විශ්ව විද්‍යාල ආචාර්යවරු සංකේත වර්ජනයක නිරත වෙති

කපිල ප‍්‍රනාන්දු සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 ජූනි 9

අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කිරීම, ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම හා පර්යේෂන දීමනාවේ කොන්දේසි ඉවත් කිරීම, සරසවි මිලිටරීකරනය හා ශිෂ්‍ය මර්දනය නතර කිරීම ආදී ඉල්ලීම් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය 03 දා එක් දින සංකේත වර්ජනයක නිරත වූහ.

පිකට් උද්ඝෝෂනයට සහභාගී වූ ආචාර්යවරුන්

වර්ජනය කැඳවා තිබුනේ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) විසිනි. සෑම විශ්වවිද්‍යාලයක් ම නියෝජනය කල ආචාර්යවරු 500 ක් පමන කොලඹ විශ්ව විද්‍යාලය ආසන්නයේ පැවති පාගමනට හා පිකට් උද්ඝෝෂනයට සහභාගී වූහ.

කොලඹ විශ්ව විද්‍යාලය ආසන්නයේ පැවති පාගමනට සම්බන්ධ වූ අයගෙන් කොටසක්

මෙම ඉල්ලීම් ම මුල්කර ගෙන 2012 ජුලි 4 සිට ඔක්තෝම්බර් 12 දක්වා දින 103 පැවති වර්ජනය අවසන් කෙරුනේ සමිති නිලධරය හා ආන්ඩුව අතර අත්සන් කෙරුන ගිවිසුමක් මගිනි. ගිවිසුම හුදෙක් ම වර්ජනය අවසන් කිරීම සඳහා ආචාර්ය සම්මේලනය හා ආන්ඩුව අතර ඇති කර ගත් ප‍්‍රතිගාමී සම්මුතියක් මිස ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමේ සහතිකයක් නොවීය. විආසස මෙම යලි උද්ඝෝෂනය කැඳෙව්වේ ආචාර්යවරුන්ගේ වැටුප් සහ සෙසු ඉල්ලීම් පිලිබඳ අරගලය පාවාදීම එලිදරව්වන තතු තුල ආන්ඩුව කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර යලි වර්ධනය වන කෝපය හා නොසන්සුන්කම වාෂ්ප කිරීම සඳහා ය.

වැටුප් ඉල්ලීම ඍජුව ම ප‍්‍රතික්ෂේප කල ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ වෙනුවට පවතින වැටුපෙන් සියයට 35 පර්යේෂන දීමනාවක් දීමට යෝජනා කෙරුනි. ආචාර්ය සම්මේලනය එය පිලිගත්තේය. ඒ සම්බන්ධයෙන් නිකුත් කල චක‍්‍රලේඛය 2014/4 චක‍්‍රලේඛය මගින් අවලංගු කර නව කොන්දේසි පැනවීම නිසා උක්ත පර්යේෂන දීමානාව ද පොරොන්දු ප‍්‍රකාර නො ලැබෙයි. ආන්ඩුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැවැට්ටු බව සමිති නායකයෝ දැන් කියති.

විආසස නව සභාපති චන්ද්‍රගුප්ත තේනුවර රාවය පත‍්‍රයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී “අපිව රවට්ටලා බොරුවක් කරලා තියෙන්නේ. අවුරුදු දෙකක් තිස්සේ රැවටීම කරලා තියාගෙන” සිටි බව කියයි. ඇත්තට ම නම් සිදුවුයේ වෘත්තීය සමිතිය වසර දෙකක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ට ඇබ ගසා තැබීම ය.

උද්ඝෝෂනයෙන් පසු සාමාජිකත්වය ඇමතූ සමිති නායකයෝ පසුගිය වර්ජනය පාවාදීම කෙරෙහි සාමාජිකත්වයේ බහුතරයක් තුල පවතින අප‍්‍රසාදය තුනී කිරීම සඳහා එම අරගලයේ “පාඩම්” සහිතව මෙවර අරගලය ඉදිරියට ගෙන යන බවට සහතික විය. එහෙත් සමිති නිලධරයේ කිසිවෙකුත් පසුගිය අරගලයෙන් මොන ම පාඩමක්වත් ඉගෙන ගෙන නැත. සභාපති තේනුවර රාවයට කර තිබු ප‍්‍රකාශය එය තහවුරු කරයි.

“අපි හිතනවා නැවතත් බොරුවට පොරොන්දු දෙන්නේ නැතුව අපේ ඉල්ලීම් වලට සාවධාන ව කන්දීලා අදාල නිලධාරීන් පැහැදිලි ශක්‍ය ක‍්‍රියාවලට යයි කියල ” ඔහු පවසයි.

සාමාජිකත්වය ඇමතූ විආසස හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ එක් දින වර්ජනය “සාර්ථක” බවත් එමගින් අධ්‍යාපන බලධාරීන්ට හා ආන්ඩුවට “පැහැදිලි පනිවිඩයක්” දුන් බවයි. කලින් අරගලය පාවාදීමේ දී දේවසිරි ප‍්‍රමුඛ ක‍්‍රියා කලාපයක් ඉටු කලේය. සෙසු සමිති නිලධරයන් මෙන් ම විආසස නායකත්වය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඇතුලත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පරම වසයෙන් හතුරු ය. විආසස නායකයන්ගෙන් කොටසක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ දේශපාලන නායකයන් සමග සමීප සබන්ධකම් පවත්වාගෙන යන අතර සෙසු කොටස දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප), හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ව්‍යාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග පෙල ගැසී සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන් සමග කතා කල ආචාර්යවරු ගනනාවක් ආන්ඩුව පොරොන්දු කැඩීම කෙරෙහි හා ඉල්ලීම් දිනා නොගෙන කලින් අරගලය නතර කිරීම කෙරෙහි සිය අප‍්‍රසාදය පල කලහ.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ රවි අලගියවන්න ප‍්‍රකාශ කලේ: “මුල් අරගලයේදි දුන් පොරොන්දු වලට අනුව වැටුප් වැඩිවීමක් අපේ විශ්ව විද්‍යාල අචාර්යවරුන්ට ලැබුනෙ නෑ. විශ්ව විද්‍යාල ගුරුවරුන්ට සේවයට සරිලන වැටුපක් ලැබෙන්නෙ නැහැ. මගේ ස්වාධීන අදහස නම් කලින් අරගලය නතර කරපු එක වැරදියි. ඉල්ලීම් හරියාකාරව ඉටු වෙනකම් අරගලය දිගටම ගෙනියන්න තිබුන”.

එහිම තවත් ආචාර්යවරයෙකු වූ දයානන්ද, “ආන්ඩුව මේ ප‍්‍රශ්න සියල්ල ම දන්නවා. මේක ආන්ඩුවේ පිලිවෙත. මේ පිලිවෙත වෙනස් කල යුතුයි. අධ්‍යාපන කප්පාදුව ගැන දැනුවත් කිරීමත් සමග ම අපි දේශපාලනික අරගලයකටත් යා යුතුයි. මොකද මේ තියන ධනේශ්වර ක‍්‍රමය යටතේ අපිට සියයට 6 ලබා ගැනීමටවත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටවත් බැහැ.”

සමිති නායකත්වය වගාදිගා කරන මිත්‍යාවන්ගෙන් ජනිත ව්‍යාකුලතාවයන් මෙන් ම පශ්චාත් නූතනවාදය වැනි ප‍්‍රතිගාමී දෘෂ්ටීන්ගේ බලපෑම ද සමහර ආචාර්යවරුන් අතර පවතී. රටේ සමස්ත අධ්‍යාපන ක‍්‍රමය ම බිඳ වැටී ඇති බවත් අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය බවත් පිලිගත් කොලඹ විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන දිලීප විතාරන පැවසුවේ “ලෝක ධනවාදයේ වර්තමාන අර්බුදය පද්ධතිමය අර්බුදයක් නමුත් පද්ධතිය තුල “අතර මැදි විසඳුම්” ඇති බවයි.

කම්කරු පන්තියට සිය අයිතීන් සඳහා අරගලයේ දී “විද්‍යාත්මක ඉදිරිදර්ශනයක” අවශ්‍යතාව මතු කල විට ඔහු එය ප‍්‍රතික්ෂේප කලේ “විද්‍යාත්මක කියන වචනෙ දැන් එච්චර බරපතල එකක් නොවන” බව පවසමිනි. රටේ “අනවශ්‍ය වියදම්” කප්පාදු කර ආර්ථිකය කලමනාකරනය කලොත් “ධනේශ්වර ක‍්‍රමය තුල වුනත් අධ්‍යාපනයට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දිය හැකි” බව ඔහු කීවේය.

විද්‍යාත්මක ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය ප‍්‍රතික්ෂේප කිරීම සහ ආර්ථිකය කලමනාකරනය කිරීම තුලින් ධනේශ්වර පද්ධතිය තුල ම අතර මැදි විසඳුම් සොයා ගැනීම පිලිබඳ මේ අදහස් වැඩකරන ජනතාව සහ බුද්ධිමත් ස්තර අතරට කාන්දු කෙරෙන්නේ පශ්චාත් නූතනවාදී සහ ජාතිකවාදී අවස්ථාවාදී ව්‍යාජ වාම ප‍්‍රවනතා මගිනි. මේ අදහස් අතිශයින් ම ප‍්‍රතිගාමීය, හානිකරය. හිටපු රැඩිකලුන්ගේ හා ධනපති සහ ව්‍යාජ වාම පක්ෂ සමග පෙල ගැසී සිටින විආසස යේ නායකත්වයමත් මේ ප‍්‍රතිගාමී අදහස් සාමාජිකත්වය තුලට කාන්දු කරන වාහකයකි.

විආසස සාමාජිකත්වය මෙම ප‍්‍රතිගාමී හා ජාතිකවාදී අවස්ථාවාදී දෘෂ්ටීන් සහ අදහස් මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කල යුතු ය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාරත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ රාජපක්ෂ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමන ආර්ථික කප්පාදුවල කොටසකි.

ශ‍්‍රී ලංකාව ලෝක ධනවාදී අර්බුදයේ වාසුලිය තුලට වේගයෙන් ඇදගනු ලබමින් පවතින තතු තුල රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික අර්බුදය වඩ වඩා ගැඹුරු වෙමින් තිබේ. ආන්ඩුව වාරු වී සිටින්නේ දේශීය සහ විදේශීය නය මතය. ඒ තතු තුල රාජ්‍ය වියදම් කපා හැරීම මගින් අයවැය පරතරය පියවා ගැනීමත්, පුද්ගලීකරනය ඇතුලු ආර්ථික ප‍්‍රතිව්‍යුහකරන සැලසුම් ක‍්‍රියාවට දැමීම වේගවත් කරන ලෙසත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආන්ඩුවට නියෝග කර ඇත. ඒ අනුව ආන්ඩුවේ අයවැය පරතරය මේ වසරේ දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 5.2 දක්වාත් 2016 වන විට 3.8 දක්වාත් අඩු කල යුතුය. නිදහස් අධ්‍යාපනය සඳහා වියදම දදේනියෙන් සියයට 1.8 සිට 1.48 දක්වා අඩු කිරීම මේ කප්පාදුවල කොටසකි. අයවැය පරතරය අඩු කිරීම සිදු කෙරෙන්නේ රාජ්‍ය අංශයේ වැටුප් කැටිකර තැබීම, රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම පාරිතෝෂිකය උදුරා ගැනීම හා ගොවීන් සහ දුප්පතුන් සඳහා වූ සහනාධාර කැපීම මගිනි.

මෙබඳු කප්පාදු කිරීම් සිදුවන්නේ ලංකාවේ පමනක් බව 3 දා පැවති උද්ඝෝෂනයෙන් පසු සාමාජිකත්වය ඇමතූ විආසස නායකයෙකු හා ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයෙකු වන දඹර අමිල භික්ෂුව ප‍්‍රකාශ කලේය. ඉන්දියාවේ මෝදිගේ ආන්ඩුවේ අධ්‍යාපන ඇමති එරට අධ්‍යාපනය වියදම් වහාම ඉහල දමන බව ප‍්‍රකාශ කර ඇතැයි ඔහු පැවසීය. එම නිසා “අපේ ඉල්ලීම් ක‍්‍රියාවට දමන්නේ ඉන්දියාවේ ආන්ඩුව” බව ද ඔහු කීවේ ය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බලයට ඒමට පෙරාතුව ම සමාජ සුබසාධන සඳහා කරන වියදම් කප්පාදු කරන බවත් ආයෝජකයන් සඳහා වඩා හොඳ කොන්දේසි නිර්මානය කරන බවත් ඉන්දියාවේ මහ ධනපතියන්ට සහ විදේශීය ආයෝජකයන්ට ශපථ කර තිබුනි. ග‍්‍රීසිය, පෝලන්තය, ඉතාලිය, ප‍්‍රන්සය ඇතුලු යුරෝපා රටවලත්, ඇමරිකාව තුලත් ලෝකයේ සෙසු රටවලත් මෙම කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම වේගවත් කර ඇත.

වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර දීම සහ පොලිස් රාජ්‍ය සැලසුම් ක‍්‍රියාවට දැමීම මෙම ආර්ථික කප්පාදු පිලිවෙතත් සමග බැඳී ගත් ධනපති පාලක පන්තීන්ගේ දේශපාලන පිලිවෙතයි. ශිෂ්‍යයන්ට හා වැඩකරන ජනතාවට එරෙහිව මුදාහැර ඇති ප‍්‍රචන්ඩත්වය රාජපක්ෂ ආන්ඩුව විසින් තීව‍්‍ර කරන පොලිස් රාජ්‍ය සැලසුම්වල කොටසකි. එහෙයින් ධනපති ක‍්‍රමය තුල තවදුරටත් අතර මැදි විසඳුම් ඇතැයි කීම ඊට අනුගතව සිටීමේ දේශපාලනයකි. තම ඉල්ලීම් ද කුනුකූඩයට දමා අධ්‍යාපන අයිතිය විනාශ කිරීමට ආන්ඩුව ගෙන යන ප‍්‍රහාරයේ මූලයට සිසුන් මෙන්ම ගුරුවරුන් ද සිය අවධානය යොමු කල යුතුය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තම වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ අයිතීන් දිනා ගත හැක්කේ විආසස නායකත්වයෙන් බිඳී ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් සමාන ප‍්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ අනෙකුත් කොටස් හා ශිෂ්‍යයන් සමග සිය එකමුතුව තහවුරු කර ගනිමින් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා වූ පුලුල් දේශපාලන අරගලයකි.

කියවන්න:

Share this article: