පීටර් ස්වාර්ට්ස් කල කතාව: යුරෝපා සංගමය සහ යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමය

Speech by Peter Schwarz: The European Union and the United Socialist States of Europe

පීටර් ස්වාර්ට්ස් විසිනි, 2014 මැයි 07

පහත පලවන්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සත්කාරකත්වයෙන් 2014 මැයි 4 වැනි ඉරිදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුනු ජාත්‍යන්තර මැයි දින රැලියට හජාජාක ලේකම් පීටර් ස්වාර්ට්ස් විසින් කරන ලද කතාව යි.

පි‍්‍රය සහෝදරවරුනි,

තව සති තුනකින් යුරෝපීය රටවල් 28ක මිලියන 400කට ආසන්න ඡන්දදායකයෝ නව යුරෝපීය පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගැනීමට කැඳවනු ලබනු ඇත. ඡන්දය දීමට සුදුසුකම් ඇති අයගෙන් කොටසක් පමනක් ඇත්ත වසයෙන් ම එදින ඡන්දය පාවිච්චි කරනු ඇත. යුරෝපා සංගමය ප‍්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂ වාර්තාගත ප‍්‍රතිඵලයක් අත්පත් කරගනු ඇතැයි අනාවැකි පල කෙරෙයි.

ඒවා වනාහි ප‍්‍රධාන කොටම ජාතිකවාදී දෘෂ්ටි ආස්ථානයකින් යුරෝපා සංගමයට විරුද්ධ වන හා ස්වෝත්තමවාදය ප‍්‍රචාරය කරන අන්ත දක්ෂිනාංශික ස්වභාවයක් දරන පක්ෂයි. ගී‍්‍රසියේ සිරිසා සහ ජර්මනියේ වාම පක්ෂය වැනි වාමාංශික යයි කියනු ලබන පක්ෂ ඇතුලු සෙසු සෑම ධනේශ්වර පක්ෂයක් ම යුරෝපා සංගමය ආරක්ෂා කිරීමෙන් ඔවුහු වාසි ලබති.

යුරෝපා සංගමය ආරක්ෂා කරන මෙම පක්ෂ කියා සිටින්නේ, යුරෝපා සංගමය ජාතික ගැටුම්වලට, යුද්ධයට, ඒකාධිපතිත්වයට හා 20 වන සියවසේ යුරෝපය තුල හොල්මන් කල සියලු භයංකරත්වයන්ට එරෙහිව ආරක්ෂා සපයන බවයි.

මොන තරම් නම් වංචාවක් ද!

යථාර්ථය නම්, යුරෝපා සංගමය සමාජ භේදයන් අවුලුවන, ජාතික සතුරුකම් පෝෂනය කරන හා ආඥාදායක පාලන රූපයන් වර්ධනය කරන ප‍්‍රධාන උපකරනය බවයි.

යුරෝපා සංගමයේ සමස්ත ඉතිහාසයම 1917 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ප‍්‍රකාශයට පත් කරන ලද මාක්ස්වාදී ආස්ථානය සනාථ කර තිබේ. එනම්, “ධනපති ආන්ඩුවල ගිවිසුමක් මාර්ගයෙන් ඉහලින් එන අඩක් සම්පූර්න පාර්ශ්වීයව ස්ථිරසාර යුරෝපයේ ආර්ථික එකමුතුවක් මුලුමනින්ම මනෝරාජ්‍යයක්” බවයි.

“නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට එක සමානව හා පොදුවේ සමස්ත සංස්කෘතික වර්ධනයට ද දැවැන්ත වාසි ගෙන දෙන යුරෝපයේ ආර්ථික එකමුතුවක් වනාහි අධිරාජ්‍යවාදී ආරක්ෂනවාදයට හා එහි උපකරනය වන යුදවාදයට එරෙහි සිය අරගලය තුල යුරෝපා කම්කරු පන්තිය සිදු කල යුතු විප්ලවවාදී කර්තව්‍යයක්” බව ට්‍රොට්ස්කි තව දුරටත් සඳහන් කලේය.

යුරෝපා සංගමය නියෝජනය කරන්නේ, යුරෝපීය මහජනතාවන්ගේ ඒකාබද්ධතාව නොව, යුරෝපය මත පවත්නා අති බලගතු ආර්ථික හා මූල්‍ය අවශ්‍යතාවන්ගේ ආඥාදායකත්වයයි. එය යුරෝපීය බලවතුන් කම්කරු පන්තියට එරෙහි සිය ප‍්‍රහාර සංවිධානය කරන, ඔවුන්ගේ ගැටුම් කි‍්‍රයාවට දමන හා ඔවුන්ගේ යුද්ධ සැලසුම් කරන රාමුව සම්පාදනය කරයි.

2008 මූල්‍ය කඩාවැටීමෙන් පසුව, බර්ලිනයේ පෙලඹවීම මත, බ‍්‍රසල්ස්හි යුරෝපා සංගමයේ බලධාරින් ගී‍්‍රසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා අයර්ලන්තය මත ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් පටවා ඇත. එය මිලියන සංඛ්‍යාත ජනයා විරැකියාවට හා දුප්පත්කමට ඇද දමා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව හා වැඩිහිටි ප‍්‍රතිලාභ විනාශ කර දමා අනාගත පරම්පරාවේ අනාගත බලාපොරොත්තු බිඳ දමා තිබේ.

මීට හරියටම වසර දහයකට පෙර යුරෝපා සංගමයට ඇතුලු වූ නැගෙනහිර යුරෝපයේ රටවල් ජාත්‍යන්තර සංගත සඳහා ලාභ ශ‍්‍රම වේදිකා බවට පරිවර්තනය කරනු ලැබ තිබේ. එම රටවල් පුද්ගලීකරන හා සමාජ සේවා කප්පාදු වට මිනිය නොහැකි සංඛ්‍යාවක් හරහා ගමන් කොට ඇති අතර එමගින් සමස්ත මහජන පොදු කාර්ය ව්‍යුහයන් කඩා බිඳ දමා ඇත.

සමාජ ප‍්‍රතිවිප්ලව ලැයිස්තුවේ ඊලඟට සිටින්නේ ප‍්‍රන්සය හා ඉතාලියයි. යුරෝපා කොමිසම, මූල්‍ය පුවත්පත් සහ ජාත්‍යන්තර මූල්‍ය වංශාධිපති පැලැන්තියේ අන් සියලු හොරනෑ අවධාරනය කරන්නේ පශ්චාත්-යුද කාල පරිච්ඡේදයේ අමාරුවෙන් දිනා ගනු ලැබූ සමාජ ජයග‍්‍රහනයන්ගෙන් ඉතිරි වී ඇති සියල්ලම විනාශ කල යුතු බවයි.

යුරෝපයේ ශක්තිමත්ම ආර්ථිකය යයි කියනු ලබන ජර්මනිය, කම්කරුවන්ට එරෙහි මෙම ප‍්‍රහාරයෙන් නිදහස් නැත. දැනටමත් කම්කරුවන්ගෙන් තුනෙක් එකක් වැඩ කරන්නේ අඩමාන කොන්දේසි යටතේයි. හතරෙන් එකකට පූර්න කාලීන රැකියා නැත. හයෙන් එකක් දරිද්‍රතාවයේ අවදානමේ සිටී.

ජර්මානු යුදවාදයේ නැගීම හා යුකේ‍්‍රනයේ යුද තල්ලුව මෙම නැගෙන ප‍්‍රතිඝතිතාවන්ගේ සෘජු ප‍්‍රතිඵලයකි.

නැගෙන සමාජ විරුද්ධත්වය, ගැඹුරු වන ආර්ථික අර්බුදයක්, යුරෝ මුදල බිඳවැටීමේ අනතුර හා යුරෝපා සංගමය බිඳ විසිරීමක තර්ජනය හමුවේ, ජර්මානු අධිරාජ්‍යවාදය දෙවන ලෝක යුද්ධයේ සිය යුද අපරාධ හේතුවෙන් ඔවුන්ගේ යුදවාදය මත පනවන ලද සීමාවන් දැන් ප‍්‍රතික්ෂේප කරයි. 1914 දි හා 1930 ගනන්වලදී මෙන් සමහන් කල නොහැකි ආර්ථික හා සමාජ ප‍්‍රතිවිරෝධතාවන්ට මුහුන දෙනු ලැබ එය යුදවාදය හා යුද්ධය දෙසට හැරී ඇත.

අතීතයේ දී, යුරෝපා සංගමය තුල ජර්මනියේ අධිපති කි‍්‍රයාකලාපය ප‍්‍රධාන වසයෙන් පාදක වූයේ, එහි ආර්ථික ශක්තිය මතයි. අනාගතයේ දී, එය සිය අධිපති කි‍්‍රයාකලාපය පවත්වා ගෙනු යනු පිනිස සිය මිලිටරි බලය යහමින් යොදා ගනු ඇත.

යුදවාදයේ වර්ධනය යුරෝපා සංගමයේ ප‍්‍රතිගාමී ස්වභාවය වඩාත් විවෘතව එලිදරව් කරනු ඇත. කලින්, එය ප‍්‍රධාන කොටම අර්ථදැක්වුනේ, ප‍්‍රාග්ධනයේ හා භාන්ඩවල නිදහස් සංසරනය හා පොදු මුදල් ඒකකය වැනි ආර්ථික කාරනා මගිනි. අනාගතයේ දී, පොදු සතුරෙකුට එරෙහි අරගලය මගින් යුරෝපා සංගමයේ අභ්‍යන්තර සංශක්තියේ පදනම ලෙස ආර්ථිකය විස්ථාපනය කෙරෙනු ඇත.

යලි සන්නද්ධ වීමේ දැවැන්ත වියදම හා එයට එරෙහි දැවැන්ත මහජන විරුද්ධත්වය හමුවේ, යුදවාදයට හැරීම නොවැලැක්විය හැකි ලෙසම කම්කරු පන්තියේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන් සමග එකට යනු ඇත.

යුරෝපා සංගමය පොලිස් රාජ්‍යයක ව්‍යුහය ප‍්‍රවර්ධනය කිරීමෙහි ලා මූලික කි‍්‍රයාකලාපය දැනටමත් ඉටු කරයි.

බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ හා ප‍්‍රන්සයේ රහස් ඔත්තු සේවාවන් යුරෝපයේ හා ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට එරෙහිව ඔත්තු බැලීමෙහිලා සිය ඇමරිකානු හවුල්කරුවන් සමග සමීපව සහයෝගයෙන් වැඩ කරන බව එඩ්වර්ඩ් ස්නෝඩන් එලිදරව් කර ඇත.

යුරෝපොල් සහ සෙසු යුරෝපීය පොලිස් ඒජන්සි යුරෝපීය පුරවැසියන් මිලියන ගනාවකගේ පුද්ගලික විස්තර හා ඔවුන් ගැවසෙන තැන් පිලිබඳ තොරතුරු ඇතුලත් දැවැන්ත දත්ත ගබඩාවක් ගොඩනගා ඇත.

යුරෝපයේ දේශසීමා බලකොටුවක් බවට පරිවර්තනය කර තිබෙන අතර එය තුල සෑම වසරකම සරනගතයන් දහස් ගනනක් මරනයට පත්වේ.

වසර ගනනාවක කප්පාදු පිලිවෙත් හා යුදවාදයේ නැගීම වරක් යුරෝපීය “කම්කරු ව්‍යාපාරය” ලෙස සාවද්‍යව හැඳින්වූ සංවිධානවල -- එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂ, සාවද්‍යව නම් කෙරුනු කොමියුනිස්ට් පක්ෂ සහ වෘත්තීය සමිතිවල -- මුලුමනින්ම ප‍්‍රතිගාමී ස්වරූපය එලිදරව් කර තිබේ.

මීට වසර 100කට ඉහත දී, දෙවන ජාත්‍යන්තරයේ නායක පක්ෂ ඔවුන්ගේ යුද විරෝධී කි‍්‍රයාමාර්ගය පාවා දී පලමු වන ලෝක යුද්ධයේ දී සිය පාලක පන්තීන්ට සහයෝගය දුන්හ. අද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට පාවා දිය හැකි කිසිවක් නැත. කි‍්‍රයාමාර්ගිකව හා භාවිතයේ දී ද, ඔවුහු යුදවාදයට හා කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයන්ට අනවශේෂයෙන් ම ප‍්‍රතිඥා දී සිටිති.

මීට වසර 10කට ඉහත දී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියකු වන ජර්මානු චාන්සලර් ගර්හාඩ් ස්රොඩර්, සිය “2010 න්‍යාය පත‍්‍රය” මගින් කම්කරුවන්ගේ අයිතීන් හා කොන්දේසිවලට එරෙහි ප‍්‍රහාර සඳහා යුරෝපීය මිනුම් ලකුන සැකසීය. අද එම පක්ෂයේ විදේශ ඇමති ෆ‍්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මයිර් ජර්මානු යුදවාදයේ පුනර්ජීවනය සඳහා උද්ඝෝෂනයට නායකත්වය දෙයි.

ඉතාලිය තුල, පැවති කොමියුනිස්ට් පක්ෂයේ පසුප‍්‍රාප්තිකයෝ, දශක ගනනාවක කටුක අරගලයකින් ඉතාලි කම්කරුවන් දිනා ගත් සමාජ අයිතීන් සියල්ල අතුගා දැමීමට ප‍්‍රතිඥා දී තිබේ. අගමැති මෙටියො රෙන්සි සංගත ප‍්‍රධානින්ගේ, මූල්‍ය ජාවාරම්කරුවන්ගේ හා බැංකුවල ආදරවන්තයා බවට පත්ව ඇත.

ප‍්‍රන්සයේ සමාජවාදි පක්ෂයේ ජනාධිපති ප‍්‍රන්සුවා හොලන්දෙ මෑතම මැතිවරන පරාජයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ සිය පක්ෂයේ වඩාත්ම දක්ෂිනාංශිකයා අගමැති ලෙස නම් කිරීමෙනි. මැනුවෙල් වල්ස්ගේ මෙහෙවර සමන්විත වන්නේ, කම්කරු පන්තියට එරෙහි යුද්ධය උත්සන්න කිරීම සහ ස්වෝත්තමවාදී ආයාචනා සිදු කිරීම මගිනි.

මෙය නොවැලැක්විය හැකි ලෙසම නව-ෆැසිස්ට්වාදී ජාතික පෙරමුන ශක්තිමත් කරනු ඇත . එය අනවශ්‍ය උප ප‍්‍රතිඵලයක් නොව දැනුවත්ව හඹා යා යුතු දේශපාලන ඉලක්කයකි. කම්කරු පන්තියේ නැගෙන විරුද්ධත්වයට මොන යම් හෝ සහනයක් දෙනවාට වඩා ජාතික පෙරමුනේ ආන්ඩුවක් පිලිගැනීමට හොලන්දෙ කැමති වනු ඇත.

වල්ස් විසින් සූදානම් කෙරෙන කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විධික‍්‍රම මගින් කි‍්‍රයාවට දැමිය නොහැකිය. පාලක පන්තිය පන්ති අරගලය මැඩීම පිනිස ෆැසිස්ට්වාදීන්ට කැඳවුම් කිරීමේ අදහස ගැන වඩවඩා සිය සැලකිල්ල යොමු කරමින් සිටී. මෙය ප‍්‍රන්සයට පමනක් සීමාවූවක් නොවේ. කියෙව්වල ෆැසිස්ට් නායකත්වයෙන් යුක්ත බල කොල්ලයකට යුරෝපා සංගමය දුන් සහයෝගය මේ සම්බන්ධයෙන් පැහැදිලි මූලික වෙනසක් සලකුනු කරයි.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ලැබේ. ඒවා තව දුරටත් කම්කරු සංවිධාන නොව, වරප‍්‍රසාදිත නිලධරවාදී උපකරනය. ඒවායේ නිලධාරින්ට කම්කරුවන් පාවාදීම වෙනුවෙන් යහමින් ගෙවනු ලැබේ. අද සෑම දොට්ටදැමීමක්ම, වැටුප් කප්පාදුවක්ම, කම්හල් වසාදැමීමක්ම ඔවුන්ගේ අනුමැතිය දරා සිටී. විරෝධතා හා වර්ජන වැලැක්වීමට ඔවුන් මුලුමනින්ම අපොහොසත් වන අවස්ථාවන්හිදී, ඒවා කිසිදු ජයග‍්‍රහනයක් කරා නොයන බවට නිලධරය වගබලා ගනී.

ජර්මනියේ වාම පක්ෂය, ප‍්‍රන්සයේ ෆ්‍රොන්ට් ද ගෝච් හා ගී‍්‍රසියේ සිරිසා වැනි පක්ෂ විශේෂයෙන් ම පිලිකුල් සහගත කි‍්‍රයාකලාපයක් ඉටු කරයි. ඒවා වෘත්තීය සමිතිවලට සමීපව බැඳී සිටී. ඔවුහු කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමෙන් වැලැක්වීමට සිය මුලු වැර යොදා වැඩ කරති. විටින් විට ඔවුහු කම්කරුවන් රැවටීමට “වාම” වාග් පාඨ යොදා ගනිති. එහෙත්, භාවිතයේ දී, ඔවුහු ධනවාදය හා යුරෝපා සංගමය කොන්දේසි විරහිතව ආරක්ෂා කරති.

අපගේ ව්‍යාපාරය මෙම බලවේගවලට මුලුමනින්ම සතුරු අතර සෑම අයුරකින්ම ඒවාට විරුද්ධව සිටී.

අපි යුරෝපා සංගමයත් යුරෝපා පාර්ලිමේන්තුව ඇතුලු එහි සියලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආයතනත් ප‍්‍රතික්ෂේප කරමු. යුරෝපා සංගමයට අපගේ පිලිතුර යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමයකි. මෙය හුදු සටන් පාඨයක් නොව විප්ලවවාදී සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා පදනමයි.

යුරෝපය පුරා ම වැඩ කරන ජනතාව සිය ජීවනෝපායන් විනාශ කිරීමට හා යුද තර්ජනයට විරුද්ධව සිටි. අපි ඔවුන් ධනවාදයට එරෙහි පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදිමු.

අපි සියලුම ආකාරයේ ආගමනික-විරෝධී ස්වෝත්තමවාදයන්ට, වර්ගවාදයන්ට ද ස්කොට්ලන්තයේ, කැටලෝනියාවේ, උතුරු ඉතාලියේ හා බෙල්ජියමේ බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම ඇතුලු ජාතිකවාදයන්ට ද එරෙහිව නැගී සිටිමු. ඒවා පොදු සතුරාට එරෙහිව ඒකාබද්ධ අරගලයක් අත්‍යවශ්‍ය වී ඇති අවස්ථාවක කම්කරුවන් අතර තව දුරටත් භේද වගා දිගා කිරීමට හේතු වේ.

අපි සෑම රටකම කම්කරු ආන්ඩු ගොඩනැගීම ද සමාජවාදී පදනමක යුරෝපය ඒකාබද්ධ කිරීම ද ඉල්ලා සිටිමු.

යුරෝපය ජාතිකවාදයට හා යුද්ධයට ඇදවැටීම වලකාලිය හැකි වූ ද එහි පුලුල් සම්පත් හා නිෂ්පාදන බලවේග සමස්තයක් ලෙස සමාජයේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම හා වර්ධනය කිරීම සඳහා කොන්දේසි නිර්මානය කල හැකි වූ ද එකම මාර්ගය මෙයයි.

බි‍්‍රතාන්‍යයේ හා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂ මෙම කි‍්‍රයාමාර්ගය සඳහා සටන් වැදීම සහ යුරෝපය පුරා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම පිනිස යුරෝපීය මැතිවරන සඳහා තරඟ වදී.

Share this article: