ශ‍්‍රී ලංකා ආන්ඩුව දෙමල ජනයාට එරෙහි ත‍්‍රස්ත උද්ඝෝෂනය යලි අරඹයි

Sri Lankan government revives terror campaign against Tamils

සුභාෂ් සෝමචන්ද්‍රන් හා ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2014 මාර්තු 27

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව උතුරු පලාතේ දෙමල ජනයාට එරෙහිව මිලිටරි කඩා පැනීමකට මුලපුරා ඇති අතර රටේ 26 අවුරුදු සිවිල් යුද්ධය අතරතුරදී ගෙනගිය ත‍්‍රස්ත මෙහෙයුම් මෙමගින් යලි සිහියට නංවයි. නිවසක් නිවසක් පාසා සෝදිසි මෙහෙයුම් කිරීම, ප‍්‍රශ්න කිරීම හා “සැකකරුවන්” අත්අඩංගුවට ගැනීම මෙම මර්දන පියවරයන්ට ඇතුලත් වේ. ආන්ඩුවේ මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය යුක්ති සහගත කිරීම සඳහා 2009 වසරේදී මිලිටරිමය වසයෙන් බිඳ දමන ලද බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිටපු ක‍්‍රියාධරයින් දෙදෙනෙක් එම සංවිධානයට යලි පන දීමට වෑයම් කරනා බවට ව්‍යාජ හේතුවක් ඉදිරිපත් කරයි.

යුද්ධයේදී විනාශභාග් කරන ලද වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්ක ඇතුලත් උතුරු පලාත පොලිසිය හා මිලිටරිය විසින් ත‍්‍රස්ත කරමින් සිටී. ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන තෙක් ක‍්‍රීඩාපිටිවල හෝ විවෘත ස්ථානයන්හි නොඑසේ නම් ඔවුන්ගේ නිවාසවලට වී සිටින ලෙස වටලනු ලැබූ ජනයාට නියෝග කර ඇත.

පසුගිය සති කීපය මුලුල්ලේම සිදුවීම් ගනනාවක් වාර්තා වී තිබේ. මුලතිව් දිස්ති‍්‍රක්කයේ ගම්මාන දෙකක් වන සුදන්දිරපුරම් හා ඉරුට්ටමඩු මිලිටරි පරීක්ෂාවට ලක්ව තිබේ. සොල්දාදුවන් හා සිවිල් ඇඳුමෙන් සැරසුන පුද්ගලයින් සිය ගනනක් විසින් පූර්ව දැනුම් දීමකින් තොරව වව්නියාවේ, පූන්තෝට්ටම්, අන්නානගර්, මරම්බයිකුලම්, කුරුපනිච්චකුලම් හා කතර්සින්නකුලම් වැනි ගම් ආක‍්‍රමනය කරනු ලැබීය. වැඩපලවල සිටි අයට ඒවායින් පිටව යාමට අවසර ලැබුනේ හැඳුනුම් පත් පරීක්ෂා කිරීමෙන් පසුව පමනි. එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධකම් තිබුන බවට සැකපිට යුද්ධාවසානයේදී අත්අඩංගුවට ගෙන රඳවාගනු ලැබූ තරුනයින් වව්නියාවේ මිලිටරි මූලස්ථානයේ පිට්ටනියට ගෙන ගොස් සැකකරුවන්ට රැකවරන නො දෙන්නැයි අනතුරු අඟවනු ලැබී ය.

මාර්තු 22දා යාපනය දිස්ත‍්‍රික්කයේ වඩුක්කොඩෙයි නගරයේ තරුනයින් 300කට අධික පිරිසක් කුඹුරකට ගෙනගොස් ප‍්‍රශ්න කරනු ලැබී ය. මන්නාරම් දිස්ත‍්‍රික්කයේ තරුනයෙක් වන කන්තිලියොන් පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) විසින් අත්අඩංගුවට ගැනින. යාපන වඩමාරච්චි ප‍්‍රදේශයේ ගම් දෙකක සිදුකල තවත් මෙහෙයුමකින් 20 හැවිරිදි තුරෙයිරාජා හා ජෙයරාමෙෂ් අත්අඩංගුවට ගත්තේය.

ටීඅයිඩීය “එල්ටීටීඊ සැකකරුවෙක්” යැයි කියනු ලබන කේ.පී. සෙල්වනායගම් හෙවත් “ගෝපී” නමැත්තෙකුගේ ඡායාරූපයක් ප‍්‍රසිද්ධ කර ඔහු පිලිබඳ තොරතුරු ලබා දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටිනු ලැබීමෙන් අනතුරුව මාර්තු 12 දා ත‍්‍රස්තකිරීම හා බියවැද්දීමේ මෙහෙයුම ආරම්භ විය. මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක වන කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ධර්මපුරම්හි පදිංචිව සිටින බාලෙන්ද්‍රන් ජෙයකුමාරිගේ නිවසට සෙල්වනායගම් ගොඩවැදුන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි ඊලඟ දිනයේදී ටීඅයිඩී ය ප‍්‍රකාශ කලේ ය. සිය ගනනක් පොලිස් හා සන්නද්ධ හමුදා ප‍්‍රදේශය වැටලීය.

ටීඅයිඩී නිලධාරීන් දෙදෙනෙක් නිවසට ගොඩවැදුන අවස්ථාවේ සැකකරු විසින් වෙඩි තබා එක් අයෙකුට තුවාල සිදුකර පලා ගිය බව පොලිසිය ප‍්‍රකාශ කලේ ය. ජෙයකුමාරි ත‍්‍රස්තවාදය වැලක්වීමේ විෂකුරු පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගෙන දින 18කට දකුනු පලාතේ රැඳවුම් කඳවුරක සිරගත කරනු ලැබී ය. ඇගේ දියනිය වන විභූශිකා ලමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භාරයට පත් කරනු ලැබී ය.

මාර්තු 16දා තවත් මානව හිමිකම් ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් වන රුකී ප‍්‍රනාන්දු හා කතෝලික පූජකයෙක් වන ප‍්‍රවීන් මහසෙන් අත්අඩංගුවට ගැනීමට ටීඅයිඩීය පීටීඒහි පූර්න බලතල යොදා ගත්තේ ය. දේශීයව හා ජාත්‍යන්තරව ක්ෂනිකව පැනනැගි විරෝධතා හමුවේ ඔවුන් නිදහස් කරනු ලැබූව ද ඒ විදෙස් ගමන් හා ශ‍්‍රී ලංකාවේ හෝ විදෙස් මාධ්‍යයන්ට කතා කිරීම තහනම් පැනවීමක් ඇතුලු අතිශයින් ප‍්‍රජාතාන්ත‍්‍රික විරෝධී කොන්දේසිවලට යටත් කරමිනි.

එල්ටීටීඊ සැකකරුවන්යැයි කියනු ලබන අය පිලිබඳ තොරතුරක් ලබා දෙන කෙනෙකුට රුපියල් මිලියනක (ඩොලර් 7,650) තෑගි මුදලක් ලබා දෙන බවට නිවේදනය කර ඇත. මාර්තු 24 දා සෙල්වනායගම්ගේ මවගේ නිවස වැටලූ මිලිටරිය ඇය සහ තවත් ස්ත‍්‍රියක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් ඔහු සිටින තැන දැනගෙන හෙලිනොකර සිටීමේ බොරු චෝදනාව මතය.

දැන් පොලිසිය නැගෙනහිර පලාතේද එල්ටීටීඊ සැකකරුවන් යයි කියනු ලැබූවන් පිලිබඳ පෝස්ටර් අලවා ඇත්තේ මෙම ආක‍්‍රමනය එම පලාතට ද ව්‍යාප්ත කරන බවට ඉඟි කරමිනි.

කිලිනොච්චියේදී ආයුධ තොගයක් සොයාගත් බව පොලිසිය කියයි. “එල්ටීටීඊය යලි ස්ථාපිත කිරීමට” සහ “වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කැඳවුම් කරන අත්පත‍්‍රිකා වගයක්” හමුවූ බව මිලිටරි ප‍්‍රකාශක රුවන් වනිගසූරිය මාධ්‍යට කීවේය. “දැනට අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව, එම කන්නඩායමේ නායකයා ගෝපි. නමුත්, අපට නිශ්තවම කීමට හැකියාවක් නැහැ,” ඔහු සඳහන් කලේ ය.

උතුරු පලාතේ සිදුවන මෙම මිලටරි-පොලිස් මෙහෙයුම, ජිනීවාහි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) සැසියට එක්සත් ජනපදය අනුග‍්‍රහය දක්වන යෝජනාව ඉදිරිපත් කිරීම සමග සමපාත වේ. සිවිල් යුද්ධයේ අවසන් අදියරවලදී රාජපක්ෂ ආන්ඩුව හා ශ‍්‍රී ලංකා මිලටරි බලකායන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කල බවට මෙම යෝජනාවෙන් චෝදනා කරයි. මෙතෙක් බලයට පත් කොලඹ සෑම ආන්ඩුවක් විසින් ම එල්ටීටීඊයට එරෙහි යුද්ධයට එක්සත් ජනපදය හා යුරෝපානු ආන්ඩු පිටුබලය ලබා දී තිබේ. දැන් මොවුන් නරුම ලෙස යුද අපරාධ පිලිබඳ පරීක්ෂන සිදුකරන්නැයි දැඩිව ඉල්ලා සිටින්නේ රාජපක්ෂ පාලනයට චීනයෙන් ඈත්වන ලෙස බල කිරීමේ අරමුන ඇතිව ය.

එල්ටීටීඊය ප‍්‍රතිසංවිධානය වෙමින් සිටීයැයි රාජපක්ෂ ආන්ඩුව සහතික කරමින් කියා සිටින්නේ, දිවයිනේ උතුරේ හා නැගෙනහිර දැනට කෙරීගෙන යන මිලිටරි පාලනය යුක්තිසහගත කිරීමට යි. එහි හදිසි උත්සුකය වන්නේ වර්ගවාදය ඇවිස්සීමෙන් හා යලි ඇතිවිය හැකි යුද්ධයක් පිලිබඳ භීතිකාව ඇවිලවීම මගින් 29දා පැවත්වෙන බස්නාහිර හා දකුනු පලාත් මැතිවරන ජයග‍්‍රහනය කිරීම ය. කෙසේනමුත්, රාජපක්ෂගේ සැබෑ ඉලක්කය වන්නේ සමස්තයක් ලෙස සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය යි.

රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව සිටගෙන ඉන්නේ පුපුරායාමට නියමිත සමාජ ගිනිකන්දක් මත ය. පසුගිය මාස කීපයේ වැඩකරන ජනයා හා තරුනයෝ ඔවුන්ගේ ජීවන මට්ටම් හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව නැගී සිටියෝ ය. පෙබරවාරි 18දා කොලඹ වනාතමුල්ලේ දහස් ගනනක් ජනයා නිවාසවලින් පලවාහැරීමට හා පොලිස් මැරයින් යැයි සැකකෙරන පුද්ගල කන්ඩායමක් විසින් ප‍්‍රදේශ වාසියෙක් පැහැරගැනීමට එරෙහිව විරෝධය දැක්වුවෝ ය. මාර්තු 16දා කොලඹින් බැහැර පිහිටි හංවැල්ල ගම්වැසියන් ඔවුන්ගේ පානීය ජලය කාර්මික දූෂනයට ලක්ව තිබීමට එරෙහිව දැක්වූ විරෝධතාව බිඳ විසිරවීමට ආන්ඩුව පොලිසිය හා හමුදා කොමාන්ඩෝ භටයින් යෙදවුවේ ය.

මාර්තු 20 දා, විශ්වවිද්‍යාල සිසුන් දහස් ගනනන් කොලඹදී පැවැත්වූ පෙලපාලියක් පොලිසිය විසින් කඳුලු ගෑස් හා ජලවිදින යොදා ගනිමින් විසුරුවා හලේ ය. ඊට පසු දින කොලඹට නුදුරු මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක සිය ගනනක් කම්කරුවෝ මිනිසුන් තිදෙනෙකු මරනයට පත්කල අනාරක්ෂිත වැඩ කොන්දේශි වෙනස් කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනය කර පෙලපාලි ගියහ.

ගෝලීය ආර්ථික පරිහානිය මැද්දෑවේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නරක අතට හැරීමත් සමගම, කම්කරු පන්තියේ සමාජ කොන්දේසි, වැටුප් හා රැකියා මත දරුනු ප‍්‍රහාර එල්ල කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ කප්පාදු පිලිවෙත් කඩිනම් කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටී. රාජ්‍ය සේවකයන් විශ‍්‍රාම ගන්නා විට ඔවුන්ට ලබා දෙන සේවා පාරිතෝෂිතය අත්හිටුවන බව පසුගිය සතියේදී භාන්ඩාගාරය නිවේදනය කලේ ය. මාර්තු 24දා ධීවරයින් දහස් ගනනක් සහනාධාර අත්හිටුවීමට එරෙහිව විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කලෝ ය.

සමාජ ආතතීන් උත්සන්නවීමට රාජපක්ෂ ආන්ඩුවට ඇති එකම පිලිතුර වර්ගවාදී රේඛා ඔස්සේ කම්කරු පන්තිය හා පීඩිතයන් බෙදා වෙන් කිරීමේ ක‍්‍රම සෙවීම ය. උතුරේ දෙමල ජනයා ත‍්‍රස්ත කිරීමට මිලිටරිය හා පොලිසිය යොදා ගන්නා අතරේ, කොලඹ හා දකුනේ මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ජනයාට එරෙහිව නිකායික ප‍්‍රහාර එල්ල කිරීමට ෆැසිස්ට්වාදී බොදුබල සේනා, සිහල රාවය හා රාවනා බලකාය වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන අන්ඩුව විසින් නිහඬ ව මෙහෙයවමින් සිටියි.

Share this article: