එක්සත් ජනපදය දිගට ම අභ්‍යවකාශය මිලිටරිකරනය කරයි

US continues to militarize space

ඩග්ලස් ලියොන්ස් විසිනි, 2014 මාර්තු 18

චීනය හා රුසියාව වැනි තාක්ෂනිකව දියුනු රටවලට එරෙහිව අභ්‍යවකාශය මත සිය ආධිපත්‍යය ගොඩනැගීමට අවශ්‍ය මූලික කටයුතු සඳහා එජ මිලිටරිය මේ වසරේ දී චන්ද්‍රිකාවන් දෙකක් ද 2016 වසරේ දී අත්හදාබැලීම සඳහා තවත් චන්ද්‍රිකාවන් දෙකක් ද දියත් කිරීමට බලාපොරොත්තු වේ. භූසමමුහුර්තක අභ්‍යවකාශ ආවස්ථික දැනුවත් කිරීමේ වැඩසටහන හෙවත් ජීඑස්එස්ඒපී යන තව දුරටත් රහස්‍ය නො වන ‍මෙම වැඩසටහන, අනෙකුත් රටවල අභ්‍යාවකාශ යානා පිලිබඳව ඔත්තු බැලීමටත් අභ්‍යාවකාශයේ සුන්බුන් සෙවීම යන බොරුවක් විය හැකි දෙවන මට්ටමේ කාර්යයක් සඳහා දුරේක්ෂ හා පෘතුවිය මත පදනම් වන රේඩාර් වර්ධනය කරනු ඇත.

ඇමරිකානු මිලිටරි චන්ද්‍රිකා කම්බස් කරන “[එ]ක් ලාභ වෙඩිල්ලක්” ඇමරිකානු මිලිටරියට හා ආයෝජනය කර ඇති අනෙකුත් මිත්‍ර රටවලට “විනාශකාරී” වනු ඇතැයි එක්සත් ජනපද ගුවන් හමුදා ජෙනරාල් විලියම් ෂෙල්ටන් කීවේ ය. “සුරක්ෂිත මෙහෙයුම් සඳහා සෘජුවම හැකියාව ඇති කරන හා අපගේ අභ්‍යාවකාශ යානා ආරක්ෂා කරගැනීමට සමත් වනු ඇති ප්‍රති-අභ්‍යාවකාශ තර්ජන නිශ්ක්‍රීය කරන තීරනාත්මක ප්‍රතිචාර පරාසයකට වක්‍රව ඉඩ සලසනු ඇති ජීඑස්එස්ඒපී වැනි අභ්‍යාවකාශ නිරීක්ෂන වැඩසටහන්වල ආයෝජනය කිරීමට එක්සත් ජනපදය කැපවී සිටිනවා” යයි ඔහු තවදුරටත් කීවේ ය.

“පිටත අවකාශය තුල ජාතීන් අතර සාමය හා ආරක්ෂාව වර්ධනය කිරීම සිය අරමුන බව ව්‍යාජ ලෙස කියාපාන, වොෂින්ටනයේ පිහිටි ආරක්ෂක ලෝක පදනම නමැති සංවිධානයේ උපදේශකයෙක් වන බ්‍රයන් වීඩන්, ජීඊඕ කලාපය තුල වඩා සුවිශේෂිත හා වැදගත් ජාතික ආරක්ෂක චන්ද්‍රිකා එක්සත් ජනපදයට තිබෙන අතර එම චන්ද්‍රිකා ආරක්ෂා කරගැනීම ගැන එරට අතිශයින්ම සැලකිලිමත්...ඒ නිසා ජීඊඕ කලාපය ආසන්නයේ තිබෙන වස්තූන් හා ඒවායේ හැසිරීම සමීපව අධීක්ෂනය කිරීමේ හැකියාව එක්සත් ජනපදයට තිබෙන බව අනෙක් රටවලට පෙන්වීම මගින් අපේක්ෂා කරන්නේ එරට වැදගක් චන්ද්‍රිකාවන්ට පහර දී‍මෙන් අනෙකුත් රටවල් වැලැක්වීම යි” යනුවෙන් ප්‍රකාශ කලේය.

ගුවන් හමුදා ජෙනරාල්වරයා පවසන ආකාරයට, ජීඊඕ කලාපයේ තිබෙන මෙම චන්ද්‍රිකා “පෘථිවියේ බොහෝ ප්‍රදේශ මත ගුවනින් බැල්ම හෙලීමට හා නිරීක්ෂනයටත් සන්නිවේදන කටයුතුවලට සහයෝගය සම්පාදනය කිරීමටත්” සමත් ය. නිසැකයෙන් ම අනෙකුත් රටවල් හා පුද්ගලයන් පිලිබඳ ඔත්තු බැලීමට මේවා භාවිතා කරනු ලබන අතර දත්ත රැස් කරමින් ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) සමග බෙදාහදා ගන්නවා ඇත. අවශ්‍ය ප්‍රදේශවලට ප්‍රහාර දියත් කිරීමට හෝ ඒවා නිරීක්ෂනය කිරීමට මිලිටරි ඒකක සමග සන්නිවේදනය කිරීමටත් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේවා උපයෝගී කරගනී.

කක්ෂ විද්‍යා බලකාය විසින් තනනු ලබන නව චන්ද්‍රිකා, ලෝකයේ බොහෝ සන්නිවේදන චන්ද්‍රිකා හා අනෙකුත් අභ්‍යාවකාශ යානා ආවරනය කරමින්, පෘථිවියට සැතපුම් 23,000ක් ඉහලින් පිහිටි කක්ෂීය ජීඊඕ කොරිඩෝරය වටා පාවෙනු ඇති බව අපේක්ෂිතය. විද්‍යුත්-ප්‍රකාශ සවේදකයක් සහිත, කක්ෂයේ තිබිය දී එහා මෙහා කලහැකි ජීඑස්එස්ඒපී පද්ධතිය, පෘථිවිය මත පිහිටි උපකරන මෙන් ආන්තික කාලගුන තත්ත්වයන් නිසා හානිවීම් හෝ බාධාවීම්වලට ලක් නො වනු ඇත.

අභ්‍යාවකාශය තුල එක්සත් ජනපදයේ අවකාශය සහ ප්‍රමුඛ නිරීක්ෂන හැකියාවන් පිලිබඳව අදහසක් ඇති කර ගැනීමට, ගුවන් හමුදාව වර්තමානයේ අඟල් 4කට වැඩි කක්ෂයක් සහිත සුන්බුන් කැබලි 23,000ක් නිරීක්ෂනය කරයි. මේවායින් සමහරක් පුපුරා ගිය චීන චන්ද්‍රිකාවක් ගුවන්ගත කල පැරනි රොකට්ටුවක කොටස් ය. ගුවන් හමුදාව ‍කොතරම් “සතුරු” අභ්‍යාවකාශ යානා හා චන්ද්‍රිකා හසුකර ගනිමින් සිටීදැයි යමෙකුට මෙයින් සිතාගත හැක.

ජීඑස්එස්ඒපී පද්ධතිය සමගින්, අතිරේක අවකාශ නිරීක්ෂන පද්ධති ගැනත් ෂෙල්ටන් අදහස් පල කලේ ය. පැසිෆික් කලාපය තුල ඇමරිකන් මිලිටරියේ නව-විජිතවාදී පිටස්තර මුරපොලක් වන මාෂල් දිවයිනේ කොටසක් වන ක්වාජලේන් දිවයින මත අභ්‍යාවකාශ වැටක් ඉදිකරනු ලැබේ. “අභ්‍යාවකාශ ආවස්ථික දැනුවත් කිරීමේ වැඩසටහනේ යුද වැඩපිලිවෙලේ අවශ්‍යතා කරා ලංවීමට මෙම පද්ධතිය වඩා නිරවද්‍යව හා කාලීනව ක්‍රියාකරනු ඇත”යි ගුවන් හමුදාව කියයි. එය එම ප්‍රදේශය පසුකර යන ඕනෑම වස්තුවක් පහසුවෙන් හසුකර ගත හැකි අවකාශ සීමාවක් නිර්මානය කරයි. එහි මෙහෙවර වන්නේ “නියත අභ්‍යාවකාශ නිරීක්ෂනයක් පවත්වාගෙන යාම හා ජාතික අවශ්‍යතාවන් සම්පූර්න කිරීම සඳහා එක්සත් ජනපද මූලෝපායික විධානය විසින් මෙහෙයවනු ලැබෙන පරිදි චන්ද්‍රිකා දත්ත සම්පාදනය කිරීම යි.”

එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව පැසිෆික් කලාපය මත අභ්‍යාවකාශ පාලනය තහවුරු කිරීමේ කටයුතු සම්බන්ධීකරනය කරයි. චීනයට එරෙහි මිලිටරි ආවරන කටයුතු සඳහා කැරීබියන් දූපතක් වන ඇන්ටිගුවාහි කලින් ස්ථානගත කොට තිබුනු අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපකාරීවන රේඩා උපකරන ඕස්ට්‍රේලියාව තුල යලි ස්ථානගත කෙරෙනු ඇත. තව ද අභ්‍යාවකාශ නිරීක්ෂන දුරේක් ෂයක් නිව් මෙක්සිකෝවේ සිට ඕස්ට්‍රේලියාවට මාරු කිරීමට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් හා ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති ඩේවිඩ් ජොන්ස්ටන් එකඟ වී ඇත.

Share this article: