ජේම්ස් කෝගන්ගේ කථාව: එක්සත් ජනපදයේ ආසියාවට හැරීම හා ආසියාව තුල යුද්ධයේ තර්ජනය

James Cogan: The US pivot and the threat of war in Asia

2014 මැයි 9

අප මෙහි පල කරනුයේ ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ජේම්ස් කෝගන් විසින් මැයි 04 දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ ජාත්‍යන්තර මැයි දින රැුලියට කරන ලද කථාවයි.

මෙම මැයි රැලියේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් කරයි. යුරෝපයට නොඅඩු තරමින් ආසියාව, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක් ඇවිලිය හැකි වෙඩිබෙහෙත් ගබඩාවක් බවට පරිවර්තනය වී ඇත. පෙර නොවූවිරූ මට්ටමක අදූරදර්ශී භාවයකින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ජපානයේ හා ඕස්ටේ‍්‍රලියාවේ පූර්න සහාය ඇතිව ක‍්‍රියාවට නගමින් සිටින්නේ, චීනය සමග මිලිටරි ගැටුමක් අවුලුවා ලීමට තර්ජනය කරන න්‍යාය පත‍්‍රයකි.

ඔබාමා පාලනාධිකාරිය 2011 නොවැම්බරයේදී ආසියාවට “හැරීම” හෙවත් ප‍්‍රතිතුලනයේ පිලිවෙත නිවේදනය කල අතර අන්සියල්ලටමත් වඩා මෙයින් ඉලක්ක කෙරුනේ චීනය යි. භූගෝලීයකෘත ධනපති නිෂ්පාදනය වෙතට චීනය මුලුමනින්ම ඒකාග‍්‍රවීම, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට ද ප‍්‍රමුඛතම ලාභ-ශ‍්‍රම නිෂ්පාදන මධ්‍යස්ථානය බවට ද චීනය පරිවර්තනය කලේ ය.

සිය ඓතිහාසික ආර්ථික පරිහානිය යලි හැරවීමට දරන පරිශ‍්‍රමයේ කොටසක් ලෙස එක්සත් ජනපදය, 2020 වසර වන විට තම ගුවන් හා නාවික බලයෙන් සියයට 60ක් ආසියාව තුල සංකේන්ද්‍රනය කරමින් මෙම දැවැන්ත ලාභ ශ‍්‍රම මූලාශ‍්‍රය හා බිලියන 1.3ක ජනගහනයක් සහිත වෙලඳපොලේ පාලනය අත්කර ගැනීමට අදහස් කරයි.

චීන ආර්ථිකයේ මූලික ක්ෂේත‍්‍ර වලින් විදෙස් ප‍්‍රාග්ධනය තවමත් බැහැරකර තිබෙන බීජින් තන්ත‍්‍රයේ පාලනයක් වෝල්වීදිය තවදුරටත් ඉවසා වදාරනු නැත. ලෝකය පුරාම මූලෝපායිකව වැදගත් අමුද්‍රව්‍ය සඳහා ගිවිසුම් ඇතිකරගැනීමට හා අනෙකුත් ප‍්‍රදේශවල ව්‍යාපාර හා ලාභ සඳහා තරග කිරීමට චීනය පදනම් කරගත් සමාගම් දරන වෑයම අවහිර කිරීමට එජ අදිටන් කර ගෙන සිටියි.

එක්සත් ජනපදය එහි “ගුවන්-මුහුදු සටන් සැලැස්මේ” කොටසක් ලෙස ආසියාව පුරා ඇමෙරිකන් මිලිටරිය ස්ථානගත කර තිබේ. ජපානය, දකුනු කොරියාව හා පැසිෆික් කලාපය පුරා දැනට පිහිටුවා තිබෙන එක්සත් ජනපද කඳවුරුවලට අමතරව ඔබාමා පාලනාධිකාරිය ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව හා දැන් පිලිපීන්වල නව මිලිටරි මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

බීජිනය මිලිටරි තර්ජනයක් එල්ල කරන්නේයැයි එක්සත් ජනපදය තීන්දු කරන්නේ නම්, චීනය එල්ල කරගත් ව්‍යසනකාරී මිසයිල් හා ගුවන් ප‍්‍රහාර මාලාවක් එය විසින් දියත් කරනු ඇති අතර චීන ආර්ථිකයේ ගෙල සිරකරමින් එයට බලශක්ති ප‍්‍රභවයන් අහිමිකෙරෙන ආකාරයෙන් ප‍්‍රධාන මුහුදු මාර්ගවලට නාවුක බාධක පනවනු ඇත.

එක්සත් ජනපදයේ අරමුනු, අන්තර් පැසිෆික් හවුලක රූපයෙන් සමස්ත ආසියාව පුරා ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ගිවිසුම් හා නීති රෙගුලාසි වලින් සමන්විත වී තිබේ. එජ අධිරාජ්‍යවාදයට අවශ්‍යව ඇත්තේ හුදෙක් චීනය පමනක් මුලුමනින්ම යටත් කර ගැනීමට ඔබ්බෙන්, ඇමෙරිකාව පාලනය කරන මූල්‍ය හා සංගත කතිපයාධිකාරයේ ආඥාවන්ට සමස්ත කලාපයම යටත් කර ගැනීම යි.

එජ රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රයෝගයේ, ආර්ථික වසයෙන් මැඩවීමේ හා යුද සූදානමේ වා සුලිය තුලට සෑම රටක්ම ඇදගෙන තිබේ.

ආසියාව පුරාම පාලක පන්තීන් ස්වාධීනත්වයේ සියලු සලුපිලි ගලවා දමා මිලිටරිමය වසයෙන් චීනය වැටලීමේ එජ මූලෝපාය සමග පෙල ගැසෙමින් සිටී. එජ පිටුබලය සහිතව පිලිපීනය දැන් චීනය ද අයිතිවාසිකම් කියන භූමිභාගයන් වෙතට ආක‍්‍රමනකාරී ලෙස අයිතිවාසිකම් කියයි.

එජ සිය ගෝලීය අධිකාරය පවත්වා ගැනීම මත ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා රැඳී පරදුවට තබා ඇති ඕස්ටේ‍්‍රලියානු ධනපති පන්තිය, ආසියාවට හැරීමේ මිලිටරි හා දේශපාලන සහකාරයා වසයෙන් තෝරාගෙන තිබේ. 2011 වසරේදී කැන්බරාහිදී සිය හැරීම නිවේදනය කිරීමට ඔබාමා ගත් තීන්දුව මගින් ඕස්ටේ‍්‍රලියාවේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කෙරුනි. ඕස්ටේ‍්‍රලියානු මිලිටරිය එජ ගුවන්-මුහුදු සැලසුම්වලට මුලුමනින්ම අන්තර්ග‍්‍රහනය කරගෙන තිබෙන අතර දැන් උතුරින් සහ බටහිරින් නව එක්සත් ජනපද මිලිටරි කඳවුරු ස්ථාපිත කර තිබේ. තමන්ගේ පිටුපසින් ආසියාවේ ඇතිවිය හැකි ඕනෑම යුද්ධයක පෙරමුනට සමස්ත ජනගහනයම ඇද දමා තිබේ.

මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය, යුද්ධය හා මිලිටරිකරනය උත්කර්ෂයට නංවමින් යුද්ධය සඳහා නව පරම්පරාව හැඩගැන්වීමටත් යුද-විරෝධී මනෝගතීන් මැඩලීමටත් ජාතිකවාදය අවුලුවමින් සිටී. එමෙන්ම එය, කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරන ප‍්‍රහාරවලට හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන් කෙරෙහි වැඩෙමින් ඇති මහජන විරුද්ධත්වය බාහිර සතුරෙකුට එරෙහිව යොමුකර පීලිපැන්නවීමට උත්සාහ දරයි.

දශක ගනනාවක ආර්ථික පල්වීම හා රටතුල පවතින යෝධ අභ්‍යන්තර සමාජ ආතතීන් නිසා හෙම්බත්ව සිටින ජපාන අධිරාජ්‍යවාදය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව තමන් මත පනවා තිබූ සීමාවන් ඉවත් කරමින් සිටී. වොෂිංටනයේ සෘජු දිරිගැන්වීම ඇතුව ජපානයේ සිංසෝ අබේ ආන්ඩුව, මිලටරි වියදම් වැඩි කිරීම හා ජාතිකවාදය හා ස්වෝත්තමවාදය උසිගැන්වීම සාධාරනීකරනය කරමින් යලි වතාවක් රටේ මිලිටරි තරකිරීම් සඳහා ව්‍යාජ චීන තර්ජනයක් ගැන හඬ නගයි.

කොරියානු අර්ධද්වීපය තුල පවත්නා අස්ථාවරත්වයේ සිට පිලිපීනය හා චීනය අතර මිලිටරි ආරාවුලකට ඇති සූදානාම, සෙන්කාකු/ ඩියෝයු දූපත් අරභයා ජපන්-චීන ගැටුමක් දක්වා වන සිදුවීම්වලින් ආසියානු කලාපය දැන් ඇලලී ගොස් තිබේ.

පසුගිය මාසයේ ජපානයේ සිටියදී ඔබාමා, සෙන්කාකු දූපත් අරභයා චීනය සමග ඇතිවිය හැකි ඕනෑම සන්නද්ධ ගැටුමකදී එක්සත් ජනපදය ඇමෙරිකානු මිලිටරි සහාය දෙනු ඇති බවට අබේ ආන්ඩුව වෙත කොන්දේසි විරහිත සහතිකයක් ලබා දුන්නේ ය.

මොනයම්ම සිදුවීමක් හෝ සිතාමතා නිර්මානය කල ප‍්‍රකෝපකරනයක්, කලාපය හා ලෝකයටම ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ජනනය කරමින් නියත වශයෙන්ම න්‍යෂ්ටික ගැටුමක් කරා ඇවිල යා හැකි යුද්ධයකට ක්ෂනිකව තුඩු දෙනු ඇත.

දැනට චීනයට එරෙහිව ජපානය, එජ සමග හවුල්ව සිටින අතර 1941 දෙසැම්බරයේ පැසිෆික් යුද්ධය පිපිරීමට තුඩුදුන් ඔවුන් අතර පසමිතුරුකම් අලු යට ඇති ගිනි පුලිඟු ලෙස පවතියි. වොෂිංටනය නොව තෝකියෝව විසින් ආසියාවේ ආධිපත්‍ය දරනවා දැකීමේ අභිලාෂයෙන් ජපාන මිලිටරිවාදීන්ගේ නව පරම්පරාවක් ඉස්මත්තට පැමින ඇත. චීනයට එරෙහිව එජ-ජපාන ඝට්ටනය, කලාපය තුල ප‍්‍රධාන අධිරාජ්‍යාවාදී බලවතුන් දෙදෙනා අතර සුවිශේෂ හැකියාවකින් යුතු විවෘත මිලිටරි ගැටුමක් කරා යන ගමනේ යාම දක්වා වන පූර්වරංගයක් පමනි.

තුන්වන ලෝක යුද්ධයක් වෙතට ලුහුටා යාම වැලැක්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. ආසියාවේදී අප කතාකරන්නේ, භූගෝලීයකෘත නිෂ්පාදනයේ අනුග‍්‍රහය යටතේ කලාපයම කාර්මීකරනය කිරීම තුලින් නිර්මානය කර ඇති කම්කරුවන්ගේ යෝධ නව බලඇනිය පිලිබඳව යි. මෙය චීනයේදී පමනක් මිලියන හාරසීයයකි, ඉන්දියානු උපමහාද්වීපයේදී මිලියන සිය ගනනකි, දකුනු කොරියාවේ මිලියන දහයක් ද ඉන්දුනීසියාව, ඉන්දු චීනය හා වයඹ දිග ආසියාව පුරා තවත් විශාල ප‍්‍රමනයකි.

සෑම රටකම, සමස්ත කම්කරු පන්තිය අතරේ යුද්ධය හා සමාජ අසමානතාවට එරෙහි පුලුල් විරුද්ධත්වයක් පවතී. එහෙත් මෙම විරුද්ධත්වය ප‍්‍රකාශ වීමට, පවත්නා දේශපාලන පක්ෂ හා දේශපාලන සංස්ථාපිතය තුලින් මාවතක් ඇත්තේ නැත. වරෙක තමන් කම්කරු පන්තිය නියෝජනය කරන්නේයැයි කියා පෑ සංවිධාන අධිරාජ්‍යවාදයේ හා ධනපති ප‍්‍රභූවේ නියෝජිතයින් ලෙස විවෘතවම සේවය කරයි.

චීනයේදී, සමාජවාදය සමග මෙලොව සම්බන්ධයක් නැති ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, ලෝකයේ විශාලතම ලාබ ශ‍්‍රම වෙලඳපොල තුල මිලියන සියගනනක් කම්කරුවන් සූරාකෑමේ පිලිවෙත අනුගමනය කරයි. එම තන්ත‍්‍රය නියෝජනය කරන්නේ, ධනවාදය පුනස්ථාපනය කිරීමේ දශක තුනක කාලය තුල බිහිවුනු වරප‍්‍රසාද ලත් අතිශය සුලුතර සුපිරි-ධනවත් ප‍්‍රභූ ස්ථරයක අවශ්‍යතාවන් ය. එය ඇමෙරිකානු ධනවාදයට ද වඩා තමන්ගේ දරුනු එදිරිවාදියා ලෙස සලකන්නේ චීන කම්කරු පන්තිය යි.

මෙම තත්වය ආසියානු-පැසිෆික් කලාපයටම පොදුවූවකි. කම්කරුවන්ට හා තරුනයින්ට දේශපාලන හඬක් නැත. පැරනි ස්ටැලින්වාදීන්, වෘත්තීය සමිති, සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හා ධනපති ජාතිකවාදී නායකයින්, යුද්ධය සූදානම් කරන තත්වය තුල, කම්කරු පන්තිය දුර්වල කර හා බෙදාලීමේ අරමුන ඇතිව අතිශය ප‍්‍රතිගාමී ජාතිකවාදය හා ස්වෝත්තමවාදය අවුස්සමින් සිටී.

චීනයේ, ජපානයේ, එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, ඕස්ටේ‍්‍රලියාවේ, පිලිපීනයේ හා ආසියානු පැසිෆික් කලාපයේ සෑම කොටසකම කම්කරුවන්, ලෝකය පුරා සිටින ඔවුන්ගේ සහකරුවන් සමග සිය අරගල ඒකාබද්ධ කිරීම මගින් කම්කරු පන්තියේ ස්වාධීන පන්ති අවශ්‍යතාවන් තහවුරු කල යුතු ය.

මෙම මැයි දින රැලියේදී, අප කම්කරුවන්ට හා තරුනයින්ට ආයාචනා කරන්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත නව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බැඳෙන ලෙස යි.

කේන්ද්‍රීය කර්තව්‍ය වන්නේ විප්ලවවාදී නායකත්වයේ හා ඉදිරිදර්ශනයේ අර්බුදය විසඳීම යි. අද දින පැවැත්වෙන රැලිය ඉදිරි මාවත පෙන්නුම් කරයි. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය, වැඩපිලිවෙල හා මූලධර්ම සහ එහි ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය මත පදනම්ව සමස්ත ආසියාව හා පැසිෆික් කලාපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛාවක් අපි ගොඩනැගිය යුතු ය.

Share this article: