එක්සත් ජනපදය, යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පනවති

US, European Union impose sanctions against Russia

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2014 මාර්තු 7

බටහිර බලවතුන් බ්‍රහස්පතින්දා රුසියාවට එරෙහිව සම්බාධක හා තර්ජන දැඩි කල අතර එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපය තුල මිලිටරිය තර කිරීම ඇරඹුවේය.

එක්සත් ජනපදය හා යුරෝපය යන දෙපාර්ශවයම සම්බාධක සඳහා ක්ෂනික කඩතුරාව කරගත්තේ, 16දා පැවැත්වෙන බව නිවේදනය කර ඇති ජනමත විචාරනයට යටත්ව, ක්‍රිමියානු අර්ධද්වීපයේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුව යුක්‍රේනයෙන් වෙන්වීම හා රුසියාවට ඒකාබද්ධවීම සඳහා ඡන්දය දීම යි. රුසියානු සහාය ලත් හමුදා මූලෝපායාත්මක අර්ධද්වීපයේ පාලනය සියතට ගත්හ. ක්‍රිමියාව සෙවස්ටපෝල් හි පිහිටි ප්‍රධාන රුසියානු කඳවුරේ සත්කාරකයා වන අතර එහි ජනගහනයෙන් බහුතරය රුසියානු භාෂාව කතා කරති.

පෙබරවාරි 22වැනිදා බටහිර අනුග්‍රහ ලත් ෆැසිස්ට්වාදීන් මෙහෙය වූ කුමන්ත්‍රනයෙන් පසුව අටවන ලද කීයෙව් පාලන තන්ත්‍රය රටේ වඩාත් රුසියාවට පක්ෂපාතී ප්‍රද්ශවල පුළුල් විරෝධයට මුහුන දෙයි. එහි පලමු පියවර වූයේ යුක්‍රේනය තුල නිල රාජ්‍ය භාෂාවක් ලෙස පැවති රුසියානු භාෂාව ඉන් ඉවත් කිරීම යි.

06දා උදෑසන, යුරෝපා සංගම් නිලධාරීන් රුසියාවට එරෙහිව ගනු ලබන පියවර ගැන සාකච්ඡා කිරීමට සූදානම් වීමත් සමග එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, රුසියානු නිලධාරීන්ට එරෙහිව සම්බාධක හා වීසා තහනම් කිරීමට බලය දෙමින් ඒකපාර්ශ්වීය විධායක නියෝගයක් නිකුත් කලේ ය.

ඔබාමාගේ නියෝගය යුක්‍රේනය තුල රුසියාවේ කටයුතු විස්තර කලේ එය, “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට හා විදේශ ප්‍රතිපත්තියට එරෙහි විරල හා අසාමාන්‍ය තර්ජනයක්” ලෙස ය. කොන්ග්‍රසයට විධායක නියෝගය නිවේදනය කරන ඔබාමාගේ පනිවිඩයයෙන් ප්‍රකාශ කලේ, එය ඉලක්ක කරනු ඇත්තේ “යුක්‍රේන ආන්ඩුවේ බලය පැවරීමකින් තොර ව, ක්‍රිමියානු ප්‍රාදේශීය ආන්ඩුවේ අධිකාරිත්වය ක්‍රියාවට නඟන පුද්ගලයන් ඇතුළුව යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හා සංස්ථාවන් දුබල කරන පුද්ගලයන්” බව ය.

එදිනම සවස පුවත්පත් ප්‍රකාශයක් නිකුත් කල ඔබාමා, “ක්‍රිමියාවේ අනාගතය පිලිබඳ යෝජිත ජනමත විමසීම යුක්‍රේනියානු ව්‍යවස්ථාව මෙන්ම ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය කර යි. යුක්‍රේනයේ අනාගතය පිලිබඳ ඕනෑ ම සාකච්ඡාවකට යුක්‍රේනයේ නීත්‍යානුකූල ආන්ඩුව ඇතුලත් විය යුතු ය. 2014 වන විට අපි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ගේ හිසට උඩින් දේශ සීමා ඇඳිය හැකිව තිබූ දවස් පසු කර ඇත්තෙමු.” යනුවෙන් පැවසීය.

එක්සත් ජනපද ඉහල නිලධාරීන් දෙසන්නා වූ ද, ගිරවුන් මෙන් මාධ්‍ය හඬනඟන්නාවූ ද සෑම ප්‍රකාශනයක් මෙන් ම මෙය ද විහිදුවන්නේ කුහකත්වයේ හා පරස්පරවිරෝධයන්ගේ දුඟද යි. සත්‍තකින් ම, නීති විරෝධී කුමන්ත්‍රනයක් හරහා ඇටවීමට උදව් කල දක්ෂිනාංශික ආන්ඩුවකට අනුබල දෙමින් යුක්‍රේනියානු ව්‍යවස්ථාව පාගා දමන්නේ, වොෂින්ටනය හා එහි සහචරයින්ය. “යුක්‍රේනය අස්ථාවර කිරීම” හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා යමෙකු අත්අඩංගුවට ගත යුතු නම් හා ඔවුන්ගේ දේපල අත්පත් කර ගත යුතු නම් ඒ වොෂින්ටනයේ හා යුරෝපයේ අගනගරවල සිටින ඉහල නිලධාරීන්ගේ ය.

එමෙන් ම “ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ගේ හිසට ඉහලින් ඇඳි දේශ සීමා” විවේචනය කරන ඔබාමා කතා කරන්නේ, අවසානයක් නැති යුද්ධයන්හි නියැලී සිටින හා ජාතික ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීම හා ඒ සියල්ල විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මයක මට්ටමට ඉහල දමා ඇති ආන්ඩුවක ප්‍රධාන විධායකයා ලෙස ය. බටහිර බලවතුන් ඒකපාර්ශ්වීය ව යුරෝපා රටක, එනම් යුගෝස්ලාවියාවේ දේශසීමා නැවත අඳින ලදී. කොසොවෝ ව සර්බියාවෙන් වෙන් කරමින් එය ස්වාධීන යයි ප්‍රකාශ කලේ, බෝල්කන් කලාපයේ සර්බියානු හා රුසියානු බලපෑම යටපත් කිරීමේ අරමුන සහිතවය

වඩා පුළුල් අර්ථයකින් වොෂින්ටනය හා යුරෝපා සංගමය, අනෙකුත් රටවල් යටත් කරමින් ද මැද පෙරදිග හා අප්‍රිකාව පුරා රටවල ස්වාධිපත්‍යය උල්ලංඝනය කරමින් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරමින් ද එය තම අයිතිය බව කියා සිටිති.

“නීත්‍යානුකූල” හා “ප්‍රජාතන්ත්‍රවාදී” ආන්ඩුවක් පිලිබඳ ඔබාමාගේ සඳහන, දක්ෂින නිකායික මිලීෂියා හමුදා හා දෙවැනි ලෝක යුද්ධය අතරතුර දී හොලෝකෝස්ටය ක්‍රියාත්මක කල යුක්‍රේනියානු එස්එස් හමුදාවට ප්‍රශංසා කර ඇති ස්වබෝදා වැනි දක්ෂිනාංශික යුදෙව් විරෝධී හමුදා මත පදනම් වූ ආන්ඩුවක් හැඳින්වීම සඳහා පාවිච්චි කර ඇත.

සම්බාධක පැනවීම පිලිබඳව පැවැත්වූ යුරෝපා සංගම් සාකච්ඡාවේ දී එක්සත් ජනපද හා යුරෝපා මෙහෙයුම ෆැසිස්ට්වාදී හමුදා මත යැපෙමින් දියත් කලබව හෙලිවුනේ ය. සාකච්ඡාව අතරතුර දී පෝලන්තය, චෙක් සමූහාන්ඩුව, ස්ලෝවැකියාව හා බෝල්ටික් රාජ්‍ය වැනි නැගෙනහිර යුරෝපීය රටවල් රුසියාවට එරෙහිව වඩා දැඩි කොන්දේසි සඳහා බල කලහ. “ඕනෑ ම පැරාමිලිටරි සංවිධානයක් විසුරුවා හැරීම සඳහා ක්ෂනික පියවර” ගන්නා ලෙස ඉල්ලන යෝජනාවක් ද මතු විය. මෙය ක්‍රිමියාවේ රුසියාවට පක්ෂ ස්වයං-ආරක්ෂක කන්ඩායම් වෙත එල්ල කෙරුනු ඉල්ලීමකි.

කෙසේ නමුත් මෙම යෝජනාව අතහැර දමන ලද්දේ “එය කීයෙව් කන්ඩායම්වලට, විශේෂයෙන් ම යුක්‍රේනයේ නව ආන්ඩුවෙහි කොඳු නාරටිය වන අන්ත දක්ෂිනාංශික කන්ඩායම්වලට ද අදාල වන නිසා” බව බ්‍රිතාන්‍ය ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පත සඳහන් කලේ ය.

වොෂින්ටනය රුසියාවට එරෙහිව නැගෙනහිර යුරෝපයේ සිය මිලිටරි බලමුළු ගැන්වීම් දැඩි කරමින් සිටී. 06දා එක්සත් ජනපද නිලධාරීන් නිවේදනය කලේ ඔවුන්, පෝලන්තයට 12එෆ්-16 ප්‍රහාරක යානා ද, කලු මුහුදට නියාමිත මිසයිල නාශක යූඑස්එස් ට්‍රක්ස්ටන් ද යවනු ඇති බව යි. එක්සත් ජනපද නාවික හමුදා වෙබ් අඩවියට අනුව ට්‍රක්ස්ටන් යනු යූඑස්එස් ජෝජ් එච්. ඩබ්ලිව්. බුෂ් ගුවන් යානා හාරක නෞකාවේ නාවික බල ඇනියෙහි කොටසකි.

මොස්කෝව ඊට ප්‍රතිචාර වශයෙන්, බටහිර රුසියාවේ දැවන්ත ආරක්ෂක අභ්‍යාස ඇරඹීය. මිලිටරි ප්‍රකාශක කර්නන් ඔලෙග් කොක්ට්කෝව් එය හඳින්වූයේ, කලාපයේ ගුවන් ආරක්ෂක ඒකකයේ “මෙතෙක් පැවති විශාලත ම අභ්‍යාසය” ලෙස ය.

බටහිර බලවතුන් යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිත්වය සඳහා සංවිධානයේ මිලිටරි නිරීක්ෂකයන් ද යුක්‍රේනයට පිටත් කර හැරි අතර ඔවුන් ක්‍රිමියාවට යැවීමට දරන උත්සාහයක් ඉන් සලකුනු කරයි.

වොෂින්ටනය හා යුරෝපා සංගමය රුසියාව සමග පෙර නො වූ විරූ ගැටුමක් අරඹමින් සිටිති. මෙහි එල්ලය, යුක්‍රේනය තුල නින්දිත ආකාරයේ රුසියානු පරාජයකට බලකිරීම, ව්ලැඩිමීර් පුටින්ගේ තන්ත්‍රය අපකීර්තියට පත්කිරීම හා කලාපය තුල රුසියානු බලපෑම යටපත් කිරීම යි.

මෙම ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ බටහිර ජාතීන්ගේ ලැදියාව මගින් පොලඹවන ලද්දක් ලෙස මාධ්‍ය කරන වෙස් ගැන්වීම් ව්‍යාජ ය. එය බැඳී ඇත්තේ අධිරාජ්‍යවාදයේ උත්සුකයන් සමග ය. පසු ගිය සැප්තැම්බරයේ දී සිරියාවට පහරදීම වැනි එහි යුද සැලසුම්වලට බාධාවක් ලෙස පවතින රුසියාවේ භූමිකාව, එක්සත් ජනපද හා යුරෝපීය ඔත්තුසේවා ඒජන්සි මගින් පුද්ගලයන් පිලිබඳ නීති විරෝධී ඔත්තු බැලීම් පිලිබඳ තොරතුරු හෙලිකිරීමෙන් පසු ජාතික ආරක්ෂක ඒජන්සියේ අකටයුතු හෙලිකරන්නෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට රැකවරනය ප්‍රදානය කිරීමට රුසියාව ගත් තීන්දුව ද මෙයට ඇතුලත් ය.

සෙවස්ටපොල් කඳවුරේ වැදගත්කම පිලිබඳ මාධ්‍ය නිහඬියාවක් පවත්වාගෙන යයි. ප්‍රාදේශීය ක්‍රිමියානු බලධාරීන්ගේ අතින් එය උදුරාගෙන බටහිර පාලනය යටතේ තැබීමට කීයෙව් පාලනය දැන් උත්සාහ දරයි. පසු ගිය වසරේ සිරියානු යුද බිය අතරතුර මධ්‍යධරනියේ රුසියානු නාවික මෙහෙයුම් වලදී නාවික කඳවුර ඉටු කලේ ප්‍රමුඛ කාර්යභාරයකි.

යුරෝපයේ කේන්ද්‍රයහි මිලිටරි ආතතීන් ඇවිලවීම හා ඩොලර් ට්‍රිලියන 2ක් වන රුසියානු ආර්ථිකය ලෝක වෙලඳපොලින් කපා දැමීමේ තර්ජනය සමග අධිරාජ්‍යවාදී බලවතුන් පැහදිලිව ම ගනන් බලන්නේ අවසානයේ දී රුසියානු පාලක ප්‍රභූව පසුබසිනු ඇති බවට යි. 06දා සවස ඔබාමා පුටින් සමග දුරකතනයෙන් කතා කලේ ය. එහි දී ඔහු, රුසියානු හමුදා ආපසු ගැනීම හා ක්‍රිමියාව තුල ජාත්‍යන්තර නිරීක්ෂකයින් රැඳවීම ඇතුලත් ගිවිසුමක් සඳහා පිටපතක් ගෙනහැර දැක්වීය.

එක් අපකීර්තිමත් පශ්චාත් - සෝවියට් තන්ත්‍රයක ඇදවැටීම යුක්‍රේනය තුල අත් දකිමින් සිටින රුසියානු කතිපයාධිකාරය, ලන්ඩන් හා සූරිච් නඟරවල ඇති සිය බැංකු ගිනුම් බේරා ගැනීමට මංමුලා සහගතව හැමදෙයක් හා හැම අයෙකු ම පරදුවට තබනු ඇතැ යි අධිරාජ්‍යවාදීහු උපකල්පනය කරති.

ක්‍රිමියාව තුල රුසියාවේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටි එක්සත් ජනපද නිලධාරීහු, න්‍යෂ්ටික බලවතාට එරෙහිව දැවන්ත ලෙස ආතතිය උත්සන්න කිරීමට නැඹුරු වූහ. අඩු තරමින් පාලක පන්තියේ එක කොටසක් හෝ පැහදිලිව ම යුද්ධය සඳහා සූදානම්ව සිටිති.

තව ද, රුසියාව සමග පූර්න ගැටුමකට තල්ලුවීම මගින් එක්සත් ජනපද හා යුරෝපීය බලවත්තු, අනපේක්ෂිත ව්‍යසනකාරී ප්‍රතිවිපාක හා ආර්ථික, මිලිටරි හා දේශපාලන කම්පන පිලිබඳ අවදානම පරදුවට තබති.

ආර්ථික අටුවාකාරයින් අවධාරනය කරන්නේ, රුසියාවට එරෙහි සම්බාධක ප්‍රතිපත්තියක්, තෙල් හා ගෑස් සඳහා ප්‍රමුඛ මූලාශ්‍රය ලෙස රුසියාව මත රඳන යුරෝපා ආර්ථිකයේ විශාල පදාසයක් වසා දමනු ඇති බව යි. නම සඳහන් නො කල එක්සත් ජනපද නිලධාරියෙකු සඳහන් කලේ, “රුසියාව දැන් ඩොලර් ට්‍රිලියන දෙකක ආර්ථිකයක්, ඔබ පොදු වශයෙන් ඔවුන්ට සම්බාධක පැනවීමට යන්නේ නම්, එහිදී ඔබ ම විනාශ නොවී සිටීම සඳහා ප්‍රවේශම් වීමට සිදුවනු ඇත” යනුවෙනි.

Share this article: