සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න!

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශනයකි, 2014 මාර්තු 27

බස්නාහිර පලාත් සභාවේ කොලඹ දිස්ත‍්‍රික්කයට තරඟ කරන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අපේක්ෂකයන්ට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස අපි ඉල්ලා සිටිමු. සසප අපේක්ෂකයන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම, එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් උසිගන්වන ලෝක යුද්ධයේ තර්ජනයට හා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය පරිදි කි‍්‍රයාවට දමන ජීවන තත්වයන් කපා හෙලීම ඇතුලූ ප‍්‍රහාරයන්ට එරෙහිව ඡන්දය දීමක් වේ.

දේශපාලන තත්වයේ වේගවත් වෙනස්වීම් පිලිබඳව සසප තම මැතිවරන ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කල විශ්ලේෂනය සනාථ වී තිබේ.

“යුද්ධයේ ප‍්‍රශ්නයත් ආර්ථික සංවර්ධනයේ ප‍්‍රශ්නයත් විසඳුවේ මමයි. ජීවන වියදමේ ප‍්‍රශ්නය විසඳන්නේත් මමයි” යනුවෙන් ජනාධිපති රාජපක්ෂ ප‍්‍රකාශ කර ඇත. මෙය අතිශයින්ම නරුම ප‍්‍රකාශයකි. කම්කරු පන්තිය ප‍්‍රමුඛ සියලු වැඩකරන ජනයා මත බරපතල ව්‍යසනයක් ද උතුරු නැගෙනහිර යුද අපරාධ ද සිදු කරමින් රාජපක්ෂ යුද්ධය අවසන් කලේය. ඊනියා ආර්ථික සංවර්ධනය ලෙස ඔහු ව්‍යාජව හුවා දක්වන්නේ ජාත්‍යන්තර ආයෝජකයන්ට ද ඔවුන්ගේ අතවැසි ලංකාවේ ධනපතියන්ට ද කොන්දේසි හදාදීම සඳහා සංවර්ධනය කෙරෙන යටිතල පහසුකම් හා ඔවුන්ට පිරිනැමෙන වරදානයන්ය. වැඩකරන ජනයා ද තරුනයන් ද සඳහා සංවර්ධනය කෙරෙන්නේ වඩවඩාත් පහලට රූටා යන ජීවන කොන්දේසි තුල ලාභ ශ‍්‍රම තිප්පොලක කැඹිරීමේ තත්වයයි.

1930 ගනන්වලින් මෙපිට නොවූ මට්ටමට වැටී ගැඹුරු වන ලෝක අර්බුදයක කොන්දේසි තුල ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් රැකෙන ධනපති ක‍්‍රමයට කම්කරු පන්තියේ ගම්බද දුගීන්ගේ හෝ තරුනයන්ගේ ප‍්‍රශ්නයන්ට ඇති විසඳුම ඔවුන් අර්බුදයේ ගොදුරු බවට පත් කිරීම පමනක් ම ය.

පැවැත්වෙන්නේ බස්නාහිර හා දකුනු පලාත් සභා මැතිවරනයන් නමුත් කම්කරු පන්තිය, දුගීන් හා තරුනයන් මුහුන දී සිටින්නේ කිසිසේත් ම පලාත් බද ප‍්‍රශ්නයන්ට නොවේ. සෑම රටකම කම්කරු පන්තීන් මෙන්ම ඔවුන් ද මුහුන දෙන්නේ, වැඩෙන තුන්වන ලෝක යුද තර්ජනයකට හා 1930 ගනන්වලින් මෙපිට ගැඹුරුව මතු වී තියුනු වන ලෝක ධනවාදයේ අර්බුදය විසින් ලංකාවේ ආර්ථිකය ද අඹරවා දමා ඇති තත්වයකට ය.

යුකේ‍්‍රනයේ ඇමරිකාව හා ජර්මනිය ඇතුලු බටහිර බලයන්ගේ පිටුබලය ඇතිව නාසිවාදීන් ඇතුලු දක්ෂිනාංශය කුමන්ත‍්‍රනයකින් ආන්ඩුවක් පිහිටුවීමට ගත් පියවරයන්ගෙන් අවුලුවන ලද්දේ, රුසියාව සමග ගැටුමක් අද්දරට යාම හා න්‍යෂ්ටික බලය යොදා ගනිමින් කෙරෙන යුද ව්‍යසනයක් තුලට ලෝකය ඇදගෙන යන තත්වයකි. එක්සත් ජනපදය ඉවබව නැතිව කි‍්‍රයාවට දමන්නේ 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු මිලිටරි සුපිරි බලය ද යොදාගනිමින් ලෝකය මත ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ න්‍යාය පත‍්‍රයයි. (බලන්න: යුකේ‍්‍රනයේ අර්බුදය)

ආසියානු පැසිෆික් කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනය රාජ්‍යතාන්ති‍්‍රකව හුදකලා කරමින් මිලිටරිමය වටලෑමක් සිදු කරන්නේ එරට නැග්ම යට කර ලාභ ශ‍්‍රම තටාකයක් ලෙස පවත්වා ගැනීමේ සැලසුම් ඇතිවය. මෙම සැලසුම් අවුලුවන්නේ යුද්ධයේ තර්ජනය ම ය.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය සමයේ මානව අයිතීන් කඩකිරීම පිලිබඳව වෝදනා ඇවිස්සීම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ වොෂිංටනයට හා බටහිරට එරෙහිව ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමී කතා වැපුරුව ද ඔහු අඟවා ඇත්තේ ඇමරිකාව සමග සමහන්වීමට ඇති කැමැත්තය.

අධිරාජ්‍ය විරෝධී බොරු පූච්චානම් කතාවලට අමතරව මැතිවරන නීති විවෘතව උල්ලංඝනය කරමින් සහ රාජ්‍ය හා මැර බලය යොදාගනිමින් සිය විරුද්ධවාදීන්ට විරුද්ධව ප‍්‍රචන්ඩ කි‍්‍රයා ඇවිලවීම සහ රාජ්‍ය සම්පත් යහමින් පාවිච්චි කරමින් මැතිවරන අල්ලස් ලබාදීම ආදිය මගින් බලාත්කාරයෙන් ඡන්ද කඩාගැනීමේ ප‍්‍රයත්නයක රාජපක්ෂ ආන්ඩුව යෙදී සිටි. ඒ සිය ආන්ඩුවේ ප‍්‍රතිගාමී දේශපාලන හා ආර්ථික පිලිවෙත්වලට මහජන වරමක් ලැබුනු බව කියාපාමින් එම පිලිවෙත් ද එය හා බැඳුනු වැඩකරන ජනයාගේ ජීවන මට්ටම්වලට එරෙහි ප‍්‍රහාර තීව‍්‍ර කරනු පිනිස ආන්ඩුවේ අත් ශක්තිමත් කරගැනීමටයි.

එජාපයට ද දෙමල ධනපති පන්තියේ දෙමල ජාතික සන්ධානයට ද ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායික උවමනාකම්වලට ගැටගැසීමට මොනම චකිතයක් වත් නැත. නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ වම්මුන් දැනටමත් ලංකාවේ මානව අයිතීන් රැකීමේ මුවාවෙන් ඇමරිකාව සමග පෙල ගැසීමට ඉඟි කර තිබේ.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මානව හිමිකම් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත්තේ ලංකාවේ යුද අපරාධ ගැන හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන කැක්කුමකින් නොවේ. චීනයට එරෙහි යුද සූදානමේ යෙදී සිටින වොෂිංටනයට රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනය සමග සමීප සම්බන්ධකම් වර්ධනය කරමින් ගෙනයන පිලිවෙතට තිත තැබීමට උවමනාය.

ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ඇමරිකානු යෝජනාව මැදිකරගෙන ව්‍යාජ අධිරාජ්‍ය- විරෝධී හඬ තලමින් දෙමල විරෝධී වර්ගවාදය අවුස්සයි. ඒ සමගම රාජපක්ෂ ආන්ඩුව උතුරු පලාතේ එල්ටීටීඊය යලි සංවිධානගතවීම ගැන ප‍්‍රචාරය කරමින් බිහිසුනු යුද සමයේ දී කි‍්‍රයාත්මක කලාට සමානව මිලිටරිය යොදාගෙන ගම් වැටලීම්, ගෙන්ගෙට සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම් අරඹා ඇත. උතුරු නැගෙනහිර මිලිටරි මර්දනය දැඩි කිරීම සමග දෙමල විරෝධී වර්ගවාදය උත්සන්න කිරීමේ නියම ඉලක්කය සිංහල-දෙමල-මුස්ලිම් කම්කරු පන්තිය මැඩලීම යයි සසප අනතුරු අඟවා සිටී.

දැනටමත් ජීවන තත්වයන්ට එල්ල කර ඇති ප‍්‍රහාර, ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කිරීම්, නිදහස් සෞඛ්‍ය සේවය ක‍්‍රමානුකූලව අතුගා දැමීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලීම නිසා කම්කරුවන්ගේ, දුගීන්ගේ හා සිසුන් ඇතුලු තරුනයන්ගේ අරගල පිපිරී එන ගිනි කන්දක් උඩ රාජපක්ෂ වාඩිවී සිටී. පලාත් සභා දෙකේ මැතිවරන මැද්දේම රාජපක්ෂ ධීවරයන්ගේ තෙල් සහනාධාරයට කෙටේරිය එල්ල කර ඇති අතර දශක ගනනක් රජයේ සේවකයන් භුක්ති විඳි විශ‍්‍රාම පාරිතෝෂිකය අතුගා දමන්ට තීරනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව ඉදිරියට සූදානම් වෙන ප‍්‍රහාර ගැන ඉඟියකි.

කම්කරු පන්තිය වාර්ගිකව බෙදා, දුර්වල කර ඔවුන්ගේ හා දුගීන්ගේ අයිතීන්ට ප‍්‍රහාර එල්ල කිරීමේ ඉතිහාසයක් ඇති ධනපති පන්තියේ වත්මන් ආන්ඩුවට වර්ගවාදී යුද්ධය අවසන් වුව ද වාර්ගික විලෝපනයන් ඇති කිරීම අවශ්‍යව ඇත්තේ මේ ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ය. පොලිස් රාජ්‍ය පියවර තර කරන රාජපක්ෂ ආන්ඩුව එය තුලම සිටින හෙල උරුමය හා ජාතික නිදහස් පෙරමුන බඳු වර්ගවාදීන් ද අනෙක් අතින් ෆැසිස්ට් පන්නයේ බොදු බල සේනා, සිහල රාවය හා රාවනා බලකාය වැනි ප‍්‍රහාරක කන්ඩායම් ද දෙමල ජනයාට අමතරව මුස්ලිම් සුලුතරයට ද කි‍්‍රස්ති‍්‍රයානි ආගමිකයන්ට ද එරෙහිව උසිගන්වා ඇත.

ආන්ඩුවේ ඉහවහා ගිය දූෂනයට හා වංචාවලට එරෙහිව මොරදෙන එජාපයට රාජපක්ෂගේ ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති සමග මූලික මතභේදයක් නැත. කම්කරුවන් හා පීඩිතයන් මැඩීමේ ද යුද්ධය ඇවිලවීමේ ද ලේවැකි වාර්තාවක් ඇති මෙම පක්ෂය හුදෙක් තැත් කරන්නේ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ගසාකෑමටයි. නසසප හා එසප එජාපයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුදු රෙදි පොරවමින් එහි ව්‍යායාමට කර දී සිටිති.

රාජපක්ෂ ආන්ඩුවේ ජීවන තත්වයන්ට එරෙහි ප‍්‍රහාරයන්ට විරුද්ධව කම්කරු පන්තියේ හා සෙසු පීඩිතයන්ගේ අරගල වැඩෙන තතු යටතේ නසසප, එසප සහ පෙසප වැනි ව්‍යාජ වම්මු වෘත්තිය සමිතිවලට යලි පන දී ඉදිරියට ගැනීමට යෝජනා කරති. ඔවුන්ගේ කියාපෑම්වලට ප‍්‍රතිකූලව අද වෘත්තිය සමිතිවල කි‍්‍රයාකලාපය වී ඇත්තේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි කම්කරු පන්තියේ අරගල හිරකර තබාගනිමින් එම ප‍්‍රහාර කම්කරුවන් මත කඩාපාත් කිරීමට සහයෝගය දීමයි. එම තතු තුල නසසප, එසප සහ පෙසප ප‍්‍රයත්නයේ එල්ලය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ මොන යම් හෝ ස්වාධීන අරගලයක් වලකාලීමයි.

වර්ධනය වන දේශපාලන අර්බුදය මධ්‍යයේ, සංස්ථාපිතයේ ජනමාධ්‍ය ද අධිරාජ්‍ය-ගැති මධ්‍යම පන්තික බුද්ධිමතුන් ද ජවිපෙට මුක්කුව දී පෙරට වඩම්මා ගැනීමට තැත් කරයි. දෙමල විරෝධී වර්ගවාදී ඉතිහාසයක් ද ෆැසිස්ට් මිනීමරු කි‍්‍රයාවන් පිලිබඳ වාර්තාවක් ද ඇති ජවිපෙ ආන්ඩුවට එරෙහි “හොඳ විපක්ෂයක්” ලෙස හුවා දැක්වේ. ආන්ඩුවට එරෙහි විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන්ට උවමනා යයි ජවිපෙ ද කියා සිටී.

එජාපය අර්බුදයෙන් වැහැරී ඇති තතු තුල වැඩකරන ජනයා හිර කිරීමට තවත් පක්ෂයක් ධනපති පන්තියට පෙරට වඩම්මා ගැනීමට උවමනා වී ඇත: ජවිපෙ හුවා දැක්වීම ඇරඹී ඇත්තේ පෙබරවාරි මාසයේ දී “ඉදිරි දැක්ම” නමින් එය අධිරාජ්‍ය-ගැති ධනපති ක‍්‍රමය පවත්වා ගැනීමේ සිය වැඩපිලිවෙල ප‍්‍රසිද්ධ කිරීමත් සමග ය.

මෙම සියලු ධනේශ්වර පක්ෂවලට හා ඒවායේ පන්දම්කාර ව්‍යාජ වාම පක්ෂවලට එරෙහිව සසප සටන් වදින්නේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මතය. සසප කි‍්‍රයාමාර්ගය සමාජවාදී වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් -- ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් -- ලංකාව තුල බලයට ගෙන ඒම ය. එය දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ද ලෝක සමාජවාදී කි‍්‍රයාමාර්ගය සඳහා ද අරගලයේ කොටසකි.

කම්කරු පන්තිය සියලු ධනපති පක්ෂවලින් දේශපාලනිකව ස්වාධීන කොට මෙම විප්ලවවාදී වැඩපිලිවෙල සඳහා බලමුලු ගැන්වීමට සසප සටන් කරයි.

සසපට ඡන්දය දෙන්න.

සසපට හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට බැඳෙන්න.

Share this article: