නික් බීම්ස් කල කතාව: 2014 මැයි දිනය හා ලෝක ධනවාදයේ බිඳ වැටීම

Speech by Nick Beams: May Day 2014 and the breakdown of world capitalism

නික් බීම්ස් විසිනි, 2014 මැයි 06

පහත පලවන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සත්කාරකත්වයෙන් 2014 මැයි 4වැනි ඉරිදා අන්තර්ජාලය ඔස්සේ ජාත්‍යන්තර මැයි දින රැලියට ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් නික් බීම්ස් විසින් කරන ලද කතාව යි.

ගෝලීය මූල්‍ය අර්බුදය පිපිරීමෙන් අවුරුදු හයකට පසුව ලෝකය පුරා කම්කරුවන් එක් අවිවාදිත ප‍්‍රශ්නයකට මුහුන දෙයි. එනම් යුද්ධය, රැකියා හා සමාජ තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර යන ඔවුන් මුහුන දෙන සියලු අන්තරායන්, 2008දී ඇරඹුනු ගෝලීය ධනේශ්වර පද්ධතියේ බිඳවැටීමෙන් පැනනගින්නේය යන්නයි.

ආරම්භයේ පටන් ම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, මෙම අර්බුදය පැනනැගුනේ ධනේශ්වර පද්ධතියේ පදනමෙහි ම මුල් බැස ගත් ප‍්‍රතිඝතිතාවන්ගෙන් බව අවධාරනය කලේය. 1914 අගෝස්තුවේ දී පලමු ලෝක යුද්ධය පුපුරා යාමත් සමග විධාරනය වූ ද ඊට පසු පැමිනි සියලූ භීෂනයන්ට මග පෑදුවා වූ ද මෙම ප‍්‍රතිඝතිතාවන් නැවත වතාවක් මතු පිටට පැමින ඇත.

අර්බුදය බිඳවැටීමක් ලෙස විදහා පෑමෙන් ධනේශ්වර පද්ධතිය සරලව ම ඇනහිටීමකට පැමිනෙන බවක් අදහස් නොකරයි. ඒ වෙනුවට අර්බුදය, පාලක පන්තීන්ගේ පැත්තෙන්, රූපාකාර දෙකකින් යුත් ඉතා ආවේශ සහගත ක‍්‍රියාවන් සඳහා මග පාදයි. සෑම ප‍්‍රධාන බලවතෙක් ම අනෙකාගේ වියදමින් තම තත්වය සවිමත්කර ගැනීමට වෙර දැරීමත් සමග නව අධිරාජ්‍යවාදී යුද්ධ වෙතට තල්ලුවීම සහ 1930 ගනන් වල හා ඉන් එහා තත්වයන්ට කම්කරු පන්තිය පසුබැස්වීම ඉලක්ක කර සෑම රටක ම පන්ති සම්බන්ධතාවන් ප‍්‍රචන්ඩ ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම යි.

ධනේශ්වරය හා එහි දස දහස් ගනන් ආර්ථික විද්‍යාඥයින්, බුද්ධි මන්ඬල, පරිඝනක තාක්ෂන හැකියාවේ දැවැන්ත පෙල ගැස්මෙන් සහාය ලබන එක් හෝ තවත් ආකාරයක විශ්ලේෂකයන් හා විශේෂඥයින්ට “සාමාන්‍යයෙන්” ක‍්‍රියාත්මක වන ධනේශ්වර ආර්ථිකයක කොන්දේසි ලෙස වරෙක සැලකූ තත්වයන් කරා ආපසු යෑම සඳහා ප‍්‍රතිපත්තියක් නො තිබූ බව අප අවධාරනය කලෙමු.

අපගේ විශ්ලේෂනය පිලිගැනුනේ කෙසේ ද? එය මුලුමනින් ම සනාථ වී ඇත. සමස්තයක් වශයෙන් “චිරකාලීන ඇන හිටීම” යන වාක්‍ය ඛන්ඩය යොදා ගැනෙන්නේ ප‍්‍රධාන ධනේශ්වර ආර්ථිකයන්ගේ තත්වය විදහා පෑමට ය.

තවමත් ලෝකයේ තනි විශාලත ම ආර්ථිකය වන එක්සත් ජනපදය (එජ) කියා සිටින “ප‍්‍රකෘතියේ” හයවැනි වසරට පා තැබීමට ආසන්න ය. එහෙත් මෙය අනෙක් ඒවාට සමාන නො වන “ප‍්‍රකෘතියකි”. පසුබෑම අවසානයේ සිට සාමාන්‍යයෙන් වාර්ෂිකව දල දේශීය නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ සියයට 1.8න් වන අතර එය පූර්ව ප‍්‍රසාරනයේ අවධි තුනෙහි මට්ටමෙන් අඩකි.

මෙම වසරේ පලමු කාර්තුවේ එජ වර්ධනය යන්තම් සියයට 0.1 පමනක් බව මෙම සතියේ නිකුත්වූ නිල දත්ත වල සටහන් විය. 2008න් පසු ආර්ථිකයේ විකාර රූපී ස්වභාවය සැමරීමට මෙන් වෝල් වීදිය මෙම ප‍්‍රවෘත්තිය පිලිගත්තේ වාර්තාගත ඉහල මට්ටමක් සලකුනු කරමිනි.

යුරෝපයේ තත්වය වඩා යහපත් නැත. විරැකියාව ආසන්න වශයෙන් සියයට 12කි, සමහර රටවල තරුන විරැකියාව සියයට 60කි. අර්බුදයට පූර්වයෙන් පැවති ප‍්‍රවනතාව දිගටම පැවතුනා නම් තිබිය යුතු තත්වයට වඩා දල දේශීය නිෂ්පාදනය ආසන්න වශයෙන් සියයට 10 වඩා පහත වැටී ඇත. මූල්‍ය අර්බුදයට පෙර කාලයේ පැවති මට්ටමටවත් දදේනි ආපසු පැමින නැත. අර්බුද - පූර්ව ප‍්‍රවනතාවට වඩා ආයෝජනය සියයට 25 පහත වැටී ඇති අතර කාර්මික නිෂ්පාදනය සියයට 16ක පහල මට්ටමක් පෙන්වයි. අඩුවශයෙන් යුරෝ කලාපයේ රටවල් අටක් එක තැන පල්වීමේ සලකුනු පෙන්වමින් අවධමනයකට මුහුනපා ඇත.

ධනවාදයේ වඩා ශීලාචාර ආකෘතියක් ඉදිරිපත් කරනු ඇතැ යි කියා සිටි, ඊනියා සමාජ වෙලඳපොල ආදර්ශයේ කතුවරු වන යුරෝපීය පාලක ප‍්‍රභූව කුමන ප‍්‍රතිපත්ති යෝජනා කරත් ද? කම්කරු පන්තියට එරෙහි කප්පාදු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පෙර නොවූ විරූ තරම් රුදුරු ආකාරයකින් වැඩට බැස සිටිති.

2008දී පිපිරුනු අර්බුදයෙන් පසුව, ලාභ පද්ධතිය වෙනුවෙන් වහල්කමේ යෙදී සිටින ඉහල ම වැටුප් ලබන අටුවා කාරයින්, ශාස්ත‍්‍රාලික ගැත්තන් හා ආර්ථික පන්ඩිතයින්, චීනය පෙරමුන ගත් ඊනියා “නැගී එන වෙලඳපොලවල්” ගෝලීය ධනවාදයේ ප‍්‍රසාරනය සඳහා නව පදනමක් සම්පාදනය කරනු ඇති බවට සහතික විය. ප‍්‍රමුඛ ධනේශ්වර මධ්‍යස්ථානවල විනාසය නො තකා මෙම ආර්ථිකයන්ට, “එකිනෙකින් වෙන්වීමට” හැකිවනු ඇතැයි ද ඒ නිසා සෑහෙන කැලඹීමකින් පසු ආර්ථික වර්ධනය සුරක්ෂිත වනු ඇතැයි ද ඔවුහු කියා සිටියහ.

මොනතරම් කුරිරු විහිලුවක් ද! චීනය පවතින්නේ මූල්‍ය විනාසයක අද්දර ය. ප‍්‍රශ්නය වන්නේ අර්බුදයක් ඇතිවන්නේ ද නැද්ද යන්න නො ව, කොතරම් ඉක්මනින් එය සිදුවේ ද, එය කොතරම් විශාල වේ ද හා සමස්ථයක් වශයෙන් ධනේශ්වර පද්ධතිය සඳහා එහි ගම්‍යයන් මොනවා විය හැකි ද යන්න යි.

ධනේශ්වර සමුච්චයනය අවශ්‍යයෙන් ම ගැබ්කර ගන්නේ, සමාජයේ එක් ධ‍්‍රැවයක මහා ධනස්කන්ධයක් ගොඩගැසීම හා අනෙක් ධ‍්‍රැවයෙහි දරිද්‍රතාව හා දුර්දශාව සමුච්චයනයවීම බව, විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් එලඹි එක් කේන්ද්‍රීය නිගමනයකි. දශක ගනනාවක් තිස්සේ මෙයට අඛන්ඩව ප‍්‍රහාර එල්ල වූයේ, කෙසේ හෝ ආපසු හැරවිය හැකි සමාජ ධ‍්‍රැවායනය නිර්මානය කලේ, “ඥානවන්ත” දේශපාලඥයින්ගේ ප‍්‍රතිපත්ති මගින් නොව, ලාභ පද්ධතියේ ම වෛෂයික තර්කනය මගින් බව හා ඒ නිසා එය අවසන් කල හැක්කේ ධනේශ්වර දේපොල සම්බන්ධතා පෙරලා දැමීම තුලින් පමනක් බව පැහදිලි කල නිසා ය.

මාක්ස් නිවැරදි බව සාධක හා සංඛ්‍යා මගින් සනාථ කර ඇත. ධනේශ්වර ආර්ථිකයේ සෑම ප‍්‍රධාන අර්බුදයක්ම යට සඳහන් බලපෑම ඇති කර තිබේ. එය තාවකාලික, ඓතිහාසිකව සංක‍්‍රමනය වන හා අනියම් ප‍්‍රපංච ඉවත් කර දමන අතර ලාභ පද්ධතිය යටින් පවතින හා එහි ගාමකය වන අතිමූලික බලවේග අනාවරනය කරයි. 2008 අර්බුදය ඔප්පු කර ඇත්තේ එයට වෙනස් දෙයක් නොවේ. පසු ගිය අවුරුදු හය තුල දී සමාජ ධ‍්‍රැවායනය වේගවත් අනුපාතයකින් වැඩි වී ඇත්තේ, ලෝකය දැන් අතලොස්සක් ධනකුවේරයන්ගේ ග‍්‍රහනයෙහි පැවතීමේ ආනිසංසය නිසාය.

ලෝකයේ පොහොසත් පුද්ගලයන් 85දෙනෙකු “හුදු 85දෙනෙකු” ගෝලීය ජනගහනයේ සියයට 50කගේ, එනම් පුද්ගලයන් බිලියන 3.5කට හිමිවන තරම් විශාල ධනයක් පාලනය කරන බවට ගනන් බලා ඇත.

ඉහල සියයට 1 සතු ධනය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 110කි. මෙය ලෝක ජනගහනයේ පහල සියයට 50 මුලු ධනයට වඩා 65ස් ගුනයකි. ඒ අතර ම, බිලියන 3ක පමන පුද්ගලයන් යැපෙන්නේ දිනකට ඩොලර් 2.50ට අඩු මට්ටමක ය. ධනයේ මෙම අති දැවන්ත සංකේන්ද්‍රනය අහලකින්වත් යන සමාන්තරයක් ඉතිහාසය තුල දක්නට නොමැත.

අවුරුදු 150ට පෙර ඔහුගේ නිගමනයන් සඳහා සමහර විට සීමිත වලංගු බවක් තිබෙන්නට ඉඩ තිබුනත්, ඉතිහාසය ඒවා ඉක්මවා ගොස් ඇතැයි මාක්ස්ගේ විවේචකයන් කියනු ඇත. සත්‍ය වශයෙන් ම ඔප්පු කර ඇත්තේ, 19වැනි සියවසේ පමනක් නො ව 21වැනි සියවසේ ද මූලික ආර්ථික හා සමාජ ප‍්‍රවනතාවන් පිලිබඳ ඉතා දූරදර්ශී විශ්ලේෂනය එය බව යි.

පාලක පන්තියට හා එහි ක්ෂමාලාපකයින්ට ඔවුන්ගේ ම පද්ධතියේ අර්බුදය සඳහා පැහදිලි කමක් ඇත්තේ නැත. එයට හේතුව මුදල් පිලිබඳ අප‍්‍රමානවත් රෙගුලාසි හා අනවධානය බව ඔවුන්ගෙන් ඇතැමෙකු පවසන අතර, එය සාවද්‍ය ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලය බව තවත් අය පවසති. වඩා “වාමාංශික” පැහයක් ගනිමින් සමහරු, දීර්ඝකාලීන ආකල්පයක් ගන්නා අතර ඔවුන්ගේ අදහස, අර්බුදය මතුව ඇත්තේ පශ්චාත් යුද උත්පාතයේ දී කේනීසියානු ප‍්‍රතිපත්ති අතහැර රේගන් හා තැචර් හඳුන්වා දුන්, නිදහස් වෙලඳපොල න්‍යායපත‍්‍රය ආදේශ කිරීම නිසා බව යි. තවත් ඉහල නැගිය හැකි දෙවන ශ්‍රේනියේ සිනමා නලුවෙකු හා කෑදර සිල්ලර බඩු වෙලෙන්දෙකුගේ දියනිය ලෝක ඓතිහාසික නායකයන් වූවාක් මෙනි.

කෙසේ නමුත් මෙම සියලු ගනන් බැලීම්, ධනේශ්වර ක‍්‍රමයට පරිබාහිර සාධකවල ප‍්‍රතිඵලය වශයෙන් ඇති වන අර්බුද හුදෙක් ඒවාට ගොදුරු වීම පමනකි යන ප‍්‍රකාශය මත රැඳී ඇත. මෙම ප‍්‍රවේශය ව්‍යුත්පන්න වන්නේ නිශ්චිත පන්ති නැඹුරුවකින් හා ඓතිහාසික ඉදිර්දර්ශනයකිනි. සියලු ම හිටපු “ලිබරල්” හා “වාම” කොටස් අතර කුමන වෙනස්කම් තිබුන ද ඔවුන්, ධනවාදය ඓතිහාසිකව වැඩී ආ දෙයක් නොවන බවත්, ඓතිහාසිකව සීමිත නිෂ්පාදන ආකෘතියක් නොවන බවත්, ඒ නිසා එය වහල් ක‍්‍රමය හා වැඩවසම්වාදය මෙන් ඉතිහාසය තුලට දියවී නොයන බවත් සමාජ-ආර්ථික සංවිධානයේ එක ම ශඛ්‍ය ආකෘතිය බවත් කියා සිටියි.

මාක්ස්වාදීන්ට ඇත්තේ අති මූලිකව ඊට ප‍්‍රතිවිරුද්ධ ඉදිරිදර්ශනය කි; අර්බුද හා ආර්ථික බිඳවැටීම් ධනේශ්වර පද්ධතියට පිටතින් වර්ධනය නො වේ, ඒවා මුල්බැස ඇත්තේ එහි සාරභූත අභ්‍යන්තර ප‍්‍රතිඝතිතාවන් තුලම ය.

ලාභ ක‍්‍රමයේ ක්ෂමාලාපකයින් හා ආරක්ෂකයින් මෙම අතිමූලික ප‍්‍රතිඝතිතා පවත්නා බව ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් මාක්ස් පැහැදිලි කල පරිදි, “අර්බුද පවතින්නේ මෙම ප‍්‍රතිඝතිතා පවතින බැවිනි... ප‍්‍රතිඝතිතා නො පැවතීම පිලිබඳව තමා ම ඒත්තු ගන්වා ගැනීමේ කැමත්ත, සැබවින් ම පවත්නා ප‍්‍රතිඝතිතා පැවතිය යුතු නැතැයි යන ධාර්මික අපේක්ෂාවක ප‍්‍රකාශනයක් පමනි.”

ධනවාදයේ ප‍්‍රතිවිරෝධතා ප‍්‍රධාන ආකෘතීන් දෙකක් ගැබ්කර ගනී; එකක් නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය හා ලෝකය බෙදාලන ජාතික රාජ්‍ය පද්ධතිය අතර (ප‍්‍රතිඝතිතාව): අනෙක ශ‍්‍රමයේ ඵලදායිත්වය හා සමාජගත නිෂ්පාදනයේ වර්ධනය සහ ලාභ පද්ධතිය හරහා ධනයේ පුද්ගලික ආත්මසාත්කරනයේ පදනම සකස් කරන නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අතර (ප‍්‍රතිඝතිතාව).

එදිරිවාදී ජාතික රාජ්‍ය හා ලෝක ආර්ථිකයේ ආධිපත්‍යය සඳහා මහා බලවතුන් අතර අරගලය තුල ප‍්‍රකාශිත වන පලමුවැන්න අවසානයේ දී ගමන් කරන්නේ යුද්ධයට ය: දෙවැන්න ආර්ථික බිඳවැටීම තුල ය. සියල්ලටත් වඩා එය විදහා දැක්වෙන්නේ දැවැන්ත ලෙස ධන නිෂ්පාදනය සිදුවන අතරතුර විරැකියාවේ හා සමාජ කාලකන්නිකමේ වර්ධනය මගිනි.

අඩු වශයෙන් පුද්ගලයෙකුගේ ජීවිත කාලය පිලිබඳ කෝදුවෙන් මනිනු ලැබුව ද සැලකිය යුතු කාල පරිච්ඡේදයක් තුල මෙම ප‍්‍රතිඝතිතා මර්දනය කල හැකි බව හෝ පරාජය කිරීම පවා කල හැකි වනු ඇති බව පෙනී යා හැකිය. එහෙත් වර්තමාන ලෝක ආර්ථික හා භූදේශපාලන අර්බුදය ඉතා පැහදිලිව පෙන්නුම් කරන ආකාරයට ඒවා දැන් නැවත වතාවක් මතුපිටට විධාරනය වී ඇත.

අවුරුදු සියයකට පෙර 1914දී, ධනවාදයේ බිඳවැටීම ලෝක යුද්ධයේ රූපාකාරය ගත්තේ ය. අද, එහි ආරම්භක ප‍්‍රකාශනය ගෙන ඇත්තේ ගෝලීය මූල්‍ය පද්ධතියේ දිග්ගැස්සෙන අර්බුදයක රූපාකාරය යි.

වෝල් වීදිය වාර්තා ගත මුදුනක පවතින අතර එක්සත් ජනපද හා ලෝක ආර්ථිකය එක තැන පල්වෙයි. වැඩෙන කුනු වීම හා දිරාපත්වීම වඩා පැහදිලිව ඇඟවුම් කල හැක්කේ අන් කවරකින් ද? එමෙන් ම මෙම බිඳවැටීමේ ප‍්‍රතිවිපාක 1914 සමාන වනු ඇත, එනම් ලෝක යුද්ධය, අවපාතය, ෆැසිස්ට්වාදය හා ආඥාදායක පාලනය.

මාක්ස් ඉතා හොඳින් ඉදිරිපත් කල ආකාරයට; “සමාජීය නිෂ්පාදනයේ වර්ධනය හා එහි මේවන විට පවතින නිෂ්පාදන සම්බන්ධතා අතර වැඩෙන නො ගැලපීම එහිම ප‍්‍රකාශනය අත්කර ගන්නේ, කටුක ප‍්‍රතිඝතිතා, අර්බුද හා හැල හැප්පීම් තුල ය. එයට (ධනවාදයට) පිටතින් පවතින සම්බන්ධතා මගින් නොව, එහි ස්වයං-සංරක්ෂනයේ කොන්දේසියක් ලෙස ප‍්‍රාග්ධනය ප‍්‍රචන්ඩ ලෙස විනාශ කිරීම වනාහි, එය සිය පැවැත්ම අවසන් කරගෙන ඇති බවටත්, සමාජ නිෂ්පාදනයේ ඉහල අවධියකට ඉඩ දෙමින් එය ඉවත්ව යා යුතු බවටත් දෙනු ලබන වඩාත් කැපී පෙනෙන උපදේශය වන්නේය.”

එහෙත් ධනවාදය සාමකාමී ලෙස ඓතිහාසික නිමාවකට පත් වන්නේ නැත. තමන් සමග සියලු ම මානව වර්ගයා ප‍්‍රපාතයට ඇදගෙන යාමට හා ම්ලේච්ඡත්වයේ නව රූපාකාරයන් පැටවීමට එය උත්සාහ කරනු ඇත. පාලක පන්තීන්ට ජය ගැනීමට ඉඩ දිය නොහැකිය. දේශපාලන බලය අත්පත් කර ගැනීම හා ජාත්‍යන්තර සමාජවාදය පිහිටුවීම සඳහා මාක්ස් කතා කල “උපදේශය” සැබවින් ම යෝධ බලයක් සමගින් මුදාහැරිය යුත්තේ “සමාජීය නිෂ්පාදනයේ ඉහල අවධියක්” දරා සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකිනි.

ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මේ දිසාවට තබන වැදගත් පියවරකි.

Share this article: