සසජාතශි බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සාර්ථක රැස්වීමක් පවත්වයි

Packed IYSSE meeting at Humboldt University in Berlin

අපගේ වාර්තාකරුවන් විසිනි, 2014 ඔක්තෝබර් 25

සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ(සසජාතශි-ජර්මනිය) ඔක්තෝබර් 23වැනිදා බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ දී ඉතා සාර්ථක රැස්වීමක් පැවත්වූහ. බොහෝ හම්බෝලට් ශිෂ්‍යයින් මෙන්ම බර්ලිනයේ වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය කන්ඩායම්, ආධුනිකයින් හා කම්කරුවන් ඇතලු 200ක් පමන දෙනා ගෙන් රැස්වීම් ශාලාව පිරී තිබුනි. විශ්විවද්‍යාල බලධාරීන් රැස්වීම වාරනය කිරීමට උත්සාහ ගෙන තිබුන තත්වය තුල සහභාගිත්වය විශේෂයෙන් ම සැලකිය යුතු ය.

බර්ලින් හි රැස්වීම

“ජර්මානු ප්‍රභූවට නැවත වතාවක් යුද්ධය අවශ්‍ය වන්නේ මන්ද?” මැයෙන් වූ රැස්වීමේ මාතෘකාව පිලිබඳව විශාල උනන්දුවක් පැවතුනි. සහභාගීවූවන් පැවසුවේ ඔවුන් රැස්වීම නිවේදනය කරන පුවරු දැක කැමැත්තෙන්ම “සහභාගී වීමට” තීරනය කල බව යි. සමාජවාදී සමානාතා පක්ෂයේ තරුන ව්‍යාපාරය වන සසජාතශි මීට පෙර එම මාතෘකාව මත ම ෆ්‍රැන්ක්ෆර්ට් හා බෝකුම්වල ද සාර්ථක රැස්වීම් පවත්වා තිබුනි. තවදුරටත් රැස්වීම් සැලසුම් කෙරේ.

සමාජවාදී සමානතා පක්ෂයේ විධායක කමිටු සාමාජික හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ස්වාස්, සහභාගීවූවන් විශාල අවධානයකින් සවන්දුන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කලේ ය. හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ සසජාතශි නියෝජිතයෙකු ස්වාස් පිලිගත්තේ, සන්දෑවේ නඟනු ඇති ප්‍රශ්නවලට පිලිතුරු දීමට මීට වඩා සුදුසු අයෙකු නොමැති බව පවසමිනි. ඒ මන්ද කියතොත්, ලෝක බලවතෙක් වීමට ජර්මනිය තුල යලි පන ගැන්වී ඇති තල්ලුව සඳහා වන දේශපාලන හා ඓතිහාසික හේතු විශ්ලේෂනය කිරීමේදී ලෝක සමාජවාදි වෙබ් අඩවි කතෘ මන්ඬල සාමාජි‍කයෙකු ලෙස ස්වාස් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබූ හෙයිනි.

පීටර් ස්වාස් රැස්වීම අමතමින්

ආරම්භයේ දී ම ස්වාස් පසු ගිය වසර තිස්සේ ජර්මනිය තුල අතිමූලික වෙනස්කම් ඇති වී තිබෙන බව අවධාරනය කලේ ය. “ජර්මානු ප්‍රභූව හදිසියේ ම යුද්ධය වෙනුවෙන් කථා කිරීමට පටන්ගෙන ඇතැ” යි ඔහු පැවසී ය. “ දේශපාලඥයෝ මිලිටරි මැදිහත්වීමක් හා යලි සන්නද්ධ කිරීමක් ඉල්ලමින් සිටිති. මාධ්‍යය රුසියාවට එරෙහිව ප්‍රචාරය ගෙන යන අතර ටැගස්තිමෙන් වැනි ප්‍රවෘත්ති වැඩසටහන් පවා ඒ වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් නො නවත්වා ප්‍රචාරයේ යෙදෙ යි.”

බොහෝ දෙනෙක් මෙම වර්ධනයන් සම්බන්ධයෙන් බෙහෙවින් කනස්සල්ලට පත්වන අතර ජනගහනයේ බහුතරය ඒවාට විරුද්ධ වෙතැ යි ඔහු පැවසී ය. කෙසේ නමුත්, යුද්ධයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වඩා ගැඹුරු ඓතිහාසික අවබෝධයක් හා දේශපාලන ඉදිරිදර්ශනයක අඩුව පවතී.

පලමු කොටසේ දී ස්වාස්, ජනතාවට හොරෙන් ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය ක්‍රමානුකූලව සූදානම් කෙරුනේ කෙසේ දැ යි විස්තරාත්මකව පෙන්වා දුන්නේ ය. වසරකට වැඩි කාලයක් පුරා දේශපාලන බුද්ධි මන්ඬල, ආන්ඩුවේ අමාත්‍යංශ, පක්ෂ පදනම් ආයතන, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, සංගත හා මාධ්‍ය ආන්ඩුවට සම්බන්ධ ජාත්‍යන්තර හා ආරක්ෂක කටයුතු පිලිබඳ ආයතනය හා වොෂින්ටනයේ ජර්මානු මාෂල් අරමුදලේ බුද්ධි මන්ඩලයෙහි මග පෙන්වීම යටතේ නව විදේශ ප්‍රතිපත්ති මූලෝපායක් සකස් කලහ.

“නව බලය, නව වගකීම” නම් හෙලිදරව්කාරී ශීර්ෂපාඨයක් සහිතව සාකච්ඡා තුලින් මතුවූ මුලෝපායික ලියවිල්ල, ප්‍රමුඛ මිලිටරි මැදිහත්වීම් වල දී ජර්මනිය වැඩි වගකීමක් බාර ගත යුතු බව කියා සිටියේය. “වානිජ්‍ය හා අපනයන” මත පදනම්වූ රටක් ලෙස ජර්මනිය සැබවින් ම වෙනත් කිසි ම රටකට වඩා “අනෙකුත් වෙලඳපොලවල ඉල්ලීම්, මෙන් ම ජාත්‍යන්තර වෙලඳ මාර්ගවලට ප්‍රවේශවීම හා අමුදව්‍ය” මත යැපෙන්නෙකු වී ඇතැයි තර්ක කරමින් ඔවුහු සිය අදහස යුක්තිසහගත කරති.

පවර් පොයින්ට් තාක්ෂනයේ සහාය ඇති ව, ස්වාස් දේශපාලන කුමන්ත්‍රනයේ පරිමාව හෙලිදරව් කලේ ය. පසු ගිය වසරේ ඔක්තෝබර් 3වැනිදා ජර්මානු ජනාධිපති ජොකිම්ගේ කතාව, “නව බලය, නව වගකීම” නම් මුලෝපායික ලියවිල්ලට වචනයෙන් වචනය අනුරූප වන්නේ අහම්බෙන් නො වේ යයි ඔහු පැවසී ය. ව්‍යාපෘතියේ ප්‍රමුඛයෙකු වූ තෝමස් ක්ලේන් - බ්‍රොකෝෆ්, දැන් ගෝක්ගේ කතා රචකයෙකු ලෙස ජනාධිපති කාර්යාලයේ සේවය කර යි.

යමෙකු “නව බලය, නව වගකීම” ව්‍යාපෘතිය තුල හවුල්වන්නන්ගේ ලැයිස්තුව පරීක්ෂා කල හොත්, සියළු ම පාර්ලිමේන්තු පක්ෂ, මාධ්‍ය හා විශ්වවිද්‍යාල යුද ආක්‍රමනයට එක් ව තිබෙන බව දැක ගැනීම පුදුමයක් විය නොහැක. වාම පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක ඊට හවුල්වී තිබුනාක් මෙන් ම හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිලිබද මහාචාර්ය ජෝජ් නෝල්ටේ ද එක් වී තිබුනි.

විදේශ ප්‍රතිපත්තියේ මාරුවක් පිලිබඳ සාකච්ඡා කිසිදු අර්ථයකින් න්‍යායික මට්ටමේ පමනක් සිදු නොවූ බව ස්වාස් පැහදිලි කලේ ය. “නව ආන්ඩුව බලයට පත්වුන දා සිට එය සියළු ශක්තිය යොදා මෙම ක්‍රියාමාර්ගය දියත් කර ඇතැ” යි ඔහු පැවසී ය. “පලමුව යුක්‍රේනයේ දක්ෂිනාංශික කුමන්ත්‍රනය හා නැගෙනහිර යුරෝපය තුල නේටෝ මිලිටරි හමුදා ව්‍යාප්තිය හා දැන් මැද පෙරදිග ජර්මානු මැදිහත්වීම” එහි අවස්ථා ය.

ස්වාස් ඔහුගේ වාර්තාවේ දෙවැනි කොටස කැප කලේ ප්‍රශ්නවලට පිලිතුරු සැපයීමට ය. “ජර්මානු ප්‍රභූවට නැවත වතාවක් යුද්ධය අවශ්‍ය ඇයි” ඔහු සැප්තැම්බරයේ දී යුද්ධයට එරෙහිව පැවැත්වූ හදිසි සම්මේලනයේ දී සසප විසින් අනුමත කරන ලද “ජර්මානු අධිරාජ්‍යවාදයේ පුනරාගමනය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” නම් යෝජනාව උපුටා දැක්විය. එහි ප්‍රධාන ඡේදයක් මෙසේ පවස යි: “ජර්මානු මිලිටරිවාදයේ පුනර්ජීවනයට හේතුව වන්නේ, ගෝලීය ධනවාදයේ හා එය රඳා පවතින ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික අර්බුදය යි.”

20වැනි සියවස ආරම්භයේ දී මෙන් ම 1930 ගනන්වල ජර්මානු ප්‍රභූව ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් වඩ වඩාත් ආක්‍රමනකාරී විදේශ ප්‍රතිපත්තියක් වෙත හැරුනි. 1932දී ට්‍රොට්ස්කි හිට්ලර්ගේ නඟීමට පාදක වූ වෛෂයික ගාමක බලවේග විභාග කලේය. ඔහු ජර්මනිය හැඳින්වූයේ, “යුරෝපීය ආවෘත අන්තරය පිලිබඳ කොන්දේසි යටතේ වඩාත්ම ප්‍රගතිශීලී ධනවාදය” ලෙස ය. පලමු හා දෙවැනි ලෝක යුද්ධවල දී මෙන් ම ජර්මානු ප්‍රභූව ලෝක බලවතෙක් වීමේ අටියෙන් යුරෝපයේ ආධිපත්‍යය ගැනීමට නැවත වෙර දරති.

විල්හෙම් රයික්ගේ සිට තුන්වැනි රයිකය හරහා දැන් ස්ටේන්මීයර් යටතේ පවතින විදේශ අමාත්‍යංශය දක්වා ඍජු රේඛාවක් ගැන කතා කිරීම අතිශයෝක්තියක් නො වේ. අතීතයේ දී මෙන් ම ජර්මානු අධිරාජ්‍යාවදය, මීට පෙර සෝවියට් සංගමයට හෝ සාර් අධිරාජ්‍යයට හෝ අයිතිව තිබූ යුක්‍රේනය, ජෝර්ජියාව හා අනෙකුත් රටවල් ජර්මානු බලපෑම් ක්ෂේත්‍රයට ඒකාබද්ධ කිරීම ඉලක්ක කරගෙන ඇත. අද ජර්මානු අධිරාජයවාදය මෙම අරුමුන සඳහා තමන් අධිකාරය දරන යුරෝපීය සංඟමය මේ සඳහා ප්‍රයෝජනයට ගනියි.

“මෙහි දී එය ස්වබෝදා පක්ෂය හා ස්කොරෝපැඩ්ස්කි හා නාසි හවුල්කරුවෙකු වූ ස්ටීවන් බන්ඩේරාට ප්‍රශංසා කල පීතෘභූමි පක්ෂය වැනි දේශපාලන බලවේග සමග සමීප සහයෝගීතාවයකින් ක්‍රියා කරයි” ස්වාස් පැවසී ය.

“ජර්මනියේ ඉරනම: ලෝකය මෙහෙයවනු පිනිස යුරෝපය මෙහෙයවීම” නම් හෙලිදරව්කාරී මාතෘකාවක් සහිත විදේශ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ රචනාවක් ස්වාස් ගෙන හැර දැක්වී ය. තවත් උදාහරනයක් වූයේ හිටපු හරිත පක්ෂ නායක ජොෂ්කා ෆිෂර්ගේ (Will Europe Fail?) යුරෝපය අසමත් වේ ද? යන පොත යි. එහි හිටපු විදේශ ඇමති මෙසේ ලිය යි: “ජර්මනියේ දෙවැනි යලි එක්සත් වීමෙන් දශක දෙකකට පසුව ජර්මනියේ කේන්ද්‍රීය තත්වය පිලිබඳ පැරනි පරස්පරවිරෝධයන් විසින් ජර්මනිය හා යුරෝපය නැවත වතාවක් පසු කර ගොස් ඇත. ජර්මනිය තවමත් යු‍රෝපය සඳහා විශාලව පවතින නමුත් ලෝකය සඳහා ඕනෑවට වඩා කුඩා ය, ස්වාධීන ලෝක දේශපාලන කාර්යභාරයකට ද ඕනෑවට වඩා කුඩා ය.”

ජර්මානු අධිරාජ්‍යවාදී දේශපාලනයේ පුනරාගමනය ඉතිහාසය සංශෝදනය කිරීම සමග ඒකාබද්ධ වූයේ කෙසේ දැ යි ස්වාස් පෙන්වා දුන්නේ ය. ලෝක යුද්ධ දෙකේ මූලයන් හා ඒ සම්බන්ධයෙන් ජර්මනියේ වගකීම පිලිබඳ ව මීට පෙර පැවති අවබෝධය සංශෝධනය කිරීමට ක්‍රමානුකූලව වැඩකරන දේශපාලන විද්‍යාව පිලිබඳ හර්ෆ්‍රීඩ් මූන්ක්ලර් හා නැගෙනහිර යුරෝපා ඉතිහාසය පිලිබඳ දෙපාර්තමේන්තු ප්‍රධානි ජෝජ් බාබෙරොව්ස්කි වැනි මහාචාර්යවරුන් හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ම සිටින බව ඔහු පැවසී ය. වඩා ආක්‍රමනකාරී ජර්මානු විදේශ ප්‍රතිපත්තියක් සඳහා යුද බෙර වැයීමට දෙදෙනාම ඔවුන්ගේ ශාස්ත්‍රාලික තත්වයන් යොදා ගනිති.

මෙම සන්දර්භය තුල, රැස්වීමට සූදානම්වීම අතරතුර සසජාතශි හා විශ්වවිද්‍යාල බලධාරීන් අතර ගැටුම ස්වාස් සාකච්ඡා කලේ ය. “ශාස්ත්‍රාලික කතිකාවක ප්‍රමිතීන් උල්ලංගනය කල පැල්ලමක්” හා “අපහාසයක්” ලෙස දක්ෂිනාංශික මහාචාර්යවරුන්ගේ විවේචන ඉදිරිපත් කරමින් පාලනාධිකාරය දේශපාලනිකව රැස්වීම වාරනය කිරීමට උත්සාහ ගෙන තිබූ බව ඔහු පැහැදිලි කලේ ය.

ස්වාස් දැඩි ලෙස එම චෝදනාව ප්‍රතික්ෂේප කලේ ය. සසජාතශි කිසිදා කිසිවෙකුට අපහාස කර හෝ පැල්ලම් ඇති කර නැති නමුත් කතා සන්දර්ශන, ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡා හා පුවත්පත් ලිපි සහ ප්‍රසිද්ධ කන්ඩායම් සාකච්ඡාවල දී හම්බෝල්ට් මහාචාර්යවරුන් වන මූන්ක්ලර් හා බාබෙරොව්ස්කි පැවසූ දේ ස්වාස්, “ඉතා සිහිබුද්ධියෙන් යුතු ව හා වෛෂයිකව විශ්ලේෂනය කලේ ය. ”

බාබෙරොව්ස්කිගේ ප්‍රකාශන විශේෂයෙන් ම නින්දිත ය. ඔවුන්ට එරෙහිව විරුද්ධවීමට ශිෂ්‍යයින්ට අයිතියක් පමනක් නො ව යුතුකමක් ද ඇතැයි ස්වාස් ප්‍රකාශ කලේ ය. ඔහු උත්ධෘත ගනනාවක් ඉදිරිපත් කලේ ය.

මෙම වසරේ ෆෙබරවාරියේ දී, බාබෙරොව්ස්කි ඩර් ස්පීගල් පත්‍රයට මෙසේ පවසා තිබුනි:“හිට්ලර් මනෝව්‍යාදිකයෙකු නො වී ය, ඔහු දුෂ්ටයෙක් ද නො වී ය. ඔහුගේ මේසය මත දී යුදෙව් සමූලඝාතනය සාකච්ඡා කිරීමට ඔහුට අවශ්‍ය නො වී ය. ”

ඔක්තෝබර් මස ආරම්භයේ දී, අයිසිස් හා තලීබාන් වැනි රාජ්‍ය නොවන කන්ඬායම් වලට එරෙහිව මිලිටරි සටන ගැන ජර්මානු ‍ඓතිහාසික කෞතුකාගාරයේ ප්‍රසිද්ධ සාකච්ඡාවක දී බාබෙරොව්ස්කි මෙසේ පැවසී ය,“ මිනිසුන් ප්‍රාන ඇපයට ගැනීමට, ගම් ගිනි තැබීමට, මිනිසුන් එල්ලා මැරීමට, ත්‍රස්තවාදීන් කරන ආකාරයට ත්‍රස්තවාදය හා භීෂනය පැතිරවීමට යමෙකු සූදානම් නැති නම්, එය කිරීමට යමෙකු සූදානම් නැති නම්, යමෙකු එවැනි ගැටුමක් ජය නො ගනී.”

සිය වාර්තාව සමාප්ත කරමින් ස්වාස් තීරනාත්මක ප්‍රශ්නය ඉදිරිපත් කලේ ය: “යුද්ධයට හා ජර්මානු මිලිටරිවාදයේ යලි පැමිනීමට එරෙහිව කල යුත්තේ කුමක් ද?” යුද්ධයට එරෙහි අරගලය සමාජවාදී හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය ඒකරාශී කිරීමෙන් වෙන් කල නො හැකි බව ඔහු පැවසී ය.“යුද්ධයට එරෙහි සටනකින් තොර ව සමාජවාදය සඳහා සටනක් තිබිය නො හැකි ය, අනෙක් අතට සමාජවාදය සඳහා සටනින් තොර ව යුද්ධයට එරෙහි සටනක් ද නැතැ” යි ඔහු පැවසී ය.

“සසප හා එහි තරුන සංවිධානය වන සසජාතශි මිලිටරිවාදයට හා යුද්ධයට එරෙහිව අරගලය න්‍යායිකව, දේශපාලනිකව හා සංවිධානාත්මකව පදනම් කරන්නේ කම්කරු පන්තිය මත ය” යි ස්වාස් කීවේ ය.

ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: “ජාත්‍යන්තර පන්තියක් වශයෙන් තුන්වැනි ලෝක යුද්ධය වැලක්විය හැකි එක ම බලවේගය එය යි. එහි අවශ්‍යතාවන් එය ධනේශ්වර පද්ධතිය සමග ගැටුම තුලට ගෙන එයි. එහෙත් සමාජවාදී විප්ලවය ස්වයංක්‍රීය ක්‍රියාවලියක් නොවේ. එහි ලයමානයේ අධිෂ්ඨානය හා එහි සාර්ථකත්වය දේශපාලන පොරපිටිය මත තීරනයවේ. දෙවැනි ලෝක යුද්ධය ආසන්නයේ දීට්‍රොට්ස්කි පැවසූ පරිදි, “මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට පත්ව ඇත. මෙම අර්බුදයේ විසඳීම රඳා පවතින්නේ අප පක්ෂයේ තීරන, වැඩකටයුතු හා එය ගොඩනැගීම මත ය. ”

දේශනය පිලිබඳව පැවති උනන්දුව නිසා සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට එලඹෙන සඳුදා පසුවිපරම් රැස්වීමක් පැවත්වීමට ද එකඟවුනි.

Share this article: