ශ්‍රී ලංකාවේ සසප ස්වාධීන කම්කරු පරීක්ෂනය, පොලිසිය විසින් කඩාකප්පල් කිරීමට විරුද්ධ වනු

Oppose police sabotage of SEP workers’ inquiry in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2014 ජූනි 30

වැලිවේරිය විලා ගයා උත්සව ශාලවේදී ජූනි 29දා පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීම පොලිසියේ යටිකූට්ටු උපාමාරු මගින් කඩාකප්පල් කරනු ලැබීම සසප හෙලා දකියි. රැස්වීම පැවැත්වීමට ඉඩ නොතබමින් නීති විරෝධී ලෙස පොලිසිය, ඒ වන විට රැස්වීම සඳහා සසප වෙන්කරගෙන තිබූ ශාලාවේ අයිතිකරුට එය අවලංඟු කරන ලෙස නියෝග කර තිබුනි. පක්ෂයේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතියට එල්ල කල මෙම ප්‍රහාරයට විරුද්ධ වන ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියි.

සසප මෙම රැස්වීම සංවිධානය කරන ලද්දේ, වැලිවේරිය ජල දූෂනය පිලිබඳව පක්ෂය පැවැත්වූ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ වාර්තාව හා එහි නිගමන ප්‍රසිද්ධ කිරීම සඳහාය. පසුගිය නොවැම්බරයේදී සසප මෙම කමිටුව පිහිටුවන ලද්දේ, වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රඩක්ට් සමාගම විසින් වැලිවේරිය ප්‍රදේශයේ භූ ගත ජල සැපයුම දූෂනය කිරීම පිලිබඳ පරීක්ෂනයක් පැවැත්වීමටය. අපගේ පරීක්ෂනය, ජල දූෂනය මෙන්ම කම්හලේ කම්කරුවන්ගේ තත්වය, පසුගිය අගෝස්තුවේ හමුදාව විරෝධතා දැක්වූ ගම්වාසීන්ට පහරදීම හා සමාගම ආරක්ෂා කිරීම තුල ආන්ඩුව ඉටුකල ක්‍රියාකලාපය පිලිබඳව වැදගත් තොරතුරු සොයාගෙන තිබුනි.

සසප නියමිත ගාස්තු ගෙවා නිල වශයෙන් ශාලාව වෙන්කරගෙන තිබුනි. සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය රැස්වීම ගොඩනැඟීම සඳහා ප්‍රදේශය තුල උද්ඝෝෂනයක නිරතව සිටි අතර ප්‍රචාරක පෝස්ටර් ද අලවන ලදී. රැස්වීම පිලිබඳ නිවේදනයක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයෙහි පලකොට තිබුනි.

ගම්පහ දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ සහකාර පොලිස් අධිකාරී සසප රැස්වීම සඳහා ශාලාව ලබා නොදෙන ලෙස තමන්ට නියෝග කර ඇති බව පසුගිය සිකුරාදා පෙරවරුවේ ශාලා අයිතිකරු සසප රැස්වීම් සංවිධායක ආනන්ද වක්කුඹුර වෙත දන්වන ලදී. එම තත්වය යටතේ, ශාලාව වෙන්කිරීම අවලංඟු කිරීමට සිදුවන බව කලමනාකාරිනිය පැවසුවාය. වක්කුඹුර ගම්පහ පොලිස් ස්ථානයට ගොස් කරුනු විමසීමේදී, තමන් එවැනි නියෝගයක් නොකල බව නිලධාරීන් පවසා තිබුනි.

සෙනසුරාදා පෙරවරුවේ වක්කුඹුර ශාලාවට ගිය විට අයිතිකරු, වැලිවේරිය පොලිසියේ නිලධාරියෙක් සිකුරාදා උදේ පැමින ගම්පහ පොලිසියට රැස්වීම ගැන දැනගැනීම සඳහා තමන් සමග කථා කිරීමට අවශ්‍ය බව පැවසූ බවත්, පොලිස් නිලධාරියා සිය ජංගම දුරකථනයෙන් අංකයක් අමතා දුරකථනය තමන්ට දුන් බවත් පැවසුවේය. දුරකථනයෙන් කථාකල තැනැත්තා, සසප රැස්වීම සඳහා ශාලාව ලබා නොදෙන ලෙස තමාට නියෝග කල බවත් එය නොතකා කටයුතු කලහොත් සහභාගී වන්නවුන් හා ශාලාවේ අයිතිකරු ද අත්අඬංඟුවට ගන්නා බවත් පවසා ඇත.

පසුව වක්කුඹුර වැලිවේරිය පොලිස් සථානාධිපතිට කථා කල විට, එවැන්නක් සඳහා තම පොලිස් ස්ථානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, සසප රැස්වීම පැවැත්වීම ගැන තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත් පැවසීය. එහෙත්, ඒ සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව ශාලාවේ අයිතිකරුට දැන්විය යුතු යයි සසප කියා සිටි විට ස්ථානාධිපති එය ප්‍රතික්ෂේප කරමින්, ශාලාවක් තුල පැවැත්වෙන රැස්වීමකට පොලිසියේ අවසරයක් නීතියට අනුව අවශ්‍ය නොවන බව කියා සිටියේය.

සසප වෙනුවෙන් වක්කුඹුර, වැලිවේරිය පොලිස් ස්ථානයේ ලිඛිත පැමිනිල්ලක් කලේය. ඊට ප්‍රතිචාර වශයෙන් වැලිවේරිය පොලිස් සථානාධිපති ශාලා අයිතිකරු හමුවී ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා නිලධාරියෙකු පිටත් කලේය. එහිදී ඔහු කියා ඇත්තේ මුලිමනින්ම වෙනස් කථාවකි. බොහෝ දෙනෙක් සහභාගී විය හැකි දේශපාලන රැස්වීමකින් උද්ගතවිය හැකි තත්වය ගැන බියෙන් තමා සිය කැමැත්තෙන්ම සසප රැස්වීම සඳහා ශාලාව වෙන්කිරීම අවලංඟු කල බව හිමිකරු පැවසීය. කිසිදු පොලිස් නිලධාරියෙක් තමා හමු නොවුන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සියලු කරුනු කාරනා ඇඟවුම් කරන්නේ, ඉහල නියෝග මත ක්‍රියාකල පොලිසිය ශාලා අයිතිකරුට තර්ජනය කර සසප රැස්වීම කඩාකප්පල් කර ඇති බවයි. ඒ සමගම පොලිසිය හා එහි ඉහල නිලධාරීන් තම කටයුතු නීති විරෝධී බව දන්නා අතර තමන් ගත් පියවර වසං කිරීමට උත්සාහ කලේය. අයිතිකරු ලවා වෙනත් කථාවක් කියවා ගැනීමට කල් ලබාගැනීම පිනිස ඔවුන්, සෙනසුරාදා උදේ පැය ගනනාවක් වක්කුඹුර වැලිවේරිය පොලිස් ස්ථානයේ රස්තියාදු කරවා ඇත.

ඒවන විටත් රැස්වීම කෙරෙහි පොලිසියේ අවධානය යොමුව ති‍බුනි. රැස්වීම ගැන සෙවීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එහි පැමිනි බව ශාලා කලමනාකරු පසුගිය සතියේ සසප වෙත දන්වා තිබුනි. සසප ලියාපදිංචි දේශපාලන පක්ෂයක් බැවින් තමන් ශාලාව වෙන්කර දීමට එකඟවූ බව පැවසූ පසුව නිලධාරීන් නික්ම ගිය බව ඇය පැවසුවාය.

පොලිසියේ කටයුතු, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ හා අරක්ෂක සංස්ථාපිතයේ ඉහල මට්ටමින් ගත් දේශපාලන තීන්දුවක ප්‍රතිපලය බව පැහැදිලිය. පසුගිය වසරේ අගෝස්තු 01දා ආන්ඩුව, භූගත ජලය දූෂනය වීමේ කාරනය මුල්කරගත් ගම්වාසීන්ගේ විරෝධතා මැඬීම පිනිස යෙදවූ මිලිටරිය තරුනයින් තිදෙනෙක් ඝාතනය කර බොහෝ දෙනෙකුට තුවාල සිදු කලේය. විරෝධය පලකිරීමට එරෙහිව පොලිසිය හා සමාගමේ මැරයන් යොදාගනිමින් ආන්ඩුවේ බියගැන්වීම් හා තර්ජන ව්‍යාපාරය අඛන්ඩව සිදුවේ. සිය සෞඛ්‍ය තත්වයේ වියදමෙන් සමාගමේ ලාභ රැකදීමට ආන්ඩුව මැදිහත්ව සිටීම පිලිබඳව බොහෝ ගම්වාසීන් අතර පවතින්නේ දැඩි කෝපයකි.

සසප මෙන්ම ප්‍රදේශයේ වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල නින්දිත පොලිස් ප්‍රහාරය, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන වඩාත් පුලුල් ප්‍රහාරයක කොටසකි. අන්තවාදී බොදු බල සේනා (බොබසේ) අලුත්ගමදී සිදුකල මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා ඩැහැගත් පොලිසිය ජූනි 15දා, “වාර්ගික හෝ ආගමික වෛරය වපුරවන රැස්වීම්” තහනමක් නිවේදනය කලේය. බොබසේ රාජපක්ෂ ආන්ඩුවේ අනුග්‍රහය යටතේ වැඩකරන අතර තහනම නීත්‍යානුකූල විරෝධතා හා රැස්වීම් වලට එරෙහිව යොදගන්නවා ඇත.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය වර්ගවාදී යුද්ධය අවධියේ ගොඩනඟන ලද නවීන පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනයක් දැනටමත් ආන්ඩුව සතුව ඇත. 2009 එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව ආන්ඩුව සිය ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල ශක්තිමත් කරගත් අතර ආන්ඩුවේ කප්පාදු න්‍යායපත්‍රයට කම්කරුවන්, සිසුන්, ධීවරයින් හා ගොවීන් වෙතින් වැඩෙන විරෝධතාවන්ට එරෙහිව එය යොදා ගනියි.

වෙනිග්‍රොස් සමාගම හා ආන්ඩුව සිදුකරන විනාශයට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා ගම්වැසියන් ස්වාධීනව බලමුලු ගැන්වීමේ මාධ්‍යයක් ලෙස සසප ජල දූෂනය පිලිබඳ පරීක්ෂනය දියත් කරන ලදී. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ගම්වැසියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇතැයි යන මිත්‍යාව වපුරවමින් ඔවුන් පාර්ලිමේන්තුවාදී දේශපාලනයට කොටුකිරීමට උත්සාහ කරන නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ වලට අප දේශපාලනිකව විරුද්ධ වන්නෙමු. කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට හරස් කැපීම මගින් නසසප හා එසප රාජපක්ෂ ආන්ඩුවේ දෑත් ශක්තිමත් කරති.

පසුගිය මාස ගනනාව පුරා සසප හා එහි තරුන ව්‍යාපාරය, භූගත ජල දූෂනයට සමාගමේ වගකීම, සමාගම සතු කම්හලේ පවතින නොඉවසිය හැකි තත්වය, විරෝධතාවන්හි යෙදුනු ගම්වාසීන්ට එල්ල කල මිලිටරි ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්ඩුවේ වගකීම පිලිබඳ තොරතුරු හා සාක්ෂි රැස්කිරීමට මෙන්ම ස්වාධීන පරීක්ෂනය සඳහා ද වෙහෙස නොබලා උද්ඝෝෂනයේ යෙදුනි. එහි ප්‍රතිපල වශයෙන් ප්‍රදේශය තුලින් පරීක්ෂනය සඳහා සැලකිය යුතු සහයෝගයක් ලැබුනි.

පසුගිය අප්‍රේල් මාසයේදී අපගේ පරීක්ෂන කමිටුව, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමටම අයිති හංවැල්ල රබර් නිෂ්පාදන කම්හල අවට තුන්නාන ප්‍රදේශයට ද තම කටයුතු පුලුල් කිරීමට තීරනය කලේය. පොලිසියේ හා සමාගම් මැරයින්ගේ නිරන්තර බියගැන්වීම් හා තර්ජනයන්ට මුහුනපා සිටින තුන්නාන ‍ප්‍රදේශවාසීන්ගෙන් සසප ගත් මූලිකත්වයට වැඩි වැඩියෙන් සහයෝගය ලැබෙමින් තිබේ.

වැලිවේරිය හා තුන්නාන ප්‍රදේශවාසීන්ගේ කැකෑරෙන කෝපය ස්වාධීන පරීක්ෂනය තුලින් දේශපාලන ප්‍රකාශනය අත්කරගනු ඇතැයි රාජපක්ෂ ආන්ඩුව බියට පත්ව සිටියි. ආරම්භයේ පටන්ම ආන්ඩුව හා සමාගම, පරීක්ෂනයෙන් කුමක් හෙලිදරව් වේ දැයි දැඩි චකිතයකින් පසු විය. පොලිසිය සසප රැස්වීම කඩාකප්පල් කිරීමට මැදිහත් වූයේ එබැවින්ය.

මෙරට මෙන්ම ජාත්‍යන්තරව ද කම්කරුවන් හා තරුනයින් සසපට එල්ලවූ ප්‍රහාරයට විරුද්ධ විය යුතුය. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා මෙන්ම සංගත කාර්මික දූෂනයට එරෙහිව අරගලයක් ගෙනයා හැක්කේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනේදී පීඩිත ජනතාවගේ නායකයා ලෙස කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව මෙහෙයවීමේ කොටසක් ලෙස පමනි. ධනවතුන් ස්වල්පයකගේ ලාභ පිපාසය සංහිඳුවීමට නොව, පිරිසිදු ජලය හා යහපත් රැකියා ද ඇතුලු වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලීම පිනිස සමාජය සමාජවාදී පිලිවෙත් මත ඉහල සිට පහලට යලි සංවිධානය කල යුතුය.

Share this article: