හංවැල්ල රබර් කම්හලෙන් සිදුවන පරිසර දූෂනය ගැන සසප විමර්ශනය නතර කිරීමේ තැතක්

විලානි පීරිස් විසිනි, 2014 ජූනි 14

තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප‍්‍රඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් සිදුවන පරිසර දූෂනය නතර කරන ලෙස ප‍්‍රදේශයේ ජනයා කල උද්ඝෝෂනය මර්දනකාරී වාතාවරනයකින් යටපත් කර ගැනීමෙන් පසු, මෙම දූෂනය ප‍්‍රදේශයේ ජනයාට බලපා ඇති අන්දම විමර්ශනය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන වැඩ කටයුතු නතර කිරීමට කම්හල් පාලකයන්, ආන්ඩුවේ දේශපාලනඥයන්ගේ හා පොලීසියේ උදව් ඇතිව කි‍්‍රයා කරන බවට කරුනු එලිවෙමින් පවතී.

මෙම උත්සාහය පරිසර දූෂනයෙන් තමන් කලක් තිස්සේ පීඩා විඳින බවට චෝදනා කරන ප‍්‍රදේශයේ ජනයාට සත්‍යය පැහැදිලි කර ගෙන එම තත්වය නතර කර ගැනීමටත් තම සෞඛ්‍යාරක්ෂාව සඳහා පියවර ගැනීමටත් ඇති අයිතිය නැති කිරීමේ තැතකි. කොම්පැනිය තකන්නේ තමන්ගේ ලාබ පොදි රැක ගැනීම ගැන පමනකි.

සසප විසින් වැලිවේරිය ජල දූෂනය පිලිබඳව විමර්ශනය කිරීමට පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව තුන්නානේ පරිසර දූෂනය සොයා බැලීමට තීන්දු කලේ එහි මහජන උද්ඝෝෂනයක් මධ්‍යයේ ය. වැලිවේරිය ජල දූෂනය ගැන චෝදනා ලබන වෙනිග්‍රොස් රබර් කම්හල අයිති සමාගමට ම එච්ආර්පී කම්හල ද අයිති ය.

දිගු කලක් තිස්සේ වැලිවේරිය ජනයා තමන් විඳින පීඩාවලට එරෙහිව ගෙනගිය මහජන උද්ඝෝෂනය මැඩීමට, ආන්ඩුව කම්හල වෙනුවෙන් යෙදූ හමුදාව ගිය වසරේ අගෝස්තු 1දා සිදු කල වෙඩිතැබීමෙන් තරුනයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගනනාවක් තුවාල ලැබූහ. මහජනයා අස්වැසීමේ උපාමරුවක් ලෙස කම්හල වෙනත් ස්ථානයකට ගෙනයන බව ආන්ඩුව හා සමාගම ප‍්‍රකාශ කලත් එය ද නිශ්චිත නැත.

මෙලෙසම, මාර්තු 16 දා තමන්ට පරිසර දූෂනයෙන් වන හානි ගැන උද්ඝෝෂනයේ යෙදුනු තුන්නාන ගම්මුන්ට රුදුරු පොලිස් ප‍්‍රහාරයක් එල්ල විය. අහම්බ සිද්ධියක් නිසා එක් පොලිස් නිලධාරියෙකු මියයාම දඩමීමා කරගෙන තුන්නාන ප‍්‍රදේශය දින ගනනාවක් පොලිස් අත් අඩංගුවට පත් කර තිබුනි. පොලිස් නිලධාරියා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ‍්‍රල් 16 දා අත් අඩංගුවට ගැනුනු පී.පී. රුවන් සහ අයි. පී. සරත් මාස දෙකක් ගතවීත් පොලීසියට තවමත් කිසිදු චෝදනාවක් ගොනුකර ගැනීමට නොහැකිව "සැකපිට" යැයි රිමාන්ඞ් ගත කර ඇත්තේ ගම්මුන් බිය වැද්දීමේ ද අරමුන ඇතිව ය.

මාර්තු 16 සිද්ධියෙන් පසු, සසප ගෙනයන පරීක්ෂන කටයුතු පිලිබඳව එච්ආර්පී කලමනකාරිත්වය ද පොලීසිය ද අවධානයට යොමු කර ඇත. ඊට හේතුව, පරිසර දූෂනය පිලිබඳව ප‍්‍රදේශයේ ජනයාගේ චෝදනා එබඳු පරීක්ෂනයකින් සනාථ වනු ඇතැයි යන භීතිය යි.

• පසුගිය මාර්තු මාසයේ දී, පලාත් සභා මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සසප සාමාජිකයන් පිරිසක් තුන්නාන ප‍්‍රදේශයේ ජනයා සමග සාකච්ඡා කරමින් සිටිය දී මැදිහත් වූ පොලිස් නිලධාරීන් පක්ෂයේ උද්ඝෝෂනය ගම්මුන්ව "කෝපගැන්විය" හැකි යයි කියා සිටිමින් එය නතර කිරීමට යත්න දැරූහ. ගම්මුන් කෝප ගැනීමේ කතාව පොලීසිය විසින් ගොතන ලද්දකි.

• අපේ‍්‍රල් 27 තුන්නාන ප‍්‍රදේශයේදීම සසප කන්ඩායමක් පරීක්ෂනය සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීමේ යෙදී සිටියදී නීති විරෝධී ලෙස රඳවා ගත් පොලීසිය ඔවුන් මුදා හැරියේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලියා ගැනීමෙන් පසුව ය. උද්ඝෝෂනයේ යෙදෙන සසප සාමාජිකයන් තම දේශපාලන අයිතීන් මත කි‍්‍රයා කරන බව පක්ෂ මධ්‍යස්ථානයෙන් කියා සිටි විට පාදුක්ක පොලිස් ස්ථානාධිපති පැවසුවේ මෙලෙස මැදිහත් වන්නේ සසප පමනක් බව යි.

• ජූනි 1 දා සසප සාමාජිකයන් කන්ඩායමක් කම්කරු පරීක්ෂනයේ වැදගත්කම හා පක්ෂයේ දේශපාලන පිලිවෙත පිලිබඳව කරුනු පැහැදිලි කිරීමට ගිය අවස්ථාවේ ගම්මුන් ඔවුන්ට ප‍්‍රකාශ කලේ කම්හල් කලමනාකාරිත්වය සසප ගැන ඔත්තු බැලීමට යොදවා ඇති බව යි. අප පක්ෂ සාමාජිකයන්ට එරෙහිව මැර ප‍්‍රහාරයක් උසිගැන්වීමේ ඉඩක් ඇති බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ.

කම්හලේ කම්කරුවන් හා ගම්මුන් අතර භේදයක් ඇවිලවීමට හා ජනයා බා ගැනීමට කලමනාකාරිත්වය ප‍්‍රයත්න දරන බවට ද සසපට කරුනු දැක්වූ අය සඳහන් කලහ.

සමාගම විසින් යට ගැසීමට තැත් කරන්නේ කලක් තිස්සේ කම්හලෙන් සිදුවන පරිසර දූෂනයට එරෙහිව ප‍්‍රදේශයේ ජනයා අතර පැවති විරුද්ධත්වය යි. පාදුක්ක පොලීසිය පසුගිය පෙබරවාරි 28 දා අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයට කල පැමිනිල්ලක දැක්වෙන්නේ කම්හලෙන් පිට කෙරෙන රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර වී, ලිං ජලය අපවිත‍්‍රව ඇති බැවින් එම ජලය බීමට හෝ නෑමට නුසුදුසු බවත් කම්හලෙන් පිටකරන දුම නිසා වාතය අපවිත‍්‍ර වීමෙන් ශ්වසන රෝගවලට ජනයා ගොදුරුව ඇති බවත් පවසමින් 500ක පමන පිරිසක් කම්හල වසා දමන ලෙසට ඉල්ලා උද්ඝෝෂනය කරන බව යි.

උද්ඝෝෂනය නැවැත්වීමේ උපායක් ලෙස පොලීසිය මෙම පැමිනිල්ල කල ද, කම්හලෙන් සිදුවන පරිසර දූෂනය පිලිබඳව වැදගත් තොරතුරු ඒ පිලිබඳව සිදු කෙරුනු මූලික විමර්ශනවලින් හෙලිවූ තතු යටතේ අධිකරන නියෝගය ප‍්‍රකාශ කිරීම කල් ඇද්දෙමින් පවතී. පීඩාවට පත් පාර්ශ්වය වෙනුවෙන් හන්වැල්ල පහත්ගම කුඩලූවිල වත්ත පදිංචි ජස්ටින් සිල්වා සාක්කි දෙමින් පවසා ඇත්තේ, තම ඉඩමේ පිහිටි ලිඳේ ජලය පරීක්ෂා කල ජාතික ජලාපවහන මන්ඩලය එම ජලය පානය සඳහා නුසුදුසු බවට වාර්තාවක් ලබා දුන් බව යි. ඔහු එම වාර්තාව උසාවියට ඉදිරිපත්කර ඇත.

තවද තම දරුවන්ට හා නිවස අසල තවත් දරුවන්ට ශ්වසන ආබාධ හා චර්ම රෝග පවතින බවත් ඊට අමතරව ප‍්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝග මෙන්ම අක්මාවේ හා උදරයේ රෝග හටගෙන ඇති බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත. මේවා සිදුවන්නේ කම්හලෙන් නිකුත් කරන අපජලය හා විෂ දුම් නිසා බවද ඔහු කියා සිටියේ ය.

කම්හලෙන් නිකුත් කරන ලද අප ජලය නිසි ප‍්‍රමිතියෙන් තොර වන බව පවසමින් 2004 දී පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක්ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව එවකට කර්මාන්ත ශාලාවෙන් නිකුත් කල අප ජලයේ තිබිය යුතු ඇමෝනියා සහ නයිට‍්‍රජන් ප‍්‍රතිශතය උපරිම ධාරන සීමාව ඉක්මවා ඇත. තවත් පස්දෙනෙකු මෙලෙසම වැදගත් සාක්කි ඉදිරිපත් කර ඇති අතර මෙම සාක්කිකරුවන් හා අනෙකුත් ප‍්‍රදේශවාසීන් ස්වාධීන කම්කරු පරීක්ෂනය හා සම්බන්ධවීම වැලැක්වීමට කම්හල් පාලකයන් හා පොලිසිය මාන බලයි. මෙම සාක්ෂිවලින් එලිදරවු වන කරුනු හා වැලිවේරිය ජනයා වෙනිග්‍රොස් සමාගමට එරෙහිව ඉදිරිපත් කල චෝදනා බෙහෙවින් සමාන ය.

තුන්නානේ මෙන්ම රතුපස්වලදීද මහජනයා මුලා කරමින් සහ බියවද්දමින් මහජන විරෝධය මැඩීමට ආන්ඩුවද කම්හල් හිමියන්ද එකදිගට කටයුතු කරමින් සිටිති. මහජනයාට බොරු කියමින්ද ඔවුන් එකිනෙකා කොටවමින්ද පොලිස් හා මිලිටරි ප‍්‍රහාර එල්ල කරමින්ද ආන්ඩුව ගෙනයන්නේ මහජනතාවගේ ජීවිත අනතුරේ හෙලමින් මෙම ආයෝජකයන්ගේ ලාභ ආරක්ෂා කරදීමේ වැඩපිලිවෙලකි. වෙසෙසින්ම අඩු දියුනු රටවල කාර්මික දූෂනය ඉහවහා ගොස් ඇත. වැඩ කරන ජනයාගේ ජීවිත පරදුවට තබා ලාභ ගැරීමට යන මේ සූදුවට ඉඩ නොදිය යුතු ය. ආර්ථික අර්බුදයේ ගිලී යන තතු තුල ලොවපුරා ධනපති පන්තිය ආන්ඩුවලද උදවු ඇතිව මේ පිලිවෙත ඉවක් බවක් නැතිව කි‍්‍රයාවට දමයි.

ලාභ සඳහා නොව මනුෂ්‍ය අවශ්‍යතා අනුව නිෂ්පාදනය සංවිධානය කෙරෙන ක‍්‍රමයක් තුල පරිසර දූෂනය ද නතර කල හැකි ය. එය වනාහි සමාජවාදී ක‍්‍රමය යි. ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රමයක කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සසප සටන් කරන්නේ මේ පදනම් මත ය.

තුන්නානේ සසප ගෙනයන උද්ඝෝෂනය නතර කිරීමට දරන ඕනෑම උත්සාහයක වගකීම සමාගම මත පැටවෙන බවට අපි කියා සිටිමු. වැලිවේරිය මෙන්ම තුන්නානේ ජනයාද කම්කරු පන්තිය හා තරුනයන්ද සසප දියත් කර ඇති පරිසර දූෂනය එලිදරවු කිරීමේ ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහයෝගය දීමට ඉදිරිපත් වීම තීරනාත්මක ය. එය, තම අයිතීන් රැකගැනීමේ කම්කරු පන්ති අරගලයේ කොටසකි.

Share this article: