ජෝසප් කිශෝර් කල කතාව: මැයි දිනය හා ඇමරිකානු කම්කරු පන්තිය

Speech by Joseph Kishore: May Day and the American working class

ජෝසප් කිශෝර් විසිනි, 2014 මැයි 10

මෙහි පලකෙරෙන්නේ, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සත්කාරකත්වයෙන් 2014 මැයි 4 වැනි ඉරිදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුනු ජාත්‍යන්තර මැයි දින රැලියට එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් කරන ලද කතාව යි.

ජෝසප් කිශෝර් කල කතාව

අද දිනයේ කථා කල හා සවන් දුන් සෑම කෙනෙකුටම ස්තුති කිරීමට මට අවශ්‍යය. එය සැබවින්ම අසාමාන්‍ය රැස්වීමක් හා ප‍්‍රතිචාරයක් විය. ලොව නන් දෙසින් සහභාගීවූ අය මේ දක්වා පල කල 500කට වැඩි ප‍්‍රකාශ කියවීම හද බැඳ ගනියි.

මෙය සම්පූර්නයෙන්ම අලුත් දෙයක් බව පැහැදිලිය. එය “ඉතිහාසය අවසාන” බවට ප‍්‍රකාශ කලවුන්ට යම් ආකාරයකට ලබා දෙන්නා වූ අතිශයින්ම තීරනාත්මක ප‍්‍රතික්ෂේප කිරීම වන අතර අද දින ඉතිහාසය ගොඩ නැගෙමින් තිබේ. මෙම රැලියට ලැබුනු දැවැන්ත ප‍්‍රතිචාරයෙන් සනිටුහන් වන්නේ කම්කරුවන් හා තරුන ජනයා අතරින් දේශපාලන විශ්ලේෂනයට හා විකල්පයකට පවතින දැවෙන අවශ්‍යතාවයයි.

“මැයි දිනය හා ජාත්‍යන්තරය” නමැති ලිපියේ 1889දී පැරීසියේ ජාත්‍යන්තර සමාජවාදී කොන්ග‍්‍රසය මැයි 1 දින නිවාඩු දිනයක් ලෙසට තහවුරු කල බව ට්‍රොට්ස්කි පැහැදිලි කරයි. “එලෙස නම් කිරීමට අවශ්‍ය වූයේ ලෝකයේ සෑම රටකම කම්කරුවන් විසින් එදින එක්වර කෙරෙන උද්ඝෝෂන මගින් එක් ලෝක මධ්‍යස්ථානයක් හා එක් ලෝක දේශපාලන නැඹුරුවක් සහිත තනි ජාත්‍යන්තර නිර්ධන පන්ති සංවිධානයක් කෙරේ නැඹුරු කර වීමට තත්වය සකස් කිරීමටය.”

අද දින මෙම රැලිය දැකීමට ලැබුනා නම් ට්‍රොට්ස්කි කෙතරම් උද්දාමයට පත්වනු ඇද් ද? රටවල් 84ට වැඩි ගනනක අය අපගේ රැලියට සහභාගි වූහ. බොහෝ ප‍්‍රදේශ වලින් මෙම රැලියට සහභාගි වීම සඳහා ඔව්හු කන්ඩායම් ලෙස ඒකාබද්ධ වූහ. අද දිනය අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ මෙහෙයවූ අරගලයන්ගේ නිර්මිතයක් වන අතර මෙහිදී කතා කල අය ජාත්‍යන්තර සමාජවාදය සඳහා වූ මෙම දීර්ඝ අරගලයේ නායකයෝ වෙති.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කි‍්‍රයාකලාපය පිලිබඳ ප‍්‍රශ්නය අද පවත්වා ඇති සෑම කතාවකම කේන්ද්‍රීය අවධානයකට ලක්ව ඇත. නැගෙනහිර යුරෝපයේ, ආසියාවේ ඔස්ටේ‍්‍රලියාවේ, ලතින් ඇමරිකාවේ, අපි‍්‍රකාවේ හෝ මැද පෙරදිග වේවා, දේශීය දේශපාලනය තුල එක්සත් ජනපදයේ විදේශ පිලිවෙත වැදගත් සාධකයකි.

සමස්ත ලෝක ජනතාව හමුවේ යුද තර්ජනය ලඹ දෙයි. ඇමරිකානු පාලක පන්තිය ජර්මනියේ සිය සහචරයින් සමග එක්ව යුකේ‍්‍රනයේ දක්ෂිනාංශික බල කොල්ලයක් සඳහා පෙලඹවීම කරමින් හා විවෘතව ෆැසිස්ට්වාදීන් සමග පෙලගැසෙමින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර ගැටුමකට තුඩු දිය හැකි අර්බුදයක් අවුලවාලීමෙහිලා මූලික කි‍්‍රයාකලාපයක් ඉටු කර තිබේ. මෙය භයානක කාලයකි.

ලෝක කටයුතු තුල එක්සත් ජනපද අධිකාරයේ මූලයන් පවතින්නේ, 20 වන සියවසේ ඉතිහාසය තුලය. ඇමරිකානු ධනවාදයේ මැදිහත්වීම නොතිබුනි නම් පලමු වන හා දෙවන ලෝක යුද්ධ ෆැසිස්ට්වාදයේ ම්ලේච්ඡත්වය හා මහා යුදෙව් ජනඝාතන ඇති කල සමස්ත කුනු වූ පද්ධතිය ම 1917 රුසියාවේ දී ඇරඹුනු හා පසුගිය සියවසේ පලමු දශක ගනනාව තුල සමස්ත ලෝකයම සොලවාලූ විප්ලවවාදී නැගිටීම් රැල්ල මගින් අතුගා දැමීමට ඉඩ තිබුනේය යන්න අවිවාදාත්මක ඓතිහාසික කරුනකි.

එක්සත් ජනපදය, ප‍්‍රධාන හා මූලික ප‍්‍රති-විප්ලවවාදී බලවේගය ලෙස මතුව, ගෝලීය පොලිස්කාරයාගේ කි‍්‍රයාකලාපය අතට ගෙන, ට්‍රොට්ස්කි පෙර දැක තිබූ පරිදි ලෝකය ප‍්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කලේය. පසුගිය සියවස අග හරියේ සෝවියට් සංගමය බිඳ වැටුනු විට ඇමරිකානු ධනවාදයේ දෘෂ්ටිවාදියෝ ඉතිහාසයේ අවසානය හා ඒක ධ‍්‍රැව අවස්ථාවක් පිලිබඳ ජාත්‍යොන්මාදී ප‍්‍රකාශ නිකුත් කල විට අවසානයේ ඇමරිකානු සංගත හා මූල්‍ය වංශාධිපති පැලැන්තියට සෑමදෙයක්ම ලබා ගත හැකි විය. එය සෑම දෙයක්ම යයි ඔවුහු සිතූවෝය.

එක්සත් ජනපදය කිසිදු කලාපීය තරඟකරුවකුට ඉඩ නොදෙන පැහැදිලිව ප‍්‍රකාශිත පිලිවෙතක් තෝරාගත්තේය. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ එජ, රටකට පසුව තවත් රටක යුද්ධ කිරීමට සහ ආන්ඩු පෙරලාදැමීමට හෝ ඒවාට වලකැපීමට තමන්ට රිසි පරිදි සිය අනභිභවනීය මිලිටරි යන්ත‍්‍රය යොදා ගෙන තිබේ. එඩ්වර්ඞ් ස්නෝඩන් යන රහස් හෙලිකරන්නාගේ ධෛර්්‍යමත් කි‍්‍රයාවන් මගින් එලිදරව් කෙරී ඇති පරිදි, එජ මේ ග‍්‍රහ ලෝකය මත සියලු පනිවිඩ හුවමාරු කටයුතු ගබඩා කරගැනීමේ, සෑම කෙනෙකුගේම දේශපාලන කි‍්‍රයාකාරකම් හා සබඳතා නිරීක්ෂනය කිරීමේ ඉලක්කය සහිත දැවැන්ත පරිමාවක ඔත්තු යාන්ත‍්‍රනයක් ගොඩනගා තිබේ.

වත්මන් සමාජ සබඳතා පෙරලා දැමීමට බලාපොරොත්තු වන ඕනෑම ව්‍යාපාරයක් මෙම බලවතා සමග ඔට්ටු විය යුතුය. ධනවාදයට විරුද්ධ වීමට උත්සාහ දරන ඕනෑම ව්‍යාපාරයක් එම කර්තව්‍යයෙන් බියට පත්වන බව අසාමාන්‍ය දෙයක් නොවේ. එසේ වුවත් මෙය විශ්ලේෂනයේ සදොස් භාවය පාවා දෙයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය බලවත් විය හැක. එහෙත් ලෝක ධනවාදයේ පරස්පරයන් ඊට වඩා බලවත්ය. නිරවද්‍ය ලෙසම එක්සත් ජනපද ගෝලීය ක‍්‍රියාකලාපයෙන් පැන නගින පරස්පරයන්ගේ වඩාත්ම සංකේන්ද‍්‍රිත ප‍්‍රකාශනය හමු වන්නේ එක්සත් ජනපදය තුලින්මය.

ඇමරිකානු පාලක පන්තියේ දෘශ්‍යමාන බලය රඳා ඇත්තේ අතිශයින්ම කුනුවූ අත්තිවාරමක් මතය. සත්‍ය වශයෙන්ම ඇමරිකානු ධනවාදය දිග් ගැසුනු පිරිහීමේ අවධියක පවතී. 20වන සියවසේ මුල් දශක වලදී ලෝක බලයක් ලෙස එක්සත් ජනපදයේ ආධිපත්‍ය ඉස්මතු වූයේ කාර්මික බලාගාරයක් ලෙස ඊට පැවති පදනමෙනි. පැරනි සොර දෙටුවන් කම්කරු පන්තිය සූරා කෑමේදී රුදුරු විය. ඔවුන් දැවැන්ත අධිරාජ්‍යයන් තැනීය.

ඊට ප‍්‍රතිවිරුද්ධව අද එක්සත් ජනපදයේ මුදුනෙහි ලැග සිටින්නේ සමපේක්ෂනයෙන්, පරපෝෂිතභාවයෙන් හා සාපරාධීබවෙන් ධනය ගොඩ ගසා ගෙන ඉන් මත්වී සිටින මූල්‍ය ප‍්‍රභූවකි. 1960 හා 70 ගනන් වලදී එහි ආර්ථික ආධිපත්‍යය බිඳ වැටීම ආරම්භ වන විට මෙරට (එජ) පාලක පන්තිය ඊට ප‍්‍රතිචාර දැන වූයේ කර්මාන්ත කඩා බිඳ දමමින්, සමස්ත නගර කුනු කන්දල් බවට පත් කරමින් හා සිය දහස් ගනනින් පමනක් නොව දශ ලක්ෂ ගනනින් රැකියා විනාශ කරමිනි.

අද අප කතා කරමින් සිටින ඩෙට්‍රොයිට් නගරය මෙම ඓතිහාසික පරිවර්තනය තියුනු ලෙස ප‍්‍රකාශයට පත් කරයි. එය කලෙකදී රටෙහි ඉහලතම ඒක පුද්ගල ආදායම සහිත ලොව වාහන නිෂ්පාදනයේ අග නගරය විය. දැන් බැංකු වල රූකඩයක් වන මූල්‍ය ඒකාධිපතියෙකු ප‍්‍රධානත්වය දරන දූෂිත පාලක පන්තියක අත යටතේ බංකොලොත්බවේ ගිල්වා ඉතුරුවී ඇති සියල්ල ද කඩා බිඳ දමමින් තිබේ. ලොව දැවැන්තම පිරිසිදු ජල ප‍්‍රභවයකට යාබදව පවතින නගරයක දහස් ගනන් පුරවැසියන් හට සෑම සතියකම ජලය කපා හැරේ.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දෘශ්‍යමාන බලය පිලිබඳව වශී වූවන් නොතකාහරින්නේ එහි ආර්ථික පරිහානියයි. ඔවුන් මග හරින්නේ අද ලෝකයේ සිටින යෝධ විප්ලවවාදී බලය වන ඇමරිකානු කම්කරු පන්තියයි.

ලෝක දේශපාලනයේ නිදා සිටින යෝධයා ඇමරිකානු කම්කරු පන්තියයි. දූෂිත, කුනුවූ මූල්‍ය ප‍්‍රභූන් හට මෙම රටේ කම්කරුවන්ට වඩා බලසම්පන්න සතුරකු තවත් ඇත්තේ නැත. මෙම දැවැන්ත සමාජ බලවේගයේ පලමු කැලඹීම වුවද වොෂින්ටනයේ රාජ්‍ය ගොඩනැගිලි අරක් ගෙන සිටින සියලු දේශපාලන හෙංචයියන්ගේ ගනන් බැලීම් නිෂ්ප‍්‍රභා කරනු ඇත.

පාලක පන්තිය තුල සිටින, තවමත් දවසේ කොටස් වෙලඳ පල නිවේදන වලින් ඔබ්බට දැකීමේ හැකියාව ඇති අය මෙය තේරුම් ගන්නා අතර ඔවුහු බියට පත්ව සිටිති. දින පතා බොරු හා බුද්ධියට නිගා දෙන දෑ පොම්ප කරන්නා වූ කෲර, මනස හිරිවට්ටන මාධ්‍ය ප‍්‍රචාරයේ රහස මෙයයි. නිල දේශපාලන ජීවිතයේ කුතුහලය දනවන පරස්පරයේ රහස එයයි. එනම් එක් අතකින් සමාජවාදයට කිසිම අනුගාමිකත්වයක් ඇමරිකාවේ නැති බැවින් සමාජවාදී ව්‍යාපාරයට මෙරටේ පය තැබිය නොහැකිය යන්නත්, අනෙක් අතින් ඇමරිකානු දේශපාලන දර්ශන පථය යමෙක් සරලවම කෲර ප‍්‍රචාරයේ පදනමෙන් විනිශ්චය කරන්නේ නම්, අනුමාන කරන්නට සිදුවනු ඇත්තේ පාලක පන්තිය බහු ජන සමාජවාදී ව්‍යාපාරයට අභිමුඛ වී සිටින බවයි. ඇමරිකානු පාලක පන්තිය මත අවතාරයක් හොල්මන් කරයි. ඒ සමාජවාදයේ අවතාරයයි.

පාලක පන්තියේ බිය හුදු මනෝ විකාරයක් නොවේ. එක්සත් ජනපදයේ පවතින සමාජ කොන්දේසි බහු ජන සමාජවාදී ව්‍යාපාරයකට සාරවත් බිමක් බව ඔවුන්ට හැඟීයන අතර තේරුම් ද ගනිති. එමෙන්ම 20වන සිය වසේ මෙරට පැතිර පැවති පන්ති සටන් ඔවුන්ට අමතක වී නැත. පසුගිය දශක තුන නියෝජනය කරන්නේ ඓතිහාසික අපගමනයකි.

මැයි දිනයේ ආරම්භය පවතින්නේ ඇමරිකානු කම්කරු පන්තියේ දැවැන්ත කැරලිකාරී අරගල තුලය යන්න අවසනාවන්ත ලෙස බොහෝ දෙනෙක් නොදන්නා කරුනකි. මැයි 1 දින ඉලිනොයිස් හි චිකාගෝ නගරයේ ආරම්භ වූ පැය 8හි වැඩ දිනය මුල් කරගත් කම්කරු අරගලයේ දින තුනක ලේ වැකි ප‍්‍රතිඵලය වූ හේමාර්කට් සංහාරයේ 128 වෙනි සංවත්සරය, සත්තකින්ම යෙදී ඇත්තේ 2014 මැයි 4 වන අද දිනටයි.

මැයි 4දින පොලිස් ජන ඝාතනයකින් කූට ප‍්‍රාප්තවූ විරෝධතාවයේ නායකයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන හදිසි නඩු විභාගයකට ලක් කෙරිනි. හය මසකට පසුව මින් නායකයන් හතර දෙනෙකු කුක් කවුන්ටි සිර කඳවුරේදී මැරෙන තෙක් එල්ලා තබන ලදී. තවත් චූදිතයෙකු රජය විසින් ජීවිතය බිලි ගැනීමට පෙර සිය දිවිනසා ගත්තේය.

හේ මාර්කට් වීරයන්ට ගෞරව දැක්වීම සඳහා පැරීසියේ ජාත්‍යන්තර සමාජවාදී කම්කරු කොන්ග‍්‍රසය විසින්1889දී, මැයි 1 දින ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදරත්වයේ දිනය ලෙස තෝරා ගන්නා ලදී. සැම විටම බියෙන් පෙලුනු ඇමරිකානු පාලක පන්තිය, ජාත්‍යන්තරවාදය හා පන්ති සවිඤ්ඤානකත්වය නොතකා හැරීමේ අඛන්ඩ උත්හාසයේ කොටසක් ලෙසට කම්කරු දිනය ජාතික නිවාඩු දිනයක් කොට එය කැලැන්ඩරයේ මැයි 1 දිනට හැකිතාක් ඈතින් තබා මීට ප‍්‍රතිචාර දැක්වීය.

මෙම සිද්ධීන්ගෙන් පසුව ගතවුනු දශකයන්හිදී දැවැන්ත පන්ති සටන් දක්නට ලැබිනි. මෙම ඩෙට්‍රොයිට් නගරයේ වාහන කර්මාන්තය තුල 1930ගනන් වල පැවති වර්ජන සිවිල් යුද්ධයක ස්වරූපය ගත් අතර නිෂ්පාදනය පවත්වා ගෙන යන්නේ කම්කරු පන්තියද නැත්නම් ධනේශ්වරයද යන ප‍්‍රශ්නය පැන නැගිනි.ලෝකය සිසාරා ගිය මෙම අරගලයන්ගෙන් සැලකිය යුතු සහන දිනා ගැනීමට කම්කරුවන්ට හැකි විය. ඒවා නම් පැය අටේ වැඩ දිනය, ලමා ශ‍්‍රම තහනම, ඉහල වැටුප්, මූලික සෞඛ්‍ය හා විශ‍්‍රාමික සහනාධාර ආදියයි. අයිතීන් සඳහා සටන ලේ වලින් ලියවී ඇත.

කම්කරු පන්තියේ ප‍්‍රධාන අඩුව වූයේ තමන්ගේම ස්වාධීන දේශපාලන සංවිධානයක් ගොඩ නගා ගැනීමට එය අසමත් වීමයි. ඉහත කී අරගල බොහොමයකට මග පෙන්වූයේ සමාජවාදී නැඹුරුවක් ඇති කම්කරුවන් වූ අතර ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයක් ගොඩ නැගීමේ දෘෂ්ටිවාදාත්මක ආවේශය ලැබුනේ මාක්ස්වාදයෙනි. මේ තුල ගොඩ නැගුනු වෘත්තීය සමිති ව්‍යාපාරය, කෙසේ වුවද, දේශපාලනිකව ඩිමොක‍්‍රටික් පක්ෂය සමග පෙල ගැසුනු ධනපති ගැති හා ප‍්‍රතිකොමියුනිස්ට්වාදී නිලධරයේ ආධිපත්‍යයට නතු විය.

පශ්චාත් යුද කාල පරිච්ඡේදයේ ඇමරිකානු කර්මාන්තයේ ආධිපත්‍ය යටතේ මෙම ආකෘතියට, ආර්ථික වර්ධනයේ කොන්දේසි තුල සමහර දේ දිනා ගැනීමට හැකි විය.1960 හා 70 ගනන් වල කොන්දේසි වෙනස් වන විට පාලක පන්තිය ප‍්‍රහාරාත්මක විය. දශක හතරක් තුල එය ඒක පාර්ශ්වික පන්ති යුද්ධයක නිරත වී සිටී. වෘත්තීය සමිති ක‍්‍රියා කලාපය තුල ඒවා කම්කරු පොලිසියක් බවට පත්ව ඇති අතර, තමන් නියෝජනය කරනවා යයි කියාපෑ අය ම සූරාකෑමෙන් ලාභ ලබන, ඉහල වැටුප් ලබන විධායකයින් විසින් පවත්වා ගෙන යන, පරිපාලනය ක‍්‍රියාත්මක කිරීමේ යෙදී සිටිති.

කම්කරු පන්තිය දිනාගත් සියල්ලම යලි උදුරා ගෙන ඇත. නැතහොත් උදුරා ගනිමින් තිබේ. ඉහතදී තමන් සතුව ඇතැයි කම්කරුවන් සිතූ අයිතීන් අතුගා දමා තිබේ. ශිෂ්ඨ සම්පන්න විශ‍්‍රාමික දීමනා හෝ සෞඛ්‍ය රක්ෂනය සම්පූර්නයෙන්ම ඉතිහාසයට එක්වී තිබේ.

ආරක්ෂිත රැකියාවකට ද අත්වී ඇත්තේ එම තත්වයමයි. වාහන කර්මාන්තයේ තරුන කම්කරුවන්ගේ මූර්ත වැටුප් 1920 ගනන් වල මට්ටමට පහත වැටී තිබේ.

අද දවසේ එක්සත් ජනපදයේ පවතින සමාජ අසමානතාවයේ මට්ටම සැසඳිය හැක්කේ මහා අවපාතයට පෙර 1920 ගනන් වල පැවැති තත්වයටය. 1975 හා 2007 අතර ආසන්න වශයෙන් සමස්ත ආදායමේ වර්ධනයේ හරි අඩක් ජනගහනයේ පොහොසත්ම සියයට එක විසින් අත්කරගෙන ඇත. ප‍්‍රධාන ධනපති රටවල් අතරින් ලැයිස්තුවේ මීලඟට ඉන්නේ අපගේ උතුරු අසල්වාසී රට වන කැනඩාවයි. එහි ආදායමේ වර්ධනයේ හතරෙන් පංගුවකට වැඩි කොටසක් පොහොසත්ම සියයට එක විසින් අත් කරගනු ලැබ ඇත.

අසමානතාවයේ වර්ධනය මෑත වසර වලදී වඩාත් තීව‍්‍ර වී තිබේ. ඊනියා “පරිවර්තනයේ නියෝජිතයා” වූ ඔබාමා යටතේ පාලක පන්තිය දුප්පතාගේ සිට පොහොසතා වෙත කෙරුනු ලෝක ඉතිහාසයේ ඉහලතම ධන සංක‍්‍රමනය මෙහෙයවීය. උන්මාදනීය සමපේක්ෂනයේ ප‍්‍රතිඵල ලෙස පැන නැගුනු 2008 අර්බුදය හා සමගම පොහොසතුන්ට මුදල් බෙදා දීම නැතිනම් බැංකු බංකොලොත් බවින් මුදා ගැනීම හා “ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම” සිදු කෙරිනි. කොටස් වෙලඳ පල ඉහල නගී, මූල්‍ය වෙලඳුන්ගේ බැංකු ගිනුම් තර වෙයි, කම්කරු පන්තිය පීඩාවට ලක්වේ.

ඇමරිකානු ජීවිතයේ අංගලක්ෂනය සමාජ අසමානතාවයයි. සෑම දේශපාලන ආයතනයක්ම ඉන් ආසාදනය වී ඇති අතර එය රජයේ සෑම ක‍්‍රියාවකදීම සාධකයකි. නිර්ලජ්ජිතව සොරකමේ යෙදෙන, කෑදර කමින් අන්ධ, ප‍්‍රභූවක් විසින් රට පාලනය කෙරේ. විදේශ වල ක‍්‍රියාවේ යොදන ම්ලේඡ්චත්වය එම කෲර බවින්ම ද, සියලු නීති වලට පවතින අවඥාව එලෙසින්ම ද සිය රටෙහි කම්කරු පන්තිය මත යෙදවේ.

අප ලෝකය පුරා සිටින සහෝදරවරුන්ට කියන්නේ ඇමරිකාවල් දෙකක් තිබෙන බව සැමවිටම මතක තබා ගන්නා ලෙසයි. වෝල් වීදිය, පෙන්ටගනය, සීඅයිඒ, කුවේර තන්ත‍්‍රය සහිත අසත්‍යයේ, තර්ජනයේ, හා දාමරිකත්වයේ ඇමරිකාව එකකි. අනෙක් ඇමරිකාව සියලු ප‍්‍රගතිශීලිත්වය හා අනාගතය පිලිබඳ සත්‍ය බලාපොරොත්තුව කැටි කරගත් කම්කරු පන්තියේ ඇමරිකාවයි.

සමාජ පිපිරීමක් සඳහා කොන්දේසි පරිනත වී තිබේ. වෝල් වීදියේ ශබ්දමාලාවට අනුව ඇමරිකානු පන්ති අරගලය ඉල්ලුමට වඩා අල්පතර ලෙස විකුනා ඇති අතර ඇමරිකානු ධනවාදයේ ස්ථාවරත්වය සැපයුම පරයා විකුනා ඇත. රැඩිකල් නිවැරදි කිරීමක අවශ්‍යතාවය දිගු කලක් තිස්සේ පවතියි.

ප‍්‍රශ්නය නම් මෙම අරගලයන්ට මග පෙන්වන්නේ කුමන ඉදිරි දර්ශනයද යන්නයි. විප්ලවවාදී සමාජවාදී සම්ප‍්‍රදායයන් අද දවසේ පුනස්ථාපනය කරගැනීම දැවැන්තම ඓතිහාසික කර්තව්‍යයයි.

මෙහි අර්ථය නම් සියල්ලටමත් වඩා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ඕනෑම ජාතික රාජ්‍යයක දේශ සීමා තුල මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන අර්බුදයට විසඳුම් නොමැත. ජාතිකවාදී ඉදිරි මාවතක් නැත. ඕනෑම රටක කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන පෝෂනය ලබා ගත යුත්තේ එහි සහෝදර සහෝදරියන්ගේ ජාත්‍යන්තර අරගල තුලිනි.

එමෙන්ම මෙම ව්‍යාපාරය පදනම් විය යුත්තේ කම්කරු පන්තියේ ස්වාධීන බල මුලු ගැන්වීම මතය. ඉතිහාසයේ ගමන් මාවත නීර්නය වනු ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ භාවයේ, අනන්‍යතාවයේ, ලිංගිකත්වයේ හෝ අනෙකුත් මධ්‍යම පන්තික දේශපාලනයේ වෙලඳ ලකුනු මගින් නොව අපගේ පොදු පන්ති අවශ්‍යතා මත ඒකාබද්ධ කෙරුනු කම්කරු අරගල මතය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම අරගලයට නායකත්වය සැපයීම සඳහා අසමසම ලෙස පිහිටුවා තිබේ. අපගේ ව්‍යාපාරය එනම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එහි සමස්ත ඉතිහාසය මුලුල්ලේ මාක්ස්වාදයේ අව්‍යාජ සම්ප‍්‍රදායයන් හා ඉදිරි දර්ශනය ආරක්ෂා කිරීමට ස්ටැලින්වාදීන්ගේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ, සංශෝධනවාදීන්ගේ හා වෘත්තීය සමිති නිලධරයේ, සෑම හැඩයකම හා පරිමිතියකම අවස්ථාවාදීන්ගේ පච හා පාවාදීම් වලට එරෙහිව බොහෝ විට දුෂ්කර කොන්දේසි යටතේ මුහුනට මුහුනලා සටන මෙහෙයවා ඇත. මෙම බලයයන්ට සිදුව ඇත්තේ කුමක්ද? ඒවා තව දුරටත් පවතින්නේ නම් ඓතිහාසිකව බංකොලොත්, සියල්ල සිඳුනු කබොල්ල පමනක් ඇති, පාලක පන්තියේ ප‍්‍රතිගාමී ධනපති ගැති ඒජන්සි ලෙස පමනි.

අද අප අරගලයන් තුලට ගෙන එන්නේ මෙම ප‍්‍රබල සම්ප‍්‍රදායයන්ය. බලසම්පන්න දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය. එහි එල්ලය වන්නේ ධනපති ක‍්‍රමය සම්පූර්නයෙන්ම අහෝසි කොට මනුෂ්‍ය වර්ගයාගේ පූර්න දේශපාලන, සමාජ හා ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂ්‍යාත් කිරීමට අඩු කිසිවක් නොවේ.

මෙම රැලියට සහභාගි වන්නන් එම ව්‍යාපාරයේ අරටුව වන්නේය. ආරම්භක වාර්තාවේ සඳහන් වූ පරිදි සැලකිය යුතු වන්නේ අප මෙහිදී සඳහන් කරන දේ පමනක් නොව අප කරන දෙයයි. මෙම රැලිය තුලින් අප ගෙන එන නිවේදනය නම්: කම්කරු පන්තිය ගමනේ යෙදෙයි. එහි බැනරයේ යලි වතාවක් ජාත්‍යන්තර සමාජවාදය කොටා තිබේ.

Share this article: