මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රහාරවලට විරුද්ධවනු

Oppose the attacks on Muslims in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂයයේ ප‍්‍රකාශයකි., 2014 ජූනි 23

බොදු බල සේනා (බොබසේ) අන්තවාදීන් විසින් අලුත්ගම සහ බේරුවලින් පටන් ගෙන තවත් ප‍්‍රදේශවලට පැතිරවූ මුස්ලිම් ජනයාට එල්ල කල ප‍්‍රහාර සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අනුග‍්‍රහයෙන් ගෙනගිය මෙම වර්ගවාදී ව්‍යාපාරය සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ට තියුනු අනතුරු ඇඟවීමකි. සිය කප්පාදු වැඩ පිලිවෙලට විරුද්ධව වැඩකරන ජනතාව අතර වැඩෙන විරුද්ධත්වය ගැන භීතියට පත්ව සිටින ආන්ඩුව, ජීවන කොන්දේසිවලට එරෙහිව නව ප‍්‍රහාර වටයක් සඳහා සූදානම් වෙමින් කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමට මාන බලයි.

පැන නැගී ඇති ආතති තත්වය ඩැහැගත් ආන්ඩුව නගර ගනනාවකට මිලිටරිය යොදවා ඇති අතර රට පුරා පොලීසිය “සීරුවෙන්”තබා ඇත. “ජනවාර්ගික හා ආගමික වෛරය ඇති කරන රැලි” තහනම් කරන බව පොලීසිය ඊයේ නිවේදනය කලේ ය. මෙය සාධාරන විරෝධතා සහ රැස්වීම් තහනම් කිරීමට ද යොදා ගත හැකි කඩතුරාවකි.

ජූනි 15 බොබසේ අලුත්ගම පැවැත්වූ රැස්වීමකින් පසු මුස්ලිම්-විරෝධී ප‍්‍රචන්ඩ කි‍්‍රයා පුපුරා ගියේ ය. මුස්ලිමුන් හෝ “පරයන්” සිංහලයෙකුට විරුද්ධව ඇඟිල්ලක් හෝ ඉස්සුවහොත් “ඒ ඔවුන්ගේ අවසානය යි” යනුවෙන් ප‍්‍රකාශ කරමින් බොබසේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව දුෂ්ට මුස්ලිම්-විරෝධී කතාවක් පැවැත්වූයේ ය. භික්ෂුවගේ කතාවෙන් පසුව මැරයෝ, මුස්ලිම්වරුන් දෙදෙනෙක් හා දෙමල කම්කරුවෙක් මරා දමමින් තවත් දුසිම් ගනනකට තුවාල කරමින්, කඩ හා නිවාස ගිනි තබමින් විනාශය මුදා හලහ.

ප‍්‍රචන්ඩ කි‍්‍රයා වැලැක්වීමේ මුවාවෙන් සිය ගනනක් පොලීසිය හා පොලිස් කොමාන්ඩෝ භටයන් ද පසුව මිලිටරිය ද යොදවනු ලැබීය. අඳුරු නීතියට මුවාවී සිංහල-බෞද්ධ කල්ලි ඉවක්බවක් නැති ප‍්‍රහාරයක යෙදෙද්දී ආරක්ෂක හමුදා ඈත බලාගෙන සිටියහ. ප‍්‍රහාර අඛන්ඩව සිදුවේ. සෙනසුරාදා පෙට්ට‍්‍රල් බෝම්බයකින් එල්ල කලා යැයි සැක කෙරෙන ප‍්‍රහාරයකින් පානදුරේ පිහිටි මුස්ලිම් පුද්ගලයන්ට අයත් නොලිමිට් ඇඟලුම් සාප්පුව මුලුමනින්ම විනාශ විය.

ප‍්‍රචන්ඩ කි‍්‍රයා “ආගමික ගැටුමක්” ලෙස පින්තාරු කරන ආන්ඩුව, පොලීසිය, මාධ්‍ය සහ විරුද්ධ පක්ෂ ඒ පිලිබඳව දෙපැත්තෙන් ම සිටින “අන්තවාදීන්ට” දෝශාරෝපනය කරති. මෙය අමු බොරුවකි. මෘග වාර්ගික ගිනිමැලයක් අද්දරට රට තල්ලු කර දමා ඇති බොබසේ ප‍්‍රකෝප කිරීම පසුගිය අවුරුදු දෙක තුල ක‍්‍රමානුකූලව තර කෙරුනු මුස්ලිම්-විරෝධී ව්‍යාපාරයක කොටසකි.

බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන බොබසේ සමග රාවනා බලය, සිහල රාවය හා ඒ සමාන අන්තවාදී කන්ඩායම් රටේ බොහෝ ප‍්‍රදේශවල මුස්ලිම් පල්ලි හා කි‍්‍රස්තියානි දේවස්ථාන සිය ගනනකට ප‍්‍රචන්ඩ ප‍්‍රහාර එල්ල කර ඇත. මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දී ඔවුන්ගේ භාන්ඩ වර්ජනය කිරීමක් ද උසිගන්වා තිබේ.

රාජපක්ෂගේ හා ඔහුගේ ආන්ඩුවේ පිටුබලය නැතිව මෙම ස්වෝත්තමවාදී ව්‍යාපාරය ගෙනයෑමට ඉඩක් නොතිබුනි. සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ බොබසේ ගැන “ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ” නොකරන ලෙසට පසුගිය බ‍්‍රහස්පතින්දා කැබිනට් රැස්වීමේ දී ජනාධිපති මුස්ලිම් ඇමතිවරුන්ට අනතුරු ඇඟවූ බව යි.

මොන ම සාක්ෂ්‍යක් වත් නැතිව, එම රැස්වීමේ දී ම, රාජපක්ෂ ප‍්‍රකාශ කලේ අලුත්ගම සිද්ධීන් ආන්ඩුවට එරෙහිව “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක් ” බවයි. සාක්ෂි නොමැතිව ම, “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක්” යන හංවඩුව ජනාධිපති යොදා ගන්නේ කම්කරුවන්ගේ අරගල ද ආන්ඩුවට එරෙහි විවේචන ද හෙලා දැකීම පිනිස ය.

නිදහසේ ප‍්‍රචන්ඩ හා ප‍්‍රකෝපකාරී කි‍්‍රයා උසිගන්වන බොබසේ සමග රාජපක්ෂට ද ඔහුගේ සහෝදර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ද සමීප සම්බන්ධකම් ඇත. බොබසේ හා ඊට සමාන අන්තවාදී සංවිධානවල සමාජ පදනම බෞද්ධ භික්ෂූන්, සුලු ව්‍යාපාරිකයන් සහ සමාජයේ ලුම්පන් කොටස් ය. රාජපක්ෂ මේ සංවිධාන පෝෂනය කර ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව මුදා හැරීමට ය.

ආන්ඩුව ආර්ථික සාර්ථකත්වයන් ගැන කයිවාරු ගසතත් ඒවා මුලුමනින්ම වාගේ රඳා ඇත්තේ විදේශීය හා දේශීයව ගන්නා අධික නය මත ය. මැයි මාසයේ කොලඹට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කන්ඩායම අවධාරනය කලේ ආන්ඩුව දල ජාතික නිශ්පාදිතයෙන් සියයට 5.9ක් වූ අයවැය හිඟය සියයට 5.3 දක්වා මේ වසරේ කප්පාදු කල යුතු බවයි. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ දරුනු නව කප්පාදු වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට දැමීම සහ වැඩ කරන ජනයාට බලපාන අතිරේක බදු බර පැටවීමයි.

සාමාජ ආතතීන් දැනටමත් පුපුරන සුලු මට්ටමක ය. වැටුප් හා සේවා කොන්දේසි ඉහල දමන ලෙස බල කරමින් දුම්රිය, සෞඛ්‍ය හා විදුලිබල අංශවල කම්කරුවන්ද ගුරුවරු ද විරෝධතාවලට පසුගිය මාස ගනනාවේ ඇදී ආහ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුද්ගලීකරනයට එරෙහිව දීර්ඝ කාලයක් උද්ඝෝෂන දියත් කලහ. සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි උද්ඝෝෂන පැන නැගී ඇත.

රාජපක්ෂ වැඩකරන ජනයා අතර භේදයන් හා ව්‍යාකූලත්වයන් වැපිරීමට බොබසේ හා අනෙකුත් සිංහල අන්තවාදීන් යොදා ගැනීමට පමනක් සීමා වනු නැත. ඔහු මෙම කන්ඩායම් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගලවලට විරුද්ධව ලිහා දමනු ඇත. කැපීපෙනෙන කරුනක් වන්නේ ඥානසාර භික්ෂුවගේ මහව්‍යාපාරිකයන් වෙත නැම්මයි. තම සංවිධානය පුද්ගලික විශ්වවිද්‍යාලවලට සහයෝගය දෙන බව ද කැසිනෝ ඇතුලු විදේශ ආයෝජනයන්ට විරුද්ධ නැති බවට ද ඔහු ප‍්‍රකාශ කර ඇත.

වැඩ කරන ජනයා අතර භේද ඇති කිරීමට ද ධනේශ්වර පාලනය රැක ගැනීමට ද වර්ගවාදය යලියලිත් අවුලුවා ඇත. 1948 පටන් සෑම අර්බුදයකදී ම බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආන්ඩු සිංහල ස්වෝත්තමවාදය ට යොමුවූහ. සිය වෙලඳපොලගැති ප‍්‍රතිව්‍යූහකරනයට එරෙහි විරුද්ධත්වය වැඩෙද්දී එජාප ආන්ඩුව දෙමල විරෝධී ජනඝාතන ඇවිස්සීය. ඉන් සලකුනු වූයේ, දහස් ගනන් මරනයට පත් කරමින් දිවයිනේ උතුරු-නැගෙනහිර මුඩු බිමක් කෙරුනු දිග්ගැස්සුනු සිවිල් යුද්ධයක ආරම්භය යි. එය තුඩු දුන්නේ දැවැන්ත පොලිස් රාජ්‍ය තන්ත‍්‍රයක් නිර්මානය කිරීමට යි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජයෙන් පසුව, රාජපක්ෂ ආන්ඩුව අර්බුදයේ ගිලී ඇත. මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය දිරි ගන්වන අතරේ, එය එල්ටීටීඊය පන ගසා ගෙන එන්නේ යයි දෙමල විරෝධී ප‍්‍රචාරයක්ද අවුස්සයි. මිල්ටරිය මත ද සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී බලවේග මත ද වාරු වී සිටින ආන්ඩුව කම්කරු පන්ති අරගල මැඞීමට පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගැනීමට පැකිලෙනු නැත.

ගෝලීය ධනපති අර්බුදය ගැඹුරුවන තතු තුල අන්ත දක්ෂිනාංශක බලවේග මතුවීම ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. දේශපාලන සංස්ථාපිතයේ කොටස්වල පිටුබලය ඇතිව ගී‍්‍රසියේ ෆැසිස්ට් ගෝල්ඩන් ඩෝන් ප‍්‍රමුඛත්වය ට ආවේ රටේ ආර්ථික බිඳ වැටීමක් මධ්‍යයේ රුදුරු කප්පාදු වැඩපිලිවෙල සමාජ ව්‍යසනයක් නිර්මානය කරන තතු තුලය. එවැනි ප‍්‍රතිගාමී සංවිධානවල පැන නැගීමට දේශපාලනිකව ප‍්‍රධාන වගකීම වැටෙන්නේ කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීම අවහිර කල වෘත්තීය සමිති සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ස්ටැලින්වාදී පක්ෂ මතය.

ලංකාව තුල සියලු විරුද්ධ පක්ෂ වර්ගවාදී දේශපාලනයේ ගිලී ඇත. යූඇන්පිය මුස්ලිම්-විරෝධී ප‍්‍රහාර හෙලා දැක ඇත. එහෙත් ඊට ඇත්තේ 1983 දෙමල-විරෝධී ජනඝාතන ද ඇතුලත් වාර්ගික ප‍්‍රකෝපකරනයේ දීර්ඝ ඉතිහාසයකි. ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක ආන්ඩුව “වර්ගවාදයේ ගින්න අවුලුවා ඇත”යි චෝදනා කරන ගමන්ම දෝශාරෝපනය කරන්නේ, බොබසේ හා බෞද්ධ අන්තවාදීන්ට නොව මුස්ලිම්, දෙමල, හා සිංහල යන සියලු ජනවර්ගයන්ට ය.

අලුත්ගම ප‍්‍රහාරයෙන් පසු ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ (ශී‍්‍රලමුකො) නායක රවුෆ් හකීම් ආන්ඩුවෙන් අස්වන්නේ යයි මුලින්ම තර්ජනාත්මකව ප‍්‍රකාශ කලේ ය. පසුව ඔහු පල්ලම් බැස්සේ කැබිනෙට්ටුව ඇතුලේ ම ඉඳ වැඩියෙන් ආන්ඩුවට පීඩනය යෙදිය හැකි බව ප‍්‍රකාශ කරමිනි. මුස්ලිම්වරුන් අතර පැතිරී ගිය කෝපය යටපත් කිරීමට ඔහු සඳහන් කලේ මෑත ප‍්‍රහාර පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයාගෙන් ඉල්ලා සිටින බවයි. මුස්ලිම් කොන්ග‍්‍රසය නියෝජනය කරන්නේ මුස්ලිම් කම්කරුවන්ගේ හෝ කුඩා වෙලෙන්දන්ගේ උවමනාකම් නොව මුස්ලිම් ප‍්‍රභූවේ උවමනාකම් ය.

ව්‍යාජ වාම සංවිධාන වන නව සමසමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදි පක්ෂය (එසප) කම්කරුවන්ගේ ඒකාබද්ධ පන්ති ප‍්‍රතිචාරයක් දැක්වීමට මග හරස් කිරීමේ අතිශය ද්‍රෝහී කි‍්‍රයාකලාපයක නිරතව සිටී. පුවත්පත් සාකච්ඡාවක දී නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න මෑත ප‍්‍රහාර පිලිබඳව බොබසේ හෙලා දුටු අතර ම ගෝඨාභය රාජපක්ෂට දෝශාරෝපනය කලේ ය. කෙසේ නමුත් නසසප හා එසප දක්ෂිනාංශික එජාපය සන්ධානයක ගැලතී සිටින්නේ “මහින්ද රාජපක්ෂගේ ෆැසිස්ට් පන්නයේ තන්ත‍්‍රයට” එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රකින්නෙකු ලෙස එය හුවා දක්වමිනි. කම්කරු පන්තිය ධනපති පක්ෂවලට ගැට ගැසීම කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමේත් ආන්ඩුව හා සිංහල අන්තවාදීන් ශක්තිමත් කිරීමේත් නිශ්චිත කි‍්‍රයාවකි.

රාජපක්ෂ ආන්ඩුව සමග එකට වැඩ කරන සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ මතුවීම කම්කරු පන්තියට ඉමහත් අන්තරායන් මතු කරයි. මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රහාරවලට විරුද්ධවන ලෙසද සියලු වැඩකරන ජනතාවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස ද කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී. මෙම වර්ගවාදී සංවිධානවලට එරෙහිව සටන් කිරීමේ එකම මාර්ගය වන්නේ පොදු පන්ති අවශ්‍යතා මත කම්කරුවන් හා තරුනයන් ස්වාධීනව බලමුලු ගැන්වීමත් රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව ඒකාබද්ධ දේශපාලන අරගලයක් දියත් කිරීමත් ය.

ඒ සඳහා දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදයට කරන අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට එනම්, ශී‍්‍ර ලංකා - ඊලම් සමාජවාදී සමුහාන්ඩුවකට සටන් කිරීම අවශ්‍ය වේ. කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප උදක් ඉල්ලා සිටින්නේ සසපට බැදී මෙම අරගලයට නායකත්වය දීමට එය විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නගන ලෙසයි.

Share this article: