එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, යුක්‍රේනය හා තුන්වන ලෝක යුද්ධයේ තර්ජනය

US imperialism, Ukraine and the danger of World War III

2014 මාර්තු 05

සෑම කෙනෙකු විසින් ම නගා ගත යුතු ප‍්‍රශ්නය මෙයයි: අප සිටින්නේ න්‍යෂ්ටික යුද්ධයක අද්දර ද?

එක්සත් ජනපදය පිටුබලය දුන් යුකේ‍්‍රන කුමන්ත‍්‍රනය, 1962 ඔක්කෝබරයේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසු අතිශයින් ම අන්තරාදායක ජාත්‍යන්තර අර්බුදය අවුලුවා ඇත. ෆැසිස්ට් මිලීෂියාවන් විසින් කුලු ගන්වන ලද කුමන්ත‍්‍රනයෙන් පසුව රුසියානු විරෝධී යුකේ‍්‍රන පාලන තන්ත‍්‍රයක් බලයට පත් වීම කෙරෙහි දැක්වූ ප‍්‍රතිචාරයක් වශයෙන් ක‍්‍රිමියාවට හමුදා මැදිහත් කිරීම පිලිබඳව ඇමරිකානු හා යුරෝපා නිලධාරීන් රුසියාව හෙලා දැකීමට පටන් ගෙන ඇත.

මොස්කෝව සමග ගැටුම පතුරුවා හැරීමට ඔබාමා පාලනය අදිටන් කර ගෙන සිටින බව පෙනෙන්නට තිබේ. සියලු රුසියානු හමුදා ක‍්‍රිමියාවෙන් ඉවත් කර ගත යුතු බවත්, කියෙව්හි අටවා තිබෙන එක්සත් ජනපද-නේටෝ රූකඩ තන්ත‍්‍රය ක්‍රෙම්ලිනය විසින් මුලුමනින් ම පිලිගත යුතු බවත් කියා සිටිමින් එක්සත් ජනපදය රුසියාව පූර්න වශයෙන් හුදෙකලා කිරීම අරමුනු කර ගත් සම්බාධක පැනවීම සඳහා කැඳවුම් කරයි.

04 දා කියෙව්හි පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තර්ජනාත්මකව කියා සිටියේ, එක්සත් ජනපදය “රුසියාව දේශපාලනිකව, රාජ්‍ය තාන්ත‍්‍රිකව හා ආර්ථිකව හුදෙකලා කිරීමට” බලාපොරොත්තු වන බව යි. ඔහුගේ ප‍්‍රකාශ, ප‍්‍රමුඛ ඇමරිකානු දේශපාලනඥයන්ගේ යුදවාදී තර්ජන මගින් ප‍්‍රතිරාවය විය.

රුසියාව හා ජෝර්ජියාව අතර 2008 වසරේ ඇති වූ යුද්ධයට එක්සත් ජනපදය මැදිහත් නොවීම පිලිබඳව, සෙනෙට් සභාව තුල දී යලිත් සිය සන්තාපය පල කල සෙනෙට් සභික ජෝන් මැකේන්, රුසියානු විරෝධී හඬ මතු කලේ ය. “පැරනි රුසියාවේ සෝවියට් දෙපිටකාට්ටුව” පිලිබඳව පුටින්ට චෝදනා කල ඔහු, “මෝල්ඩෝවියාව හා ජෝර්ජියාව නේටෝව තුලට ගැනීමේ ඉක්මන් මගක්” සඳහා කැඳවුම් කලේ ය.

යුකේ‍්‍රන කුමන්ත‍්‍රනය පිලිබඳව රුසියාව දැක්වූ ප‍්‍රතිචාරය කෙරෙහි, ඔබාමා පාලනය කම්පාව හා සන්ත‍්‍රාසය පල කරයි. මෙය අන් කිසිවක් නොව ප්‍රෝඩාකාරී හා නරුම මවා පෑමකි. කියෙව්හි එක්සත් ජනපදය හා නේටෝව විසින් හසුරුවනු ලබන රුසියානු විරෝධී රූකඩ තන්ත‍්‍රයක් ඇටවීම නැගෙනහිර යුරෝපයේ භූ-මූලෝපායික වාතාවරනය දැවැන්ත ලෙස වෙනස් කරනු ඇති බව ද රුසියාවේ පැවැත්මට ම තර්ජනයක් මතු කරන බවද පුටින් හා රුසියානු මිලිටරිය විසින් දැක ගනු ඇති බව ඔවුහු හොඳාකාරව ම දැන සිටියහ.

කියෙව්හි කුමන්ත‍්‍රනය කෙරෙහි පුටින් ප‍්‍රතිචාර දක්වනු ඇති බව, ධවල මන්දිරය, පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය කල් තියා නොදුටු බව සිතා ගැනීමට වත් නොහැකි ය. රුසියාවට, මැද පෙරදිග වෙත ඇති එක ම පිවිසුම් මග ද රුසියානු කලු මුහුදු නාවික බලඇනි ස්ථානගත කර ඇති තැන හා 1954 වන තෙක් රුසියාවේ කොටසක්ව පැවති ක‍්‍රිමියාවේ පාලනය අත් කර ගැනීම සඳහා එරට සිය මිලිටරිය යොදවනු ඇති බවට වොෂින්ටනයට හාංකවිසියක් වත් නොතිබුනේ යැයි කිසිවෙකුටත් බැරෑරුම්ව විශ්වාස කල හැකි ද? නො එසේ නම්, යුකේ‍්‍රනයේ පිහිටුවනු ලබන විදේශිකයන්ට සතුරු උන්මත්තක ජාතිකවාදීන් ආනුභාවය පතුරුවා ගෙන සිටින අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් තම දේශ සීමාවේ ම මිසයිලවලින් සන්නද්ධ නේටෝ හමුදාවන්ගේ පෙරටු කඳවුරක් බවට රට පරිවර්තනය කරද්දී රුසියාව තමන්ගේ අනෙක් කම්මුලත් හරවනු ඇතයි වොෂින්ටනය සිතුවාවත්ද?

රුසියාවට එරෙහිව දැන් සිදු වන කඩා පැනීම්වල සැබෑ කාරනාවන්ට, යුකේ‍්‍රනයේ “ජාතික ස්වෛරීත්වය” රැකීම හෝ ජාත්‍යන්තර නීතියේ පවිත‍්‍රතාව සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත. මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය හා ආසියාව පුරා වොෂින්ටනයේ ආනුභාවය පතුරුවා ගැනීමේ ඇමරිකානු ව්‍යායාමයන් හමුවේ මොස්කෝවේ සීමිත ප‍්‍රතිරෝධයක් තිබුනත්, මෑත වසරවල එක්සත් ජනපද-රුසියානු ආතතීන් වර්ධනය වී ඇත.

සිරියාවේ අසාද් තන්ත‍්‍රයට රුසියාවෙන් ලැබෙන සහයෝගය හමුවේ එක්සත් ජනපදයට සෘජු මිලිටරි මැදිහත් වීමක් පිලිබඳ සිය සැලසුම් අකුලා ගෙන තාවකාලිකව පසු බැසීමට පසු ගිය සැප්තැම්බරයේ දී බල කෙරුනි. ඇමරිකානු පාලක පන්තියට සිය අධිරාජ්‍යවාදී ක‍්‍රියාන්විතයන් තුලට කෙරෙන ඕනෑ ම මැදිහත් වීමක් ඉවසිය නොහැකි ය. රුසියාව වඩා පහසුවෙන් දිරවා ගත හැකි කැබලිවලට කපා දැමීම ද ඇතුලුව සමස්ත ලෝකය ම සිය අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි ප‍්‍රතිව්‍යුහකරනය කිරීමේ සැලසුම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සතුව ඇත.

එක්සත් ජනපද විදෙස් පිලිවෙත කෙරෙහි වන උත්සුකතා බාහිර අරමුනුවලට පමනක් සීමා නො වේ. අභ්‍යන්තර බලපෑම් ද ඊට අන්තර්ගත ය. රටේ සමාජ හා දේශපාලන ව්‍යුහය කෙතරම් බිඳෙනසුලු ද පුපුරනසුලු ප‍්‍රතිවිරෝධයන්ගෙන් ගහන ද යත්, ඇමරිකානු ජනතාව නොමග යවා පීලි පැන්නවීම පිනිස පාලක පන්තියට නිමක් නැති මිලිටරි මැදිහත් වීම් හා යුද්ධ අවශ්‍යව ඇත.

වසර පහකටත් වඩා කාලයක් දිග් ගැස්සී යන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ එක්සත් ජනපද පාලක පැලැන්තිය, රට තුල පුලුල්ව පැතිරුනු නොසන්සුන්තාව හා අසහනය පිලිබඳව මනාව දැනුවත් ය. සමාජ අසමානතාවේ යෝධ මට්ටම පිලිබඳව වර්ධනය වන මහජන වැටහීමක් හා කෝපයක් පවතී. නිමක් නැති යුද්ධ මාලාව අරමුනු කොට ඇත්තේ, අභ්‍යන්තර සමාජ පීඩනයන් පිටතට මුදා හැරීමට ඉඩ සලසා ගැනීම ය.

අසීමිත අධිරාජ්‍යවාදී විජිගීෂාවේ ද සිය රට තුල මහජන කැලඹීම පිලිබඳ භීතිකාවේ ද විෂ සහගත අන්තර් ක‍්‍රියාව පිලිබඳව මහත් සේ බියට පත්ව සිටින එක්සත් ජනපද පාලක පැලැන්තිය තල්ලූ වී සිටින්නේ න්‍යෂ්ටික යුද්ධයක අවදානමට ලෝකය ඇද දැමීමට ද? මෙම ප‍්‍රශ්නයට පිලිතුර එක්සත් ජනපද ආන්ඩුවේ කටයුතු මගින් ම සපයනු ලැබ ඇත.

ඔබාමා පාලනාධිකාරයේ ක්ෂනික අරමුනු කවරක් වුවත්, අධිරාජ්‍යවාදී ගතිකයට එහි ම තර්කනයක් තිබේ. එක්සත් ජනපදය යුකේ‍්‍රනය තුල අවුලුවා තිබෙන තත්වය මගින්, එරට තුල සිදු වෙමින් පවත්නා වූ ගනන් නැති විවිධ ක‍්‍රියාකාරකම්වලින් එකකට, දැනුවත්ව හෝ නොදැනුවත්ව, පාලනය කර ගත නොහැකි සිද්ධි ජාලයක් ඇවිලවිය හැකි ය.

මෙම සුවිශේෂී අර්බුදය විසඳා ගත්ත ද තවත් එවැන්නක් පැන නැගීමට වැඩි කල් නොයනු ඇත. ඉක්මනින් හෝ පසුව මෙම අර්බුදයන්ගෙන් එකක්, න්‍යෂ්ටික ව්‍යසනයක් අවුලුවනු ඇත.

කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා යුද්ධයට විරුද්ධත්වය දක්වන සියල්ලන්ගේ ම හඬ බලවත්ව නැගිය යුතු ය! විසිඑක් වන සියවස තුල පවත්නා තත්වයට ප‍්‍රගාඪ ලෙසින් අදාල වන විසි වන සියවසේ ඉතිහාසය පිලිබඳ පාඩම් සනාථ කරන්නේ, යුද්ධය නතර කල හැකි එක ම මග වනාහි ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් මත පදනම් වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් ක‍්‍රියාව පමනක් බව යි.

බැරී ග්‍රේ හා ඩේවිඩ් නෝර්ත්

Share this article: