නේවාසිකාගාර ඉල්ලා කැලනිය සරසවි සිසුහු විරෝධතාවේ යෙදෙති

අපේ වාර්තාකරුවන් විසිනි , 2014 මාර්තු 8

නේවාසිකාගාර අවශ්‍ය සියලු සිසුන්හට නේවාසිකාගාර ලබා දෙන්නැයි ඉල්ලා කැලනිය විශ්ව විද්‍යාලයේ දහසක් පමන පසුගිය බ‍්‍රහස්පතින්දා උද්ඝෝෂනයක නිරත වූහ. "නේවාසිකාගාර ලබා දෙනු", "ශිෂ්‍යාධාර වැඩි කරනු" ආදී සටන් පාඨ කියමින් කැලනිය සරසවියේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා ඔවුහු පාගමනක යෙදුනාහ.

අනෙකුත් සරසවිවලදී මෙන්ම නේවාසිකාගාර හිගය කැලනි සරසවියේ සියලු සිසුන්ට බලපා ඇති මූලිකම ගැටලුවක් වෙයි. මෙවර උද්ඝෝෂනයට මූලිකත්වය ගෙන සිටියේ ශිෂ්‍යාවන් ය. ඒ ශිෂ්‍යාවන් 800කට පමන නේවාසිකාගාර අහිමි කරමින් සරසවි පරිපාලනය ගෙන ඇති තීන්දුවට එරෙහිව යි. රටපුරා නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපන පුද්ගලීකරනයට එරෙහිව රැඩිකලීකරනය වී සිටින සරසවි සිසුන් මර්දනය කිරීම සඳහා ආන්ඩුව ශිෂ්‍යන් මත දියත් කර ඇති ප‍්‍රහාරයේ එක් පැත්තක් කැලනිය සරසවි පරිපාලනය විසින් නිර්මානය කර ඇති නේවාසිකාගාර අර්බුදයෙන් මනාව පැහැදිලි වේ.

සිසු පාගමනේ අවස්ථාවක්

පසුගිය වසරේ දී සරසවි පරිශ‍්‍රයෙන් බාහිරව පිහිටි කන්නංගර නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් 1200 ක් පමන ඉන් ඉවත් කර පිරිමි සිසුන් 400 ක් පමන සිටි අභ්‍යන්තර නේවාසිකාගාරයකට මාරු කිරීම හේතුවෙන් ශිෂ්‍යාවන් 800කට පමන නේවාසිකාගාර අවස්ථා අහිමි විය. එමෙන් ම විරෝධතාවන්හි හා ශිෂ්‍ය ක‍්‍රියාකාරකම්වල නිරත වන පිරිමි සිසුන් තවදුරටත් දිගින් දිගටම එල්ල වන මැර ප‍්‍රහාරවලට ඉලක්ක කිරීම පහසුවන සේ බාහිර නේවාසිකාගාරවලට ඇද දැමුනි.

නේවාසිකාගාර අහිමිවූ ශිෂ්‍යාවෝ මේ වන විට දින පහක සිට සරසවියේ ක‍්‍රීඩාගාර ආපන ශාලාවෙහි වාඩිලා ගෙන සිටිති. පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ශිෂ්‍යයන් සිය ගනනක් මෙම ස්ථානයේ වාඩිලා ගෙන උද්ඝෝෂනයේ නියැලුනේ සරසවියේ සිට කිලෝ මීටර් දෙකක් පමන ඈතක පිහිටා තිබෙන බාහිර නේවාසිකාගාරවලට දිගින් දිගටම එල්ල වන මැර ප‍්‍රහාර නතර කරන ලෙසත් ආරක්ෂාව සහිත අභ්‍යන්තර නේවාසිකාගාර සපයා දෙන ලෙසත් ඉල්ලමින් ය. එම වාඩිලා ගැනීම් නිම කෙරුනේ උසාවි මගින් උද්ඝෝෂන තහනම් කිරීම් හා නේවාසිකාගාර තුල පොලිසිය රිංගවීම ඇතුලු තවදුරටත් රාජ්‍ය මර්දනය දිගේලි කරමිනි.

ගිය වසරේ සැප්තැම්බර් 17 කන්නංගර නේවාසිකාගාරයට එල්ලවූ මැර ප‍්‍රහාරයෙන් සිසුන්ගේ දේපල විනාශ කෙරුනු අතර සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරින. කැලනිය ශිෂ්‍ය සංගමයට අනුව 2010 සිට මෙවැනි මැර ප‍්‍රහාර සියයක් පමන එල්ල වී තිබේ. මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂනයක් සිදු කිරීමට පරිපාලනය හෝ ආන්ඩුව පියවර ගෙන නොමැති අතර ශිෂ්‍යයන් චෝදනා කරන්නේ ඒවා ආන්ඩුවේ පිටුබලය සහිතව ප‍්‍රාදේශීය දේශපාලඥයන් විසින් එල්ල කරන බවට යි. තවද මෙම ප‍්‍රහාර එල්ල වන්නේ, 2010 සිට සරසවිවල ආරක්ෂක අංශ ‘රක්නා ලංකා’ වැනි ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකකවලට පවරා දීමෙන් පසුව යි.

පාගමන අවසානයේ පැවති ශිෂ්‍ය රැලිය

නිර්මානය කර ඇති නේවාසිකාගාර අර්බුදය ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරවන කරුනක් බවට පත්ව තිබේ. ආන්ඩුව ලබා දෙන මාසයකට රුපියල් 2,500 ක් තරම් සොච්චමක් වන ශිෂ්‍යාධාරය, පිම්මේ ඉහල යන පුද්ගලික කාමර කුලී, ආහාර වියදම්, ගමනාගමන වියදම් හා අත්‍යවශ්‍ය වන අධ්‍යාපන වියදම් පියවා ගැනීමට කොහෙත්ම ආධාරයක් නොවන බව විරෝධතාවේ නියැලි සිසුහු පෙන්වා දුන්හ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත අදහස් දැක්වූ තුන්වන වසර ශිෂ්‍යාවක් මෙසේ සඳහන් කලා ය: "මගේ ගම කන්තලේ, දෙමාපියෝ අඳ ගොවියෝ. මහපොල ශිෂ්‍යාධාරය හැර වෙන අදායම් මාර්ගයක් නෑ මට මගේ වියදම් පියවා ගන්න. කැන්ටිමේ බත් එකක් රුපියල් 40ක් වෙනවා. කෑම සඳහා මාසයකට රුපියල් 3600 ක් විතර යනවා. මට කෑම වියදම්, ෆොටෝ කොපි වියදම් වගේ අධ්‍යාපන වියදම් දරා ගන්න බෑ. දැන් අම්මලා නය වෙලා තමයි මට වියදම් කරන්නේ. නේවාසික පහසුකම් තියෙද්දි යාලුවෝ මට ගොඩක් උදව් කෙරුවා. මම දැනටත් ප්‍රෙස් එකක වැඩට යනවා."

ඇය වැඩි දුරටත් සඳහන් කලේ තව සමහර සිසුන් අසල පිහිටි කම්හල්වල තේ කුඩු පැකට් කිරීමට ද යන බවත් එහිදී ඔවුන්ට උදේ 8 සිට හවස 5 තෙක් වැඩ කලොත් රුපියල් 500ක් ලැබෙන බවත් ය.

තවත් ශිෂ්‍යයෙක් පෙන්වා දුන්නේ කාමර වියදම් දැන් රුපියල් 2,500 සිට 6,000 ක් විතර වෙන බව යි. "2,500 ට ලැබෙන කාමර අවම පහසුකම්වලින් යුක්ත ඒවා. ඒවායේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට අධ්‍යාපනය ලබන්න සුදුසු නෑ. ගාමන්ට්වල වැඩට යන කම්කරු සේවිකාවොත් අපි එක්කම අසල්වැසි කාමරවල එකට ඉන්නේ. 2005 දී තමයි අන්තිමට ශිෂ්‍යාධාර වැඩි වුනේ. ඒ දවස්වල කැන්ටිමේ බත් එකක් රුපියල් හතයි, දැන් රුපියල් 40 යි. ෆොටෝ කොපි, ගමන් වියදම් හැම එකක්ම අපිට දැන් දරා ගන්න බෑ" යයි එම ශිෂ්‍යයා පැවසුවේ ය.

චිත‍්‍ර කලාව හදාරන අම්පාර සිට පැමිනෙන තවත් ශිෂ්‍යයෙක් පැවසුවේ, ඔහුට අවශ්‍ය පාට වර්ග මිලදී ගැනීමටත් මාස තුනකට වරක් තිබෙන පැවරුමක් සම්පූර්න කිරීමත් ඔහුට රුපියල් 25,000 ක් පමන වැය වන බව යි. අමතර රැුකියාවල නියැලීමට සිදු වීමෙන් අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීමට නොහැකි වී තිබෙන බව ඔහු පැවසීය.

ආන්ඩුව රටපුරා සරසවිවලට නේවාසික පහසුකම් සපයන්නේ, පලමු වසර හා අවසන් වසර සිසුන්ට පමනක් වන අතර එයද වාර්ෂික ආදායම රුපියල් 48,000 වඩා අඩු ආදායම් ලබන පවුල්වල සිසුන්ට පමනි. එමගින් කිලෝමීටර් සිය ගනනක් දුර සිට ගම්බදව පැමිනෙන සිසුන්ට පවා නේවාසිකාගාර පහසුකම් ඇත්තේ නැත. ඒ අතර කොලඹ සරසවියේ කලමනාකරන පීඨය සිසුන්ගේ නේවාසිකාගාර ගාස්තු වැඩි කර ඇත. මේ මස බඳවා ගන්නා පලමු වසර සිසුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ඈත් කර තැබීමට ආන්ඩුව පියවර ගනිමින් තිබෙන බව කොලඹ ශිෂ්‍යයෝ ලෝසවෙඅට ප‍්‍රකාශ කලෝ ය.

සිසුන් නව දහසක් පමන අභ්‍යන්තර අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින කැලනිය සරසවියේ, මේ වන විට නේවාසිකාගාර ඇඳන්වල බොහෝ අවස්ථාවල සිසුන් දෙදෙනෙක් දැඩි අපහසුතාවෙන් නිදා ගැනීම සිදු කරති. මේ අතර එම ගොඩනැගිලි තුල කියවීම් ශාලාවක් හෝ නිසි ලෙස නඩත්තු වන වැසිකිලි ඇතුලු සනීපාරක්ෂක සේවාවන් ඇත්තේ ද නැත. එමෙන්ම දේශන ශාලා ද සිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. සරවිය තුල දැන් දිවා ආහාරය ගැනීමට වෙන්වූ කෑම පැයක් නොමැති බවත් සිසුන්ට සිසුවියන් සමග කථා කිරීමට විශේෂයෙන් ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් සඳහා සංවිධානය වීම වැලැක්වීම සඳහා එකිනෙකා හමු වී කථා බස් කිරීමට හෝ විනෝදයෙන් කාලය ගත කිරීමට පවා පරිපාලනය විසින් අහුරා ඇතැයි සිසුහු පෙන්වා දෙති.

කැලනිය සරසවිය තුල දියත් වන මර්දනය හා අධ්‍යාපන කප්පාදුව පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව යටතේ සහ ලාබ ගරන ධනපති ක‍්‍රමය යටතේ අධ්‍යාපන අයිතිය තහවුරු කර ගත නොහැකි බව යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට නගන ආන්ඩුව නිදහස් අධ්‍යාපන වියදම් කප්පාදු කොට, අධ්‍යාපනය ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම වේගවත් කර ඇති අතර පැන නගින කම්කරුවන්ගේ තරුනයන්ගේ අරගල මැඩීම සඳහා පොලිස්-මිලිටරි විධික‍්‍රම වෙත හැරී තිබේ.

නමුත්, කැලනිය ශිෂ්‍ය සංගම් නායකයන් පෙලගැසී සිටින්නේ, කම්කරු අරගල පාවාදීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වෘත්තීය සමිති නායකයන් හා නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ ඒකාබද්ධ කර ආන්ඩුවේ මෙම ප‍්‍රහාරවලට පෙරලිකාරී වන සිසුන් අවමංගත කිරීම සඳහා, සිසු-ජන පෙලගැස්ම නමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය අටවා ඇති නව උගුල වටා ය. එහි එල්ලය වන්නේ තවදුරටත් සිසුන් ආන්ඩුවට බලපෑම් දැමීමේ හුදකලා විරෝධතා තුල සිර කිරීම යි.

Share this article: