මොරටු සරසවියේ බුර්ඛාව පැලඳීම තහනම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ප‍්‍රහාරයක්

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ නිකුත් කල ප‍්‍රකාශයකි. 2014 මාර්තු 12

මොරටුව විශ්ව විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවන්ට පර්දාව හෙවත් බුර්ඛාව පැලඳීම තහනම් කරමින් එහි පරිපාලනය විසින් පනවා ඇති වර්ගවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නියෝගය සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) දැඩි ලෙස හෙලා දකියි. සසජාතශි සමාජවාදී සමානතා පක්ෂයේ තරුන ව්‍යාපාරය යි.

ආන්ඩුවේ පිටුබලය ලබන බොදු බල සේනා සංවිධානය (බොබසේ) ඇතුලූ බෞද්ධ අන්තවාදී සංවිධානයන් විසින් බුර්ඛාව තහනම් කරන ලෙස බල කරමින් ගෙනයන ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනයේ සෘජු ප‍්‍රතිඵලයක් වන මෙම ප‍්‍රහාරයට පලමුවෙන් ම ගොදුරු වී ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාන ශිල්ප පීඨයේ පලමු වසර සිසුවියක වන ෆාතිමා සහාර් විසින් 2013 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරනය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ඇයට බුර්ඛාව පැලඳීම තහනම් කරමින් පනවන ලද නියෝගය අභියෝගයට ලක් කලාය. මේ අයුරින් ම තවත් මුස්ලිම් ශිෂ්‍යාවක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර තුන් වැනි ශිෂ්‍යාව මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ගොනු කර ඇත.

2013 ජූනි මාසයේ දිනයක විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් තමා පැලැඳ සිටි බුර්ඛාව විශ්ව විද්‍යාලයේ “විනයට” එරෙහි යැයි පවසා අසභ්‍ය වචනයෙන් තමාට ප‍්‍රසිද්ධියේ බැන වැදුන බවත් එයින් තමන් ඉමහත් අවමානයට පත් වූ බවත් ෆාතිමා තම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියා සිටී.

අනතුරුව 2013 අගෝස්තු 1 දා, විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන දොරටුවේදී ෆාතිමා නවතා ලූ විශ්ව විද්‍යාල ආරක්ෂක නිලධාරීන් “බුර්ඛාව පැලැඳ සරසවි පරිශ‍්‍රයට ඇතුලු වීම ආරක්ෂක හේතු මත තහනම් කර ඇතැයි” පවසමින් ඇතුලුවීම වලකා ඇත.

කෙසේ නමුත්, මූලික අයිතිවාසිකම් පෙත්සමට අනුව, විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මෙම තහනම ප‍්‍රකාශයට පත් කරන කවර හෝ ලේඛනයක් ෆාතිමාට ලබා දී නොමැත. එවන් නියෝගයක් නිල වශයෙන් ප‍්‍රසිද්ධ කොටද නොමැත. මේ පිලිබඳව කරුනු විමසීමට පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු වන උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන හමුවීමට ෆාතිමා උත්සාහ දරා ඇතිමුත් එයට ද අවස්ථාව ලබා දී නැත.

මේ අනුව 2013 ඔක්තෝබර් 4 දා සරසවි පරිපාලනයට අභියාචනයක් ඉදිරිපත් කල ෆාතිමා, බුර්ඛාව පැලඳීමට ඉඩ නොදෙන්නේ නම් අධ්‍යාපන කටයුතු අත්හැරීමට තමාට සිදුවන බැවින් තහනම පිලිබඳ යලි සලකා බලන ලෙසත් අයැද සිටියා ය. අවසානයේ දී, උපකුලපතිවරයා විසින් 2013 ඔක්තෝබර් 28 දාතමින් එවන ලදුව දෙසැම්බර් 4 දා ෆාතිමා වෙත ලැබුන ලිපියකින් දන්වා තිබුනේ ඇයට සරසවි භූමිය තුල බුර්ඛාව පැලඳීමට අවසර නොදීමට නේවාසික හා විනය මන්ඩලය තීන්දු කර ඇති බවයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ මෙම බුර්ඛා තහනම කි‍්‍රයාත්මක වූයේ බොබසේ සංවිධානයේ බුර්ඛා විරෝධී උද්ඝෝෂනයට සමගාමීව ය. 2013 ජූනි 15 වෙනි දින පැවැති බොබසේ සම්මේලනයකදී බුර්ඛාව පැලැඳි මුස්ලිම් කතුන් ගැන සඳහන් කරමින් එහි මහලේකම් ගලගොඩ අත්තේ ඤානසාර පැවසුවේ මුහුනු ආවරන සහිතව පැමිනෙන ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව පිරික්සීමේදී බලගතු ප‍්‍රශ්න මතුවන බව බැංකුකරුවන් කීප දෙනෙකුම තමන්ට දැන් වූ බවයි.

මෙම බුර්ඛා විරෝධය, ඉස්ලාම් ආගමික ස්ථාන හා මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව ප‍්‍රචන්ඩ ප‍්‍රහාර දියත් කරමින් ගෙනයන මුස්ලිම් විරෝධී අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයේ අත්‍යන්ත කොටසකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝග මත රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමමින් සිටින කප්පාදු පිලිවෙත් වලට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බේද භින්න කිරීම සඳහා යහමින් යොදා ගතහැකි මෙවැනි ෆැසිස්ට් නඩවලට රාජපක්ෂ තන්ත‍්‍රයේ පූර්න පිටුබලය ලැබෙමින් පවතී.

බොදු බල සේනා, රාවනා බලය හා සිහල රාවය ඇතුලූ සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයන්හි මැරකම්වලට පොලිසිය හා මිලිටරියෙන් ලැබෙන සහයෝගයෙන් ද මුස්ලිම් ජනයා ඉලක්ක කර කෙරෙන මෙවැනි ප‍්‍රහාර පිලිබඳ පැහැදිලි සාක්ෂි ඉස්මත්තට පැමින තිබුන ද මේ දක්වාමත් කිසිදු වගකිව යුත්තෙකුට එරෙහිව නීතියෙන් දඬුවම් නොකිරීමෙන් ද එය තවදුරටත් සනාත කෙරෙයි.

අනෙක් අතට සරසවි තුල මෙම වාර්ගික වෙනස්කම් තීව‍්‍ර කිරීම පිටුපස පවතින්නේ, දැඩි මර්දනයන් තිබියදීම පෞද්ගලීකරනය ඇතුලු අධ්‍යාපන කප්පාදුවට එරෙහිව නිරන්තරව අරගලයට පිවිසෙන සිසුන් ආගමික, වාර්ගික රේඛා ඔස්සේ බෙදා එම අරගලයන් පීලි පැන්නවීමට ආන්ඩුව සරසවි පාලකයන් මෙහෙයවා ගෙනයන දුෂ්ට වැඩ පිලිවෙලයි. පාලකයන් ගේ ඇති අභිලාෂයයි. තරුනයින් හා ශිෂ්‍යයන් කෙරේ රාජපක්ෂ ආන්ඩුව විශේෂයෙන්ම සසලව සිටින අතර ඊජිප්තු වර්ගයේ නැගිටීමක් පිලිබඳව ආන්ඩුවත් ධනපති මාධ්‍යත් අනතුරු අඟවා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

සුලු ජන වර්ගයන්ට එරෙහි කෙනෙහිලිකම් තීව‍්‍ර කිරීම සඳහා නව නීති පැනවීමත් ෆැසිස්ට් පන්නයේ සංවිධාන යලි කරලියට කැඳවා ගැනීමත් ශී‍්‍ර ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. එය ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. 2010 දී ප‍්‍රන්සයේ පැවති නිකොලස් සාකෝසී ආන්ඩුව ජාතික කවුන්සිලයෙන් සම්මත කල පනතක් හරහා බුර්ඛාව ප‍්‍රසිද්ධියේ පැලදීම තහනම් කල අතර එම වසරේදී ස්පාඤ්ඤය ද සෙනෙට් සභාව හරහා එවැනිම බුර්ඛා තහනමක් සම්මත කර ක‍්‍රියාවට දමනු ලැබීය. මෙකී විෂකුරු අනපනත් නොතකා හරින්නන් අත්අඩංගුවට ගැනීමට හා දඩ ගැසීමට පොලිසියට මෙයින් අවසර ලැබින.

2004 දී සහ 2010 දී ප‍්‍රන්සය තුල බුර්ඛා විරෝධී නීති ගෙනඒම පිටුපසින් පවතින්නේ කොන්සර්වේටිව් ජනාධිපතිවරුන්ව සිටි ජාක්ස් චිරාක් හා සාකොසි විසින් ගෙන ආ විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි කම්කරු පන්තියේ යෝධ නැගිටීම් මාලාවයි. වත්මන් ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රංශුවා හොලන්දේ යටතේ ද විශ්වවිද්‍යාල තුල බුර්ඛාව පැලඳීම තහනම් කිරීම පිලිබඳ කතාබහක් පටන් ගත් අතර විශ‍්‍රාම වැටුප්වලට කෙරෙන නව ප‍්‍රහාරයක් සමග එය ඉස්මත්තට පැමිනින.

බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ඉතාලිය හා යුරෝපා සංගමයේ තවත් රටවල් ද මෙවැනි මුස්ලිම් විරෝධී පනත් සම්මත කල අතර මෙම ප‍්‍රතිගාමී ප‍්‍රහාරවල අරමුන වූයේ, කම්කරු පන්තිය බෙදීමත් (මෙම රටවල්, විශේෂයෙන්ම ප‍්‍රන්සය සහභාගි වන) අධිරාජ්‍යවාදී යුද්ධවලට මුස්ලිම් රටවල් තුලින් පැන නැගි විරුද්ධත්වය යටපත් කර දැමීමත් ය.

දෙමල ජන වර්ගයට එරෙහි වාර්ගික කෙනහිලිකම් ජනඝාතක යුද්ධයකින් කුලු ගැන්වූ කොලඹ පාලක පන්තිය දැන් යත්න දරන්නේ කම්කරු පන්තිය බේදභින්න කිරීම සඳහා මුස්ලිම් විරෝධී ප‍්‍රකෝපකරනයක් අවුලුවා යලි විලෝපනයක් නිර්මානය කිරීමට යි.

මොරටු සරසවියේ බුර්ඛා තහනම කම්කරු පන්තියට, ශිෂ්‍යයන්ට, තරුනයන්ට හා අනෙකුත් පීඩිතයන්ට එල්ල කිරීමට නියමිත පුලුල් ප‍්‍රහාරයක් පිලිබඳ අනතුරු ඇඟවීමකි. මෙම පියවරට එරෙහිව කවර හෝ විරෝධයක් පෑමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හෝ අන් කවර හෝ ශිෂ්‍ය සංවිධානයක් ඉදිරිපත් නොවීම මගින් පෙන්නම් කරන්නේ ඒවායේ වාර්ගික දේශපාලනයේ ප‍්‍රතිගාමී ස්වභාවයයි. අවිශිබමයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමා ජනතා විමුක්ති පෙරමුනෙන් කැඞී වෙන් වූ බවක් ප‍්‍රකාශ කලද එහි වර්ගවාදී පෙකනිවැලෙන් කැඞී නොමැති බව මෙමගින් යලිත් තහවුරු වෙයි.

මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයේ පූර්න අනුග‍්‍රහය යටතේ මුස්ලිම් ජන වර්ගයට එල්ල කොට ඇති මෙම ප‍්‍රහාරයට එරෙහිව පෙරට එන ලෙස සමස්ත කම්කරු පන්තියෙන් ද තරුනයන්් හා ශිෂ්‍යයන්ගෙන් ද සසජාතශි ඉල්ලා සිටී.

Share this article: