අධිරාජ්‍යවාදයේ සේවය සඳහා දක්ෂිනාංශික “බුද්ධිමත්හු” කියෙව් වෙත රැස්වෙති

In the service of imperialism: Right-wing “intellectuals” gather in Kiev

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2014 මැයි 16

යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිමෝති ස්නයිඩර් හා නිව් රිපබ්ලික් සඟරාවේ නියෝ-කොන් ශාස්ත‍්‍රීය කර්තෘ ලියොන් විස්ල්ටියර්ගේ මූලිකත්වයෙන්, දක්ෂිනාංශික ශාස්ත‍්‍රාලිකයින්, මාධ්‍යවේදීන්, යුදවාදී මානව ක‍්‍රියාකාරිකයින් හා “සංවාදය” පිලිබඳව නම් දරා සිටින විශේෂඥයින් කන්ඩායමක්, එක්සත් ජනපදය හා ජර්මනිය විසින් මෙහෙයවන ලද හා අරමුදල් සම්පාදනය කරන ලද කුමන්ත‍්‍රනයකින් පෙබරවාරියේදී බලයට පත්වූ යුකේ‍්‍රන පාලන තන්ත‍්‍රයට දේශපාලන හා සදාචාරමය විශ්වාසනීයත්වය අත්කර දීම පිනිස එලඹෙන සති අන්තයේදී (මැයි16-19) කියෙව් නගරයට රැස්වෙති.

“ජාත්‍යන්තර බුද්ධිමතුන් කන්ඩායම” වශයෙන් තමන්ම පුම්බාගන්නා සංවිධායකයෝ, ප‍්‍රචාරක ලේඛනයක් -සමාවන්න “ප‍්‍රකාශනයක්”- නිකුත්කර තිබේ. ඒ තුල රැස්වීම විස්තර කර ඇත්තේ, “නිදහස පිලිබඳව සැලකිලිමත් වන අය හා ඉතා අමාරුවෙන් නිදහස දිනාගත් රටක අය අතර හමුවක්” ලෙසය. යනුකොවිච් ආන්ඩුව පෙරලා දැමීමට එක්සත් ජනපදය විශාල මුදලක් වැයකර ඇතැයි යන කාරනය සැලකිල්ලට ගන්නා කල මෙම ප‍්‍රකාශයේ යම් සත්‍යයක් ගැබ්ව ඇත.

රැස්වීම, අධිරාජ්‍යවාදයේ ප‍්‍රචාරක ව්‍යාපාරයකි. එහි අනුග‍්‍රාහකයින්ට කැනේඩියානු, ප‍්‍රන්ස, ජර්මානු, පෝලන්ත හා එක්සත් ජනපද තානාපති කාර්යාල ඇතුලත් වේ. අනෙකුත් අනුග‍්‍රාහකයින් අතරට, යුකේ‍්‍රනියානු විදේශ අමාත්‍යාංශය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යුරෝපීය උරුමය හා යුරෝසින් ඇතුලත්ය. කියෙව් රැස්වීම බෙහෙවින් ප‍්‍රචාරය කරන යුරෝසින් වෙබ් අඩවියෙහි, යුකේ‍්‍රනියානු කුමන්ත‍්‍රනයේ භූ-මූලෝපායික ඇඟවුම්වලට සම්බන්ධ විවිධ දේ පලකර තිබේ. ප‍්‍රමුඛ වශයෙන් දැක්වෙන්නේ, “සීතල යුද්ධය ,, දිනන්නේ කෙසේ ද” වැනි ලිපි ය. එහි කතුවරයා වන ව්ලැඩිස්ලාව් ඉනොසෙම්ස්ටෙව්, දැනට වොෂින්ටන් ඩීසීහි මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා මධ්‍යස්ථානයේ බාහිර කථිකාචාර්යවරයෙකි.

1960 ගනන් වලදී සංස්කෘතික නිදහස සඳහා වූ සීතල යුද්ධයේ ප‍්‍රති කොමියුනිස්ට් සමුලුවට සහභාගී වූ බුද්ධිමත්තු, එම සංවිධානයේ මෙහෙයුම් මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් සීඅයිඒ කූටෝපායන් සමග ප‍්‍රසිද්ධියේම සම්බන්ධ බව දැනගැනීමෙන් යම් ආකාරයකට උරන වූහ. ඒ කාලයේ සීඅයිඒ හා අනෙකුත් රාජ්‍ය ඔත්තු සේවාවන් සමග සම්බන්ධකම් පවත්වන බව හෙලිදරව් වුවහොත් එය යමෙකුගේ බුද්ධියෙහි හා සදාචරයෙහි කීර්තියට හානියක් ලෙස සලකන ලදී. කාලය ගෙවීයත්ම! (Tempi passati!) යනුකොවිච් ආන්ඩුව පෙරලා දැමීමට කිට්ටුවෙන්ම සම්බන්ධ ආන්ඩු විසින් සැලසුම්කර අනුමත කල කටයුත්තක කොටස්කරුවන් වී ඇතැයි යන පැහැදිලි කාරනය හමුවේ කියෙව් රැස්වීමට සහභාගීවන අය මුලුමනින්ම නින්දිත මිනිසුන්ය.

සමස්ත එකතුවම වංචනිකත්වයේ හා දෙපිටකාට්ටුවේ ව්‍යායාමයකි. ප‍්‍රජාතන්ත‍්‍ර “සාකච්ඡාවේ ” පුරසාරම, තරයේම ප‍්‍රතිගාමී දේශපාලනයක් විස්තාරනය කිරීම සඳහා කවරයක් සම්පාදනය කරයි. සෑම වැකියක්ම හෙලා දැකිය යුතුය.

රැස්වීම විසින් “යුරෝපයේ, රුසියාවේ හා සමස්ත ලෝකයේම අනාගතය සඳහා යුකේ‍්‍රන බහුවිධතාවයේ අර්ථය පිලිබඳව පුලුල් සාකච්ඡාවක් ගෙනයා යුතු” යයි ප‍්‍රකාශය අවධාරනය කරයි. යුකේ‍්‍රන කුමන්ත‍්‍රනය යුරෝපය හා යුරේසියාව තුල රුසියානු ආනුභාවයට වල කැපීම අරමුනු කරගත් තව තවත් මෙහෙයුම් සඳහා ආදර්ශයක් ලෙස යොදාගත හැක්කේ කෙසේ දැයි රැස්වීම විසින් විමසා බලනු ඇතැයි හෙලා දුටු විට මෙය සැබවින්ම අදහස් කරන්නේ කුමක් ද?

රැස්වීමේදී සලකා බලනු ඇති අනෙකුත් ප‍්‍රශ්න නම්,

1) “මානව අයිතීන් පාගා දැමිය හැක්කේ කෙසේ ද හා මානව අයිතින් පිලිබඳ අදහසෙන් අප අභිපේ‍්‍රරනය වන්නේ කෙසේ ද?” [හෙලාදුටු කල: “මානව අයිතීන් පිලිබඳ ‘සාකච්ඡාව’ විරුද්ධවාදී පාලනයන් දේශපාලනිකව අස්ථාවර කිරීමට හා පෙරලා දැමීමට කඩතුරාවක් කර ගන්නේ කෙසේ ද?)]

2) “භාෂාව, සාර්වත‍්‍රිකත්වයට ප‍්‍රවිෂ්ටයක් සපයන්නේ කෙසේ ද හා කවදා ද හා දේශපාලන මතභේද නිර්වචනය කිරීමට එය යෙදිය හැක්කේ කෙසේ ද හා කවදා ද?” [හෙලාදුටු විට: “සමාජ ගැටුම සලකුනු කරන ද්‍රව්‍යමය අවශ්‍යතා මකා දැමීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපභ‍්‍රන්සය යොදාගන්නේ කෙසේ ද?)]

3) “ජාත්‍යන්තර අරාජකත්වය, දේශීය දූෂනය හා පුද්ගලයින් පිලිබඳ පොදු අවිශ්වාසය හමුවේ දේශපාලනයේ විනීතකම පැවතිය හැක්කේ කෙසේ ද?” [හෙලාදුටු කල: “සමකාලීන භූදේශපාලනයේ යථාර්තයන්, ‘සීමාවන් උල්ලංඝනය කිරීම’ යුක්තිසහගත කරන්නේ මක්නිසා ද? එනම්, වධබන්ධන, ඉලක්ක කල ඝාතන, ආඥාදායකත්වය හා යුද්ධය යනාදී වශයෙන්”]

මෙම ප‍්‍රශ්න මත ලගින කල සාකච්ඡාකරුවන්ට, බුද්ධිමය ශක්තිය වැයකිරීම අවමයේ තබාගන්නා අතර විශාල වශයෙන් උනුසුම් වාතය පිටකිරීමට අවකාශ සැලසේ. මතුකල යුතු පෙර දක්වා නොමැති මාතෘකා අතර දකුනු හා නැගෙනහිර යුකේ‍්‍රනයේ සිය ගනන් නොවේ නම්, තොග ගනනක් මරන වලට හේතුවූ ජනතාවට එරෙහිව සිදුකල කියෙව් තන්ත‍්‍රයේ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවලින් පැන නගින ප‍්‍රශ්න පවතියි. පෙබරවාරි කුමන්ත‍්‍රනය තුල හා වත්මන් ආන්ඩුව සංවිධානය කිරීමේදී ස්වබෝධා හා දක්ෂින නිකායේ නව ෆැසිස්ට් බලවේග ඉටුකල ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය විමසා බැලීමට ද සංවිධායක වරුන් සැලසුම් කර නැත.

සහභාගී වන අයගෙන් වඩාත් කැපී පෙනෙන්නේ, “සාමාන්‍ය සැකකරුවන්ගේ” තකහනියේ රැස්කරගත් එකතුවකි. එනම්, මානව අයිතින් පිලිබඳ ව්‍යාජ ධජයක් යට, අධිරාජ්‍යවාදී මැදිහත්වීම් හුවාදැක්වීමේ මනාව තහවුරුවූ වාර්තාවක් සහිත පුද්ගලයෝය. අවශ්‍යයෙන්ම සාපරාධී ස්වභාවයක් ගන්නා රාජ්‍ය ප‍්‍රතිපත්ති පිලිබඳ සදාචාරය අලෙවියේ යෙදීමට ඔවුහු මනා පරිචයක් ලබා සිටිති. එක් හෝ තවත් ආකාරයකින්, “මානව අයිතීන්” ගැන දේශනා කිරීම, සෑම විටම සේවය කර ඇත්තේ, අධිරාජ්‍යවාදය යුක්ති යුක්ත කිරීමේ මාධ්‍යයක් ලෙසය. 1880 ගනන්වල කොන්ගෝවේදි මිලියන ගනන් මනුෂ්‍ය ඝාතන සිදුකෙරෙද්දී බෙල්ජියමේ රජුව සිටි ලියෝපෝල්ඩ් පවා කියා සිටියේ, සිය අහිංසක ගොදුරුවල “සදාචාරමය හා ද්‍රව්‍යමය පුනර්ජීවනය” වෙනුවෙන් කටයුතු කරන බවය. සියවසකටත් වැඩි කාලයකට පෙර අධිරාජ්‍යවාදය පිලිබඳව ශ්‍රේෂ්ඨ උගතෙකු වූ ජෝන් හොබ්සන්, අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්තිය යට පවතින සැබෑ අරමුනු වසං කිරීමට කුහක ලෙස සදාචාරවත් මවාපෑම් ඉටුකල දුෂ්ඨ ක‍්‍රියාකලාපය කෙරෙහි අවධානය යොමු කලේය. ඔහු මෙසේ ලිවීය.

සැබෑවටම පවතින අරමුනු පිලිබඳ මෙම මුසාකරනය තුල හරියටම අධිරාජ්‍යවාදය පෙන්නුම් කරන දැවැන්ත පාපය හා වඩාත්ම දැනෙන උපද්‍ර‍්‍රවය පවතියි. බැඳුනු අරමුනුවල සම්මිශ‍්‍රනය තුලින් අවම බලපෑමක් ඇති (මානව අයිතීන් හා/හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය) දෙය මහජන ප‍්‍රමුඛත්වය සඳහා තෝරා ගන්නේ, එය වඩාත්ම පිලිගැන්නවිය හැකි දෙය වන නිසාය. ප‍්‍රතිපත්තිය සකස් කරන අයගේ සිත් තුල කිසිසේත්ම නොපවතින්නාවු ප‍්‍රතිපත්තිය, ප‍්‍රශ්න වලට මූලික හේතුව වශයෙන් සලකන අතර ජාතියේ සදාචාරය බාල්දු කෙරේ. අධිරාජ්‍යවාදයේ මුලූ ප‍්‍රතිපත්තියම මෙම වංචාවෙන් පෙරී ආවේය. [ Imperialism: A Study, අධිරාජ්‍යවාදය පිලිබඳ අධ්‍යයනයක්, (කේම්බි‍්‍රජ්, 2010), 209-10පිටු.]

සහභාගී වන්නන් අතර ඉරාකය විමුක්තකර ගැනීම සඳහා කමිටුවේ ප‍්‍රමුඛ සාමාජියෙකු ලෙස සේවය කර තිබෙන හා නව ඇමරිකානු සියවස සඳහා යන ව්‍යාපෘතිය සමග සමීප සම්බන්ධකම් ඇති ලියොන් වීසෙල්ටියර් ද කොසවාර් බෙදුම්වාදයට සහයෝගය දෙනු වස් එක්සත් ජනපදය සර්බියාවට බෝම්බ හෙලීමේදී එයට උපදෙස් දුන් හා සැප්තැම්බර් 11 සිද්ධියෙන් පසුව ඉස්ලාමිය ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය ලෙස හඳුන්වමින්, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද යුද්ධ යුක්තිසහගත කිරීමට වැඩකල ලිබරල් දේශපාලන න්‍යායාචාර්යවරයෙකු වන පෝල් බර්මන් ද සිටී. “ඇලෙක්සිස් ඩි ටොකියොවිල් හා ප‍්‍රජාතන්ත‍්‍රය පිලිබඳ අදහස” යන මාතෘකාව යටතේ ඉරිදා සවස පැවැත්වීමට නියමිත බර්මන්ගේ දේශනය, ස්වබෝධා පක්ෂයේ ඔලේ ටියානිබොක් හා ඔහුගේ අනුගාමිකයින්ගේ ඇස් අරවන එකක් විය හැකිය.

බර්නාඩ් කුච්නර් නොවැරදීම සහභාගී වනු ඇත. දශක ගනනකට පෙර දේශසීමා නොතකන වෛද්‍යවරු [Médecins Sans Frontières], සමග සහයෝගයෙන් කටයුතු කල කුෂ්නර් උපායික ප‍්‍රශ්න මත ඉන් බිඳී “මානවවාදී මැදිහත්වීම්වාදය” යන වඩා බලගතු වැඩසටහනකට යොමුවූ ලෝකයේ වෛද්‍යවරු [Médecins du Monde] පිහිටුවා ගත්තේය. හොබ්සන් පෙරදැක තිබුනු පරිදි මෙම වේදිකාව, එක් හෝ තවත් රටක මිලිටරි මැදිහත්වීම සඳහා නොගිනිය හැකි තරම් කඩතුරාවන් සපයයි. කුච්නර් බෝල්කන්හි මැදිහත්වීම් හුවාදැක්විය. අවසානයේදී ඔහු ප‍්‍රන්ස ජනාධිපති සාකෝසිගේ ආන්ඩුවෙහි විදෙස් ඇමති බවට පත් විය. 2011දී කැබිනට්ටුවෙන් ඉවත්වූ ඔහු සාකෝසිගේ ලිබියානු ප‍්‍රහාරයට සේම ප‍්‍රන්සයේ අයිවරි කෝස්ට් ආක‍්‍රමනයට ද සහාය දැක්වීය.

කුච්නර්ගේ අසල්වැසියෙකු ද මානවවාදී මැදිහත්වීම්වල තවත් සහකරුවෙකු හා විනෝදකාමි දර්ශනවාදියෙකු වන බර්නාඩ් හෙන්රි ලෙවි රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින් හෙලාදකිමින් කථාවක් පැවැත්වීමට නියමිතය. එහි මාතෘකාව ලෙස දැක්වෙන්නේ, “ඩි ආටුරෝ පවුටින්ගේ ප‍්‍රතිරෝධක නැගීම” ය. බර්තෝල්ඞ් බ්‍රෙෂ්ට්ගේ ඉතා බැරෑරුම් න්‍යායික වාඛ්‍යානයේ මාතෘකාව, එනම්, [The Resistible Rise of Arturo Uiz (ආතුරෝ යුයීගේ ප‍්‍රතිරෝධක නැගීම)] තුච්ඡ ලෙස අවභාවිතය කිරීම, ලෙවීගේ කෘතීන්හි අංගලක්ෂනයකි. ලෙවීට කිසිදු ප‍්‍රති ප‍්‍රහාරයකින් තොරව පුටින් හෙලාදැකිය හැක. කුමන මිම්මකින් හෝ ඔබාමාගේ අපරාධ හෙලාදැකීම සඳහා ලෙවී සතුව තිබෙනවාට වඩා විශාල ප‍්‍රමානයක ධෛර්යයක් අවශ්‍ය වන්නේය. බ්‍රෙෂ්ට්ගේ කෘතීන් තුල හිට්ලර් බලය කරා නැගීම පිලිබඳ සිත් කාවදින උපහාසයක් අන්තර්ගතය. නාසි පක්ෂයේ වැඩ කටයුතු හා ධනේශ්වර වාතාවරනයක් තුල පාතාලයේ සාපරාධී මෙහෙයුම් අතර සමාන්තරයක් ඇඳීම සඳහා බ්‍රෙෂ්ට්, සිය කථාව සඳහා චිකාගෝව පදනම් කර ගැනීම වැදගත්ය. ඇමරිකානු පේ‍්‍රක්ෂකත්වය තුලට කාවැද්දවීම අරමුනු කරගත් වඩාත් ඇඟ කිලිපොලායන වැකි අතර, “මිනිසුනේ ඔබ ඔහුගේ පරාජයෙන් ප‍්‍රීතිමත් නොවන්න. ලෝකයා නැගී සිට අවජාතකයා නතර කලත් ඔහු සිදුරු කල එම බැල්ල යලිත් ලිංගික ආවේශයට පත්වනු ඇත.” හිටපු බ්‍රෙෂ්ට්ගේ අනතුරු ඇඟවීම් කාලෝචිත බවක් අත්කරගෙන තිබේ.

ප‍්‍රන්සය තුල ජනතා බුද්ධිමතෙක් ලෙස ලෙවී අත්කරගෙන තිබූ කීර්තිය සුන්වී ඇත. 2010දී ඔහු කාන්ට්ට (ඉමෑනුවෙල්) හා බුද්ධි ප‍්‍රබෝධයට පහර දෙමින් ලිපියක් පල කලේය. ලෙවී මෙම කාන්ට් විරෝධී විවේචන, සිය අවධානය දිනාගත් “ජීන් බැප්ටිස්ටේ බොටුල්” යන දර්ශනවාදියාගේ කෘතීන් මත පදනම් කලේය. අවාසනාවකට මෙන් “බොටුල්” හා ඔහුගේ චින්තන ක‍්‍රමය (බොටුලිස්මි “Botulisme”) ෆෙඩ්රික් පේජස් යන ප‍්‍රන්ස මාධ්‍යවේදියාගේ මුලුමනින්ම වෘතාන්තමය වූ නිර්මාන බව වටහා ගැනීමට ලෙවී අසමත්ව ඇත.

දැන් අවඥාවට ගොදුරුවී ඇති, චමත්කාරජනක ලෙස සැරසුනු ලෙවීගේ දර්ශනවාදය කැටිකර දක්වන එක් හාස්‍යජනක වැකියක “දෙවියන් මියගොස්ය, එහෙත් මගේ කෙස්ස නියමෙට තිබේ. (ලෙවීගේ චින්තනය ගැන දැනගැනීමට අවශ්‍ය සියලු දේ දැනගැනිමට කැමති අයට, ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධ ඔහුගේ විකිපීඩියා සටහන් වලින් සංක්ෂිප්ත සාරාංශක් දැනගත හැකිය.)

සැසිවාරයේ යම් විදිහක හාස්‍යජනක පැත්ත ලෙවී නියෝජනය කරද්දී, මහාචාර්ය තිමොති ස්නයිඩර්ගේ සහභාගිත්වය හා ඔහුගේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය අඳුරු ස්වභාවයක් ගනියි. මහජන වේදිකාව කරා ඔහුගේ වේගවත් නැගීම මුලුමනින්ම බැඳී ඇත්තේ, යුකේ‍්‍රනය සිය ආනුභාවයේ ක්ෂේත‍්‍රය තුලට ඇද ගැනීමේ එක්සත් ජනපද උත්සාහයට ශාස්ත‍්‍රාලික පෙනීමක් ලබාදීමට ඔහු දරන නොපසුබට ව්‍යායාමය සමග හා ස්නයිඩර්ටම අනුව, එක්සත් ජනපදය හා යුරෝපය විසින් ප‍්‍රමුඛත්වයට නංවා ඇති මානව ප‍්‍රජාතන්ත‍්‍රීය අභිලාෂයන්හි පරම සතුරෙකු ලෙස රුසියාව අපකීර්තියට පත්කිරීම සමග ය.

ශාස්ත‍්‍රාලික තරු පෙලේ අවකාශය තුලට ස්නයිඩර් ගෙන එමින් දියත්කල පොතේ මාතෘකාව Bloodlands: Europe Between Hitler and Stalin (ලේ වැකි බිම: හිට්ලර් හා ස්ටැලින් අතර යුරෝපය) යි. 2010දි ප‍්‍රකාශයට පත්කරන ලද කෘතිය, ජනප‍්‍රිය මාධ්‍ය තුල හුවා දැක්වුනේ සුපිරි නිර්මානයක් ලෙසය. නිමක් නැති පුවත්පත් විමර්ෂන පල විය. ඒවාහි ස්නයිඩර් උත්කර්ෂයට නැංවුනේ ඔහු පුනරුත්පත්තිය ලැබු තුකිඩයිඞ්ස් (Thucydides) මෙන්ය. ස්නයිඩර් එයින් උද්දාමයට පත්වූ සෙයක් පෙනී ගියේය. 2012දී පලවූ පොතේ මිල අඩු සංස්කරනයේ මුල් පිටු 14ම වෙන්වුනේ ඔහුගේ ගුන ගායනා කල විමර්ෂන උපුටනයන් සඳහාය.

මෙතරම් කුලප්පුවක් මක් නිසා ද? වික්ටර් යනුකොවිච්ගේ ආධාරකරුවන් සිදුකල බවට චෝදනා නැගුනු ඡන්ද දූෂන වලට විරෝධතා එල්ලවීමෙන් අනතුරුව, එහි ප‍්‍රතිපලය ලෙස, එජ පිටුබලය ලත් වික්ටර් යුෂ්චෙන්කෝ යුකේ‍්‍රනයේ ජනාධිපති තනතුර කරා ඔසවා තැබුනු 2004-05 වසරවල එරට සිදුවූ තැඹිලි පැහැ විප්ලවයෙන් ඉක්බිත්තේ, ස්නයිඩර්ගේ කෘතිය එලිදැක්වුනි. සිය බලය තහවුරු කර ගැනීමේ අටියෙන් යුෂ්චෙන්කෝ, යුකේ‍්‍රන ස්වෝත්තමවාදයේ දක්ෂිනාංශයට ආයාචනා කිරීමේ නිරත විය. රුසියානු විරෝධී මනෝගතීන් ඇවිස්සීම සඳහා සැලසුම් කල මෙම උද්ඝෝෂනයේ මූලික අංගය වූයේ, නාසීන් විසින් ක‍්‍රමානුකූලව සමූලඝාතනය කල යුරෝපීය යුදෙව්වන් සංඛ්‍යාවට දල වශයෙන් සමානවූ මිලියන 3.5ක පිරිසක් මරනයට පත්වූ, විනාශකාරී සාගතයට තුඩු දුන්, 1930 ගනන් වල සෝවියට් සාමූහිකකරනය ගෙනහැර දැක්වීමයි. ස්නයිඩර් කියා සිටි පරිදි, සාගතයෙන් මිය ගිය යන අර්ථය දැක්වෙන හොලොඩොමෝර් යනු, සිතාමතාම යුදෙව්වන් තොග පිටින් ඝාතනය කල හොලකෝස්ටයට හා යුකේ‍්‍රනුවන්ට එරෙහිව සෝවියට් සංගමය විසින් සැලසුම් කර ක‍්‍රියාත්මක කල ජන සංහාරයට සමානවූ රූපාකාරයකි.

අඩුම තරමින් කිවහොත්, කරුනුමය හා න්‍යායික ආස්ථානයකින් ගත් කල, මෙම අර්ථකතනයේ නීත්‍යානුකූල භාවයේ ස්වාධීනත්වය පිලිබඳව බෙහෙවින් සැක මතු වන අතර සෝවියට් සංගමය (හා රුසියාව) විසින් යුකේ‍්‍රනය ගොදුරුකර ගැනීමේ ආදර්ශය තුලට හොලඩොමෝර් ඔසවා තැබීම, දේශපාලනිකව ගිනිඇවිලෙන හා ඒ නිසාම, බෙහෙවින් ප‍්‍රයෝජනවත් දෙයකි. එය, යුකේ‍්‍රනියානු දක්ෂිනාංශයට විභව මිත්‍යාවක් ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට රුසියානු විරෝධී මනෝභාවයන් අවිලවීම පිනිස යොදාගත හැකි ප‍්‍රචාරක අවියක් ද සපයා තිබේ.

යුෂ්චෙන්කෝ 2010දී තනතුරෙන් ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, සිය අවසාන කර්තව්‍යයකදි ඔහු, තුන්වන රීකය සමග සහයෝගී වෙමින් යුදෙව්වන් හා පෝලන්ත වැසියන් තොග පිටින් ඝාතනය කිරීමට සම්බන්ධවූ 1909-1959 අතර කාලයේ ජීවත්වූ කුප‍්‍රකට යුකේ‍්‍රනියානු ජාතිකවාදියෙක් වූ ස්ටෆන් බන්ඩෙරා “යුකේ‍්‍රනයේ වීරයා” ලෙස ප‍්‍රකාශ කලේය. මෙය යුකේ‍්‍රනයේ රාබි නායකයා ද ඇතුලු පුලුල් කොටසකගේ විරෝධයට ලක් විය. ඔහුගේ පසුකාලීන ලේඛනයන්හි ආලෝකයෙන්, තිමොති ස්නයිඩර් ද විරෝධතා පල කල මෙම අය අතර වීම කුතුහලය දනවයි. නිව් යෝර්ක් රිවීව් ඔෆ් බුක්ස් සංස්කරනයේ 2010 පෙබරවාරි 24 පල කල ලිපියක ඔහු යුෂ්චෙන්කෝගේ ක‍්‍රියාව ප‍්‍රශ්නයට බඳුන්කර තිබුනි. ස්නයිඩර්, බන්ඩෙරා හා ඔහු නායකත්වය දැරූ යුකේ‍්‍රන ජාතිකවාදීන්ගේ සංවිධානය වූ ඕයූඑන්-බීහි අපරාධ පිලිබඳ සංක්ෂිප්ත සාරාංශයක් ඉදිරිපත්කර තිබුනි.

යුකේ‍්‍රනියානු ජාතිකවාදීන් බලාපොරොත්තුවූ පරිදි ජර්මානුන් පෝලන්තය 1939දී වනසනු ලැබිනි; ඔවුහු 1941දී සෝවියට් සංගමය ද විනාශ කිරීමට උත්සාහ කලහ. වෙයිමාව එම වසරේ ජූනි මාසයේ සෝවියට් සංගමය ආක‍්‍රමනය කල විට, හංගේරියානු, රුමේනියානු, ඉතාලි හා ස්ලොවේකියානු හමුදාවන් ද ඕයූඑන්-බී සමග සහයෝගීවූ කුඩා යුකේ‍්‍රනියානු ස්වෙච්ඡා භට පිරිසක් ද ඕයූඑන්-බී ට එක් විය. මේ සමහර යුකේ‍්‍රනියානු ජාතිකවාදීහු, යුදෙව්වන්ට එරෙහි මිනීමරු සංහාර සංවිධානය කිරීමට ජර්මානුන්ට උදව් කලහ. එසේ කිරීමේදී ඔවුහු, වාර්ගික පවිත‍්‍රතාව හා යුදෙව්වන් සෝවියට් කෲරත්වය සමග අනන්‍ය කිරීම පිලිබඳ තමන්ගේම ක‍්‍රියාමාර්ගය සමග අඛන්ඩව පිහිටා සිටි ජර්මානු පිලිවෙත අනුගමනය කලහ.

ඕයූඑන්-බී අන යටතේ ක‍්‍රියාත්මකවූ යුකේ‍්‍රනියානු ත‍්‍රස්තවාදී හමුදාවේ (යූපීඒ) කටයුතු ස්නයිඩර් විස්තර කලේය.

ඕයූඑන්-බී අන යටතේ යූපීඒ, 1943 හා 1944 කාලයේ පෝලන්ත ජාතිකයින්ගෙන් බටහිර යුකේ‍්‍රනය වාර්ගිකව පවිත‍්‍ර කිරීම බාර ගත්තේය. යූපීඒ භටයින් පෝලන්ත ජාතිකයින් දස දහස් ගනනක් මරා දැමූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනා ලමුන් හා කාන්තාවන් විය. පෝලන්ත පවුල් සමග රැකවරනය පැතූ සමහර යුදෙව්වන් ද ඝාතනය කෙරුනි. පෝලන්ත ජාතිකයින් හා පන බේරාගත් යුදෙව්වන් සුලු පිරිසක් යූපීඒ විසින් පාලනය කල ගම්බද සිට ජර්මානුවන් විසින් පාලනය කල නගර කරා පලා ගියහ.

නාසීන්ගේ යටත්වීමෙන් ඉක්බිත්තේ, සෝවියට් සංගමය හා දැන් ස්ටැලින්වාදී පක්ෂයක් විසින් පාලනය කරන පෝලන්තය, එක්සත් ජනපදයේ ද සහාය ලැබූ ඕයූඑන්හි අඛන්ඩ ප‍්‍රතිරෝධයකට මුහුන දුන්නේය. 1950 ගනන් දක්වාම ඇදී ගිය සටන් වලින් දහස් ගනනක් ජීවිතක්ෂයට පත් වූහ. සෝවියට් සංගමය හා පෝලන්තය විසින්, ඕයූඑන් වනාහි “ජර්මානු-යුකේ‍්‍රනියානු ෆැසිස්ට් වාදීන්” යයි හඳුන්වාදීම, “සෝවියට් සංගමය තුල ද ඉන් පිටත ද කල් පවතින හා බලගතු ප‍්‍රචාරනය අංග ලක්ෂනය කිරීමේදී බොහෝ දුරට නිරවද්‍යවූ බව” ස්නයිඩර් සැලකිල්ලට ගත්තේය. බන්ඩෙරා සම්බන්ධයෙන් ගත් කල, “කේජීබීය (සෝවියට් රහස් පොලිසිය) 1959දී ඔහු ඝාතනය කරන තෙක්ම ෆැසිස්ට් යුකේ‍්‍රනයක් පිලිබඳ අදහසට විශ්වාසවන්තව සිටි බව ස්නයිඩර් සටහන් කරයි.

බන්ඩෙරා සැමරීම හා යුකේ‍්‍රන දේශපාලනය අතර සම්බන්ධතාවය ගැන සඳහන් කරමින් ස්නයිඩර් මෙසේ ලිවීය:

සමහරවිට යම් ගනන් බැලීමකට අනුව, බටහිර යුකේ‍්‍රනයේ ජාතිකවාදී භටයින්ට වඩා බොහෝ යුකේ‍්‍රනියානුවන් රතු හමුදාව සමග අනන්‍යවී සිටීම නිසා ජනාධිපතිවරනයේ පලමු වටයේදී යුෂ්චෙන්කෝ දරුනු ලෙස පරාජයට පත්වුනා විය හැකිය. බන්ඩෙරා වීරයෙකු ලෙස නම්කිරීමෙන් පසුව ඔඩෙස්සාහිදී ඔහුගේ අනුරුවකට ගිනි තබනු ලැබිනි. 2007දී නාගරික බලධාරීන් විසින් බටහිර යුකේ‍්‍රනයේ ලිවිව්හි ඉදිකරන ලද බැන්ඩෙරාගේ පිලිරුවට පවා මැතිවරන ව්‍යාපාරය මධ්‍යයේ දැඩි ආරක්ෂක රැුකවල් යොදා තිබුනි. (අවධාරනය ඈඳුනි)

සිය ඓතිහාසික රචනාව නිමා කරමින් ස්නයිඩර් මෙසේ ලිවීය: “සිය තනතුරෙන් ඉවත්ව යද්දී, යුෂ්චෙන්කෝ බන්ඩෙරා වැලඳගැනීම මගින් තම දේශපාලන උරුමය මත කලු පැල්ලමක් තබා ගත්තේය.”

2010 මුල හරියේ ප‍්‍රකාශයට පත් කල මෙම රචනාව ලියන විට ඔහු, බන්ඩෙරා හා ඕයූඑන්, යුකේ‍්‍රනියානු ඉතිහාසයේ වැදගත්, අනතුරුදායක හා වදයක්වූ අංගයක් ලෙස සැලකූ බවට සාක්ෂි ඇත. කෙසේ වෙතත් ඊට අට මාසයකට පසුව 2010 ඔක්තෝබරයේ Bloodlands (ලේවැකි බිම) ප‍්‍රකාශයට පත්කරන කල, මේ මාතෘකාවට ස්නයිඩර්ගේ සැලකීම, අසාමාන්‍ය හා පෙරලිකාරී වෙනසක් සලකුනු කරයි. ඔහුගේ පිටු 524න් යුත් කෘතිය තුල, යුකේ‍්‍රනියානු ජාතිකවාදීන්ගේ ක‍්‍රියාන්විතයන්ට ලැබී තිබුනේ අතිශය නොසැලකිලිමත් තැනක් පමනි. බ්ලඩ්ලෑන්ඩ්ස් සුචියේ ස්ටෙපාන් බන්ඩෙරා හෝ ඕයූඑන්! ගැන එකම සඳහනක් පවා අන්තර්ගත නොවීය! ඕයූඑන් විසින් අනදී මෙහෙයවන ලද යූපීඒහි මිනීමරු වැඩ කටයුතු සඳහා මුලු පොතෙන්ම 326වන පිටුවේ කැපකර තිබුනේ එකම එක වැකියක් පමනි.

බ්ලඩ්ලෑන්ඩ්ස් ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අවසන් කටයුතු සූදානම් කරමින් තිබිය දී ස්නයිඩර්, බොහෝ දුරට බේසික් බුක්ස්හි සිය සංස්කාරක වරුන් සමග අදහස් හුවමාරු කරගැනීමට ඉඩ තිබුනු බවත් ඒ අනුව ඔහු, යුකේ‍්‍රනියානු ජාතිකවාදීන්ගේ අපරාධ සිය කෘතියෙන් ඉවත්කර තැබීමට තීරනය කල බවත් පැහැදිලිය. නිව් යෝර්ක් රිවීව් ඔෆ් බුක්ස් තුල 2010 පෙබරවාරියේදී ස්නයිඩර් පල කල රචනාවේ, යුකේ‍්‍රන ෆැසිස්ට්වාදය සම්බන්ධයෙන් ඔහු මතු කල ප‍්‍රශ්න හා කරුනු කිසිවක් බ්ලඞ්ලෑන්ඞ්ස් තුල ප‍්‍රකාශ වන්නේ නැත.

ප‍්‍රකාශිත ආකෘතියෙන්ම බ්ලඩ්ලෑන්ඩ්ස්, දක්ෂිනංශික ඓතිහාසික සංශෝධනවාදයේ විනිවිද භාවය අතින් වංචනික ව්‍යායාමයකි. සෝවියට් සංගමය හා නාසි ජර්මනිය දේශපාලනික හා සදාචාරාත්මකව සමාන තත්වයෙන් ඉදිරිපත්කොට, ඉනුත් සෝවියට් සංගමය වඩාත් නරක විය හැකි බවට දැඩි ලෙස ඇඟවුම් කිරීමත් සමග හොලඩමෝර් වෘත්තාන්තය පිලිබඳව එය සහතිකයක් ද වේ. පාලන තන්ත‍්‍ර දෙකේ ඓතිහාසික සම්භවයන්, සමාජ ආර්ථික පදනම් හා දේශපාලන අරමුනු පිලිබඳ කිසිදු විමසා බැලීමක් ඇත්තේ නැත. සාමුහිකකරනය පිලිබඳ කුමන හෝ බැරෑරුම් අධ්‍යයනයක් තුල සංකීර්න ඓතිහාසික හා දේශපාලන ප‍්‍රශ්න සැලකිල්ලට ගත යුතු වුවත් ඒවා සරලවම නොතකා හැර තිබේ. අදූරදර්ශී ලෙස සාමුහිකකරනය නිසා ඇතිවූ ව්‍යසනය “පැහැදිලිකර” ඇත්තේ, “සෝවියට් යුකේ‍්‍රනයේ මිලියන ගනනකගේ ජීවිත විනාශ කිරීම ස්ටැලින්ගේ තේරීම” විය යන අවධාරනය ද සමග ය.

ජනප‍්‍රිය මාධ්‍යයට සපුරා වෙනස් ආකාරයෙන්, බැරෑරුම් ඉතිහාසඥයින් විසින් ස්නයිඩර්ගේ කෘතිය පිලිබඳව සිදු කල තියුනු විමර්ෂන දැකගත හැකිය. යුකේ‍්‍රනියානු ජාතිකවාදීන් විසින් සිදුකරන ලද ජන විලෝපනවල තරම ලඝු කොට දැක්වීමේ උත්සාහය මතභේදයන්ට තුඩුදී ඇත. මහාචාර්ය ඕමාර් බාටොව් බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේ තම සටහන් තුල.

සිය යුකේ‍්‍රන අසල්වැසියන් විසින් එවකදී (1941 ග‍්‍රීෂ්මයේ) නැගෙනහිර පෝලන්තය පුරා තොග පිටින් යුදෙව්වන් සංහාරය කිරීම කෙරෙහි යොමුවී ඇත්තේ සුලු අවධානයක් පමනක් වන අතර එය ක්ෂනයකින් පූර්ව සෝවියට් අපරාධ වෙත හැරී ඇත. ජර්මානුවන් පාලනය කල පොලිසියට බැඳෙමින් ද එස්එස් හමුදාවට බැඳෙමින් ද නැතිනම් ඝාතක කඳවුරු තුල සේවය කරමින් ද යුකේ‍්‍රනුවන්, සිය අසල්වාසී යුදෙව්වන් මරා හෙලූවේ මන් ද යන්න පැහැදිලි කිරීමේ ස්නයිඩර්ගේ ව්‍යායාමය, මේ මිනිසුන් සිදුකරන ලද අපරාධයන්ගේ දෘෂ්ටියෙන් බලන කල බෙලහීන එකකි.

සෝවියට් ප‍්‍රතිරෝධය තුල සිදුවූ අපරාධ නාසි ආක‍්‍රමනිකයින් සිදුකල අපරාධයන්ට සමාන කිරීමේ ස්නයිඩර්ගේ උත්සාහයට ද බාටොව් විරුද්ධ වෙයි.

ප‍්‍රතිරෝධය පෑ සටන්කරුවන් හා ආක‍්‍රමනිකයින්, සෝවියට් හා නාසි වාඩිලෑම, වේමාක්ට් හා රතු හමුදාවේ සාපරාධීත්වය, සමාන කිරීමෙන් හා අන්තර් වාර්ගික ප‍්‍රචන්ඩතා මගහැරීමෙන් ස්නයිඩර්, යුද්ධය බොහෝකොටම එහි සදාචාරමය අන්තර්ගතයෙන් ඉවතට හරවන අතර නොසැලකිලිමත් ලෙස, සෑම කෙනෙක්ම අපරාධකාරයෙක් වන නිසා කිසිවෙකුටත් චෝදනා කල නොහැකිය යන ක්ෂමාලාපකයින්ගේ තර්කය වැලඳ ගනියි. [ Slavic Review (ස්ලාවික් විමර්ෂන), 2011 ග‍්‍රීෂ්මය]

ඉතිහාසඥ මාර්ක් මැසෝවර් ස්නයිඩර්ගේ කෘතිය පිලිබඳව දරුනු විවේනයක් එල්ල කරයි. “නැගෙනහිර යුරෝපීය යුදෙව් විරෝධය පිලිබඳව ඕනෑවටත් වඩා වැදගත්කමක් දීමට නිෂ්චිතවම යමෙකුට හැකිය. මේ සම්බන්ධයෙන් විවේචනයට ලක් කල හැක්කේ ශාස්ත‍්‍රාලිකයින් සුලු පිරිසක් ද නොවේ. එහෙත් යමෙකුට එය සුලූ කොට තැකීමට ද පුලුවන. ස්නයිඩර් දක්වන සැලකිල්ල යොමුවන්නේ ඒ දිශාවටය.” [Contemporary European History, සමකාලීන යුරෝපීය ඉතිහාසය, 2012 මැයි,]

ස්නයිඩර්ගේ පසුකාලීන පරිනාමයේ ආලෝකයෙන් ගත් කල, යුකේ‍්‍රනය තුල එජ දේශපාලන මෙහෙයුම්වලට හා ඒවා ක‍්‍රියාත්මක කරවීමට ස්නයිඩර්ගේම වඩ වඩාත් දැඩිවන මැදිහත්වීමට සම්බන්ධ, දේශපාලනිකව අභිපේ‍්‍රරිත තීරනයක් ලෙස සලකාගෙන මිස, බ්ලඩ්ලෑන්ඩ්ස් යුකේ‍්‍රනියානු ජාතිකවාදයේ අපරාධ මගහැර තිබීම, අන් කිසිවකින් පැහැදිලි කිරීම දුෂ්කරය. පසුගිය මාස ගනනාව තුල ස්නයිඩර්, කියෙව් තන්ත‍්‍රයේ වඩාත් පුම‍්‍රඛ ආරක්ෂකයෙක් ලෙස හිස ඔසවා තිබේ. ඔහුගේ ලියවිලි වල හා කතාවන්හි වඩාත් කැපී පෙනෙන ලක්ෂනය බවට පත්ව ඇත්තේ, කියෙව් තන්ත‍්‍රයේ දේශපාලන ගති ස්වභාවය හා පෙබරවාරි කුමන්ත‍්‍රනය තුල පෙරලිකාරීවූ දක්ෂිනාංශයේ සැලකිය යුතු මැදිහත්වීමක් පිලිබඳ කුමන හෝ වැදගත් සලකුනක් කෝපයෙන් යුතුව හෙලා දැකීමත්, රුසියාවට එරෙහි ඔවුන්ගේ විසකුරු සතුරු කමත්ය.

වීසෙල්ටියර්ගේ New Republic (නිව් රිපබ්ලික්)තුල, කියෙව් තන්ත‍්‍රය ආරක්ෂා කිරීම සඳහා මෑතකදීම කල මැදිහත්වීමේදී ස්නයිඩර්, බුද්ධිමය වංචනිකත්වයේ නව ආගාධයකට ලුහුටා යයි. රුසියාව හා සෝවියට් සංගමය පවා ඉදිරිපත් කෙරෙන්නේ, අර්ධ ෆැසිස්ට් පාලන තන්ත‍්‍රයන් ලෙසය. ස්වබෝධා හා දක්ෂින නිකාය යුකේ‍්‍රනයේ දේශපාලන ජීවිතය තුල ඉටු කරන ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය නොතකා හැර තිබේ. ස්නයිඩර් කියන පරිදි ෆැසිස්ට්වාදයේ නැගෙන රැුල්ල ප‍්‍රකාශිත වන්නේ, නව යුකේ‍්‍රනියානු තන්ත‍්‍රයට රුසියාව දක්වන විරුද්ධත්වය තුලය.

වඩාත් අභූත ස්වභාවයකින් යුත්ඡේදයක් තුල ස්නයිඩර්, “ෆැසිස්ට්වාදය යන්නෙහි අර්ථය, නග්න පිරිමි රූපාකාරයක ප‍්‍රීති උත්සවයකි, සමලිංගිකත්වයේ උන්මාදයකි, ඒ අතරතුරම සාපරාධී ද අනුගමනය කිරීමේ ද... අද දවසේ මෙම අදහස් රුසියාව තුල නැගී එමින් තිබේ...” යනුවෙන් ප‍්‍රකාශ කරයි. ස්වබෝධාව දරුනු ලෙස සමලිංගිකත්වයට විරුද්ධ බව හා ඔවුන් 2012 සමලිංගික අයිතීන් පිලිබඳ රැස්වීමක් කඩාකප්පල් කරමින් එය ”විකෘති කාමුකයින් 50 සබාත්” (ස්වබෝධාව පිලිබඳ විකිපීඩියා සටහනක ඇතුලත්* ලෙස ප‍්‍රසිද්ධියේ හෙලාදුටු බව ස්නයිඩර් නොදන්නවා විය නොහැකිය.

සිය දේශපාලන න්‍යායපත‍්‍රයට ගැලපෙන පරිදි ස්නයිඩර්, ඉතිහාසය අමු අමුවේ විකෘති කරයි. සිව් වසරකට පෙරාතුව තමන් ලිවූ දෙයට සපුරා වෙනස් ආකාරයකට දැන් ඔහු කියා සිටින්නේ, “යුකේ‍්‍රනියානු ජාතිකවාදීන්ගේ දේශපාලන සහභාගිත්වය හා නැගිටීම, කොයිහැටි වෙතත් ජර්මානු වාඩිලාගැනීම පිලිබඳ ඉතිහාසයේ සුලු කාරනයක්” බවය.

ටිමොති ස්නයිඩර්ගේ ලේඛන තුලින් අපට මුනගැසෙන්නේ, බුද්ධිමය වශයෙන් රෝගී හා අන්තරායකාරී ප‍්‍රවනතාවකි. එනම් ඉතිහාස ලේඛන කලාව හා රාජ්‍ය සේවය තුල ප‍්‍රචාරනය ගොනු කිරීම අතර බෙදුම්කඩනය මකා දැමීම යි. මේ සති අන්තයේදී කියෙව් වෙත රැස්වන සියලු “බුද්ධිමතුන්”, මෙම තරයේම ප‍්‍රතිගාමී ක‍්‍රියාවලියේ පුද්ගලාරෝපනයන්ය.

Share this article: