ශ‍්‍රී ලංකාවේ ලසසප කල මහා පාවාදීමේ සිට පනස් වසරක්

Fifty years since the LSSP’s Great Betrayal in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය (ශී‍්‍ර ලංකාව),2014 ජූනි 11

මේ මාසය, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) අගමැති සිරිමා බන්ඩාරනායකගේ ධපපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප) හවුල් ආන්ඩුවට ඇතුලු වීමේ පනස්වන වසර සනිටුහන් කරයි. තමන් ට්‍රොට්ස්කිවාදී යයි කියා ගත් පක්ෂයක්, ඉතිහාසයේ පලමු වතාවට ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වීම, ජාත්‍යන්තර කම්කරු පන්තියට දුර දිග යන ප‍්‍රතිවිපාක ගෙන දුන් ඓතිහාසික පාවාදීමක් විය.

සියවස් භාගයකට පෙර අද වැනි දිනක ලසසප, නිල වශයෙන් බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලු වෙමින්, කැබිනට් ඇමතිකම් තුනක් භාර ගත්තේය. ලසසප නායක ඇන්.ඇම්. පෙරේරා ආන්ඩුවේ ප‍්‍රධානතම අමාත්‍ය ධුරයක් වූ මුදල් ඇමතිකම ලබා ගත්තේ ය. යන්තම් දින කිහිපයකට පෙර පැවැත්වූ ලසසප විශේෂ සමුලුවක දී නියෝජිතයින් 501 දෙනෙක්, හවුල් ආන්ඩුවට ඇතුලු වීම සඳහා පෙරේරා ගෙනආ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ. නියෝජිතයින් 159 දෙනෙක් යෝජනාවට විරුද්ධ වෙමින් වහාම පක්ෂයෙන් බිඳී ලංකා සමසමාජ (විප්ලවකාරී) පක්ෂය හෙවත් ලසසප(වි) පිහිටුවා ගත්හ.

1963 සැප්තැම්බරයේදී ඉල්ලීම් 21 ව්‍යාපාරය පිහිටුවීම හා නැගී එන වැඩවර්ජන රැල්ල මගින් ප‍්‍රකාශිතවූ කම්කරු පන්තියේ පෙරලිකාරීත්වය මැඩීම සඳහා ලසසපය හවුල් ආන්ඩුවට කැඳවා ගත්තේ ය. කොලඹ වර්ධනය වෙමින් පැවති දේශපාලන අර්බුදය පිලිබඳව ජාත්‍යන්තරව පලවූ කනස්සල්ල කෙතරම් වූයේ ද යත්, එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි, එම මාසයේම පෙරේරා ද ඇතුලු පාර්ලිමේන්තු නියෝජිතයින් හමු විය.

ජාතික එකමුතුවේ ආන්ඩුවක් පිහිටුවීම හෝ කම්කරුවන් බයිනේත්තු තුඩෙන් ආපසු වැඩට දක්කන ආඥාදායකත්වයක් පිහිටුවීම යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස විවිධ අංශ වලින් තමන්ට බලපෑම් එල්ලවූ බව 1964 මාර්තුවේදී පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කල බන්ඩාරනායක, මෙරට ධනපති පාලනය හමුවේ ඇති අනතුරු පිලිබඳව සිය බලවත් උත්සුකය පල කලාය. “මගේ නිගමනය වන්නේ මේ කිසිදු විසඳුමක්, අප යා යුතු තැනට ගෙන යන්නේ නැති බවයි. එබැවින් මහත්වරුනි මම, කම්කරු පන්තියේ නායකයින් සමග සාකච්ඡා ආරම්භ කිරීමට තීරනය කලෙමි.” ඇය පැවසුවාය.

ආන්ඩුවට ඇතුලු වෙමින් ලසසපය, කම්කරු පන්තිය තුල ව්‍යාකූලත්වය හා දේශපාලන අවමංගතවීමට මග සලසමින්, ඉල්ලීම් 21 ව්‍යාපාරය නිමා කලේය. ලසසප පාවාදීමේ මූලයන් හෙලිකරගත හැක්කේ, පැබ්ලෝවාදය ලෙස ප‍්‍රකට අවස්ථාවාදී ප‍්‍රවනතාවයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ගෙනගිය අරගලයේ පාඩම් මත පාදක වෙමින් පමනි.

1964 ජූලි මාසයේදී ජාත්‍යන්තර කමිටුව ප‍්‍රකාශයක් නිකුත් කරමින්, ලසසප ද්‍රෝහිත්වයේ ජාත්‍යන්තර අර්ථභාරය පැහැදිලි කලේය. “ලසසප සාමාජිකයින් බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට ඇතුලුවීම හතරවන ජාත්‍යන්තරයේ විකාශනයේ සමස්ත යුගයක අවසානය සලකුනු කලේය. කම්කරු පන්තියේ පරාජය සූදානම් කිරීමේ දී එය අධිරාජ්‍යවාදයට සෘජුවම සේවය කිරීම සඳහා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපරය තුල සංශෝධනවාදය ලෙස සිය ප‍්‍රකාශනය අත්කර ගත්තේය.”

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හජාජාක ලංකා ශාඛාව ලෙස 1968දී පිහිටුවන ලද්දේ, ලසසප පාවාදීමේ දේශපාලන පල්ලම් බැසීමට පාවඩ එලූ පැබ්ලෝවාදී දේශපාලනයට විරුද්ධවය.

ලසසප(වි) වැනි ලසසප පාවාදීම තුලින් බිහිවූ අනෙක් සියලු දේශපාලන ප‍්‍රවනතා එක්කෝ බිඳී විසිර ගියා හෝ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටස් බවට පත් විය. ලසසප අද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික ආන්ඩුවේ සුලු කන්ඩායමක් බවට පත්ව තිබේ. ලසසපයෙන් බිඳුනේවී නමුත් එහි පන්ති සහයෝගිතා දේශපාලනයෙන් ඉවත් නොවූ, නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම සංවිධාන අද, විපක්ෂයේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සන්ධානයක් ගොඩනගාගෙන ඇත.

ලසසප ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවාදුන්නේ ඇයි ද යන්න හා එහි ප‍්‍රතිවිපාක කවරක් ද යන්න වටහා ගැනීම මෙරට පමනක් නොව ආසියාවේ හා ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින්ට අත්‍යවශ්‍යය. වැඩෙමින් ඇති යුද්ධයේ හා ප‍්‍රති විප්ලවයේ තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ ඒ පදනම් මත පමනි.

හජාජාක වෙනුවෙන් 1964 ජූනි මාසයේදී කොලඹට පැමිනි එවක බි‍්‍රතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගයෙහි නායක ජෙරී හීලි, මෙසේ පැහැදිලි කලේය. “ලසසප පරිහානිය පිලිබඳ ප‍්‍රශ්නයට පිලිතුර ඇත්තේ ලංකාව තුල නොව, පැබ්ලෝවාදී සංශෝධනවාදය පිලිබඳ ජාත්‍යන්තර අධ්‍යයනයක් තුලය. සභාගයේ සැබෑ නිර්මාපකයින් සිටින්නේ පැරිසියේය.”

දෙවන ලෝක මහා සංග‍්‍රාමයෙන් පසුව, ලෝක ධනවාදයේ පශ්චාත් යුදකාලීන ස්ථාවරත්වයේ පීඩනය යටතේ, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් අවස්ථාවාදී ප‍්‍රවනතාවය හතරවන ජාත්‍යන්තරය තුල හිස එසවීය. සීතල යුද්ධය දිගහැරෙද්දී පැබ්ලෝ, ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රයන්ගේ ප‍්‍රතිවිප්ලවවාදී ස්වභාවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ ගුනාංගීකරනය ප‍්‍රතික්ෂේප කලේය. ස්ටැලින්වාදයට ඓතිහාසිකව ප‍්‍රගතිශීලී භූමිකාවක් පවරමින් ඔහු, දැන් නව “වෛෂයික යථාර්තය” බවට පත්ව ඇත්තේ, “ධනපති තන්ත‍්‍රයනුත් ස්ටැලින්වාදී ලෝකයත් අන්තර්ගත කරගත්” පර්යාය බව ප‍්‍රකාශ කලේය.

කම්කරු පන්තියේ විප්ලවවාදී ක‍්‍රියාකලාපයත්, ස්වාධීන ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීමත් පැබ්ලෝවාදය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. ඒ වෙනුවට පැබ්ලෝවාදය යෝජනා කලේ, කම්කරු ව්‍යාපාරය තුල ක‍්‍රියාත්මක වන, ස්ටැලින්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ලංකාව වැනි රටවල රැඩිකල් ජාතික ධනපති ප‍්‍රවනතා තුලට හතරවන ජාත්‍යන්තරයේ ශාඛා දියකර හැරිය යුතු බවය.

හජාජාක පිහිටවූයේ පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිවය. එක්සත් ජනපදයේ (එජ) සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජේම්ස් පී. කැනන් 1953 නොවැම්බරයේදී, සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදයේ මූලික නියාම යලි අවධාරනය කරමින් විවෘත ලිපියක් නිකුත් කලේය.

මෙම ජාත්‍යන්තර ක‍්‍රියාවලීන් විශේෂයෙන්ම ලංකාව තුල තියුනු ලෙස ප‍්‍රකාශයට පත් විය., ඉන්දියානු උප මහාද්වීපය තුල හතරවන ජාත්‍යන්තරයේ ශාඛාව ලෙස 1942දී පිහිටුවන ලද ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) ලංකා ශාඛාව, 1950දී පැබ්ලෝගේ බලපෑම යටතේ, ලසසපය තුලට දියකර හැරියේය. ලසසප නායකයෝ පැබ්ලෝගේ ස්ටැලින්වාදයට ගැති ආස්ථානය විවේචනය කල නමුත් 1953 කැනන්ගේ ලිපියේ ඉල්ලීම පරිදි හජාජාකට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කරමින් පැබ්ලෝගේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය තුලම රැඳී සිටියහ.

ලසසපයේ දේශපාලන පල්ලම් බැසීමට හා ප‍්‍රතිගාමී සිංහල අධිපතිවාදය සමග කලතාගත් පුහු සමාජවාදී හා අධිරාජ්‍ය විරෝධී කයිවාරු ගැසූ ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ‍්‍රීලනිප) එය විවෘතව අනුගත වීමට සෘජුවම වගකිව යුත්තේ පැබ්ලෝ හා මැන්ඩෙල්ය.

ලසසප විසින් ප‍්‍රගතිශීලී විකල්පයක් ලෙස ශ‍්‍රීලනිපය පුම්බනු ලැබීම නියෝජනය කලේ, ලංකාව වැනි ධනේශ්වර සංවර්ධනය කල් පමාවූ රටවල ධනේශ්වරයේ කවර කොටසක් හෝ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය කර්තව්‍යයන් ඉටුකිරීමට අසමත් බව තහවුරු කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය අතහැර දැමීමයි.

ශ‍්‍රීලනිපය 1956 මැතිවරනය ජයග‍්‍රහනය කලේ, දිවයිනේ දෙමල සුලුතරය දෙවැනි ගනයේ පුරවැසියන් බවට පත්කල ප‍්‍රතිපත්තියක් වූ රටේ නිල රාජ්‍ය භාෂාව “සිංහල පමනක්” යන දුෂ්ඨ ව්‍යාපාරයේ පදනම මතය. ලසසසප සිංහල පමනක් ප‍්‍රතිපත්තියට විරුද්ධවූ නමුත් ශ‍්‍රීලනිපය සමග මැතිවරන නිතරග ගිවිසුමකට එලඹෙමින්, මැතිවරනයෙන් පසුව නව ශ‍්‍රීලනිප ආන්ඩුවට “අනුකූලතා සහයෝගිතාව” පලකිරීමේ ආස්ථානයක් ගත්තේය

.

මේ කිසිවකට පැබ්ලෝ හා මැන්ඩෙල් විරුද්ධ නොවූහ. එපමනක් නොව, කැනන් හා එස්ඩබ්ලිව්පීය 1953දී ගත් මූලධර්මාත්මක ආස්ථානයෙන් පසුබැසීම මගින් ලසසප පරිහානියට තවත් අත් වැලක් සැපයීය. 1963දී එස්ඩබ්ලිව්පීය, පූර්ව දශකය පුරා තව තවත් පුලුල් වූ මූලධර්මාත්මක මතභේද පිලිබඳ කිසිදු සාකච්ඡාවකින් තොරවම පැබ්ලෝවාදී ජාත්‍යන්තරය සමග යලි එකමුතු විය. තව ද, කියුබාවේ කැස්ත්‍රෝ තන්ත‍්‍රය උත්කර්ෂයට නැංවූ, අලුතෙන් පිහිටුවාගත් එක්සත් ලේකම් මන්ඩලය ලංකාව තුල ද එවැනිම ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් ලසසපය විසින් වැලඳ ගැනීමට අනුබල දුන්නේය.

යලි කාන්ඩ ගැසීම හා එක්සත් ලේකම් මන්ඩලයේ ධෛර්ය ගැන්වීම සහිතව ලසසප, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) හා 1956දී ශ‍්‍රීලනිප ආන්ඩුවට ඇතුලුවූ සිංහල වර්ගවාදී මහජන එක්සත් පෙරමුන සමග එක්සත් වාම පෙරමුනක් (එවාපෙ) ගොඩනැගීමට මූලිකත්වය ගත්තේය. 1964දී සිරිමා බන්ඩාරනායක ආන්ඩුව තුලට පිම්ම ගැනීම සඳහා පිනුම් පිත්ත වූයේ එවාපෙ ය.

ලසසප පාවාදීම, කලාපය හා ලෝකය පුරා කම්කරු පන්තියට එල්ල වූ දරුනු පහරක් විය. ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදය අතහැර දැමීම ලංකාවේදී, වාර්ගික දේශපාලනයේ පදනම මත සුලු ධනපති රැඩිකල්වාදයේ විවිධ රූපාකාරයන් බිහිකිරීමට දොර විවර කලේය. 1966දී පිහිටුවන ලද ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මා ඕවාදය, කැස්ත්‍රෝවාදය හා සිංහල ජනතාවාදයේ අච්චාරුවක් මත පාදකව, සන්නද්ධ අරගලය දේශනා කිරීම මගින් ගම්බද දුගී තරුනයින් අතර අනුගාමිකත්වයක් දිනා ගත්තේය.

1971දී ජවිපෙ, ලසසප හා කොප සමග එක්ව 1970දී පිහිටුවාගත් ශ‍්‍රීලනිප සභාග ආන්ඩුවට එරෙහිව කැරැල්ලක් දියත් කලේය. ආන්ඩුවේ ප‍්‍රතිචාරය දෙයාකාර විය. ගම්බද තරුනයින් 15,000ක් ඝාතනය කරමින් රුදුරු ලෙස කැරැල්ල මැඩ පැවැත්වීම හා දේශපාලනිකව ජවිපෙට වල කැපීම සඳහා යොමුවුන, දෙමල සුලුතරයට එරෙහිව සිංහල ජාතියට වාසි ගෙනදුන් පිලිවෙතක් විවෘතව ක‍්‍රියාවට නැගීම ඒ දෙකයි. 1972 ව්‍යවස්ථාව, සිංහල පමනක් රාජ්‍ය භාෂාව හා බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස සංස්ථාගත කලේය. මෙම දෙමල විරෝධී වෙනස්කම් කිරීම, දස දහස් ගනන් මරුමුවට පත්කරමින් ද 1983දී පුපුරා ගිය දශක තුනක සිවිල් යුද්ධයකට දිවයින ඇද දමමින් ද එල්ටීටීඊ වැනි සන්නද්ධ දෙමල බෙදුම්වාදී සංවිධාන බිහිවීමට කොන්දේසි නිර්මානය කලේය.

ආසියාවේ හා ලොව පුරා එන්ට එන්ටම අපකීර්තියට පත්වෙමින් තිබූ ස්ටැලින්වාදී හා මා ඕවාදී පක්ෂ වලට, ලසසප ධනපති ආන්ඩුවකට ඇතුලුවීම දෙසට ඇඟිල්ල දිගුකොට ට්‍රොට්ස්කිවාදය හෙලා දැකීම සඳහා ලසසප පාවාදීම මගින් අවස්ථාව ලබා දුන්නේය.

ඉන්දියාවේදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) හා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) (සීපීඑම්) වැනි විවිධාකාර ස්ටැලින්වාදී පක්ෂ වලට, චීන-සෝවියට් භේදය මගින් නිර්මානය කල අර්බුදය තුල අභියෝගයකින් තොරව බේරී යාමට හැකියාව ලැබුනි. සන්නද්ධ නැක්සල්බාරි ව්‍යාපාරය ලසසපය දෙසට ඇඟිල්ල දිගුකොට ට්‍රොට්ස්කිවාදය හෙලාදුටුවේය. එනමුදු, සියලු ස්ටැලින්වාදී පක්ෂ මෙන්ම ඔවුන් ද “ප‍්‍රගතිශීලී” ධනේශ්වරය සමග තමන්ගේම සන්ධානය පවත්වාගෙන ගියේය. මේ පදනම මත සීපීඅයි, සීපීඑම් මෙන්ම නේපාලයේ සිට ෆිලිපීනය දක්වා වූ සන්නද්ධ මා ඕවාදී සංවිධාන සියල්ලක්ම එක්කෝ ජාතික දේශපාලන සංස්ථාපිතය තුල තහවුරුවී හෝ එම මාවතේ යමින් සිටියේය.

බි‍්‍රතාන්‍ය එස්එල්එල් සම්බන්ධයෙන් ගතහොත් ලසසපයේ පාවාදීම, එස්ඩබ්ලිව්පීය පැබ්ලෝවාදය සමග යලි කාන්ඩ ගැසීමට එරෙහිව කල එහි දේශපාලන අරගලයේ නිරවද්‍ය භාවය සනාථ කලේය. එස්ඩබ්ලිව්පීය තුල සිටි ජාත්‍යන්තර කමිටුවේ අනුගාමිකයින් කන්ඩායම සම්බන්ධයෙන් ගතහොත්, ලසසප බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම පිලිබඳව අභ්‍යන්තර සාකච්ඡාවක් අවශ්‍ය බවට ඔවුන් ගෙන ගිය අරගලයේ ප‍්‍රතිපල වශයෙන් පක්ෂයෙන් නෙරපීමට ලක්වූ අතර එය, දැනට එජ සසප පූර්වගාමී වර්කර්ස් ලීගය පිහිටුවීමට තුඩු දුන්නේය.

ලසසප පාවාදීම සලකුනු කලේ, පැබ්ලෝවාදය අධිරාජ්‍යවාදයේ සෘජු සේවයට කැපවීමය යන නිවැරදි නිගමනය කරා එලඹුනු නමුදු එස්එල්එල් හා එහි අනුප‍්‍රාප්තික කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප), අවස්ථාවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයෙන් වඩ වඩාත් ඉවතට හැරුනු අතර බි‍්‍රතාන්‍යයේ කම්කරු හා වෘත්තීය සමිති නිලධරයන්ටත්, ස්ටැලින්වාදයට හා මැද පෙරදිග ජාතික ධනපති තන්ත‍්‍රයන්ටත් අනුගත විය.

1985-86 වසරවල ජාත්‍යන්තර කමිටුව තුල සිටි අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීහු, කවිප අවස්ථාවාදීන්ගෙන් බිඳී, අද දිනයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලින් ප‍්‍රකාශයට පත්වන මාක්ස්වාදයේ මල්පල ගැන්වීමට දායක විය. අද දවසේ ජාත්‍යන්තර කමිටුව හා පැබ්ලෝවාදී මෙන්ම රාජ්‍ය-ධනවාදී ව්‍යාජ වාම ප‍්‍රවනතා අතර භේදය දැවැන්ත ය. අධිරාජ්‍යවාදයේ සේවය සඳහා ඔවුන්ගේ මාරුවීම, ලිබියාවට එරෙහි එජ මූලිකත්වය ගත් යුද්ධය, සිරියාවේ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම, වොෂින්ටනයේ පිටුබලය සහිතව ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ යුකේ‍්‍රනයේ කුමන්ත‍්‍රනය හා රුසියාව සමග ගැටුම සඳහා විවෘතව සහයෝගය දීම මගින් සලකුනු කෙරේ. යුද්ධයේ වර්ධනය වන අන්තරායට එරෙහිව සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගන්වන්නේ ජාත්‍යන්තර කමිටුව පමනි. එවන් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අරගලයේදී අවස්ථාවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලයේ පාඩම් තීරනාත්මකය.

සසප, හජාජාක සිය සමචින්තකයන් සමග එක්ව ලසසප පාවාදීමේ සංවත්සරය සනිටුහන් කරනු ඇත්තේ ඊට එරෙහිව ගෙන ගිය අරගලයේ අර්ථභාරය පැහැදිලි කරන ලිපි, රැස්වීම් හා දේශන පවත්වමිනි. මෙම තීරනාත්මක මූලෝපායික අරගලයේ අත්දැකීම්, කම්කරුවන්ගේ, තරුනයින්ගේ හා සමාජවාදයට හිතැති බුද්ධිමතුන්ගේ අවබෝධය පිනිස ගෙන ඒම වැදගත්ය. එසේම ජාත්‍යන්තර කමිටුවේ බලපෑම පුලුල් කිරීමේදී හා ආසියාවේ හා ලෝකය පුරා එහි නව ශාඛාවන් ගොඩනැගීමේදී ද එය වැදගත්වේ.

Share this article: