එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිදරව්වලින් පසු ගෙවී ගිය එක් වසර

One year of Edward Snowden’s revelations

2014 ජූනි 6

එක්සත් ජනපද රජයේ මහා පරිමාන තොරතුරු අවික්ෂන වැඩ පිලිවෙල සම්බන්ධ සාක්ෂි පලමුවෙන්ම ගාඩියන් පුවත්පතේ පල වූ තැන් පටන් ජුනි 5 වන බ්‍රහස්පතින්දාට වසරක් සපිරෙයි. ඇමරිකානු මහජනයාගේ හා ලොව පුරා ගනන් නැති තවත් දශලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පෞද්ගලික හා දේශපාලන සන්නිවේදනයන් එකතු කිරීම, ගබඩා කිරීම හා කොටු කර ගැනීම සඳහා වූ එක්සත් ජනපද රජයේ මහා පරිමාන අවික්ෂන වැඩ පිලිවෙලක පැවතීම පිලිබඳ තොරතුරු කොටස් වශයෙන් නිරාවරනය කිරීමට, මුල් හෙලිදරව්වේ සිට ගෙවී ගිය මාසවලදී, දුෂන හෙලිදරව්කරන්නා වන එඩ්වඩ් ස්නෝඩන් කටයුතු කොට ඇත.

ස්නෝඩන් විසින් හෙලිදරව් කෙරුනු ජාත්‍යන්තර අවික්ෂන මෙවලම මේ තාක් ඉතිහාසයේ අන් කවර හෝ ඔත්තු බැලීමේ යාන්ත්‍රනයකට වඩා බලගතු ය. වෙරිසන්, ගූගල් හා යාහූ වැනි සුවිසල් සමාගම්වල ආධාරයෙන් කෝටි සංඛ්‍යාත විද්‍යුත් පනිවුඩ, දුරකථන ඇමතුම්, පෙල පනිවුඩ, වීඩියෝ සම්මන්ත්‍රන හා සන්නිවේදන ජාලගත කැමරා දත්ත වාර්තාගත කිරීම්, මුහුනු ප්‍රතිරූප හා නය කාඩ්පත් තොරතුරු එක් රැස් කෙරේ. සන්නිවේදනයන්හි පාර දත්ත (Metadata) මෙන්ම අන්තර්ගතය ද මතක ගබඩා තුල තැන්පත් කෙරෙන අතර කිසිදු බලපත්‍රයකින් තොරව එම දත්ත කරා පිවිසිය හැකිය. මෙම තතු තුල, එක්සත් ජනපදය තුල මෙන්ම ඇමරිකාවේ දේශ සීමාවන්ගෙන් එපිට පවා වෙසෙන සෑම පුද්ගලයෙකුගේ ම සමාජ හා දේශපාලන පැතිකඩ සලකුනු කිරීමට අවික්ෂන ආයතනයන්ට අවකාශ සැලසේ.

ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) තනි පුද්ගලයන් සම්බන්ධයෙන් පමනක් නොව; (සතුරු හා "අනුචර" රාජ්‍ය ලෙස වෙසෙසකින් තොරව එක සේම) ආන්ඩු හා රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ද; එක්සත් ජාතීන්, යුරෝපා සංගමය හා නැටෝ වැනි ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධයෙන් ද විදේශ සමාගම් සම්බන්ධයෙන් ද ඔත්තු බලන බව පෙන්වා දෙන ලියකියවිලි ස්නෝඩන් මාධ්‍යවලට මුදාහැර ඇත. චීනයේ, ඉරානයේ හා තවත් රටවල් රාශියක සන්නිවේදන තුලට අනවසරයෙන් කඩා වැදීම් සිදු කරන එක්සත් ජනපද රජය, ලෝකයේ සයිබර් මිලිටරීකරනයේ නියුක්ත වී සිටින්නන් අතර විශාලතමයාය.

ඇමරිකානු 'බිග් බ්‍රදර්' මෙහෙයුම්වල (බිග් බ්‍රදර් හෙවත් බීබී යනු තොරතුරු පද්ධති හා සන්නිවේදන ජාල අධීක්ෂනය සඳහා - බොහෝවිට තොරතුරු පද්ධති පරිපාලකයන් විසින් - යොදා ගනු ලැබෙන මෘදුකාංග මෙවලමකි) සුවිසල් විෂය පථය හා එහි විශ්වව්‍යාපී ස්වභාවය පිලිබඳව කෙරී ඇති විස්තරාත්මක හෙලිදරව්වලින්, මෙම මෙහෙයුම් ඇමරිකානු "මාතෘ භුමිය" ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ අවශ්‍යතාවය විසින් පොලඹවනු ලද්දා වූ "සීමිත" හා "පටු පරාසයකට නාභිගත කෙරුනු" වැඩ පිලිවෙලකැයි යන නිල කියාපෑම් එහැමපිටින්ම අභූතයන් බවට පත් කෙරෙයි. ඔත්තු සේවා, ධවල මන්දිරය, හා කොන්ග්‍රසය තුල ඒවායේ බලධරයන් සහ අධිකරනය විසින් මේ ප්‍රකට බේගලය දිගින් දිගටම පතුරවා හැරීම වූ කලී මහජනයාගේ බුද්ධියට කෙරෙන අවමානයකි.

වසරකට පෙර මුල් හෙලිකිරීම් පල වූ තැන් පටන්, මහජනයාට වග නොකියන ඔත්තු සේවා හා හමුදා ලොක්කන් විසින් මෙහෙයවනු ලබන; ප්‍රජාතන්ත්‍රවාදයේ වැරහැලි වූ හා සායම් ගිය ආයිත්තම් තුල සැඟවී සිටින; ඉස්මතුවෙමින් පවත්නා පොලිස් රාජ්‍යයක් පිලිබඳ යථාර්ථය මුලුමනින් ම එලිමහනට පැමිනියේය. පාලක පංතියේ අභිරුචීන්ට තර්ජනයක් වන සමාජ කැලඹීම් වලදී අත් අඩංගුවට ගනු ලැබ උපුටා දමනු ලැබීමට නියමිත ජනයාගෙන් සමන්විත "සතුරන්ගේ ලැයිස්තු" සැකසීමට රාජ්‍යයට ඉඩ සලසන මේ මර්දක උපකරනයේ සැබෑ ඉලක්කය වනුයේ, සිරියාවේ ලිබියාවේ හා ලෝකය පුරා තවත් ස්ථානයන්හි දී එක්සත් ජනපද ආන්ඩුව සමඟ සහයෝගීව ක්‍රියාත්මක වන විදේශීය ජිහාඩ්වාදීන් නොව, කම්කරු පන්තියයි.

සමස්ත ජන සමාජය අලලා ගත් මෙම අවික්ෂන වැඩ පිලිවෙල පැහැදිලිව ම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී වෙයි. ඒ වූ කලී නියත ලෙසම, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සිව් වන සංශෝධනයෙන් "යුක්තියුක්ත නොවන" මෙහෙයුම් ලෙස තහනම් කෙරෙන වර්ගයට අයත් වුවකි. එම සංශෝධනයේ දැක්වෙන්නේ; "මහජනයාට සිය පෞද්ගලිකත්වය, නිවාස, ලියකියවිලි හා බඩුබාහිරාදිය යුක්තියුක්ත නොවන අයුරින් කෙරෙන සෝදිසි කිරීම් හා අත්පත්කර ගැනීම්වලට එරෙහිව සුරක්ෂිත කර ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොවියයුතු" බව සහ "විය හැකි සේ පෙනෙන සාධාරන හේතුවකින් තොරව සෝදිසි වරෙන්තුවක් නිකුත් නොකල යුතු..." බවයි.

එතෙකුදු වුව, ස්නෝඩන්ගේ මුල් හෙලිදරව් වලින් අවුරුද්දකට ද පසුව, මෙම වැඩ පිලිවෙලවල් කිසිවක් නවතා දමා හෝ සීමා කර හෝ නැත. ඒවා එපරිද්දෙන් ම පවතින අතර, ප්‍රතිසංස්කරනයේ නාමයෙන් ජනාධිපති ඔබාමා ඒවා වඩාත් දැඩි ලෙස ආයතනගත කිරීමට පියවර ගෙන ඇත.

මහජන විරෝධය තවමත් පුලුල් ලෙස ද, තීව්‍ර ලෙස ද පවතී. මෙම වැඩ පිලිවෙලවල පවතිතැයි කියන ලද අහිංසක හා නිත්‍යානුකූල ස්වභාවය පිලිබඳව මාස ගනන් ඇද බෑ බේගල් මඟින් ද, ඒ හා ඒකාබද්ධව රජය හා මාධ්‍ය විසින් ස්නෝඩන්ට එරෙහිව මුදා හැරුනු නිර්දය ප්‍රහාර මඟින් ද, අකටයුතුකම් හෙලි කරන්නා කෙරේ වූ මහජන සහයෝගය සෝදා පාලුවට පත් කිරීමට හැකි වී නැත. එහෙත් ආර්ථික හා දේශපාලන බලය දරන්නන්ට මහජන මතයෙන් පලක් නොවේ.

එම වැඩ පිලිවෙලවල් යම් තාක් දුරකට තෙමේම ප්‍රකට වූයේ ද, ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන්, ඒවා හෙලි වීම සම්බන්ධයෙන් වූ නිල ප්‍රතිචාරය විසින් එහි ස්වභාවය හෙලිදරව් කෙරේ. මාධ්‍යවලින් වේවා, ප්‍රධාන පක්ෂ දෙකෙන් කවරකින් හෝ වේවා, මෙම වැඩ සටහන් නවතා දැමිය යුතු බවට හෝ ජනාධිපතිගෙන් පටන් ගෙන ඒවාට අනුමැතිය දීමේ හා ඒවා ක්‍රියාවට නැංවීමේ වගකීම් පැවරෙන නිලධාරීන් නිලයෙන් පහ කොට නඩු පැවරිය යුතුය යනුවෙන් හෝ කිසිවිටෙකත් කැඳවීමක් නොකෙරිනි.

ඊට පටහැනි ලෙස ඉතා කලාතුරකින් හැර සැම විටෙකම පාහේ සිදු වූයේ පුවත්පත්, තොරතුරු ජාල, පන්ඩිතයන් හා දේශපාලනඥයන් ස්නෝඩන්ට එරෙහිව වට කර පහර දීමයි. සැබෑ අපරාධකරුවන් නිදොස් කොට දක්වන අතර, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මහා පරිමානයෙන් උල්ලංඝනය කිරීමට එරෙහිව තරුන ස්නෝඩන් දැක්වූ ධෛර්යමත් හා ප්‍රතිපත්ති සහගත ප්‍රතිචාරයට ප්‍රශංසා කරනු වෙනුවට, ඔහු ද්‍රෝහියෙකු හා අපරාධකරුවෙකු ලෙස හෙලා දැකීමට මෙම බලවේග ක්‍රියා කර ඇත.

මිට ඉහත රජයේ අකටයුතුකම් හෙලි කල විකිලික්ස්හි ආරම්භකයා වන ජුලියන් අසාන්ජ් හා විකිලික්ස් වෙත තොරතුරු සැපයූ බ්‍රැඩ්ලි (චෙල්සි) මැනිං වැන්නවුන් සම්බන්ධයෙන් පවත්වා ගෙන ගිය සිය පිලිවෙත තව දුරටත් ගෙන යමින් ඔබාමා පාලනය, 1917 ඔත්තු සේවා පනත යටතේ චෝදනා තුනක් එල්ල කරමින් ස්නෝඩන්ට එරෙහිව නඩු පැවරීය.

ස්නෝඩන්ගේ ගමන් බලපත්‍රය අවලංගු කෙරුනු අතර ඔහුගේ ශාරීරික ආරක්ෂාවට තර්ජන එල්ල විය. ජූලියේ දී පාලකයෝ ස්නෝඩන් අල්ලා ගැනීමේ ප්‍රයත්නක යෙදෙමින් බොලීවියානු ජනාධිපති ඊවෝ මොරාල්ස්ගේ ගුවන් යානය බලෙන් බිමට බැස්සවීමට ක්‍රියා කලෝය. රුසියාවේ තාවකාලික රැකවරනය ලබා ගැනීමට දුන් අවස්ථාව පිලිගැනීමට ස්නෝඩන්ට බල කෙරිනි.

එක් විකල්පයක් ලෙස ස්නෝඩන් ඝාතනය කිරීම පිලිබඳව හමුදා හා ඔත්තු සේවා ක්‍රියාකාරීන් අතර ප්‍රසිද්ධියේ සාකච්ඡා කෙරුනි. ඔක්තෝබරයේ දී එන්එස්ඒහි හිටපු අධ්‍යක්‍ෂක මයිකල් හේඩ්න් ඔබාමා පාලනය යටතේ "මරා දැමිය යුත්තන්ගේ ලැයිස්තුවට" ස්නෝඩන් ඇතුලත් කිරීම පිලිබඳව කථා කලේය.

වෘත්තීය වශයෙන් හෝ පෞද්ගලිකව හෙලිදරව් කිරීම් සමඟ අනුබද්ධ වූවෝ පොලිස් මර්දනයට භාජනය වූහ. ජූලියේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවල බලකිරීම් නිසා ගාඩියන් පුවත්පතට සිය දත්ත ගබඩා දෘඩාංග විනාශ කිරීමට සිදු විය. පුවත්පත වසා දැමීමට තර්ජනය කරන ලදී. අගෝස්තුවේ දී පොලිසිය ලන්ඩන්හි හිත්රෝ ගුවන් තොටුපලේ දී ගාඩියන් වාර්තාකරු ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ්ගේ සහකරු වන ඩේවිඩ් මිරැන්ඩා අත් අඩංගුවට ගෙන පැය නවයක් රඳවා ගත්තේය. පරිගනකය ද ඇතුලු ඔහු සතු දේ නීති විරෝධී ලෙස පරික්ෂා කොට අත්පත් කර ගන්නා ලදී.

අද වනතුරු ද තර්ජන හා මුසාවාදවල අවසානයක් නැත. පසුගිය සතියේ දී එන්බීසි ප්‍රවෘත්ති සේවය සමඟ ස්නෝඩන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ස්නෝඩන් "පිරිමියෙකු ලෙස" එක්සත් ජනපද "යුක්තිය පසිඳලීමේ පද්ධතියට" භාර විය යුතු බව කියා සිටියේ ය. එන්බීසි හි චක් ටොඩ් අමතා කෙරී ප්‍රකාශ කලේ, "එඩ්වඩ් ස්නෝඩන් බයගුල්ලෙකු" බවයි. "තව ද, ඔහු සිය රටට ද්‍රෝහී වී ඇත. පාවා දී ඇත."

දශලක්ෂ සංඛ්‍යාත තරුනයන් වඩාත් පුලුල් ලෙස දේශපාලනිකව සටන්කාමී වීම පිලිබඳ නිදසුනක් වන ස්නෝඩන්ගේ ඉස්මතුවීම, පාලක ප්‍රභූව භීතියට පත් කොට ඇත. 1983 දී උපත ලැබූ ඔහු, ඇමරිකානු යුදවාදය අන් කවර කලෙකටත් වැඩියෙන් ලේ පිපාසිතව ඉස්මතුවීම හා දේශපාලන ප්‍රතිගාමීත්වය විනා අන් කිසිවක් අත් නොදුටු පරපුරක සැලකිය යුතු කොටසක් වෙනුවෙන් ඔහු කථා කරයි. 2000 වසරේ සොරා ගත් මැතිවරනය, "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය", ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධ, අබු ග්‍රයිබ් (වධ කඳවුර ), රාජ්‍ය පොලිස් බලතල පුලුල් වීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාර (දේශප්‍රේමී පනත, මාතෘභූමි ආරක්ෂන වැඩ පිලිවෙල, ගුවන්තනාමෝ ආදී වශයෙන්) සහ සමාජ අසමානතාවය අන් කවර කලෙකටත් වඩා අශික්ෂිත ආකාරයකින් වර්ධනය වීම, මේ අත්දැකීම්වල ප්‍රමුඛ මංසලකුනු අතර කිහිපයකි.

ස්නෝඩන්ගේ හෙලිදරව් කිරීම්වලින් පසුව වර්ෂයක් ගෙවී ගොස් තිබියදී උකහා ගත හැකි දේශපාලන නිගමන කවරේ ද?

ඒකාධිපතිවාදී රහස් ඔත්තු බැලීමේ මෙහෙයුම, සහන සැලසීම් මඟින් හෝ ප්‍රතිසංස්කරන සඳහා කෙරෙන ආයාචනා මඟින් නිවැරදි කල හැකි තාවකාලික අපගමනයක් නොවේ. මෙම වැඩ සටහන්වල උත්ථිතිය වූ කලී මාරාන්තික අර්බුදයක කිඳී සිටින ධනේශ්වර ක්‍රමයේ ගැඹුරුතම අවශ්‍යතාවන්ට පාලක පන්තියෙන් - හුදු එක්සත් ජනපදයේ පමනක් නොව ජාත්‍යන්තරවම - දැක්වෙන ප්‍රතිචාරයයි. මේ ආකාරයේ ම වැඩ සටහන් බ්‍රිතාන්‍යයේ, ඕස්ටේ‍්‍රලියාවේ, කැනඩාවේ, ජර්මනියේ, ප්‍රන්සයේ - හරියටම කිවහොත් සෑම ප්‍රමුඛ ධනපති "ප්‍රජාතන්ත්‍රවාදී " රාජ්‍යයකම පවත්නා බව ස්නෝඩන්ගේ හෙලිදරව්වට ඇතුලත් වීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරය මුල් බැස ඇත්තේ, පවත්නා සමාජ හා ආර්ථික පර්යාය තුලම බවයි.

විශේෂයෙන් ම එය, 2008 දී ඇරඹුනු ධනපති ක්‍රමයේ ලෝක පරිමාන බිඳවැටීමෙන් උග්‍ර කෙරී ඇති සමාජ අසමානතාවයේ හා යුදවාදයේ විෂකුරු වර්ධනය සමඟ බැඳී පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම කම්කරු පන්තියේ උර මතට වැටී ඇත. ඇමරිකානු හා ලෝක ධනේශ්වරයේ අපරාධ හෙලිදරව් කිරීමට සිය දිවි පරදුවට තැබූ ස්නෝඩන් ද ඔහු වැනි අන් සියල්ලන් ද ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය තිරසාරව ඉදිරිපත් විය යුතුය. ඒකාධිපතිවාදයට එරෙහි සටන, යුද්ධයට හා සමාජ අසමානතාවයට එරෙහි අරගලය සමඟ බද්ධ කිරීමට ද ක්‍රියා කල යුතුය.

මේ සඳහා ධනේශ්වර ක්‍රමයට එරෙහිව, ලෝක ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මතාවයේ පදනම මත ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් සිදු කෙරෙන දැනුවත් දේශපාලන අරගලයක් අවශ්‍ය වේ.

ඇමරිකා එක්සත් ජනපදය ද ඇතුලු සෑම රටකම දැවැන්ත සමාජ අරගල පැන නැඟෙනු ඇත. සමස්ත කම්කරු පන්ති ප්‍රතිරෝධයක අනාගත දර්ශනය ඉදිරියේ පාලක පන්තිය භීතියට පත්ව සිටියි. එලඹෙන අනතුර හමුවේ එහි ප්‍රතිචාරය වන්නේ පොලිස් රාජ්‍යයක් සූදානම් කිරීමයි. කම්කරු පන්තිය තමාගේ ම ස්වාධීන, විප්ලවවාදී මූලෝපායය මත සිය අරගල පදනම් කල යුතුය. තීරනාත්මක වනුයේ එලැඹෙන අරගල සමාජවාදී ඉදිරි දර්ශනයකින් හා වැඩ පිලිවෙලකින් සන්නද්ධ කිරීම සඳහා නව නායකත්වයක් ගොඩ නැංවීමයි. සමාජවාදී සමානතා පක්ෂය විසින් ගෙන යනු ලබන සටන එයයි.

එරික් ලන්ඩන් හා බැරි ග්‍රේ

Share this article: