ජවිපෙ වනාතමුල්ල නිවැසියන් නොමග යැවීමට තැත් කරයි

බස්නාහිර පලාත් සභා මැතිවරනයේ කොලඹ දිස්ත‍්‍රික්කයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂයේ කන්ඩායම් නායිකා විලානි පීරිස් නිකුත් කල ප‍්‍රකාශයකි, 2014 මාර්තු 21

වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානය ඉදිරිපත් කල පෙත්සමක් මාර්තු 6 දා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විභාගයට ගත් අවස්ථාවේ කොලඹ වනාතමුල්ලේ වතු කීපයක නිවාස ඉවත් නොකරන බවටත් එහි අක්කර 72 භූමිය තුල ක‍්‍රියාවට දැමීමට නියමිතවූ සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාවට නොදමන බවටත් නාගරික සංවර්ධන අධිකාරිය “පොරොන්දුවී” ඇත.

මෙම පොරොන්දුව “දැවැන්ත ජනතා ජයග‍්‍රහනයක්” යයි ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයෙකු හා පලාත් සභා මැතිවරනයේ කොලඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙකු වන නීතිඥ සුනිල් වටගල එම පක්ෂයේ ලංකා පුවත්පතට ප‍්‍රකාශ කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපි, ආන්ඩුවේ පොරොන්දුව ප්‍රෝඩාවකැයිද ජවිපෙ හා වටගලගේ ප‍්‍රකාශ ආන්ඩුව කල්යල් බලා ප‍්‍රහාරය එල්ල කරනවිට මහජනයා නොසුදානම් තත්වයේ තැබීමට ද තුඩු දෙනු ඇතැයිද අනතුරු අඟවමු. වනාත නිවැසියන්ගෙන් ද කොලඹ නගරයේ කඩා දැමීමට නියමිත 77,000 පැල්පත්, කුඩා නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ගෙන් හා සෙසු දුගීන් ගෙන්ද අපි ඉල්ලා සිටින්නේ ආන්ඩුවේ පොරොන්දුවලින් මෙන්ම මුලා නොවන ලෙසයි.

නිවෙස් කඩා දැමීමට එරෙහිවත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඇතුලු ලොක්කන් තමන් බිය ගැන්වීමට දැරූ තැතට හා නිවසියෙකු වන සමරධීර සුනිල් පැහර ගෙන යාමට විරුද්ධවත් වනාත වැසියන් දැක්වූ විරෝධය මධ්‍යයේ බස්නාහිර පලාත් මැතිවරනයට මුහුනදී සිටින ආන්ඩුව තාවකාලිකව නිවාස කැඩීම නතර කර ඇත්තේ ඊලඟ අවස්ථාවේ පහර දීමටය.

ආන්ඩුවේ ආයතනයක් ප‍්‍රසිද්ධියේ මානව හිමිකම් කොමිසමේ පෙත්සම් විභාගයක දී ඇති පොරොන්දුව “සැහැල්ලුවට ගන්න කිසිසේත්ම බැහැ” යි වටගල කියා ඇත.

මේ ප‍්‍රකාශය මහජනතාවගේ අයිතීන්ට අතොරක් නැති පහර එල්ල කරන ආන්ඩුවේ පොරොන්දුවට විශ්වාසනීයත්වයක් ලබාදීමකි. මේ පොරොන්දුව විශ්වාස කරන්නේනම් ආන්ඩුව තම අධිරාජ්‍ය ගැති ආර්ථික වැඩපිලිවෙලේ අංක එක අකුලගන්ට යන බව අපි නිගමනය කල යුතුය. එනම් ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන්නෙමි යි වහසිබස් දොඩමින් කොලඹ දකුනු ආසියාවේ ප‍්‍රධානම වානිජ පුරවරය කිරීමට ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලයි. එය බැදී ඇත්තේ පැල්පත් ඇතුලු කුඩා නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉවත්කර අල්ලා ගන්නා ඉඩම් ආයෝජකයන්ගේ වෙසෙසින්ම විදේශ ආයෝජකයන්ගේ මුල්‍ය, වානිජ හා සංචාරක සංගත වලට මුදලට විකිනීමයි. දැනටම එය අරඹා හමාරය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මෙම වැඩපිලිවෙල අත අරින්නේ නැත.

කොලඹ ද එය යා කරමින් රටපුරා ද නගර ගොඩනැගීම හා මංමාවත් තැනීම අරඹා ඇත්තේ ආන්ඩුව වංචනිකව කියන පරිදි මහජනයා සඳහා කෙරෙන සංවර්ධනයක් ලෙස නොව ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග පරිදි ඒවායේ ලාභ අවශ්‍යතා සැපිරීමටයි. ආන්ඩුව මහජනයාගේ ඇස් වලට වැලිගසීමට ඊනියා අධිරාජ්‍ය හඬ තැලීම් කරන අතරේ ඇත්තටම ක‍්‍රියාත්මක කරන්නේ මේ අධිරාජ්‍ය ගැති සැලැස්මයි.

මානව හිමිකම් කොමිසමේ නඩු පවරා ආන්ඩුවේ පොරොන්දුව තමන් ලබා ගත් නිසා එහි “යම් දේශපාලන වාසියක් තිබෙනවා නම් ජවිපෙ එය ගත්තාට වරදක් නැහැ නේදැයි” වටගල අසා ඇත.

ජවිපෙ නායකයාගේ ප‍්‍රකාශ වලින් ප‍්‍රවේසම් වන්න. ජවිපෙ ක‍්‍රියා කලේ “දේශපාලන වාසියක් ගැනීම සඳහා” වනාතමුල්ල ජනයාගේ විරෝධය මැදට පැන ප‍්‍රශ්නය හුදෙක් මානව හිමිකම් කොමිසම මගින් විසඳා ගැනීමට හැකි බව පවසා ඔවුන් එතුලට කොටුකිරීමටයි. දේශපාලන වාසිය ගැනීමට නම් ජවිපෙත් එජාපයත් පොරකති. ආන්ඩුව නම් තම වැඩ පිලිවෙල අකුලා ගෙන නැත. ආන්ඩුවට බලපෑම් දමා ප‍්‍රශ්න විසඳා ගත හැකි බව පවසා කම්කරුවන්ගේ අරගල නතර කිරීමේ දිගු ඉතිහාසයක් ජවිපෙට ඇත. සිදුවී ඇත්තේ ජවිපෙ, වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මු ආදීන් කම්කරු විරෝධය යට ගැසීම යොදාගෙන ආන්ඩුව සිය වැඩපිලිවෙල පෙරට ගෙන යාමයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ පෙබරවාරි දා වනාතමුල්ලටත් අදාලව විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ආන්ඩුව ඉඩම් පනතේ නීති නොතකා කොලඹ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ක‍්‍රියා කරන බවයි. නීති ගැටලු සතයකට ගනන් නොගන්නා ආන්ඩුව බලහත්කාරී ඉඩම් පවරා ගැනීම්වලට නීත්‍යානුකුල මුහුනක් දීම සඳහා නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත.

දශක ගනනාවක් තිස්සේ අතිශය අමාරු කොන්දේසි තුල ජීවත් වූ කොලඹ පැල්පත් ඇතුලු කුඩා නිවාස වල වෙසෙන ජනයාට හොඳ නිවාස ලබා දෙනවා වෙනුවට ඔවුන් පලවා හැරීමේ වැඩ පිලිවෙලක ආන්ඩුව යෙදී සිටියි. පසුගිය දශක හයේ රට පාලනය කල මොනම ධනපති ආන්ඩුවක්වත් කම්කරු පන්තියේ හා අනෙකුත් වැඩකරන ජනයාගේ නිවාසයකට ඇති අයිතිය ද ඇතුලුව කිසිදු මූලික ප‍්‍රශ්නයක් වත් විසඳා නැත. දැන් ඒ වෙනුවට, ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදය මධ්‍යයේ ක‍්‍රියාවට දැමෙන්නේ අතිශය රුදුරු වැඩපිලිවෙලකි. ආන්ඩුව දශක තුනක යුද්ධයේදී මුවහත් කරගත් මිලිටරි ක‍්‍රම යොදා ගෙන මෙම වැඩ පිලිවෙල දියත් කර ඇත.

ජවිපෙ ඉදිරියට දමා ඇත්තේද ධනපති ක‍්‍රමය රැකීම සඳහා කැපවූ වැඩපිලිවෙලකි. පසුගිය කාලයේ, හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ ඇමති කම් භාර ගැනීමෙන් ද ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව බලයට ගෙනවුත් එහි යුද්ධයට හා කම්කරුවන්ගේ අයිතීන් කප්පාදුවට සහාය දීමෙන්ද එජාපය සමග කඳවුරු බැඳ හිටපු හමුදානායකයාගේ ආන්ඩුවක් පිහිටුවීමට කැපවීමෙන් ද ආදී වසයෙන් ගෙනගිය ප‍්‍රතිගාමී වැඩ පිලිවෙල නිසා ජවිපෙ අපකීර්තියට පත්වී ඇත. එනිසා “දේශපාලන වාසි” ගැනීමට මහජනයාගේ අරගලතුලට රිංගා තම පදනම් මහජනයා අතර යලි තනා ගැනීමට ජවිපෙ ක‍්‍රියා කරයි.

පලාත් සභා චන්දයට ඉදිරිපත්වන විට ඔවුන් රට වෙනුවෙන් යයි “ඉදිරිදැක්ම” නමින් වැඩ පිලිවෙලක් ප‍්‍රකාශයට පත්කලේය. එහි සඳහන් වන්නේ ජවිපෙ ආන්ඩුවක් පිහිටුවුවහොත් නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමේදී රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය ද සහභාගී කෙරේ. “පුද්ගලික අංශයට අවුරුදු පහක බදු නිදහසක් සහ අදාල වෙනත් පහසුකම් සහතික කෙරේ” ආදී වසයෙන් ධනපති ක‍්‍රමය පවත්වා ගෙන යාමේ වැඩ පිලිවෙලකි.

මෙම වැඩපිලිවෙල ධනපතියන්ගේ ශ‍්‍රී ලංකා වෙලඳ මන්ඩලයට ඉදිරිපත්කරමින් අනුර කුමාර දිසානායක මෙසේ පවසා ඇත: “නවීන ලෝකයට ගැලපෙන නව මුලෝපායන් යොදා ගැනීමේ අවශ්‍යතාව අපි පිලිගනිමු. අප එලෙස නවීන පන්නයට වෙනස්වීමට සුදානම්ය. අපි ආන්ඩු පෙරලීමට සුදානම් වෙනවා නොවේ.”

“නවීන ලෝකයට ගැලපීම” ලෙස සඳහන් කරන්නේ විදේශ ආයෝජකයන්ට ගැලපෙන වැඩපිලිවෙලයි. ජවිපෙ ආන්ඩුවක් පිහිටුවුවහොත් ධනපති පන්තියට ගැලපෙන මෙම වැඩපිලිවෙලේදී ක‍්‍රියාවට දමනු ඇත්තේද රාජපක්ෂ ආන්ඩුවේ වැඩපිලිවෙලේම තවත් දිගුවකි.

එජාපයේ කෙරුවාව

දක්ෂිනාංශික එජාපය ද වනාතමුල්ලේ හා කොලඹ නිවාස කැඩීමට මුහුන දී සිටින ජනයාගේ ගැලවුම් කරුවෙකු ලෙස පෙනී සිටීමට වංචනිකව තැත් කරයි. මේ පක්ෂය ද පසුගිය සමයේ ආන්ඩු බලයේ සිටිමින් ධනපති ක‍්‍රමය රැකීමට කැපවී ගත් ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා ලාබ ශ‍්‍රම කොල්ලයට කොන්දේසි හදා දුන් පක්ෂයකි. වැඩකරන ජනයාගේ අයිතීන්ට පහර එල්ල කිරීමෙන් ආන්ඩුව අපකීර්තියට පත්වී ඇති නිසා තාමන්ගේ අතීත වාර්තාව අමතකවී ඇතියි මේ පක්ෂය සිතන සෙයකි. කොලඹ වානිජ නගරයක් කිරීමේ වැඩපිලිවෙල මුලින්ම ඇරඹුවේ 1977 බලයට ආ එජාප ආන්ඩුවයි. 2004, පුබුදමු ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල එවක අගමැති වූ රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කලත් ආන්ඩුව වැටුන නිසා එය ක‍්‍රියාවට දැමීමට නොහැකිවිය. එය බලයට ආවොත් රාජපක්ෂ ආන්ඩුවේ වැඩපිලිවෙල රුදුරු ලෙස ක‍්‍රියාවට දමනු ඇත.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආන්ඩුව විසින් පත් කෙරන ආයතනයකි. ඉන් කිසිදු මූලික ප‍්‍රශ්නයකට විසඳුමක් ලැබී නැත. ශ්‍රේෂ්ඨාධිකරනය ආන්ඩුවේ සංවර්ධන වැඩපිලිවෙලට බාධා නොකරන ලෙස කොම්පඤ්ඤවීදියේ නිවාසවලින් ඉවත් කෙරුනු කන්ඩායමක් පැවරු නඩුවකදී පැවසීය. ඇපල්වත්තේ නිවැසියන්ට ඉවත්වී යන ලෙස මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරනය නියම කලේය.

වනාතමුල්ල හා කොලඹ නිවාස කැඩීමේ තර්ජනයට මුහුන දී සිටින ජනයාට අපි මෙසේ කියමු: ජවිපෙ හා එජාප ප‍්‍රචාර ප‍්‍රතික්ෂේප කරන්න. නිවාස අයිතිය රැක ගැනීම සඳහා තමන්ගේම කමිටු කොලඹ පුරා වතු මැදිකරගෙන තනන්න. ඒවා ආන්ඩුවට බලපෑම් දැමීමේ නිරර්තක වැඩපිලිවෙලකට නොව පලල් කම්කරු පන්තියේ සහාය දිනා ගැනීමට යොමු කරන්න.

පහසුකම් සහිත නිවසක් ලබා ගැනීම වැඩකරන ජනයා සතු අයිතියකි. බිලියන ගනන් අරමුදල් වැයකර එලෙස නිවෙස් ලබාගන්නට ධනපති ක‍්‍රමය යටතේ ඉඩක් නැත. කම්කරු පන්තියේ හා අනෙකුත් දුගීන් ගේ අයිතීන් රැක ගැනීම හා වැඩි දියුනු කිරීම කල හැක්කේ ලංකාවේ දෙස් විදෙස් මහා ව්‍යාපාරයන්, බැංකු හා වතු කම්කරු පාලනය යටතේ ජනසතු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දැමීමෙන්ම පමනකි. ඒ සඳහා නම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතුය. ලෝක සමාජවාදී ඉදරි දර්ශනය යටතේ මේ වැඩ පිලිවෙල ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනකි.

Share this article: