඒඞීඑම්කේ හා බීජේඞී යන දක්ෂිනාංශික ප‍්‍රාදේශීය පක්ෂ විසිනි. මේ පක්ෂ සියල්ල ඉහත දී බීජේපී නායකත්වයෙන් යුත් එන්ඞීඒහි කොටස්කරුවන් ව සිටි නමුදු, එකවර කොංග‍්‍රස් විරෝධීන් හා බීජේපී විරෝධීන් ලෙස පෙනී සිටීමෙන් තම ප‍්‍රාන්ත තුල මෙන් ම ජාතික තලයේදී ද තමන්ට වඩාත් ශක්තිමත් භූමිකාවක් රඟ දැක්වීමට අවකාශ සැකසෙන බව අවසානයේ දී ඔවුහු ගනන් බැලූහ.

2009 මැතිවරනයේ දී, “අනාගමික, ජනතාවාදී” පක්ෂ ලෙස ස්ටැලින්වාදීන්ගේ ආශීර්වාදය දිනා ගැනීම තම වාසිය පිනිස වේයැයි බීජේඞී හා ඒඅයිඒඞීඑම්කේ යන පක්ෂ දෙකම සිතූ නමුත්, මෙම මැතිවරනයේ දී ඡන්ද හවුලක් සඳහා වූ යෝජනාවට පයින් ගසා ඉවතලූහ.

ජාතික තලයෙහි දී බීජේපීය සිය එන්ඞීඒ අනුචරයන් ද සමග මහජන ඡන්දයෙන් සියයට 38ක් දිනා ගත්තේය. මෙය කොංග‍්‍රස් නායකත්වයෙන් යුත් යූපීඒය ලබා ගත් ප‍්‍රතිශතය සියයට 15කින් ඉක්මවා යාමකි. වෙනත් දේශපාලන පක්ෂ පහක් - එනම්, ත‍්‍රිනමුල් කොංග‍්‍රසය, එස්පී, බීඑස්පී, ඒඅයිඒඞීඑම්කේ හා ඉන්දීය (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය - එකිනෙකක් සියයට 3 සහ 4 අතර මහජන ඡන්ද ප‍්‍රමානයක් දිනා ගැනීමට සමත් වූහ.

කවර අර්ථකථනයකින් ගත්ත ද, පිටපිට ම පැවති දෙවන ජාතික මැතිවරනයෙන් ද ස්ටැලින්වාදීහු ලොකුම පරාජිතයන් බවට පත්ව ඇත්තාහ. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) දිනා ගත්තේ එක් අසුනක් පමනකි. ඉන්දීය (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂයට (සීපීඑම්) ද ආසන නවයක් පමනක් හිමි වූ අතර එම සංඛ්‍යාව නිල වශයෙන් පිලිගත් ජාතික පක්ෂ පහෙන් එකක් ලෙස වන ඔවුන්ගේ තත්ත්වය පවත්වා ගැනීමට හෝ ප‍්‍රමනවත් නොවූවකි. 2011 දක්වා පුරා වසර 34ක් අඛන්ඩව ඔවුන් ප‍්‍රාන්ත ආන්ඩු පිහිටවූ බටහිර බෙංගාලයේ සීපීඑම් නායකත්වයෙන් යුත් වාමාංශික පෙරමුන දිනා ගත්තේ ආසන දෙකක් පමනෙකි. ජාතික මට්ටමෙන් ගත් කල පක්ෂ හතරකින් සැදුම් ලත් වාමාංශික පෙරමුනේ ඡන්ද අනුපාතය සියයට 7 සිට සියයට 4.5 දක්වා පහත වැටී ඇත.

ස්ටැලින්වාදීන්ට හා කොංග‍්‍රසයට පැවති සහාය සමාන්තරව බිඳ වැටීම කිසිසේත් අහම්බයක් නොවේ. වම, ඉන්දියානු ධනපති පන්තියේ සාම්ප‍්‍රදායික පාලක පක්ෂය සමග එක්ව බැඳී දකුනට වීසි වී ඇත. සෝවියට් සංගමයේ හා චීනයේ ධනපති ක‍්‍රමය පුනස්ථාපනය කිරීම විසින් “සමාජවාදය බොහෝ දුර බැහැර වූවක් බැව් ඔප්පු කෙරී ඇතැයි කියා පාමින් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂ, ධනේශ්වරයේ ආර්ථික “ප‍්‍රතිසංස්කරන” වැඩ පිලිවෙලට විකල්පයක් නැතැයි කියා සිටී. කොංග‍්‍රස් නායකත්වයෙන් පැවති ජාතික ආන්ඩුවලට මුක්කු දෙන අතර, වාමාංශික පෙරමුනේ ආන්ඩු බලයේ සිටි බටහිර බෙංගාල හා කේරල ප‍්‍රාන්තවලදී ස්ටැලින්වාදීහු මහජන සහන වියදම් කපා හෙලමින්, තොරතුරු තාක්ෂන හා තොරතුරු තාක්ෂනය විසින් ශක්‍යතා සම්පාදනය කරන ලද කර්මාන්තයන්හි වැඩ වර්ජන තහනම් කරමින් හා මහා ව්‍යාපාරවල ව්‍යාපෘති සඳහා ඉඩම්වල භුක්තිය පැහැර ගැනීමට එරෙහිව මතු වූ ගොවි විරෝධතා මැඞීමට පොලිස් හා මැර ප‍්‍රචන්ඩය යොදා ගනිමින් “ආයෝජක-වාදී” පිලිවෙත් ලෙස ඔවුන් විසින් ම හඳුන්වා දෙන ලද වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට නැංවූහ.

Share this article: