සෞඛ්‍ය ඇමති ජනාධිපතිවරනයට තරග කිරීම සඳහා ආන්ඩු පක්ෂයෙන් ඉවත් වෙයි

Sri Lankan minister quits ruling party to contest presidential election

කේ. රත්නායක විසිනි , 2014 නොවැම්බර් 24

ජනවාරි 08දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” ලෙස ඉදිරිපත් වීම සඳහා සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන, ආන්ඩුවෙන් ඉවත්වන බව පසුගිය සිකුරාදා නිවේදනය කලේය. රාජපක්ෂට විරුද්ධව ඉදිරිපත් වීමට සිරිසේන ගෙන ඇති තීරනය, ජනාධිපතිට හා ඔහුගේ ආන්ඩුවට එරෙහිව ගනන් බලා එල්ල කල ප‍්‍රහාරයකි.

පසුගිය සෙනසුරාදා රාජපක්ෂ විසින් නෙරපා හරින තෙක් සිරිසේන, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන හවුල්කරුවා වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) මහ ලේකම් ලෙස දිගු කලක් තිස්සේ රැඳී සිටියේය. තවත් ඇමතිවරු තිදෙනෙක් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රන් දෙදෙනෙක් ද ආන්ඩුවෙන් ඉවත්වී ඇත. ඉදිරි දිනවලදී ඇමතිවරු හා මන්තී‍්‍රන් දුසිම් ගනනක් තමන්ට එක්වීම සඳහා ආන්ඩුවෙන් ඉවත්වන බව සිරිසේන කියා සිටියේය.

රාජපක්ෂ මැතිවරනය නිවේදනය කිරීමෙන් දිනකට පසුව සිරිසේන කල ප‍්‍රකාශය, මැතිවරනයට පෙරාතුව ශී‍්‍රලනිප බෙදීම අරමුනුකරගත් හොඳින් සැලසුම් කල කුමන්ත‍්‍රනයක ප‍්‍රතිපලය විය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග හා විපක්ෂ නායකයා සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා වන රනිල් වික‍්‍රමසිංහ ද ඊට හවුල්වී ඇත.

ඉදිරියට තවත් දෙවසරක තරම් කාලයක් තිබියදීම රාජපක්ෂ ජනාධිපතිවරනය නිවේදනය කලේ, තම ආන්ඩුව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මත පටවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවල හේතුකොටගෙන, ජනතා සහයෝගය තවදුරටත් හෝදාපාලුවනු ඇතැයි යන භීතියෙනි. දෙවරක් පමනක් ජනාධිපති තනතුරේ සිටිය හැකි සීමා නියමය අහෝසි කල 18 වන ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඔහු, පාර්ලිමේන්තුවේ තමන් සතු තුනෙන් දෙකේ බහුතර බලය යොදාගත්තේය.

සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී සිරිසේන මෙසේ පැවසීය: “පසුගිය වසර කිහිපය තුල රට, සැඟවුනු ආඥාදායකත්වයක් කරා ගමන් කර තිබේ. දූෂනය, වංචාව හා අසාධාරනය ඉහ වහා යයි. අධිකරනයේ ස්වාධීනත්වය බිඳවැටෙන අතර ආර්ථිකය හා පරිපාලනය එක් පවුලක සාමාජිකයන් අතට ගැනීමත් සමග රට, සැඟවුනු ආඥාදායකත්වයක් යටතට පත්ව ඇත.”

දින සියයක් තුල විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට සිරිසේන ප‍්‍රතිඥා දුන්නේ ය. “දූෂිත මැතිවරන ක‍්‍රමය” හා “18 වන ව්‍යවස්ථා සංශෝධනය” අහෝසි කරන බව ද සිරිසේන පැවසීය. කල්තියාම ගනුදෙනුවක් සූදානම් කරගෙන තිබූ බව පෙන්නුම් කරමින් ඔහු කියා සිටියේ, තමන් නව ආන්ඩුවේ අගමැති ලෙස එජාප නායක වික‍්‍රමසිංහ පත්කරන බවයි. ඒ සමගම සිරිසේන, එල්ටීටීඊය පරාජය කිරීම වෙනුවෙන් රාජපක්ෂ ට ප‍්‍රසංශා කිරීම මගින් තම සිංහල වර්ගවාදී සහතිකපත‍්‍රය හුවාදැක්වූයේ ය.

පසුගිය සිකුරාදා වන තෙක්ම සිරිසේන හා ඉවත්වූ අනෙකුත් අය රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා කප්පාදු පියවරයන්ට පූර්න සහාය ලබා දුන්හ. ඔහුගේ ඉවත්වීම පෙන්නුම් කරන්නේ, රාජපක්ෂගේ මිත‍්‍ර සංග‍්‍රහය හා අත්තනෝමතික ක‍්‍රමෝපායන් පිලිබඳව පාලක සභාගය හා කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල පවතින ගැඹුරු අප‍්‍රසාදයයි.

විධායක ජනාධිපති ලෙස පුලුල් බලතල යොදාගනිමින් රාජපක්ෂ, ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන සිය සහෝදරයින් ද ඉහල නිලධාරීන් අතලොස්සක් ද ඇතුලු කුඩා කල්ලියක් හරහා කි‍්‍රයාත්මක වෙයි. අයවැය ප‍්‍රතිපාදන වලින් සියයට 45ක් ඔවුහු හවුලේ පාලනය කරන අතර මහ ව්‍යාපාරිකයන් හා ආයෝජකයින් සමග වාසිදායක සම්බන්ධතා ගොඩනගාගෙන සිටිති. පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ, ජනාධිපතිගේ තවත් සහෝදරයෙකි.

ජනාධිපතිට එරෙහිව ගෙන ඇති පියවර බොහෝකොටම වොෂින්ටනයේ අනුදැනුම හා අනුමැතිය ඇතිව සිදුවූවකි. එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවධියේ හමුදාව විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මුල්කරගෙන රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධ ව “මානව අයිතීන්” කඩකිරීම් පිලිබඳව වඩවඩාත් දැඩි වන මෙහෙයුමක් ඔබාමා පාලනාධිකාරය විසින් දියත් කර තිබේ. එල්ටීටීඊය පරාජය වන තෙක්ම එක්සත් ජනපදය, යුද්ධයට පූර්න සහාය ලබාදෙමින් මිලිටරියේ යුද අපරාධ ගැන ඇස් පියාගෙන සිට පසුව, ආධාර හා ආයෝජන සම්පාදනය කරන චීනයෙන් රාජපක්ෂ ආන්ඩුව දුරස්ත කිරීම පිනිස මෙම ප‍්‍රශ්නය ගසාකමින් සිටියි.

පසුගිය මාර්තුවේදී ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුල යුද අපරාධ පිලිබඳ ස්වාධීන පරීක්ෂනයක් කැඳවුම් කරමින් ඉදිරිපත් කල යෝජනාවට අනුග‍්‍රහය ලබා දුන්නේය. ඒ අනුව යමින් පත්කල කොමිසම, ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීමේ හා මෙරටට විරුද්ධව සම්බාධක පැනවීමේ හැකියාව ලබාදෙන පරීක්ෂනයක් ආරම්භ කලේය. චීනයට එරෙහි ඔබාමා පාලනාධිකාරයේ ආක‍්‍රමනකාරී “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස එය, රාජපක්ෂ අනුගමනය කිරීමට උත්සාහය කරන ආකාරයේ වොෂින්ටනය හා බීජිනය අතර තුලනය වීමේ පිලිවෙත් අතහැර කෙලින්ම එක්සත් ජනපදය හා පෙල ගැසෙන ලෙස කලාපයේ ආන්ඩුවලට බලපෑම් කරයි.

සිරිසේන ආන්ඩුවෙන් ඉවත් කිරීමට හිටපු ජනාධිපති කුමාරතුංග කල මැදිහත්වීම පෙන්නුම් කරන්නේ, එයට ඇති වොෂින්ටනයේ සම්බන්ධකම ය. තම ධුර කාල දෙකෙන් පසුව කුමාරතුංග, ඇමරිකාව පිහිටුවා ඇති ක්ලින්ටන් පදනමට සම්බන්ධවූ අතර ඇමරිකානු හා යුරෝපීය රාජ්‍යතාන්ති‍්‍රකයන් සමග සමීප සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත. පසුගිය සති ගනනාව තිස්සේ ඇය, විදේශයන්හිදී මෙන්ම මෙරට තුලදී ද ආන්ඩුවේ ඇමතිවරු හා එජාප නායක වික‍්‍රමසිංහ සමග සාකච්ඡාවන්හි නිරතවෙමින් ආන්ඩුවෙන් ඉවත් වන අය සමග “පොදු පෙරමුනක්” ගොඩනැගීමට උත්සාහ කලාය. සිරිසේනගේ මාධ්‍ය හමුව කැඳවමින් ඇය, තමන්ට හා අනෙකුත් පක්ෂ නායකයින්ට තුච්ඡ ලෙස සැලකීම හා ශී‍්‍රලනිපය අගාධයට ඇද දැමීම පිලිබඳව රාජපක්ෂ විවේචනය කලාය.

නොවැම්බර් 06දා ඩේලි මිරර් පත‍්‍රය, මංගල සමරවීර, කරු ජයසූරිය හා රවි කරුනානායක ඇතුලු එජාප නායකයින් නොවැම්බර් 04දා “කොලඹදී මෙරට සිටින බලවත් විදේශ තානාපතිවරු හමුවී, එලඹෙන ජනාධිපතිවරනයෙන් ජයගැනීම සඳහා පක්ෂයේ සැලසුම පිලිබඳව සාකච්ඡා කල” බව සඳහන් කර තිබුනි. බලවත් තානාපතිවරු කවුරුන්දැයි නම්කර නොතිබුනේවී නමුත් ඔවුන්, ඇමරිකානු, බි‍්‍රතාන්‍ය හා ඉන්දියානු නියෝජිතයන් බව පැහැදිලිය.

එජාප හා කැඩී ගිය ශී‍්‍රලනිප කන්ඬායම නියෝජනය කරන්නේ, එක්සත් ජනපද හා එහි සහචරයින්ගෙන් හුදෙකලා වීමේ ආර්ථික හා මූලෝපායික ප‍්‍රතිවිපාක ගැන බියට පත්ව සිටින බලවත් ව්‍යාපාරික කොටස් ය. රටේ මුලු අපනයන වලින් සියයට 45ක් ම අපනයනය කෙරෙන ඇමරිකානු හා යුරෝපීය ප‍්‍රධාන වෙලඳපොලවල් කෙරෙහි ඇති කරන බලපෑම පිලිබඳව මහ ව්‍යාපාරිකයෝ කනස්සල්ලට පත්ව සිටිති.

සිරිසේන සමග ආන්ඩුවෙන් ඉවත්වූ හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න, “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” ගොදුරක්ව සිටින්නේය යන රාජපක්ෂගේ ජනතාවාදී කයිවාරු වලින් රටේ ප‍්‍රතිරූපය විනාශ වනු ඇති බවට අනතුරු ඇඟවීය. “ජාත්‍යන්තර ප‍්‍රජාවට පරුෂ ලෙස බැනවැදීම හා නම් පටබැඳීම දේශපේ‍්‍රමය නොවේ” යයි ඔහු පැවසීය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාට පිටුබලය දෙන්නේ ද යන්න අනෙකුත් පක්ෂ විසින් සලකා බලමින් සිටිති. පාලක හවුලේ කොටසක් වන සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන ජාතික හෙල උරුමය, (ජාහෙඋ) සිරිසේන වටා ඇති පොදු පෙරමුනට සහාය පල කරයි. ජනාධිපති බලතල සීමාකිරීම පිලිබඳ තම ඉල්ලීම් වලට ඇහුන්කන් නොදෙන බවට මෑතක සිට ආන්ඩුව විවේචනය කරන ජාහෙඋ ඇමතිවරු දෙදෙනෙක් විරෝධය පලකරමින් ආන්ඩුවෙන් ඉවත් වූහ.

2010 ජනාධිපතිවරනයේදී රාජපක්ෂට විරුද්ධව, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා වන හිටපු හමුදා ප‍්‍රධානී සරත් ෆොන්සේකා කියා ඇත්තේ, තමන් සිරිසේනට සහාය දැක්වීම පිලිබඳව සලකා බලමින් සිටින බවයි. විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන ද එයම කරමින් සිටී.

රාජපක්ෂ සිය පක්ෂයෙන් තවත් ඉවත්වීම් නතර කරගෙන දිගහැරෙමින් ඇති අර්බුදය වලක්වා ගැනීමේ මංමුලාසහගත උත්සාහයක නිරතව සිටියි. සති අන්තයේ පැවති ප‍්‍රසිද්ධ රැස්වීමක දී ඔහු, පක්ෂය හැරගියවුන් හා එසේ යාමට සිතා සිටින අයට වක‍්‍රව තර්ජනයක් එල්ල කලේය. එහිදී හෙතෙම පැවසුවේ, දූෂන කටයුතුවල යෙදුනු පුද්ගලයින් ගැන තොරතුරු අඬංගු “ලිපිගොනු” තමන් සතුව ඇති නමුත් ඒවා “ප‍්‍රසිද්ධ කිරීමට” අදහස් නොකරන බවය. නිසැකව ම ඔවුන්ට හානි වන තොරතුරු එලියට දමීමේ ක‍්‍රම යොදාගනු ඇත.

ආන්ඩුවේ ඇමතිවරු කඩිමුඩියේම මාධ්‍ය හමුවක් කැඳවා ආන්ඩුවෙන් පලාගිය අය පිලිබඳව එජාප නායක වික‍්‍රමසිංහට චෝදනා නැගූහ. ඇමති ඩලස් අලහප්පෙරුම මාධ්‍යයට පැවසුවේ, “රට අස්ථාවර කිරීමේ කුමන්ත‍්‍රනයක යෙදී සිටින බටහිර බලවේග හා විපක්ෂය යන දෙගොල්ලන්ම මෛතී‍්‍රපාල සිරිසේන නොමග යවා තිබෙන බවය.

වැඩකරන ජනයා, ආන්ඩුව ගැන වත් මිල ඉහලයෑම, පිරිහෙන ජීවන තත්වයන් සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් උල්ලංඝනය කිරීම පිලිබඳව පුලුල් ලෙස පැතිර ඇති නොසතුට ගසා කමින් “පොදු පෙරමුනක්” ඇටවීමට කථාකරන විපක්ෂය ගැන වත් කිසිදු විශ්වාසයක් නොතැබිය යුතුය. සිරිසේන බලයට පත් වුව ද රාජපක්ෂ කරන පරිදිම ඔහු ද කරනු ඇත්තේ පාලක පන්තියේ කප්පාදු න්‍යායපත‍්‍රය නිර්දය ලෙස කි‍්‍රයාවට නැගීම ය.

Share this article: