ආරක්ෂක අමාත්‍යාංශය ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය කල මාධ්‍ය වැඩමුලු නතර කරයි

වසන්ත රූපසිංහ විසිනි, 2014 ජුනි 20

ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය යුද හමුදා බුද්ධි අංශ මෙහෙයවමින් දූෂන විරෝධී ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා (ටීඅයිඑස්එල්) ආයතනය විසින් සංවිධානය කර තිබූ ගවේෂනාත්මක ජනමාධ්‍ය පිලිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් දෙකක් බලහත්කාරය යොදා නතර කර තිබේ. මිලිටරි පාලනයේ පවතින උතුරු පලාතේ සිදුවීම් සිහිගන්වමින් සිදු කල මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය පෙන්නුම් කරන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව එයට මොනයම්ම හෝ ආකාරයකින් එරෙහි යයි සිතෙන ඕනෑම කටයුත්තක් නතර කිරීමට මිලිටරිය මැදිහත් කරවමින් සිටින ආකාරය යි.

හමුදා බුද්ධි අංශ මුලින්ම බාධා කර ඇත්තේ, පසුගිය මැයි මාසයේදී පොලොන්නරුව ගිරිතලේ ප‍්‍රදේශයේ දී ටීඅයිඑස්එල් පවත්වමින් තිබූ වැඩමුලුවට ය. මැයි 22 දා ගිරිතලේ “ඩියර් පාක්” හෝටලයේදී ආරම්භ වූ වැඩමුලුවට උතුරු හා නැගෙනහිර පලාත්වල මෙන්ම කොලඹ ජනමාධ්‍ය ආයතනවල කර්තෘ මන්ඩලවල සේවය කරන දෙමල හා මුස්ලිම් ජනමාධ්‍යවේදීන් සහභාගී වී තිබේ. පලමු දින වැඩමුලුවෙන් පසු හෝටල් කලමනාකාරීත්වය සංවිධායකයන්ට පවසා ඇත්තේ වැඩමුලුව නැවත්වීමට හමුදා බුද්ධි අංශයෙන් නියෝග ලැබී ඇති බවත් එය තවදුරටත් කරගෙන යාමට ඉන් අවසර ගත යුතු බව ත් ය. එදින රාත‍්‍රියේ ටීඅයිඑස්එල්හි ජ්‍යෙෂ්ඨ කලමනාකාර ශාන් විජේතුංගගේ ජංගම දුරකථනයට වැඩමුලුව නතර කරන ලෙසට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ද ලැබී ඇත.

මේ පිලිබඳව ටීඅයිඑස්එල් නියෝජිතයන් යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් ලාල් පෙරේරාගෙන් දුරකථයෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “වැඩමුලුවට එරෙහිව ගම්වැසියන්ගෙන් ලද පැමිනිලි මත” එය නැවත්වීමට හෝටලයට නියෝග කල බවත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලද උපදෙස් අනුව එම කටයුතු සිදුව ඇති බවත් ය. වැඩමුලුව පැවත්වුවහොත් හෝටලය වටලන බවට අවට විහාරස්ථානවල භික්ෂූන් හෝටලයේ හිමිකරු වන නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ට දුරකථනයෙන් කතා කොට දැනුම් දී ඇති බව පසුව හෝටල් කලමනාකාරීත්වය ටීඅයිඑස්එල් නියෝජිතයන්ට පවසා ඇත. බුද්ධි අංශ ප‍්‍රධානියා සඳහන් කල මෙම ඊනියා ගම්වැසියන් සුලුතර ජනවර්ගයාට එරෙහි සිංහල-බෞද්ධ අන්තවාදය ඔජ වඩවන මෙම භික්ෂූන් විය යුතු ය. පසුගිය මාර්තු 28දා පොලොන්නරුවේදී ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක ආධාර යටතේ පැවැත්වුනු මාධ්‍යවේදීන් පුහුනු කිරීමේ වැඩසටහනකට ද මේ අයුරින් දාමරික භික්ෂු කල්ලියක් කඩා වැදී වැඩසටහන කඩාකප්පල් කලේ ය.

ගිරිතලේ වැඩමුලුව පැවැති දිනයේ පෙරවරුවේ සිටම සිවිල් ඇඳුමින් සැරසුනු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු ඊට පැමිනි සිටි අයගේ හා සංවිධායකයන්ගේ කතාබහ පිලිබඳ තොරතුරු තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජංගම දුරකථන ඔස්සේ හුවමාරු කරගෙන තිබේ. හෝටල් සේවකයන් පවසා ඇත්තේ තමන් හමුදා සාමාජිකයන් බව ඔවුන් විසින් ප්‍රකාශ කල බව යි. හෝටලයේ නවාතැන් ගෙන සිටින සියලු අමුත්තන්ගේ තොරතුරු ද එම අමුත්තන් සිදුකරන කටයුතුද සෑම දිනකම හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට ලබා දිය යුතු බව හෝටල් සේවකයන්ට පවසා තිබේ. මෙම තොරතුරු පෙන්නුම් කරන්නේ මිලිටරිය ඉතා සූක්ෂම අයුරින් සෑම තැනම මැදිහත් වෙමින් සිටින ආකාරයයි.

තර්ජනය කිරීම් හා ගොතා කියන ලද “ගම්වැසියන්ගෙන් ලද පැමිනිලි මත” යන විධික‍්‍රම දෙකම යොදා ගනිමින් ගිරිතලේ වැඩමුලුව නතර කල මිලිටරි බුද්ධි අංශ ඊලඟට මැදිහත්ව ඇත්තේ ටීඅයිඑස්එල් ජූනි 7 මීගමුව ගෝල්ඩ් සෑන්ඩ්ස් හෝටලයේ පැවැත්වමින් තිබූ තවත් එවැනිම වැඩසටහනකට ය. ශ‍්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර දෙමල ජනමාධ්‍යවේදීන් සඳහා පැවැති තෙදින වැඩමුලුවේ අරමුන වී තිබුනේ “උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාවේ යහපාලනය ක‍්‍රියාත්මක කිරීම වාර්තාකරනය” සඳහා ජනමාධ්‍යවේදීන්, විශේෂයෙන් දෙමල භාෂාවෙන් වැඩකරන වාර්තාකරුවන් පුහුනු කිරීම යි.

ටීඅයිඑඑස්එල් පවසන ආකාරයට, මීගමුවෙන් පිටත සිට බස්වලින් ගෙන්වල ලද මැරයින් පොලිසියේ ආරක්ෂාව සහිතව හෝටලය ඉදරිපිට රැස්වූයේ මාධ්‍ය වැඩමුලුව විවේචනය කරමින් ඇතම් මාධ්‍යවේදීන්ගේ රුව මුද‍්‍රනය කල බැනර් ද ප‍්‍රදර්ශනය කරමිනි. වැඩමුලුවට පැමින සිටින්නේ “දෙමල ඊලම් විමුක්ති කොටි සාමාජිකයන්” යැයි ද මෙහි අරමුන “ජාත්‍යන්තර පරීක්ෂනයකදී ලංකාවට එරෙහිව සාක්ෂි දීමට මිනිසුන් පුහුනු කිරීම”යැයි ද මෙගාෆෝනයක් යොදා ගෙන බෙරිහන් දෙමින් වැඩසටහන නතර කරන ලෙස මැර නායකයා තර්ජනය කර තිබේ.

වැඩමුලුවට සහභාගීවූ අය උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවලින් පැමිනි දෙමල මාධ්‍ය ආයතනවල වැඩකරන ලේඛකයන් මෙම මැර කල්ලියේ මූලික ඉලක්කයක් විය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී සිදුකරන ලද යුද අපරාධවලට ජාත්‍යන්තරව නැගෙන විවේචන හමුවේ තම අපරාධ ආවරනය කිරීමේ නිරතව සිටින රාජපක්ෂ ආන්ඩුව, මොනයම්ම හෝ ආකාරයක විවේචනයක් නිහඬ කිරීමට අරමුනුකොට ඇති බව මෙයින් පැහැදිලි වේ.

යුද්ධයට සහයෝගය දුන් ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර බලයන්ගේ උත්සුකය එම අපරාධ විමර්ෂනය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නොව චීනයට එරෙහිව යුද සූදානම ගෙන යමින් තම මූලෝපායික අවශ්‍යතා තහවුරු කර ගැනීමයි. ඇමරිකාව කොලඹ ආන්ඩුවට බල කරන්නේ චීනයෙන් ඈත්ව තම මූලෝපාය යටතේ පෙල ගැසිය යුතු බවයි.

මහේස්ත‍්‍රාත්වරයෙක් මගින් ලැබෙන නීත්‍යානූකූල නියෝගයකින් තොරව වැඩමුලුව නතර කල නොහැකියැයි සංවිධායකයන් පැවසුව ද පොලිසිය මැරයින්ගේ පැත්ත ගනිමින් මාධ්‍යවේදීන්ට ආරක්ෂා දීම ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන්ට වැඩමුලුව නතර කර පිටව යන ලෙස පවසා තිබේ. ඒ අනුව එයින් පිටව ආ මෙම දෙමල මාධ්‍යවේදීන් ආරක්ෂාව පතා කොලඹ ගලධාරී හෝටලයේ රාත‍්‍රී නවාතැන් ගැන්නවීමට සංවිධායක පිරිස සූදානම් වුවත් ඔවුන්ට නවාතැන් නොදෙන ලෙස හෝටලයට “කිසියම් බලගතු කන්ඩායමකින්” තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබා දුන්නේ යයි හෝටල් කලමනාකාරීත්වය ටීඅයිඑස්එල් සාමාජිකයන්ට පවසා ඇත. ඉතාම අවදානම් සහගත තත්වයක් තුල පිරිස කොලඹ නගරයේ වෙනත් තැනක රාත‍්‍රියේ නවාතැන් ගැන්වීමට සිදුවූ බව ටීඅයිඑස්එල් පසුව සඳහන් කලේ ය.

සිදුවීම හෙලා දකිමින් ඒකාබද්ධ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (අයිඑෆ්ජේ) හා එයට අනුබද්ධ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (නිමාව්‍යා) නිවේදනයක් නිකුත් කලේ ය. මෙහිදී නිමාව්‍යා සඳහන් කලේ, “මෙම සියලුම වර්ධනයන් පෙන්නුම් කරන්නේ ශ‍්‍රී ලංකාවේ නිදහස් මාධ්‍යය මර්දනය කිරීම හොඳින් සැලසුම් කල මූලෝපායක්” බව යි. “මෙම සිදුවීම්දාමය පිලිබඳ පරීක්ෂන නොපැවත්වීම ශ‍්‍රී ලංකාව දඬුවම් නොලබා වරදේ නියැලෙන්නන් පිලිබඳ ලෝක නිරීක්ෂන ලැයිස්තුවේ ඉහලින්ම රැඳීසිටීමට හේතුවක් බව” අයිඑෆ්ජේ පැවසී ය.

සිද්ධිය මුලුමනින් හෙලා දකිමින් හා “වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි ආන්ඩුවෙන් ඉල්ලා සිටිමින්” නිවේදනයක් නිකුත් කල ටීඅයිඑස්එල් සඳහන් කලේ “උද්ඝෝෂකයන්” අතර මිලිටරි සාමාජිකයන් සිටි බවට හෙලිවී ඇති බව යි.

ටීඅයිඑස්එල් නිවේදනය තවදුරටත් සඳහන් කලේ, “අපට ඉතා ශක්තිමත් සිවිල් පාලනයක් අවශ්‍යව තිබෙන අතරේ ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ බලතල ඉක්මවා කටයුතු කරයි. සිවිල් පාලනයට මැදිහත් වීම මගින් මානව අයිතීන්ට සීමා බන්ධන පනවා ඇති අතර යහ පාලනය උල්ලංඝනය කර තිබේ. මෙය හුදු තනි සිදුවීමක් නොව, දූෂනයට එරෙහිව සටන් කිරීමට දරන්නාවූ උත්සාහයන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව නතර කිරීමට දරන තැතකි.”

සත්‍යය කාරනය වන්නේ, ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ බලතල “ඉක්මවා කටයුතු කිරීම” නොව, ඉතා ක‍්‍රමානුකූලව සිවිල් පාලනයේ සෑම අංශයක්ම සීඝ්‍රයෙන් මිලිටරිකරනය කරමින් සිටින බවයි. ධනේශ්වර සංස්ථාපිතය තුල කි‍්‍රයා කාරී ටීඅයිඑස්එල් තැත්කරන්නේ මෙම කොන්දේසි ආපසු හරවා ගෙන ධනපති පන්ති පාලනය හොඳින් තහවුරු කර ගැනීමට ය.

හමුදා බුද්ධි අංශයේ හා එය මෙහෙයවන ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම නීති විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාව ආන්ඩුවේ තල්ලුව යටතේ සිදුවන මිලිටරිකරනය පිලිබඳව කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි.

Share this article: