අධ්‍යාපන කප්පාදුවට, පුද්ගලීකරනයට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව සරසවි සිසුහු පා ගමනේ යෙදෙති

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2014 මාර්තු 24

රාජපක්ෂ ආන්ඩුව මගින් ක‍්‍රියාවට නගා ඇති නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව ද ශිෂ්‍ය සංගම් තහනම් කරමින් හා සිය ගනනක් ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කරමින් ගෙන යන ශිෂ්‍ය මර්දනයට එරෙහිව ද පන්දහසකට අධික විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, පසුගිය 19 දා කොලඹ පැවති විරෝධතා පා ගමනකට සහභාගි වූහ.

කැලනිය සරසවිය අසලින් ආරම්භ වූ පා ගමන තහනම් කරමින් පොලීසිය විසින් මහර මහේස්ත‍්‍රාත් අධිකරනයෙන් ලබා ගත් නියෝගය ද, කැලනිය සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙලපාලියට සම්බන්ධ වීම අහුරාලමින් පොලිසිය හා කැරලි මර්දන ඒකකයන් විසින් සිදුකල බාධාවන් ද නොතකා සිසුන් පා ගමනට එක්වුනි.

පොලීසිය ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා නිවේදනය කල උසාවි නියෝගයේ සඳහන් වුයේ පා ගමනෙන් මහජන සාමයට බාධාවන කැරලිකාරී තත්වයක් මතු විය හැකි බැවින් එය තහනම් කරන බවයි. පෙර අවස්ථාවන්වල දී ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගනු ලැබූවේ මෙම උසාවි නියෝග කඩ කලේ යයි පවසමිනි.

දිවයිනේ දකුනු ප‍්‍රදේශවල සරසවි 8 ක පමන සිසුහු සියගනනින් තම සරසවිවල පවත්නා ගැටලු ඉදිරිපත් කරමින් පාගමනට එක්වී සිටියහ. පේරාදෙනිය හා සෞන්දර්ය සරසවිවලට සිව් අවුරුදු උපාධි පාඨමාලාව අවුරුද්දකින් කප්පාදු කිරීම නතර කිරීම, කැලනිය සරසවියේ උද්ගත වී ඇති නේවාසිකාගාර අර්බූදය විසඳීම, ශිෂ්‍යාධාර මුදල් වැඩි කිරීම, රජරට සරසවියේ හා අනෙකුත් සරසවිවල විරෝධතාවලට සම්බන්ධ වූ ශිෂ්‍යන්ට පනවා ඇති පන්ති තහනම් ඉවත් කිරීම හා ශිෂ්‍ය සංගම් තහනම් ඉවත් කිරීම එම ඉල්ලීම් අතර ප‍්‍රධාන ඒවා විය.

පෙලපාලිය කැලනිය, පෑලියගොඩ, මරදාන හරහා කොලඹ කොටුව දෙසට ගමන් ගත් අතර කොටුව සිට අරලිය ගහ මන්දිරය දෙසට ගමන් කිරීමට යාමේ දී ලේක් හවුස් වටරවුමේ දී පොලීසිය දරුනු කඳුලූ ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කොට එය නවතාලනු ලැබීය. කඳුලු ගෑස් ප‍්‍රහාරට ලක් වූ සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබේ

පොලීසිය සිසුන්ට කදුලු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට දැමීමේ කොටසක් ලෙස අධ්‍යාපන වියදම් කප්පාදු කොට අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව ශිෂ්‍යයන් අතර වැඩෙන විරුද්ධත්වය තලා දැමීමේ ආන්ඩුවේ සූදානම මෙම විරෝධතාවය මැඩීම සඳහා එල්ල කල ප‍්‍රහාරයෙන් පෙන්නුම් කෙරුනි. ජල ප‍්‍රහාරය පලමුව එල්ල කරනු ලැබූවේ විරෝධතාවය ආවරනය කිරීම සඳහා පැමින සිටි මාධ්‍යවේදීන්ටයි.

පසුගිය වසර කීපය තුල පමනක් ආන්ඩුව සරසවි සිසුන් දහසකට අධික ප‍්‍රමානයක් පන්ති තහනම් කිරීම්වලට ලක් කල අතර සරසවි කිහිපයකම ශිෂ්‍ය සංගම් තහනම් කොට තිබේ. මෙම පෙලපාලියෙන් පසු, පොලිස් බුද්ධි අංශවල පහරදීමට ලක්වූ රුහුනු සරසවියේ ශිෂ්‍ය නායකයෙකු රෝහල්ගත කර තිබෙන බව විරෝධතාවය සංවිධානය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) ප‍්‍රකාශ කරයි.

කෙසේ නමුත්, අඛන්ඩව සිදුවන මර්දනය හා බාධා කිරීම් නොතකා ශිෂ්‍යයන් යලි යලිත් විරෝධතාවලට එක්වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන වෛරය හා ශිෂ්‍යයන් අතර වැඩෙන සටන්කාමිත්වයයි. විශේෂ කරුනක් වන්නේ, මෙම උද්ඝෝෂනයට සහභාගී වී සිටි බහුතරයක් සිසු සිසුවියන්, පවත්නා පද්ධතියට හා අඩු පහසුකම්වලට යටත් කර තැබීමේ අරමුනින් ආන්ඩුව දැනට වසර තුනක සිට ක‍්‍රියාත්මක කර තිබෙන මිලිටරි පුහුනුවට සහභාගී වූ සිසුන් වීමය.

කෙසේ නමුත්, ධනේශ්වර ගැති ව්‍යාජ වාම වෙස් පාන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකත්වය යටතේ ක‍්‍රියාත්මක අවිශිබමය මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේම ආන්ඩුවේ කප්පාදු හා පොලිස් රාජ්‍ය සැලසුම් හමුවේ සිසුන් දේශපාලනිකව නිරායුද කොට හුදකලා විරෝධතා ව්‍යාපාර තුල අවමංගත කිරීමටය.

පා ගමනෙන් පසු සිසුන් ඇමතූ අවිශිබමය කැඳවුම්කරු නජීත් ඉන්දික “ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කැප කිරීම් මත අයිතීන් දිනා ගත් ජයග‍්‍රාහී ඉතිහාසයක් තිබෙන ව්‍යාපාරයක්, ඒ අයුරින්ම වර්තමාන ඉල්ලීම් ද ජයග‍්‍රහනයකින් කෙලවර කරන බවට ශපථ කරනවා” යි බෙරිහන් දුනි.

සත්‍ය ඉතිහාසය මෙම බේගල් වලට හාත්පසින්ම වෙනස්ය. ශී‍්‍ර ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය, 1940 ගනන්වල දී ලංකාවේ අධිරාජ්‍ය ගැති ජාතික ධනපති පන්තියට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වැදී හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප-මහද්වීප ශාඛාව වූ බෝල්ෂේවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) ගෙනගිය අරගලයේ ප‍්‍රතිඵලයකි.

1964 දී, ජාතිකවාදී ලංකා සම සමාජ පක්ෂය ධනපති සභාග ආන්ඩුවට ඇතුලු වෙමින් බීඑල්පීඅයිය සටන්වැදි ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය පාවා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) බිහි විය. ජවිපෙ, කම්කරු පන්තිය බෙදාලීම සඳහා දෙමල ජනතාවට එරෙහිව කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය වර්ගවාදී යුද්ධයට සහයෝගය දෙමින්, පාලක පන්තියට එරෙහි තරුනයන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරුද්ධත්වය කම්කරු පන්තියට එරෙහි ධනපති රාජ්‍ය රැකීමේ දේශප්‍රේමී ව්‍යාපාර තුලට ගොනු කලේය.

ජවිපෙ සහ පෙසප “ජයග‍්‍රාහී” ශිෂ්‍ය සටන් ඉතිහාසයට විපරීතව, 1960 න් මෙපිට සත්‍ය ඉතිහාසය තුල සිදුව ඇත්තේ සීමිතව හෝ ලබා තිබූ එම නිදහස් අධ්‍යාපනය අඛන්ඩව කප්පාදුවට ලක් වීම නොවේ ද?

ඉතිහාසය විකෘති කරමින් අවිශිබමය දැන් එලිපිටම වංචාවේ යෙදෙයි: ‘ජනතාවනි පෙරට එන්න’ යනුවෙන් අවිශිබමය බෙදා හැරි අත් පත‍්‍රිකාවක “2012 ජනවාරිවල පාර්ලිමේන්තුවට ගෙනාපු පුද්ගලික විශ්වවිද්‍යාල පනත ආපසු හරවලා යවන්න ශිෂ්‍ය අරගලය සමත් වූනා.” යනුවෙන් සඳහන් කරයි. මෙම බේගලය ඇද බාන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට හා ආයතනවලට උපාධි පිරිනැමීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයකින් අවසර ලබා දීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝබර් මාසයේ දී විපක්ෂයේ ද සහයෝගය සහිතව පාර්ලිමේන්තුවේ දී එය සම්මත කොට පුද්ගලික සරසවි ඉදිකිරීම සඳහා බදු සහන ද පිරිනමා තිබෙන තතු තුලය.

අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය, ලෝක යුද්ධයක තර්ජනය යලි මතු කර ඇති ධනේශ්වර ක‍්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදය මධ්‍යයේ ලොව පුරා පාලක පන්තීන් විසින් කම්කරු පන්තියට එල්ල කරමින් පවත්නා සමස්ත ප‍්‍රහාරයේ කොටසකි. ශිෂ්‍යයන්ට තම අධ්‍යාපන අයිතිය දිනාගත හැක්කේ අවිශිබමයේ ප්‍රෝඩාකාරී “ශිෂ්‍ය දේශපාලනය” මත නොව ධනේශ්වර ලාභ ගරන ක‍්‍රමය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙලක් සඳහා සටන් වැදීමෙන් පමනි.

මේ සඳහා ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරී ගත යුතුය. මෙය වැලැක්වීම සඳහා ‘අවිශිබමය හා පෙසප එක්ව සිසු-ජන පෙලගැස්ම නමින් නව උගුලක් අටවා තිබේ. දැනටමත් විවිධ ධනපති කොටස් හා නව සම සමාජය වැනි ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන් එකතු කොට තනා ඇති මෙහි එල්ලය වී ඇත්තේ රැඩිකලීකරනය වන සිසුන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්වීමෙන් වලක්වා, සිසුන් හා කම්කරුවන් ඒ හෝ මේ ධනපති සන්ධානයක් තුල සිර කර තැබීමයි.

Share this article: