සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපති මැතිවරනයට තරඟ වදී

Sri Lankan SEP to contest presidential election

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය, 2014 නොවැම්බර් 26

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), 2015 ජනවාරි 8 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට තරඟ වදී. අපගේ අපේක්ෂකයා වන්නේ, කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් කල දීර්ඝ කාලීන හා සප‍්‍රතිපත්තික අරගලයක ඉතිහාසයක් සහිත, විශ‍්‍රාමික ගුරුවරයකු වන, සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන ය.

සසප මැතිවරනයට මැදිහත් වන්නේ, වැඩෙන ලෝක යුද තර්ජනයට ද ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට ද විරුද්ධව ජාත්‍යන්තර සමාජවාදයේ කි‍්‍රයාමාර්ගය මත කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිනිසය.

ධනේශ්වරයේ සියලු පක්ෂවලට ද ඒ හෝ මේ ධනපති පක්ෂයේ ආරක්ෂකයන් හා ක්ෂමාලාපකයන් ලෙස කි‍්‍රයා කිරීමේ දිගු කාලීන ඉතිහාසයක් සහිත නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ඔවුන්ගේ කරේ එල්ලී සිටින ව්‍යාජ-වම්මුන්ට ද එරෙහිව, සමාජවාදය සහ කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා මෙම මැතිවරනය තුල දී සටන් වදින එකම පක්ෂය සසප ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ නියමිත කලට වසර දෙකකට පෙර මැතිවරනය කැඳවා ඇත්තේ, එය පමා වුව හොත් තමන්ගේ සහයෝගී පදනම් තව දුරටත් ඛාදනය වෙතැයි භීතියෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල සම්බන්ධයෙන් කම්කරු ගම්බද දුගීන් හා තරුන කොටස් අතර පුලුල්ව පැතිරුනු මහජන වෛරයක් වේගයෙන් වැඩෙමින් පවතී.

ජනවාරි 8 දා මැතිවරනය කැඳවා ඇත්තේ ගිනිගන්නා සුලු දේශපාලන වාතාවරනයක් තුලය. එක්සත් ජනපදය සිය "ආසියාවට හැරීම” හා චීනයට එරෙහි මිලිටරි සූදානම උත්සන්න කරමින් සිටින තතු තුල, කොලඹ පාලක ප‍්‍රභූවේ කොටස්, බෙයිංජනය සමග රාජපක්ෂ ගොඩනගා ගෙන ඇති සබඳතා බිඳ වොෂිංටනය සමග සමීප සබදතා ඇති කර ගත යුතු යයි ඉල්ලා සිටී.

රාජපක්ෂ මැතිවරනය ප‍්‍රකාශයට පත් කොට යන්තම් දිනයක් ගත වත්ම, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන ආන්ඩුවෙන් ඉල්ලා අස්වී, තමන් “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” ලෙස රාජපක්ෂට එරෙහිව තරඟ වදින බව නිවේදනය කලේය. පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) ලේකම් ද වූ සිරිසේන සමග තවත් ඇමතිවරු හා මන්තී‍්‍රවරු ගනනාවක් එක් වූහ. ආන්ඩුවේ සාමාජිකයන් අතර කැලඹීම් උත්සන්න කොට තවත් අය ආන්ඩුවෙන් කැඩීමට දිරිගන්වනු පිනිස, විපාර්ශ්වික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සහයෝගයෙන්, මෙම මෙහෙයුම පැහැදිලිවම කල් තියා සැලසුම් කොට කි‍්‍රයාවට දමන ලදි.

පසුගිය සතිය වන තෙක්ම ආන්ඩුවේ වාර්තාව ආරක්ෂා කල සිරිසේන, වහාම රටේ “සොඳුරු ආඥාදායකත්වය” හෙලා දැක්කේ, “දූෂනය, වංචාව හා අසාධාරනය” ඔඩු දුවා ඇතැයි ප‍්‍රකාශ කරමිනි. බෙයිජිං සමග පවතින සිය සබඳතා බිඳ දමන ලෙස කොලඹ ආන්ඩුව වෙත පීඩනය යෙදීමේ එල්ලය ඇතිව “වොෂිංටනය ගෙන යන මානව හිමිකම්” පිලිබඳ ව්‍යාජ ව්‍යායාමය සමග ඔහුගේ ප‍්‍රකාශය මුලුමනින්ම පෙල ගැසෙයි. මෙම මෙහෙයුමට එක්සත් ජනපදයේ සම්බන්ධය පිලිබඳ සාක්ෂ්‍ය දැනටමත් එලිමහනට පැමිනෙමින් තිබේ. රාජපක්ෂ ජනාධිපතිට අභියෝගයක් ලෙස සිරිසේනගේ හදිසි මතුවීම සංවිධානය කිරීමෙහිලා, එක්සත් ජනපදයේ-පාදක ක්ලින්ටන් පදනම තුල කි‍්‍රයාකාරීව සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කේන්ද්‍රීය කි‍්‍රයාකලාපයක් ඉටු කිරීම ඒ සඳහා නිදසුනකි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව දරුනු අතට හැරෙමින් පවතින, ආර්ථික කඩාවැටීම මගින් උත්සන්න කෙරෙන අධිරාජ්‍යවාදී කූටොපායන් සහ යුද තල්ලුව තුලට, ලෝකයේ සෑම කොටසක්ම නතු කර ගැනෙමින් පවතින බව, කොලඹ දේශපාලන අර්බුදය පැහැදිලිවම පෙන්නුම් කරයි. සසප සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ, යුද්ධයේ මූල හේතුව වන ලාභ ගරන පද්ධතිය පෙරලා දමා, ලෝක පරිමානව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් තහවුරු කිරීම පිනිස ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදී.

යුරේසියා භූමි ප‍්‍රදේශය යටත් කරගැනීමේ වොෂිංටනයේ පුලුල් අභිලාෂයන්ගේ කොටසක් වන, එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” මගින් නිර්මානය කෙරෙන භූ-දේශපාලනික වාසුලිය තුලට දකුනු ආසියාව සමස්තයක් ලෙස පැටලී ඇත. ආසියාව තුල චීනයට එරෙහි සිය ප‍්‍රකෝපකරන උත්සන්න කරන අතරම, පසුගිය වසර තුල, එක්සත් ජනපදය කිසිදු වගවිභාගයකින් තොරව යුක්රේනය අරබයා රුසියාව සමග ගැටුමක් නිර්මානය කල අතර, මැද පෙරදිග නව යුද්ධයක් ද දියත් කලේය.

ඇෆ්ඝනිස්ථානයේ දශකයක් තිස්සේ පවතින එක්සත් ජනපද මිලිටරි වාඩිලෑම, එම රට තුල නිමක් නැති සිවිල් යුද්ධයක් නිර්මානය කර ඇතුවා පමනක් නොව, අසල්වැසි පකිස්තානයේ පාලනය කරගත නොහැකි ආර්ථික හා දේශපාලන අර්බුදයකට ද එය තුඩු දී තිබේ. ඉන්දියාව තුල අලුතෙන් තේරී පත්ව ඇති අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය, ඉන්දියාව එක්සත් ජනපදය ද එහි අධිරාජ්‍යවාදී සගයන් වන ජපානය හා ඕස්ටේ‍්‍රලියාව ද සමග වඩා සමීප සබඳතා සඳහා මෙහෙයවා ඇත. එය යුද තර්ජනය තව දුරටත් උත්සන්න කර තිබේ.

ශී‍්‍ර ලංකාවේ සමස්ත දේශපාලන සංස්ථාපිතය ම -- ආන්ඩුව විරුද්ධ පක්ෂ සහ විවිධ ව්‍යාජ-වාම සංවිධාන -- යුද තර්ජනය පිලිබඳව කම්කරුවන් හා තරුනයන් හිතාමතාම අඳුරේ තබා ඇත. සසප මෙම නිහඬ බවේ කුමන්ත‍්‍රනය පරාජය කිරීම ද යුද්ධයට හා මෙම සියලු පක්ෂවල න්‍යාය පත‍්‍රය වන කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ද පිනිස සිය මැතිවරන උද්ඝෝෂනය යොදා ගනු ඇත.

ශී‍්‍ර ලංකාව තුල, එක්සත් ජනපදය, බෙඳුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තලා දැමීමේ දී ශී‍්‍ර ලංකාවේ මිලිටරිය කල යුද අපරාධ පිලිබඳ කාරනය ඩැහැගෙන සම්බාධක හා චෝදනා ඉදිරිපත් කිරීම දක්වා තුඩු දිය හැකි ජාත්‍යන්තර පරීක්ෂනයක් මගින් රාජපක්ෂට තර්ජනය කර තිබේ. එල්ටීටීඊයට එරෙහි යුද්ධයට මුලුමනින්ම පිටුබලය දුන් වොෂිංටනයේ එල්ලය, බෙයිජිං වෙතින් දුරස්ථ වී “ආසියාවට හැරීම” මග පෙලගැසෙන ලෙස ආන්ඩුවට බල කිරීමයි.

මෙයට ආන්ඩුව හා විපක්ෂය යන දෙගොල්ලම දක්වා ඇති ප‍්‍රතිචාරය වංචා සහගතය. රාජපක්ෂ තමන් “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” ගොදුරක් බවට පත්ව ඇති බවක් මවා පෑව ද කිසිදාක කුමන්ත‍්‍රනකරුවන් නම් කර නැති අතර සිය ආන්ඩුව වෙත වොෂිංටනයේ ප‍්‍රසාදය දිනාගැනීමේ ප‍්‍රයත්නයක් වෙනුවෙන් ඇමරිකානු ලොබි ආයතන කුලියට ගැනීමට ඩොලර් මිලියන ගනන් වැය කරමින් සිටී. එමෙන්ම ආන්ඩුව වර්ගෝත්තමවාදය ඇවිලවීම උත්සන්න කරමින්, ජීවන මට්ටම්වලට එරෙහි සිය ගැඹුරු ප‍්‍රහාරවලට කම්කරු පන්තියෙන් එල්ලවන මොන යම් හෝ විරුද්ධත්වයක් මඩිනු පිනිස, පොලිස්-රාජ්‍ය පියවර ශක්තිමත් කිරීමේ යෙදී සිටී.

සිරිසේන සහ එජාපය ආන්ඩුවේ ආඥාදායක විධික‍්‍රම හෙලා හෙලා දකින නමුත් කම්කරු පන්තියට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමෙහිලා රාජපක්ෂට සමාන ලෙස ම ක්ෂමා විරහිත වනු ඇත. වෙලඳ පොල-හිතැති පිලිවෙත් කි‍්‍රයාවට දැමූ ලෝකයේ ප‍්‍රථම ආන්ඩුවලින් එකකට එජාපය නායකත්වය දුන්නේය. කම්කරු පන්තියට එරෙහි ම්ලේච්ඡ පොලිස් මර්දනය ද වර්ජන බිඳීම ද පිලිබඳ දිගු කාලීන ඉතිහාසයක් එයට හිමිය. සිවිල් යුද්ධය ආරම්භ කල 1983 වර්ගවාදී ජනසංහාරය අවුලුවාලූයේ එජාපයයි. “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සඳහා සිරිසේන කරන ආයාචනය, සරලවම, ශී‍්‍ර ලංකාව එක්සත් ජනපදය ද චීනයට එරෙහි එහි “හැරීම” ද සමග දෘඩතරව පෙලගැසෙන බවට දුන් සංඥාවකි.

බොහෝ කලකට ඉහතදී සිය “අධිරාජ්‍ය-විරෝධී” මවාපෑම අතහැර ඇති විපාර්ශ්වික ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” -- එනයින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය -- සමග පෙලගැසෙමින් සිටී. රාජපක්ෂට හා ඔහුගේ ම්ලේච්ඡ යුද්ධයට දුන් සහයෝගය හේතුකොටගෙන බොහෝසෙයින් අපකීර්තියට පත්ව සිටින ජවිපෙ, තමන්ගේම ජනාධිපතිවරන අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට තීරනය කර ඇත. සිරිසේනට විවෘතව සහයෝගය නොදෙන අතරම, ප‍්‍රධාන අරමුන විය යුත්තේ “රාජපක්ෂගේ ඒකාධිපති පාලනය” පරාජය කිරීම යයි ප‍්‍රකාශ කිරීම මගින් කෙසේවෙතත් තමන්ගේ ආස්ථානය කුමක් දැයි එය සංඥා කර ඇත.

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ප‍්‍රතිපත්ති වෙනුවෙන් සටන් වැදීමේ අකලංක වාර්තාවක් සසපට පවතී. සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), උතුරේ හා නැගෙනහිර යුද කලාපවලින් ශී‍්‍ර ලංකා හමුදා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින්, සිවිල් යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව බලමුලුගැන්වීමට සටන් වැදුනි. කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවගේ සියලු ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන් දිනාගනු පිනිස, දකුනු ආසියාව තුල හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමේ ඒකාබද්ධ අරගලයක් තුල, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එකමුතු කිරීමට සසප සටන් වදී.

සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධන සිය සමස්ත වැඩිහිටි ජීවිතයම ගත කර ඇත්තේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා කැපවූ සටන්කරුවකු ලෙස ය. ඔවුන්ගේ සහ සෙසු කම්කරු හා දුගී කොටස්වල අයිතීන් ආරක්ෂා කිරීමට වෙහෙස නොබලා සටන් වැදුනු සටන්කරුවකු ද වෘත්තීය සමිති නිලධරයේ සහ එහි පාවාදීම්වල සප‍්‍රතිපත්තික විරුද්ධවාදියකු ද ලෙස ගුරුවරුන් සහ ඔහුගේ හිටපු ශිෂ්‍යයන් බොහෝ දෙනෙකු අතර ඔහුට පුලුල් පිලිගැනීමක් පවතී. සසප දේශපාලන කමිටු සාමාජිකයකු මෙන්ම ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ ද සේවය කරයි.

සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), පක්ෂයේ ප‍්‍රතිපත්ති විස්තාරනය කරන සවිස්තරාත්මක මැතිවරන ප‍්‍රකාශයක් නිකුත් කොට රට පුරා ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වනු ඇත. අපගේ මැතිවරන උද්ඝෝෂනයට සිය පූර්න සහයෝගය දෙන ලෙසත් එයට උද්යෝගිමත්ව සහභාගි වන ලෙසත් සිංහල දෙමල හෝ මුස්ලිම් වේවා සියලු කම්කරුවන්ගෙන්, ගම්බද දුගීන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

සසප සිය මැතිවරන උද්ඝෝෂනය වෙනුවෙන් රුපියල් 600,000ක අරමුදලක් දියත් කොට ඇති අතර එයට නොමසුරුව ආධාර කරන ලෙස අපි ඉල්ලා සිටිමු. සියල්ලටමත් වඩා අපගේ කි‍්‍රයාමාර්ගය හා ඉදිරිදර්ශනය සමග එකඟ වන සියල්ලන්ගෙන් ම අප ඉල්ලා සිටින්නේ, කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීම පිනිස සසපට බැඳෙන ලෙසයි.

Share this article: