කියෙව් හා නේටෝව රුසියාවට එරෙහි තර්ජන උත්සන්න කරයි

Kiev, NATO step up threats against Russia

ක්‍රිස්ටෝෆර් ඩ්රියර් විසිනි , 2014 නොවැම්බර් 20

බ්‍රිස්බේන්හි පැවති ජී 20 සමුලුවේදී රුසියානු ජනාධිපතිට එල්ල කල ප්‍රහාරයන්ගෙන් පසුව නැඟෙනහිර යුක්‍රේනයේ සටන් උග්‍ර අතට හැරී තිබේ. එකිනෙකා අනෙකා මත වගකීම පටවති.

පුටින්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයෙන් තමන් ශක්තිමත් වී ඇතැයි කියෙව් ආන්ඩුව කල්පනා කරයි. සැප්තැම්බර් මුල, රුසියානු බස කථාකරන බෙදුම්වාදීන් අතින් නියත පරාජයක් ලබන තතු හමුවේ, එජ-යුරෝපීය සංඟමයේ පිටුබලය ලබන කියෙව් තන්ත්‍රය, සටන් විරාමයකට එකඟ විය. නේටෝ සාමාජිකයින්, මොස්කෝව මත තමන්ගේම මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික පීඩනය දැඩි කරද්දී ඒ මත වාරු වෙමින් ඔවුහු දැන් වඩ වඩාත් යුදවාදී ප්‍රවිෂ්ටයක් ගනිමින් සිටිති.

18දා කියෙව්, පැය 24ක් තුල සිය සෙබලුන් සිව් දෙනෙක් මියගිය බව කියා සිටියේය. ඒ කාලය අතරතුර යුක්‍රේනියානු හමුදාව 17 වතාවක් සටන් විරාමය උල්ලංගනය කල බව ඩොනෙට්ස්ක්හි ස්වයං ප්‍රකාශිත මහජන සමූහාන්ඬුව (ඩීවීආර්) කියා සිටි අතර අඩුම තරමින් සිවිල් වැසියන් 10ක් මියගිය බව ද පවසයි. ලුහාන්ස්හි උල්ලංගනය කිරීම් පහක් සිදුව ඇති බව බෙදුම්වාදීහු පවසති.

බැර කාලතුවක්කු හා හමුදාව මෙහෙයවමින් සිටින බවට දෙපාර්ශවය එකිනෙකාට චෝදනා කර ගනිති. ඕඑස්සීඊ හෙවත් ආරක්ෂාව හා සහයෝගිතාව පිලිබඳ යුරෝපීය සංවිධානයේ රුසියානු තානාපති ඇන්ඩ්රි කෙලින්, “රුසියව අද” යන රාජ්‍ය රූපවාහිනී වැඩසටහනේ පෙනී සිටිමින් පැවසුවේ, “බෙදීමේ මායිම දිගට අඛන්ඬව හමුදා යොදවන අතර යුක්‍රේන පාර්ශවය මහා පරිමානයේ හදිසි ප්‍රහාරයකට සූදානම් වන්නේ ද යන සැකය මෙයින් මතුවෙයි.”

දැනට තෙමසකට පෙර පනවන ලද මිලිටරි බද්දෙන් දැනටමත් ඩොලර් මිලියන 93ක් ලැබී ඇති බව යුක්‍රේනියානු භාන්ඬාගාරය සනාථ කර ඇත. ඒවා යෙදවෙන්නේ මිලිටරිය සන්නද්ධ කිරීමටය.

බෙදුම්වාදීන් හමුදා බලමුලු ගන්වන අතර රුසියාව යුක්‍රේනියානු දේශසීමාව වෙත හමුදාව මෙහෙයවා ඇතැයි යන කියෙව් තන්ත්‍රයේ ප්‍රකාශ නේටෝව පුනරුච්ඡාරනය කරයි. නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝටන්බර්ග් 18දා පැවසුවේ “හමුදා, ආම්පන්න, කාලතුවක්කු හා නවීනතම ගුවන් ආරක්ෂන පද්ධතීන් යොදවනු ලැබෙන අතර මෙය බරපතල මිලිටරි තර කිරීමකි. හමුදා ඉවත් කරගන්නා ලෙස අපි රුසියාවට පවසන්නෙමු.” යනුවෙනි.

මොස්කෝවේදී රුසියානු විදෙස් ඇමති සර්ගේ ලැවරොව් මුනගැසීමෙන් පසුව ජර්මානු විදේශ ඇමති වෝල්ටර් ස්ටේන්මියර් යුක්‍රේනයේ තත්වය විස්තර කලේ එය, “යුරෝපයේ සාමය සඳහා සැබවින්ම බරපතල අරබුදයක්” ලෙසය. “අප සිව්මංසලක් වැනි තැනකට පැමින සිටින්නෙමු. (බර්ලින්) තාප්පය බිඳ වැටීමෙන් විසිපස් වසරකට පසුව අප යලි වතාවක් මුහුන දෙන්නේ සාකච්ඡාව වෙනුවට නිහඬතාවයකටය..සහයෝගිතාවය වෙනුවට ගැටුමකටය.” ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට පෙර ස්ටේන්මියර් කියෙව්හිදී කථා කලේ “විශාල පරිමානයේ මිලිටරි ගැටුමක්” පිලිබඳවය. යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ හමුවීමෙන් පසුව ස්ටේනිමියර් පැවසුවේ, “ආරක්ෂක තත්වය බිඳවැටෙන සුලුය. සටන් විරාමය ද එසේමය. වාතාවරනය මෑත දිනවල උග්‍ර අතට හැරී තිබේ.” යනුවෙනි. මොස්කෝවේදී ඔහු පැවසුවේ, “වත්මන් තත්වය තුල ශුභවාදී වීමට හේතුවක් ඇත්තේ නැත.” ඔහු ගැටුමට සම්බන්ධ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ, සටන් විරාමයක් හා නැඟෙනහිර යුක්‍රේනයට ස්වයංපාලනය ප්‍රකාශ කල සැප්තැම්බරයේ අත්සන් තැබූ මින්ස්ක් ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසය.

ප්‍රචන්ඩත්වය පැතිර යාමේ සම්පූර්න වගකීම රුසියාව මත පටවමින්, “ඕනෑවට වඩා සාමකාමී” වීම වරදක් යයි ප්‍රකාශ කරමින්, සිඩ්නි නුවරදී ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් පැවැත්වූ අතිශයින්ම ආක්‍රමනකාරී කථාවකින් පසුව ස්ටේන්මියර්ගේ ප්‍රකාශ නිකුත් කෙරින.

ක්‍රෙම්ලිනය දැකගන්නේ නේටෝවේ ආක්‍රමනකාරී පියවර සිය ආරක්ෂාවට තර්ජනයක් ලෙසය. පුටින්ගේ ප්‍රකාශකයෙකු වන ඩිමිත්රි පෙස්කොව් බීබීසී සේවයට පැවසුවේ, “අපගේ සහකරුවන් අපට රතු ඉරි තිබෙන බවත්, ඔවුන්ට ඒවා පැන යා නොහැකි බවත් දැනගැනීම වැදගත්ය.“ යනුවෙනි.

රුසියාවේ ආරක්ෂක අවශ්‍යතා උල්ලංඟනය කරමින් බටහිර රටවල් යුක්‍රේනයේ කුමන්ත්‍රනයක් දියත්කර ඇතැයි පෙස්කොව් පැවසීය. රට වටලා ඇති අතර යුක්‍රේනය නේටෝවට සම්බන්ධ නොවිය යුතු බව සහතික කල යුතු බව අප පවසා ඇත්තෙමු. රුසියාවට තර්ජනයක් දැනීගොස් ඇති අතර එයට ගැලපෙන පරිදි ආරක්ෂක පියවර ගනු ඇත.

බෙලෝරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද පැවසුවේ තම රටට “බටහිර රටවල කටයුතු වලට සම්බන්ධ විය නොහැකි” බවය. 18දා මින්ස්කිහිදී ලැව්රොව් මුනගැසුනු අවස්ථාවේදී ඔහු පැවසුවේ, “අපගේ බටහිර දේශසීමාවන්හි පවතින තත්වය අපගේ කනස්සල්ලට හේතුවී ඇති” බවය.

මෑත දිනවලදී, පසුගිය පෙබරවාරියේදී කුමන්ත්‍රනයකින් බලයට පත් කල කියෙව් තන්ත්‍රය, නැඟෙනහිර යුක්‍රේනයේ ගැටුම උග්‍ර අතට පත්කර තිබේ. ජනාධිපති පොරෂෙන්කෝ මෙන්ම අගමැති ආසෙනි යැට්සෙන්යුක් ද බෙදුම්වාදීන් සමඟ අලුතින් සාකච්ඡා පැවැත්වීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට යැට්සෙන්යුක් කියා ඇත්තේ, රුසියාව සමඟ සාකච්ඡා වලට එක්සත් ජනපදය මෙන්ම යුරෝපීය සංඟමය ද සහභාගී විය යුතු බවය. “අපි රුසියානු ත්‍රස්තවාදීන් සමඟ සෘජු සාකච්ඡා නොපවත්වන්නෙමු“ යයි ඔහු පවසා ඇත. එහෙත් රුසියාව අවධාරනය කරන්නේ, කුමන හෝ නව සාකච්ඡා වටයකට කැරලිකරුවන් ද සහභාගී විය යුතු බවයි.

පසුගිය 15දා යුක්‍රේන ජනාධිපති, කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල සියලු පොදු සේවාවන් සඳහා ආන්ඩුවෙන් දෙන ප්‍රතිපාදන අත්හිටුවන ලෙස නියෝග කලේය. මේ අනුව පාසැල්, රෝහල් හා හදිසි සේවා සියල්ලට කෙරෙන සැපයුම් අත්හිටුවනු ලබයි. දෙසැම්බරය මුල සිට ඉන්ධන සපයනු ලබන්නේ අත්තිකාරම් ගෙවීමේ පදනම මතය. ජාතික බැංකුව කැරලිකාර ප්‍රදේශවල වානිජ්‍ය බැංකු සමග සහයෝගීව කටයුතු කිරීම නතර කර ඇත.

පසුගිය සතියේ යැට්සෙන්යුක් නිවේදනය කලේ සහන ගෙවීම් නොකරන බවය. “ඩොනෙට්ස්ක් හා ලුහාන්ස් පලාත්වල කොටස් වංචනිකයන් විසින් පාලනය කරන්නේ නම් ආන්ඩුව තවදුරටත් ඒ ප්‍රදේශ වලට මුදල් වෙන් කරන්නේ නැත.” මෙම තීන්දු හමුවේ බෙදුම්වාදීන්ට බලකෙරී ඇත්තේ, එම ප්‍රදේශයන්හි සැපයුම් පවත්වාගෙන යාමට තමන්ගේම රාජ්‍ය ආයතන ව්‍යුහයක් ගොඩනැඟීමටය. එය අනෙක් අතට යුද්ධය සඳහා කඩතුරාවක් සපයයි.

18දා නිකුත්වූ ෆ්‍රැන්ක්ෆර්ටර් ඇල්ජිමින් සේටුං පුවත්පත, කියෙව් තන්ත්‍රය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන, නේටෝ උත්තරීතර අනදෙන නිලධාරී ෆිලිප් එම් බ්රීඩ්ලෝව් උපුටා දක්වමින්, “වඩාත් පැහැදිලි ආකාරයෙන් තමන් පාලනය කරන ප්‍රදේශයන් වෙන්කරගෙන ඇතැයි” බෙදුම්වාදීන්ට චෝදනා කලේය.

නේටෝව සැලසුම්කර ඇති භටයින් 5000 ගෙන් සමන්විත, ක්ෂනික මෙහෙයුම් බලකාය 2015 තරම් නුදුරේදීම අන්තර්වාරික ලෙස ක්‍රියාත්මක වන බව ද බ්රීඩ්ලෝ පවසා ඇත.

නැඟෙනහිර යුක්‍රේනයෙන් සියලු රාජ්‍ය සේවකයන් ඉවත්කර ගැනීම, යුක්‍රේන හමුදාවේ ප්‍රධාන ක්‍රියාන්විතයක් සඳහා කොන්දේසි නිර්මානය කර තිබේ. “මම රුසියානු හමුදාව සමග යුද්ධයට බිය නොවෙමි, අපි පූර්න යුද්ධ තත්වයකට සූදානම්ව සිටින්නෙමු” යයි පවසමින් 16දා පොරෂෙන්කෝ රුසියාවට තර්ජනය කලේය.

Share this article: