සමනල සංධ්වනිය : මානව පේ‍්‍රමය ගූඪ හැඟුම් සමුදායකට සිඳවන චිත‍්‍රපටයක්

සමන් ගුනදාස විසිනි, 2014 මැයි 12

ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම සිනමා නිර්මානය වන සමනල සංධ්වනිය ට වස්තු විෂය වී ඇත්තේ ස්ත‍්‍රී‐පුරුෂ පේ‍්‍රමය යි. ඔහුගේ පූර්ව නිර්මානයන් වන “වෙද හාමිනේ” හා “දඬුබස්නාමානය” වැනි ටෙලි නාට්‍ය තුලින් ද, “අග්නිදාහය” හා “ගරිල්ලා මාකටිං” වැනි චිත‍්‍රපට තුලින් ද, ඒවායේ සීමාසහිතකම් තිබියදී පවා, පේ‍්‍රමයේ රමනීයත්වය යම් අපූර්වත්වයකින් ඉදිරිපත් කිරීමේ සිය ප‍්‍රතිභාව ප‍්‍රකට කල කලාකරුවෙකු වූ චන්ද්‍රසිරි තම නව නිර්මානයේ දී මුහුන දුන් කලාත්මක අභියෝග කෙතෙක් දුරට ජයගෙන ඇත්දැයි විමසා බැලීම වටී.

සමනල සංධ්වනියේ පුන්‍යා (යශෝධා විමලධර්ම)

සමනල සංධ්වනිය දිග හැරෙන්නේ මෙසේය: පාසැල් යන යොවුන් වියේ පසුවන වාදීශ (සූර්යා ගයාරුවන්), යමක් කමක් ඇති පවුලක ඉපැදුනු, එහෙත් කුඩා කල තම මව අහිමිවූ, සංගීතයට ඇලුම් කල නිර්මානශීලී ශිෂ්‍යයෙකි. අහම්බයකින් තම අතට පත්වන අන්‍ය පෙම් යුවලකගේ හසුනක් කියවන ඔහු, එහි පේ‍්‍රමාන්විතභාවයෙන් සසල වෙයි. ලිපිය ලියූ පුන්‍යා (යශෝධා විමලධර්ම) තම පෙම්වතා හමුවීමට යොදා ගෙන තිබූ උද්‍යානය, දිනය සහ වේලාව ලිපියෙන් ම දැන ගන්නා වාදීශ, ඇයව දැක බලා ගැනීමටත් ලිපිය නැවත ඇයටම ලබා දීමටත් සිතා ඇය හමු වීමට උද්‍යානයට පැමිනේ.

පුන්‍යා දැක බලා ගන්නා නමුත්, එහිදී ඇතිවූ අනපේක්ෂිත සිද්ධි දාමයක් හේතුවෙන් ඇය සමග කතාබස් කිරීමට හෝ ලිපිය ලබා දීමට හෝ වාදීශ අපොහොසත් වෙයි. ඉන් අනතුරුව ඈ සිටිනා ස්ථානයක් සොයා ගැනීමට ඔහු දරන සියලු ප‍්‍රයත්නයන් අසාර්ථක වන අතර තමාට වඩා වයසින් මුහුකුරා ගිය එම අයස්කාන්ත ලලනාව වෙත සිතින් පේ‍්‍රම කිරීමට පෙලඹෙයි.

පසුකාලීනව සංගීතඥයකු හා ගායකයකු ලෙස ප‍්‍රකට වන වාදීශ මෙම අප‍්‍රකාශිත පේ‍්‍රමය තුල බන්ධනගත වෙයි. පවුලේ බලපෑම මත කෙරෙන විවාහයෙන් දරුවකු ද සිටිය ද ඔහු පුන්‍යා කෙරෙහි උපන් පේ‍්‍රමයෙන් මුසපත්ව මදු විතට යට වෙයි. චිත‍්‍රපටය පුරා දිවෙන “ඉකි ගසා හඬන අතීතයක කඳුලු එක්ක ගනුදෙනු කරනා, මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා” නම් වූ අපූරු තේමා ගීතයෙන් වාදීශ ගේ මෙම මනෝභාවය ප‍්‍රකට කෙරේ.

අවසානයේ දී, වසර ගනනාවකට පසු, තරුන පුන්‍යා පලමු වරට දුටු උද්‍යානයේදීම වියපත් පුන්‍යා වාදීශ ට අහම්බයෙන් හමුවේ. හමුදා නිලධාරියෙකු වූ එම පෙම්වතා සමග විවාහ වී යුග දිවියක් ගත කල බවත්, සිවිල් යුද්ධයේ දී ඔහු මිය යාමෙන් පසු තනිකඩව සිටිමින් තම ජීවිතය ඔහු වෙනුවෙන් කැප කරමින් සිටින බවත් පුන්‍යා පවසයි. පෙරලා වාදීශ ද ලිපිය පිලිබඳ සිද්ධිය අනාවරනය කරමින් එය ඇය අතට පත් කිරීමට නොහැකිවීම පිලිබඳව සමාව ඉල්ලා සිටී. තම ජීවිත වෘතාන්තයන් එකිනෙකාට හෙලි කර ගැනෙන මේ දර්ශනයෙන් සමනල සංධ්වනිය කූටප‍්‍රාප්තියකට පැමිනේ.

සැබැවින්ම, තම අතට පත්වන ලිපිය හරහා යොවුන් වාදීශ ගේ පේ‍්‍රමය ලියලා වැඩී එන ආකාරය ඉදිරිපත් කිරීමේ දී චන්ද්‍රසිරි සිය කලාත්මක ප‍්‍රතිභාව මනාව ප‍්‍රකට කරයි. පුන්‍යාගේ පසුබිම් කථනය සමග ඉදිරිපත් කෙරෙන පෙම් හසුනේ අන්තර්ගතය, එනම් පේ‍්‍රමය පිලිබඳ ඇය දරන අදහස හේතුවෙන්ම වාදීශගේ සිත තුල පමනක් නොව, පේ‍්‍රක්ෂක අප තුලද ඇය දැක ගැනීමේ කුකුස හා බලාපොරොත්තුව දැල්වෙයි. උද්‍යානයේ දී වාදීශ මෙන්ම අපද දකින්නේ එම ලිපියේ අන්තර්ගතයටම ගැලපෙන පරිනතබවකින් හා සුන්දරත්වයකින් හෙබි තැන්පත් ලලනාවකි. කුඩා කාලයේ තම මව අහිමි වීමෙන් ඇතිවූ මාතෘ පේ‍්‍රමයේ රික්තය හා තම ආධ්‍යාත්මය තුල සැදී වැඩී එන කලාත්මක සංවේදීභාවය හේතුවෙන් නව යොවුන් වාදීශ යොවුන් ඇයට ආකර්ෂනය වීම තුලින් පේ‍්‍රක්ෂකයාට දැනෙන සියුම් මනෝභාවයන් එම දර්ශන මාලාවේ අන්තර්ගත සෞන්දර්යාත්මක සත්‍යය ප‍්‍රකට කරයි.

එහෙත් වාදීශ නව යොවුන් විය ඉක්මවමින් වැඩිහිටි පුරුෂයෙකු බවට පත් වීමේදී පුන්‍යා කෙරෙහි වූ පේ‍්‍රමය ඒ සා බලගතු කම්පනයක් වන්නේ කෙසේද යන්න පේ‍්‍රක්ෂකයාට ඒත්තු ගැනෙන ආකාරයකින් කලාත්මකව ඉදිරිපත් කිරීමට චන්ද්‍රසිරි අපොහොසත්වේ. මානුෂික පේ‍්‍රමය හුදු ගූඪ හැඟුම් සමුදායක් ලෙස දැක්වීමට දරන උත්සාහය මෙම චිත‍්‍රපටයේ දෙවන භාගය පුරා දිවෙන මුඛ්‍ය ලක්ෂනයයි. පේ‍්‍රමයේ මෙතෙක් එලි පෙහෙලි නොකල යම් අඳුරු අහු මුලු ඇතිබව සැබෑය. කලාකරුවාගේ කාර්යභාරයමත් මිනිස් සබඳතාවන්හි අඳුරු අහුමුලු වලට තම සෞන්දර්යාත්මක ආලෝක ධාරාවන් පතිත කිරීම හැර පේ‍්‍රමය වැනි සංකීර්න මිනිස් සබඳතා සමස්තයක් ලෙස ගූඪත්වයේ ගිල්වීම නොවේ.

චිත‍්‍රපටයේ මෙම දුර්වලතාව මතු වන්නේ එහි එන චරිත, විශේෂයෙන්ම වාදීශගේ චරිතය, වඩාත් සංයුක්තව ගොඩ නැංවීමට අධ්‍යක්ෂවරයා දක්වන අපොහොසත්භාවයෙනි. ඉහත ගීතය හැර, ඔහුගේ ජීවිතයේ ප‍්‍රධානතම අංශයක් වන සංගීත නිර්මානකරනයේදී හෝ තම භාර්යාව සහ දරුවා සමග සම්බන්ධතාවයේදී හෝ පුන්‍යා පිලිබඳ හැඟීම ඔහුට බලගතු ලෙස බලපාන ආකාරය වියමනක් සේ ගෙතීමට චන්ද්‍රසිරි අසමත් වේ.

තම පෙම්වතාගේ අකල් මරනය නිසා කම්පිතව සිය ජීවිතය පුරා ඒ පිලිබඳව ශෝකවන්නියක ලෙස නිරූපනය කෙරෙන පුන්‍යා ගේ චරිතයට ද පේ‍්‍රක්ෂකයා හට සමීප විය නොහැක්කේ ඇය ගේ සමාජ වට පිටාව තුලින් ඇගේ චරිතය ගොඩ නැංවීමට චන්ද්‍රසිරි දක්වන අසමර්ථතාවය හේතුවෙනි. ඇගේ ස්වාමි පුරුෂයා ඇයට අහිමි කෙරෙන වර්ගවාදී කුරිරු යුද්ධය පිලිබඳව පවා ඇයට ඇත්තේ නොතැකීමකි. එය එසේ වූයේ කෙසේද යන්න දැන ගැනීමටවත් පේ‍්‍රක්ෂකයාට අවකාශ නැත.

චන්ද්‍රසිරි සිය නිර්මානයෙහි එන පේ‍්‍රමය පිලිබඳව මෙසේ කරුනු දක්වයි:

“සමනල සංධ්වනියේ එන පේ‍්‍රමය එහි එන චරිතවලට කිසිදු විටෙක භෞතිකව සාක්ෂාත් කරගත හැකි පේ‍්‍රමයක් නොවේ. කිසිවිටෙක අත්පත්කරගත හැකි පේ‍්‍රමයක් නොවේ. එය මිනිසුන් ඇතැම්විට තමන්ගේ ජීවිත කාලයක් මුලුල්ලේ තම හදවත් තුල සඟවා තබා සිටින කිසිවිටෙක ප‍්‍රකාශ නොකල පේ‍්‍රමය විය හැකියි. ඒ වගේම ඔවුන් මනසින් පමනක් ස්පර්ශ කරන මේ පේ‍්‍රමය තුල දියුනු මානවයා සතු ඉවසීම, පරිත්‍යාගය. මුදිතාව, මෛති‍්‍රිය, කරුනාව දෝර ගලමින් තිබෙනවා ඔබට දැකිය හැකියි.”

ඔහු සිය කෘතිය මෙසේද හඳුන්වයි: “ඒක තමන්ට කිසි සේත්ම සාක්ෂාත් කල නොහැකි පේ‍්‍රමයක් වෙනුවෙන් ජීවිතය කැපකල මිනිසකුගේ භාව ගීතයක්. තවත් පැත්තකින් තමන්ගෙ ජීවිතයෙන් කොටසක් නොවේ. මුලුමහත් ජීවිතයම ආදරය බවට පත්කරගත් වියපත් කාන්තාවකගේ කතාවක්.”

පේ‍්‍රමය අතිශයින්ම සංකීර්න මනෝභාවයක් බව සැබෑය. අනාදිමත් කලක සිට කලා කෘති සඳහා මෙම මනෝභාවයන් ප‍්‍රස්තුත වී ඇත්තේ මෙම මනෝභාවයන් පසක් කර ගැනීමට කලාකරුවන් දරන ප‍්‍රයත්නය නිසාය. එසේ වුවත් ආදරය හා පේ‍්‍රමය හට ගන්නේත් වැඩෙන්නේත් පවතින්නේත් ක්ෂය වන්නේත් සමාජීය මිනිසා තුල මිස මෙලොවින් පරිබාහිර අධිභෞතික අවකාශයක නොවේ. චන්ද්‍රසිරි පවසන මනසින් පමනක් ස්පර්ශ කරන පේ‍්‍රමයෙහි වුවද මුල් ඇත්තේ මනසේ නොව භෞතික ලෝකයේය. එබැවින් පේ‍්‍රමය වටහා ගැනීම සඳහා හැරිය යුත්තේ පේ‍්‍රම කරන්නා ද කොටසක් වන භෞතික ලෝකයටම ය.

සමනල සංධ්වනියේ වැඩිහිටි වාදීශගේ හෝ පුන්‍යාගේ පේ‍්‍රමය පේ‍්‍රක්ෂකයා චලනය කිරීමට සමත් නොවන්නේ එම භෞතික ලෝකය සහ චරිත අතර සම්බන්ධතාව එසේ ගොඩ නොනැගීම හේතුවෙනි. අධ්‍යක්ෂකවරයා පෙලඹී ඇත්තේ, ලෝක පරිමානව සමාජ-ආර්ථික අර්බුදයෙන් මැඩුනු සමාජයක සමාජ ආර්ථික වටාපිටාවෙන් උගුලුවා ගැනෙන පැතලි චරිත හරහා පේ‍්‍රමය පිලිබඳ “අනුවේදනීය” කතා පුවතක් ගෙතීමට පමනකි.

චන්ද්‍රසිරි තම ආකෘතිය සකසා ගැනීමේ දී කතා නායකයා ගායකයෙකු හා සංගීතඥයකු බවට පත් කොට චිත‍්‍රපටයට යම් සිත් ඇදගන්නාවූත් සංගීතමයවූත් වටාපිටාවක් ලබා දීමෙන් චිත‍්‍රපටයේ ඉහත දුර්වලතා ආවරනය කර ගැනීමට තැත් කොට ඇති බවක් හැඟෙයි. එමෙන්ම චිත‍්‍රපටයේ අන්තර්ගතයෙන් පේ‍්‍රක්ෂකයා මුලුමනින්ම අපසරනය කරන, උද්‍යානය තුල මැරවරයින් දෙදෙනා ආශි‍්‍රත ජවනිකාව හා පුන්‍යාගේ නේවාසිකාගාරයේ හිමිකරු ගැහැනු යට ඇඳුම් සොරා ගෙන තබා ගැනීම පිලිබඳ ජවනිකාව නිර්මානය තුලට රුවා ඇත්තේ ද මෙම දුර්වලතා වසන් කර ගැනීමේ අටියෙනි.

අනෙක් අතට, චරිත විකාශනයේ පවතින අසංයුක්තභාවය හේතුවෙන් අවසානයේ සමස්ත අන්තර්ගතයේම ව්‍යාජභාවයක් ජනිත කෙරී ඇත. “ව්‍යාජ අදහසකට, ව්‍යාජ අන්තර්ගතනයට පරිපූර්න ආකෘතියක් සොයා ගත නොහැක. එමෙන්ම එවැන්නකට ප‍්‍රගාඪ ආකාරයකින් රසිකයා සෞන්දර්යාත්මකව චලනය කල නොහැක” යනුවෙන් ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී කලා විචාරක ඇලෙක්සැන්ඩර් වොරන්ස්කි පැවසූ අදහස සමනල සංධ්වනියට බොහෝ සෙයින් අදාලවේ.

චන්ද්‍රසිරිගේ පෙර නිර්මාන සියල්ලෙන්ම පාහේ ප‍්‍රකාශිත වූ සිංහල‐බෞද්ධ ස්වෝත්තමවාදී මන:කල්පිත ඉතිහාසය ඔජ වැඩීමේ දුර්ගුනය සමනල සංධ්වනිය තුල ප‍්‍රකට නොකෙරුන ද, කලාකරුවෙකු සතු විය යුතු මූලික ගුනාංගය, එනම් යථාර්ථය වෛෂයිකව සහ සෞන්දර්යාත්මකව ගවේෂනය කිරීම සඳහා, වෙහෙස නොබලා කැපවීමේ ගුනය, සමනල සංධ්වනිය තුලින් ද ප‍්‍රකාශයට පත් නොවේ. කෙසේ නමුත්, නව යොවුන් වාදීශ ගේ චරිතයට පන පොවන සූර්යා ගයාරුවන් ගේ විශිෂ්ට රංගනය ද චිත‍්‍රපටය පුරා අධිකාරිත්වය දරන දර්ශන රුවන් දිසානායකගේ නිර්මානශීලී සංගීතය ද පේ‍්‍රක්ෂක මනසේ දිගු කාලයක් රැඳී පවතිනු ඇත.

Share this article: