ප‍්‍රසිද්ධ රැස්වීම

ශිෂ්‍ය මර්දනය නතර කරනු!

අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් රැකීමට සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ විසිනි, 2014 ජූනි 13

පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පිය මනින රාජපක්ෂ ආන්ඩුව විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව ගෙන යන මර්දනයට එරෙහිව, සමාජවාදී සමානතා පක්ෂයේ තරුන හා ශිෂ්‍ය සංවිධානය වන, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය විසින් සංවිධානය කෙරෙන ප‍්‍රසිද්ධ රැස්වීමක් මෙම ජූනි 19 දා කොලඹ දී පැවැත්වේ.

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා සිසු අරගල මැඩීම සඳහා, ශිෂ්‍ය සංගම් තහනම් කරමින් ද, දහසකට අධික සිසුන්ගේ පන්ති තහනම් කරමින් හෝ ශිෂ්‍යභාවය අහෝසි කරමින් ද, ව්‍යාජ නඩු පවරමින් හා මැර ප‍්‍රහාර එල්ල කරමින් ද, රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ මූලයන් සහ එම ප‍්‍රහාර පරාජය කිරීමේ වැඩපිලිවෙල මෙම රැස්වීමේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

2008 දී ආරම්භවූ ගෝලීය ධනේශ්වර කඩාවැටීම, වඩාත් නරක අතට හැරෙමින් පවතින තතු තුල ලොව පුරා ආන්ඩු කම්කරු පන්තියේ අයිතීන් තලා දැමීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත්කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයන්ට අනුව රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමමින් පවත්නා කප්පාදු වැඩපිලිවෙල මෙහි කොටසකි. පසුගිය සියවසේ කම්කරු පන්තියේ අරගලයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සීමිතව හෝ දිනා ගත් නිදහස් අධ්‍යාපනය මුලුමනින්ම වල දමා එය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීම රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතයි.

ශිෂ්‍ය අරගල මුදුනේ ලැග සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම වෘත්තීය සමිති සහ ව්‍යාජ‐වාම දේශපාලන පක්ෂ සියල්ලම, අරගලයට ඇදෙන සිසුන් හා කම්කරුවන් අවමංගත කරති. ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් මෙම සමාජ ප‍්‍රතිවිප්ලවය ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව වපුරමින් කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් ධනපති පෙරමුනු වල සහ ඒවායේ ඊනියා විරෝධතාවන්හි කොටු කරමින් සිටිති. අවිශිබමයේ සිසු‐ජන පෙලගැස්ම මෙහි අලුත්ම සූත‍්‍රයයි.

මෙම ධනේශ්වර ගැති ප‍්‍රතිගාමී හා අවස්ථාවාදී වැඩපිලිවෙලට එරෙහිව සසප හා සසජාතශි ලොව පුරා සටන් වැද සිටින්නේ සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා යි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සසජාතශි සහ සසප සටන්වදියි. මෙම කි‍්‍රයාමාර්ගය පිලිබඳව වැදගත් හා අත්‍යවශ්‍ය සාකච්ඡාවකට සහභාගිවීමට අප පවත්වන රැස්වීමට සහභාගි වන ලෙස ශිෂ්‍යයන්ගෙන්, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

ස්ථානය: කොටාරෝඩ් හි එන්.එම්. පෙරේරා කේන්ද්‍රය

දිනය: 2014 ජූනි 19

වේලාව: සවස 3.30

Share this article: