තුන්නාන පරිසර දූෂනය පිලිබඳ සසප පරීක්ෂනයට ප‍්‍රදේශවාසීන් සහාය පල කරයි

පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 ජූනි 23

තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් සිදුවන පරිසර දූෂනය විමර්ශනය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භ කොට ඇති ස්වාධීන කම්කරු පරීක්ෂනයේ කොටසක් ලෙස පසුගියදා තුන්නාන ප‍්‍රදේශයේ උද්ඝෝෂනයේ යෙදුනු සසප සාමාජිකයන් ප‍්‍රදේශවාසීන් විසින් ඉතා උනුසුම් ලෙස පිලිගනු ලැබුවේ පරීක්ෂනය නතර කිරීම සඳහා කම්හල් පාලකයන්, ආන්ඩුව සහ පොලීසිය කරගෙන යන බිය ගැන්වීම් හා මැර තර්ජන නොතකමිනි.

“හංවැල්ල රබර් කම්හලෙන් සිදුවන පරිසර දූෂනය ගැන සසප විමර්ශනය නතර කිරීමේ තැතක්” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පිටපත් බෙදා හරිමින් ජූනි 15 දා මෙම උද්ඝෝෂනය සිදු කෙරින. එච්ආර්පී කම්හලෙන් සිදුවන පරිසර දූෂනය පිලිබඳ ඉතා වැදගත් විද්‍යාත්මක දත්ත හා තොරතුරු ලබා දෙමින් හා තම අත්දැකීම් හරහා දූෂනයේ ප‍්‍රතිවිපාක විස්තර කරමින් ප‍්‍රදේශවාසීහු පරීක්ෂනය ආරක්ෂා කොට ඉදිරියට ගෙනයාම සඳහා අධිෂ්ඨාන සහගතව ඉදිරිපත්වූහ.

සසප විසින් වැලිවේරිය ජල දූෂනය පිලිබඳව විමර්ශනය කිරීමට පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව තුන්නානේ පරිසර දූෂනය සොයා බැලීමට තීන්දු කලේ එහි මහජන උද්ඝෝෂනයක් මධ්‍යයේ ය. වැලිවේරිය ජල දූෂනය ගැන චෝදනා ලබන වෙනිග්‍රොස් රබර් කම්හල අයිති හේලීස් සමූහ ව්‍යාපාරයට ම එච්ආර්පී කම්හල ද අයිති ය.

වැලිවේරිය ජනයා වෙනිග්‍රොස් කම්හලෙන් සිදුවන ජල දූෂනයට එරෙහිව ගෙනගිය උද්ඝෝෂනයේ කොටසක් ලෙස පසු ගිය වසරේ අගෝස්තු 1දා පැවැත්වූ විරෝධතාවක් මැඩීම සඳහා ආන්ඩුව විසින් හමුදාව මෙහෙයවනු ලැබීය. එහිදී හමුදාව සිදු කල වෙඩිතැබීමෙන් තරුනයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගනනාවක් තුවාල ලැබූහ. මෙලෙසම, මාර්තු 16 දා එච්ආර්පී කම්හලෙන් සිදුවන පරිසර හානි ගැන උද්ඝෝෂනයේ යෙදුනු තුන්නාන ගම්මුන්ට රුදුරු පොලිස් ප‍්‍රහාරයක් එල්ල විය.

උද්ඝෝෂනය මැඩීම සඳහා පැමිනි පොලිස් නිලධාරියෙකු අහම්බ සිද්ධියකින් මියයාම දඩමීමා කරගෙන තුන්නාන ප‍්‍රදේශය දින ගනනාවක් පොලිස් අත් අඩංගුවට පත් කර තිබුනි. පොලිස් නිලධාරියාගේ මරනය සම්බන්ධයෙන් අපේ‍්‍රල් 16 දා අත් අඩංගුවට ගැනුනු ප‍්‍රදේශවාසීන් දෙදෙනෙකු මෙතෙකුදු රක්ෂිත බන්ධනාගාරයේ “සැකපිට” රඳවා ඇත. පොලීසියට කිසිදු චෝදනාවක් ගොනුකර ගැනීමට නොහැකිව ඇති තතු යටතේ තවදුරටත් ඔවුන් රඳවා ගෙන ඇත්තේ ගම්මුන් බිය වැද්දීමේ ද අරමුන ඇතිව ය.

සසප කම්කරු පරීක්ෂනයෙන් පරිසර දූෂනය පිලිබඳ චෝදනා සනාථ වෙතැයි බිය වැදී සිටින එච්ආර්පී කලමනාකාරිත්වය හා පොලීසිය පරීක්ෂනය නවතා දැමීම සඳහා සසපට එරෙහි විවිධ බලපෑම් යොදමින් සිටිති. පසුගිය මාර්තු මාසයේ තුන්නාන ප‍්‍රදේශයේ මැතිවරන උද්ඝෝෂනයක යෙදුනු සසප සාමාජිකයන්ට එරෙහිව මැදිහත් වූ පොලීසිය උද්ඝෝෂනය නතර කිරීමට උත්සාහ කලේය. නැවත අපේ‍්‍රල් 27 දා සසප සාමාජිකයන් කන්ඩායමක් පරීක්ෂනය සඳහා දත්ත සහ තොරතුරු රැස් කරමින් සිටියදී මැදිහත් වූ පොලීසිය, පරීක්ෂන කන්ඩායම අසල පිහිටි වැඩිහිටි නිවාසයකට ගෙන ගොස් ඔවුනගේ නම්, ලිපින සහ විවිධ තොරතුරු සහිතව ප‍්‍රකාශ සටහන් කර ගත්තේය. ජූනි 1 වන දා පරීක්ෂනයේ වැදගත්කම හා පක්ෂයේ කි‍්‍රයාමාර්ගය පැහැදිලි කරමින් සසප කල උද්ඝෝෂනයේදී ප‍්‍රදේශවාසීන් කියා සිටියේ කම්හල් පාලකයන් සහ පොලීසිය සසපට විරුද්ධව ඔත්තුකරුවන් යොදවා ඇති බැවින් මැර ප‍්‍රහාරයක් එල්ල වීමට ඉඩකඩ ඇති බවයි.

පොලිස් මැදිහත්වීම් සහ මැර තර්ජන නොතකා සසප දිගටම ගෙනයන අරගලයෙන් දිරිමත්වූ ප‍්‍රදේශවාසී තරුනයෙකු මෙසේ කියා සිටියේය: “ඔබලා නැවත නැවතත් පැමිනෙන එක අපට ශක්තියක්. පොලිස් බිය වැද්දීම් සහ අනෙකුත් තර්ජන නිසා අපේ මානසික ශක්තිය හීන වෙමින් යන කොට ඔබලාගේ පැමිනීමෙන් අපි නැවත දිරිමත් වෙනවා.” සියලුම දේශපාලන පක්ෂ තමා හුදෙකලා කොට ඇති තතු තුල සසප පමනක් තම ප‍්‍රදේශවාසීන්ගේ පරිසර අයිතීන් වෙනුවෙන් ඉදිරිපත්වීම අගය කල ඔහු සසප ටත් එය ගෙන යන පරීක්ෂනයටත් පූර්න සහයෝගය පල කල අතර සසප ට එරෙහි කවර හෝ කි‍්‍රයාවකට පොලීසිය හෝ කම්හල් පාලකයන් අර අඳිනු දැනගනු ලැබුවහොත් නොවලහා දැනුම් දෙන බවත් පරීක්ෂනයට අදාල සාක්ෂි හා තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

මේ අතර ගම්මුන් සමග සම්මුතියක් ඇති කර ගනිමින් උද්ඝෝෂනය නතර කිරීමේ උපායක් ලෙස, ප‍්‍රදේශවාසීන් විසින් වාර්ෂිකව ඉදි කරන පොසොන් තොරන සඳහා බරපැන් දැරීමට කම්හල් කලමනාකාරිත්වය ඉදිරිපත්ව ඇත. තම සගයින් දෙදෙනකු සිරගත කොට ඇති තතු තුල මෙතෙක් වාර්ෂිකව පවත්වා ගෙන ආ වෙසක් දන්සැල් පවා සංවිධානය නොකල ප‍්‍රදේශවාසීහු කම්හල් පාලකයන්ගේ යෝජනාව එකහෙලා ප‍්‍රතික්ෂේප කොට ඇත. නමුදු, ගම්වාසීන්ගේ විරෝධය නොතකා පාලකයන් විසින් කම්හල ඉදිරියේ තොරන ඉදිකොට තිබේ. කම්හල විසින් සිදු කරන පරිසර දූෂනයට අමතරව පොලිස් ප‍්‍රහාර, සිරගත කිරීම් සහ බිය වැද්දීම් සම්බන්ධයෙන් මහත් සේ උරන වී සිටි මහජනයා තොරන වර්ජනය කරමින් එයට එරෙහිව නිශ්ශබ්ද පාගමනක් යාමට තීන්දු කලහ. ඔත්තුකරුවන් හරහා මෙය දැනගත් පොලීසිය තිස් දෙනෙකුට අධික සංඛ්‍යාවක් පොලීසියට කැඳවා තර්ජනය කොට ඇත්තේ “හිරේ ලගින්න බලා ගෙන පා ගමන් පලයල්ලා” යනුවෙනි.

පොසොන් පෝය පැවති පසුගිය 12 වන දාට පා ගමන යොදා ගෙන තිබූ අතර එදින උදෑසන පටන් කඳුලු ගෑස් හා ජල විදින වලින් සන්නද්ධ විශේෂ පොලිස් බලඇනි දෙකක් පා ගමන ආරම්භ කෙරෙන සහ අවසන් කෙරෙන ස්ථාන වල රඳවා තිබී ඇත. එදින රාති‍්‍රියේ තොරන අවට රැකවල් සඳහා සිය ගනනක් පොලිස් භටයන් කැඳවා තිබූ බවද ප‍්‍රදේශවාසීහු පැවසූහ.

ඇසෝශියේටඩ් මෝටර් වර්ක්ස් සමාගමේ කම්කරුවෙකු වන ආරියරත්න පැවසුවේ පොලීසිය ගමටද පැන තර්ජනය කල බවයි. “මේ ප‍්‍රශ්නෙදි පාලකයොයි ආන්ඩුවයි ගම දෙකට බෙදුව. කම්හල් පාලකයො සමහර අය සල්ලි වලට ගත්ත. ඔවුන් තමයි ඔත්තු බලන්නෙ. ඔත්තු කියන්නෙ.” උද්ඝෝෂනය නිසා කම්හලේ වැඩ නතර නොවී ඇතිබවත් දිනෙන් දින නව ඉදි කිරීම් සිදුවන බවත් “වැලිවේරිය කම්හලෙන් ගලවපු ලයින් එකක් මෙහේ හයි කරන” බවට ආරංචි ඇති බවත් ඔහු පැවසීය. “ෆැක්ටරිය දිගටම දුවනව කියන්නෙ පරිසර දූෂනය දිගටම සිදු වෙනව කියන එක තමයි. ආන්ඩුවටයි, කම්හල් පාලකයොන්ටයි ලොකු කම්හලේ ලාභය මිසක් අපේ සහ දරුවන්ගෙ ජීවිත නෙවෙයි” යනුවෙන් ඔහුගේ භාර්යාව කීවාය.

කොලඹ හිල්ටන් හෝටලයේ සේවය කරන ප‍්‍රදේශවාසියෙකු පැවසුවේ “සෞඛ්‍යමත් පරිසරයක් සඳහා සටන් වැදීම අයිතියක් වන නමුත් එසේ සටන් කිරීම සාමයට බාධාවක්” බව ආන්ඩුව සහ පොලීසිය පවසන බවයි. “අපට ලෙඩ රෝග නැති පරිසරයක ජීවත්වීමේ අයිතියත් නෑ. ඒ ගැන කතා කරන්න අයිතියත් නෑ. ඇත්තෙන්ම ඔබලා සටන් කරන්නේ ඒ අයිතීන් දෙකම වෙනුවෙන්. මේ පරීක්ෂනයෙන් මේ අයිතීන් උල්ලංඝනය වෙලා තියෙන්නෙ කොහොමද කියලත් ඒකට හේතුවත් මහජනයාට පැහැදිලි කරන්න ඔබලා දරන උත්සාහය අපි අගය කරනවා” යැයි ඔහු තව දුරටත් පැවසීය.

කම්හලේ සේවය කරන කම්කරුවන්ට එහි භාවිතා කෙරෙන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මුහුන දීමට සිදුවන තත්වය පැහැදිලි කරමින් එක් තරුනයෙකු මෙසේ පැවසීය: “අර ගෙදර ඉන්නව ෆැක්ටරියෙ වැඩ කල ගෑනු කෙනෙක්. රසායනික ද්‍රව්‍ය නිසා එයාට හැදුන ලොකු හමේ රෝගයක්. බඩ ඉදිමිල හොඳටම. ෆැක්ටරිය රුපියල් 25,000 ක් දීල අත හෝද ගත්ත. මෙහෙම අය තව ගොඩක් මේ ගමේ ඉන්නව.” එම රෝගීන් හඳුන්වා දීමටත් ඔවුන් හමුවීම සඳහා ඔහුගේ යතුරු පැදියෙන් සසප සාමාජිකයන් රැගෙන යාමටත් ඔහු ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

කම්හලේ දූෂනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අවිස්සාවේල්ල අධිකරනයේ පවරා ඇති නඩුවේ ප‍්‍රධාන සාක්කිකාරියක සහ කැලනි මිටියාවත පරිසරය සුරැකීමේ සංවිධානයේ හිටපු ලේකම්වරිය වන ජී.එන්.ආර්. වික‍්‍රමනායක නම් වූ ගුරුවරිය ප‍්‍රකාශයක් දෙමින් සඳහන් කලේ: එච්ආර්පී කම්හල නිදොස් කරමින් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කොට ඇති වාර්තාවන් පදනම් වී ඇත්තේ අපජලය සම්බන්ධයෙන් පුද්ගලික රසායනාගාරයක් මගින් කරන ලද පරීක්ෂන මත බවයි. “පරිසර පනත අනුව එවන් පරීක්ෂනයකදී වලංගු වන්නෙ රජයේ රසායනාගාරයක කරන පරීක්ෂන පමනයි කියල අපේ නීතිවේදියා පෙන්නල දුන්න. මේ වාර්තා ඔක්කොම සමාගමට අවශ්‍ය විදියට සකස් කල ඒවා බව නඩුවෙදි දැනටමත් ඔප්පු වෙලා තියෙන්නෙ. ඒත්, මේ වැරදි නිවැරදි කරගෙන ඔය කියන පරිසර අධිකාරියෙම අධීක්ෂනය යටතෙ දුවන්න කියල අවසානෙදි තීන්දුව දෙයි.”

මෙම අධිකරන කි‍්‍රයාදාමයන්හි ඵල රහිතභාවයත්, පරිසර අධිකාරිය වැනි රජයේ ආයතන ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් මහජන අයිතීන් නොතකන ආකාරයත් කෙරෙහි බලවත් සේ අතෘප්තියෙන් සිටි ඇයට මෙහි මූලයන් පවතින්නේ ලාභය සඳහා නිශ්පාදනය කෙරෙන ධනේශ්වර ආර්ථික ක‍්‍රමය තුල බව සසප සාමාජිකයන් පෙන්වා දීමෙන් පසු සාකච්ඡාව “ගෝලීය උනුසුම” සහ “තෙවන ලෝක යුද්ධයක අන්තරාය” වැනි වැදගත් ජාත්‍යන්තර ප‍්‍රශ්න දක්වා වර්ධනය විය. “ජාත්‍යන්තර සමාජවාදය ගැන දැනගන්න මම කැමතියි. මම මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද සිටම ඇසුරු කරනව.”

Share this article: