ශ‍්‍රී ලංකාව: ජවිපෙ මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප‍්‍රතිඥා වෙයි

Sri Lanka: JVP pledges to defend big business interests

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 මාර්තු 14

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මාර්තු 29 පැවැත් වෙන බස්නාහිර සහ දකුනු පලාත් සභා මැතිවරන සඳහා වූ එහි උද්ඝෝෂනය සමග සම්පාත වන ලෙස “අපේ දැක්ම” නමින් “නව ප‍්‍රතිපත්ති මාලාවක්” නිකුත් කර ඇත. මහ ව්‍යාපාරිකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට ඔවුන්ගේ උත්සුකතා ආරක්ෂා කරන බවට ජවිපෙ සහතික වන අතර ම ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව කෙරෙහි පුළුල්ව පැතිර පවතින ජනතා අතෘප්තිය ගසා කෑමට ද උත්සාහ කරයි.

සිංහල ජනතාවාදයේ, මාවෝවාදයේ සහ කස්ත්‍රෝ වාදයේ අච්චාරුවක් ලෙස 1960 ගනන්වල දී පිහිටුවනු ලැබූ ජවිපෙ තව දුරටත් දකුන ට ලුහුටා යාමක් මෙම ලියවිල්ල මගින් නිරූපනය කෙරෙයි. ලොව පුරා එහි සමපාර්ශව කරුවන් මෙන් ම, ජවිපෙ ද සමාජවාදී සහ අධිරාජ්‍ය විරෝධී දෙඩවිලි ඉවත දමා ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට තදින් අන්තර්ග‍්‍රහනය වී ඇත.

ජවිපෙ සිය ලියවිල්ල අනුමැතිය සඳහා පලමුව ලංකා වානිජ මංඩලයේ මහ ව්‍යාපාරිකයන්ට සහ විවිධ බෞද්ධ සහ කතෝලික ආගමික නායකයන් ට පිලිගැන් වී ය. අනතුරුව පෙබරවාරි 2 පැවති පක්ෂ සම්මේලනයේ දී “අපේ දැක්ම” නිකුත් කලේ ය. එම සම්ම්මේලනයේ දී ම පාලක පන්තිය සමග වඩා සමීප සම්බන්ධතා ඇති ජවිපෙ පාර්ලිමේන්තු කන්ඩායමේ නායක අනුරකුමාර දිසානායක පක්ෂයේ නව නායකයා ලෙස ප‍්‍රකාශයට පත් කලේ ය.

මෙම වෙනස්කම් පක්ෂයේ බිඳ වැටෙන සමාජ පදනම් ආරක්ෂා කර ගැනීමේ මංමුලාසහගත ප‍්‍රයත්නයකි. මෑත වසරවල දී, පක්ෂය දුර්වල කරන බරපතල භේදයන් දෙකකට ද එහි ඡන්ද සංඛ්‍යාව දරුනු ලෙස පහත වැටීමකට ද ජවිපෙ මුහුන දුන්නේ ය. සමාජ අතෘප්තිය අවමංගත කිරීමේ උපකරනයක් ලෙස එහි වටිනාකම හොඳින් දන්නා කොලඹ ජන මාධ්‍යයේ කොටසක්, දිසානායක “ශක්‍යතා සහිත” පුද්ගලයෙකු ලෙසත් ජවිපෙ නිර්භීත විරුද්ධ පක්ෂයක් ලෙසත් හුවා දක්වමින් එය ඔසවා තැබීමේ උත්සාහයක යෙදුනේ ය.

ජවිපෙ යුක්තිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් කරන බවක් “අපේ දැක්ම” මගින් නිරූපනය කිරීමට තැත් කරයි. රට තුල “සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, පුද්ලික නිදහස ආරක්ෂාව හා සහජීවනය” තහවුරු කරන බවට එය පුරසාරම් දොඩයි. “ජනතා පරමාධිපත්‍යය” ආරක්ෂාවන ආකාරයට නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කරන අතර සෑම පස්වසරකට ම වරක් තෝරා පත් කර ගනු ලබන “පාර්ලිමේන්තු ක‍්‍රමයක්” තහවුරු කර “විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන” බවද එය තව දුරටත් කියයි.

මෙම ප‍්‍රකාශයන් මුළුමනින් ම අසත්‍ය ය. ජවිපෙ කිසි දිනෙක කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කලේ නැත. ආරම්භයේ සිට ම එය දෙමල කතා කරන වතු කම්කරුවන් ට එරෙහි ව දුප්පත් ගැමි තරුනයන් ඇවිස්සීමේ මඩ වගුරක ලැග සිටියේ ය. විධායක ජනාධිපති ක‍්‍රමය තහවුරු කල ව්‍යවස්ථාවට එය නිල වසයෙන් විරුද්ධ වූ නමුත් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය බහුතර ඡන්දයක් ලබා ගැනීමට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට 1977 මැතිවරනයේ දී සහයෝගය දුන්නේ ය.

බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධ සිවිල් යුද්ධයේ දී හැමවිට ම ඉහලින්ම ස්වෝත්තමවාදී සහකරුවා වූ ජවිපෙ යුද්ධයට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් මර්දනය කිරීම සඳහා ආන්ඩුව යොදා ගත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රම වලට අනුබල දුන්නේ ය. දෙමල ප‍්‍රභූවට සීමිත සහන දීමට හිලව් වසයෙන් එල්ටීටීඊ ය නිරායුධ කිරීමට ශ‍්‍රී ලංකාවේ උතුරට ඉන්දියානු “සාම සාධක” හමුදාව එවීම සඳහා යූඑන්පී ආන්ඩුව සහ ඉන්දියාව අතර 1987 අත්සන් කල ගිවිසුම එය දැඩිව ප‍්‍රතික්ෂේප කලේ ය.

“මව්බිම පලමුව” බැනරය යටතේ ගිවිසුමට එරෙහිව ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමී උද්ඝෝෂනයක් ඇවිස්සු ජවිපෙ සිය විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කල කම්කරුවන්, තරුනයන් හා දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ඝාතනය කිරීමට එහි සන්නද්ධ මැර කල්ලි යොදා ගත්තේය. මෙම ෆැසිස්ට්වාදී ප‍්‍රහාර විරෝදාර අරගලයක් ලෙස හුවා දැක්වීම සඳහා ජවිපෙ හැම අවුරුද්දක ම උත්සවයක් පවත්වයි.

විධායක ක‍්‍රමයට විරුද්ධවීමේ ජවිපෙ ප‍්‍රකාශයන් වංචනික ස්වභාවය යලි යලිත් එලිදරව් වී තිබේ. එල්ටීටීඊ ය සමග සාම සාකච්ඡා වලින් ගැලවීමට හැකිවනු පිනිස යූඑන්පී ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතිවරු තුන්දෙනෙක් ඉවත් කිරීමට ඇගේ විධායක බලතල පාවිච්චි කරන ලෙස ජවිපෙ 2003 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගව පෙලඹ වී ය. කුමාරතුංගගේ සභාග ආන්ඩුවට සම්බන්ධ වූ ජවිපෙ එහි ඇමතිකම් හතරක් භාර ගත්තේ ය.

රාජපක්ෂ සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධික‍්‍රමවල විරුද්ධකරුවෙකු ලෙස දැන් මවාපාන නමුදු 2005 දී ඔහු බලයට පත් කිරීමට දරදිය ඇද්ද ජවිපෙ එල්ටීටීඊයට විරුද්ධ වාර්ගික යුද්ධය යලි ආරම්භ කිරීම සඳහා ඔහුට තල්ලුව දුන්නේ ය. යුද ප‍්‍රයත්නය දිගටම පවත්වා ගැනීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රයෝජනවත් බව යුද්ධය පටන් ගත් වහාම ජවිපෙ ප‍්‍රකාශ කලේ ය. යුද්ධයට සහයෝගය දුන් අතර ම වැටුප් හා සේවා කොන්දේසි රැක ගැනීම සඳහා පැන නැගුන කම්කරු අරගල “මව්බිම පලමුව” රැකීමේ නාමයෙන් ජවිපෙ විසින් මර්දනය කරනු ලැබී ය.

ජවිපෙ “අපේ දැක්මේ” මූලික අරමුන වන්නේ මහා ව්‍යාපාරිකයන්ට ආයාචනා කිරීම යි. “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “යුක්තිය” ගැන කයිවාරුවලට මුවා වී ගෙන “නවීකරනය” වූ හා “කාර්මීකරනය” වූ රටක් යන බැනරය යටතේ ආයෝජකයන්ගේ උවමනාකම්වල විශ්වාසවන්ත ආරක්ෂකයෙකු ලෙස ජවිපෙ තමන්ව ඉස්මතු කර ගනියි.

එහි ලියවිල්ල මෙසේ කියයි: “නවීන සමාජවාදී ආර්ථිකයක පදනම සකස් කල හැක්කේ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය පුලුල් කිරීම සහ නිසි කාර්මීකරනයට ලක් කිරීමෙන් පමණකි”.... නවීන සමාජවාදී ප‍්‍රතිපත්ති මත පිහිටුවා සිදු කරන කාර්මීකරන ප‍්‍රතිපත්තියක දී එය සුදුසු තාක්ෂනය සහ තිරසාර සංවර්ධනය මත පදනම් වූ ප‍්‍රතිපත්ති මත පදනම් වී කාර්මීකරන වැඩපිලිවෙල සැලසුම් කලයුතුය” කර්මාන්ත සංවර්ධනය කිරීමට හා කෘෂිකර්මය සහ ධීවර කර්මාන්තය කර්මීකරනය කිරීමට එය යෝජනා කරයි. “කාලය සහ ශ‍්‍රමය අනවශ්‍ය පරිදි නාස්ති නොකෙරෙන පරිදි ලොව පුරා විවිධ ජාතීන් විසින් උකහාගෙන ඇති දියුනු හා සරල ක‍්‍රමවේද කලමනාකරන ක‍්‍රමවේද” යොදා ගත යුතු බවට ජවිපෙ උපදෙස් දෙයි.

කිසිවෙකුත් මුලා නොවිය යුතුය. ජවිපෙ මොඩලය 1978 දී ආරම්භ කර ධනවාදය මැනවින් සහ නිසියාකාරව පුනස්ථාපනය කරනු ලැබ ඇති සහ 1989 තියනන්මන් චතුරශ‍්‍රයේ දී කම්කරුවන් සහ තරුනයන් රුදුරු ලෙස ඝාතනය කිරීමෙන් පසුව වඩාත් වේගවත් කරන ලද චීන මොඩලයයි.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති පුවත් පත් සාකච්චාවක දී මෙම පනිවුඩය පුනරුච්චාරනය කලේ ය. “එකල ලෝක බලය වූ ඇමරිකා එක්සත් ජනපදය සමග අවුරුදු 30 ක යුද්ධයක නිරත වූ වියට්නාමය වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් ඉන්නවා. චීනය ලෝකයේ ආර්ථික බලවතා වීමේ ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. මෙම සියලු වර්ධනයන්ගේ පිටුපසින් පවතින රහස සමාජවාදයයි. මෙය රටට (ශ‍්‍රී ලංකාවට) දීමට අපි කැප වෙනවා”.

චීනයේ සහ වියට්නාමයේ මෙන් කම්කරුවන්ගේ මොනම විරුද්ධත්වයකට හෝ ඉඩ නොදී ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකාව මුළුමනින් ම පොලිස් රාජ්‍යක් බවට පරිවර්තනය කිරීමට ජවිපෙ සහයෝගය දෙයි. එහි ක‍්‍රියාමාර්ගයේ මෙසේ සඳහන් වෙයි: “පුද්ගලික අංශය නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයේ කොටසක් බවට පත් කරනු ලබයි” එය තවදුරටත් මෙසේ කියයි: “නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ද වන පුද්ගලික අංශයේ සමාගම්වලට වසර පහක බදු විරාමයක් සහ වෙනත් දිරි ගැන්වීම් සම්පාදනය කරනු ලබයි”.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ පත‍්‍රයක් වන ඩේලි එෆ්ටී පත‍්‍රයට දුන් සම්මුඛ සාකච්චාවක දී ජවිපෙ නව නායක දිසානායක මෙසේ ප‍්‍රකාශ කලේ ය. “නවීන ලෝකයට ගැලපෙන විදිහට නව මූලෝපායන්ට අනුගත වීමේ අවශ්‍යතාවය අප හඳුනාගෙන තියෙනවා. වෙනසක් සඳහා අප සුදානම්. මෙය ආන්ඩු පෙරලීමක් නෙමෙයි”.

සිලෝන් ටුඩේ පත‍්‍රයට දුන් සම්මුඛ සාකච්චාවේ දී දිසානයාක වඩාත් ඍජුව අදහස් පල කලේ ය: විප්ලවවාදී පක්ෂයක ප‍්‍රධාන ලක්ෂනය වන්නේ කලින් කලට තමනුත් පක්ෂයත් ශක්තිමත් කර ගැනීමයි. හරියට ඕනෑම තත්වයකට ගැලපෙන සේ සකස් කර ගත හැකි මැටි ගුලියක් වගේ. දේශපාලන තත්වය වෙනස් වෙන කොට විප්ලවවාදී දේශපාලනයේ සිට ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පක්ෂයක් විදිහට අප දිගට ම මාරුවෙලා තියෙනවා.”

බස්නාහිර පලාත් සභාව සඳහා ජවිපෙ මහ ඇමති අපේෂක කේ.ඩී. ලාල්කාන්ත දුන් වෙනත් මාධ්‍ය සම්මුඛ සාකච්චාවක දී “වර්තමානයේ දී පුද්ගලික අංශය වර්ධනයේ එන්ජිම” ලෙස ඔහුගේ පක්ෂය කල්පනා කරන බව ප‍්‍රකාශ කල අතර ආයෝජකයන්ට “සියලුම පහසුකම් සලසන” බවට පොරොන්දු වූ යේය. මෙම ආර්ථික වැඩපිලිවෙල රාජපක්ෂ ආන්ඩුවේ, එජාපයේ හෝ සත්තකින් ම ලොවපුරා ධනපති පක්ෂවල වැඩපිලිවල් වලින් කිසිසේත් වෙනස් නොවේ.

එහි විදේශ පිලිවෙත “අධිරාජ්‍ය විරෝධී සහ විජිතවාදී විරෝධී” බව ජවිපෙ ප‍්‍රකාශ කරයි. තවත් වංචාවක්! බුෂ්ගේ ආන්ඩුවේ ව්‍යාජ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ඉත සිතින් පිලිගත් මෙම පක්ෂය එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමනය කිරීමට සහයෝගය දුන්නේ ය. එය ප‍්‍රධාන බලයන්ගේ, විශේෂයෙන් ම එක්සත් ජනපදයේ කොලඹ තානාපතිවරුන් සමග සමීප සම්බන්ධතා වගා දිගා කර ගත් අධිරාජ්‍ය ගැති පක්ෂයකි.

බස්නාහිර පලාත් සභා මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) කොලඹ දිස්ත‍්‍රික්කය සඳහා අපේක්ෂක කන්ඩායමක් ඉදිරිපත් කර තිබේ. ජවිපෙත් ඇතුළු සියලු ධනපති පක්ෂ සහ ඔවුන්ගේ උපාංග ලෙස ක‍්‍රියාත්මක වන නව සම සමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂයෙන් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීම සඳහා අපි සටන් කරන්නෙමු. කම්කරු පන්තිය රුදුරු ලෙස මර්දනය කිරීම මගින් ලාබ ශ‍්‍රම වේදිකාවක් බවට ශ‍්‍රී ලංකාව පරිවර්තනය කිරීම මිස ජවිපෙ නවීන “සමාජවාදය” ට සමාජවාදයත් සමග මොන ම සම්බන්ධයක්වත් නැති බවට අපි අනතුරු අඟවමු.

කම්කරුවන්, ඔවුන්ගේ පොදු පන්ති උවමනාකම් ඔස්සේ, සියලුම ආකාරයේ ජාතිකවාදය, වර්ගවාදය, සහ ස්වෝත්තමවාදයන්ට එරෙහිව ඒකාබද්ධ කිරීම මත සසප සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය පදනම් වී ඇත. සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා අපි සටන් කරමු. අපගේ මැතිවරන ප‍්‍රකාශය අධ්‍යයනය කරන ලෙසත්, අපගේ මැතිවරන උද්ඝෝෂනයට සහභාගී වන ලෙස හා අපගේ පක්ෂයට බැදීමට තීන්දුවක් ගන්නා ලෙස අපි කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: