ශ්‍රී ලංකාවේ ජනාධිපති තවත් වතු කම්කරු නායකයින් තිදෙනෙක් ඇමතිවරුන් ලෙස පත් කරයි

එම්. වසන්තන් විසිනි, 2014 නොවැම්බර් 14

පිලිවෙලින් ජාතික කම්කරු සංඟමය, (එන්යූඩබ්ලිව්) ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොන්ග්‍රසය, (ඩීපීසී) කඳූරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) පී. දිගම්බරම්, ප්‍රභා ගනේෂන් හා වී. රාධක්‍රිෂ්නන් යන වතු සමිති නායකයින් තිදෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කිරීම, ආන්ඩුවට එරෙහිව වතු කම්කරුවන් අතර වැඩෙන විරෝධය මැඬීම පිනිස ඔවුන්ගේ සේවය ලබාගැනීමට දුන් දේශපාලන අල්ලසක් බව පැහැදිලිය.

සැප්තැම්බර් අග ඔවුන් පත්කර ඇත්තේ,ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතාවය හා තාක්ෂනය, විදුලි පනිවිඩ හා තොරතුරු, උද්භිද උද්‍යාන හා මහජන විවේකය යන අමාත්‍යාංශවලටය.

දිගම්බරම් හා ගනේෂන් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් පෙරමුනෙන් 2010 මහ මැතිවරනයට තරඟ කලහ. එහෙත් මාස කිහිපයකට පසුව, ප්‍රමුඛ විනිශ්චයකරුවන්, මැතිවරන කොමසාරිස් පත්කිරීමේ බලය හා ජනාධිපතිට ඕනෑම වාර ගනනක් ජනාධිපති තනතුරට තරඟ වැදීමේ හැකියාව ලබාදුන්, අත්තනෝමතික බලතල ඔහු වෙත පැවරෙන 18 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාලක සන්ධානයට එක්වූහ.

දිගම්බරම් පැවසුවේ තමන් පත්කලේ රාජපක්ෂට වතු කම්කරුවන් කෙරෙහි ඇති “විශ්වාසය නිසා බවත්, ඔවුන්ගේ ශුභ සාධනය පිනිස වැඩ කිරීමට බවත්ය. දිගම්බරම්ගේ නායකත්වයෙන් එන්යූඩබ්ලිව් සමිති නියෝජිතයෝ ඔක්තෝබර් 25දා රාජපක්ෂ හමුවී එලඹෙන ජනාධිපතිවරනයේදී ඔහුට සහාය දීමට පිලින දුන්හ. ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති වලට අනුව එන්යූඩබ්ලිව් නියෝජිතයෝ, වතු කම්කරුවන්ගේ ජීවිත නඟාසිටුවීමට ජනාධිපති හා වත්මන් පරිපාලනය විසින් ඉටුකර තිබෙන වැඩ කොටස ගැන ප්‍රසාදය පලකලහ.

සූරියකාන්ති යන දෙමල පුවත්පත තමන්ට මෙම තනතුර දී ඇත්තේ එලඹෙන ජනාධිපතිවරනයේදී සහයෝගය ලබාගැනීමටදැයි රාධක්‍රිෂ්නන්ගෙන් විමසූ කල ඔහු පැවසුවේ “එහි කිසි වැරද්දක් නැති” බවයි. ඌව පලාත් සභා මැතිවරනයේදී සුලුජන කොටස්වල ඡන්දයෙහි වැදගත්කම වටහා ගැනීමට ආන්ඩුවට බල කෙරුනි. මෙම තනතුර මැතිවරනයට පෙර දී තිබුනා නම් අපට වැඩිපුර ඡන්ද ලබාගත හැකිව තිබුනා යයි ඔහු පැවසීය.

මෙම ප්‍රකාශ පෙන්නුම් කරන්නේ, සීඩබ්ලිව්සී හෙවත් ලංකා වතු කම්කරු සංඟමය මෙන්ම අනෙකුත් වතු සමිතිවල නායකයින්ගේ දූෂිත ස්වභාවයයි. දක්ෂිනාංශික එජාපය සමඟ වැඩ කිරීමෙන් පසුව ඔවුන් පැති මාරු කලේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනයට පිටුබලය දීමටය. පසුගිය සිව් වසර පුරාවටම ඔවුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති ජ්‍රජාතන්ත්‍ර අයිතීන්ට හා ජීවන තත්වයන්ට කෙටීමේ ආන්ඩුවේ සෑම පියවරකදීම රාජපක්ෂ ආන්ඩුවට පක්ෂව අත ඔසවන්නන් ලෙසය.

ඌව මැතිවරන ප්‍රතිපලයෙන් රාජපක්ෂ තැතිගත් බව පැහැදිලිය. ආන්ඩුවේ ඡන්ද සියයට 18න් සෝදා පාලු විය. සැලකිය යුතු වතු කම්කරුවන් සංඛ්‍යාවක් වතුකරයේ ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරයක්, සීඩබ්ලිව්සී, යූපීඑෆ්, ඩීපීසී හා මනෝ ගනේෂන් විසින් නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන ඇතුලු පක්ෂ හා සමිති ද ඇතුලු පාලක පක්ෂයට විරුද්ධව ඡන්දය දී ඇති බව ද පැහැදිලිය.

ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ පීඩිතයින්ගේ විරුද්ධත්වය තවත් වැඩිවනු ඇතැයි යන බිය නිසා රාජපක්ෂ කල්තියා ජනවාරි මාසයේදී මැතිවරනය පවත්වයි. ඔහු ජයග්‍රහනය කලොත්, ජීවන තත්වයන්ට තව තවත් පහර එල්ල කරමින් 2022 දක්වා ජනාධිපති තනතුරේ සිටීම රාජපක්ෂගේ ගනන් බැලීමයි. පාලක සන්ධානයේ සිටින එවන් කන්ඬායම් ඔහු බලයට ගෙන ඒම සඳහා ජනාධිපති පිටුපස පෙල ගැසෙති. එම නායකයින් තිදෙනා පමනක් නොව, සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමාන් ද ප්‍රකාශයක් නිකුත් කරමින් තම සමිතිය ජනාධිපති මැතිවරනයේදී රාජපක්ෂට සහාය දෙන බව කියා ඇත.

ඔවුන්ගේ උත්සුකය වී ඇත්තේ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හෝ ජීවන තත්වයන් නොවේ. වතු කම්කරුවන් අතර පැතිර ඇති කෝපය තමන්ගේ හිසට ද උඩින් යනු ඇති බව ඔවුන් දනිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ එවන් සමාජ පිපිරීමක් වලක්වා එය මැඬපැවැත්වීමයි. පසුගිය දශක දෙක පුරාවටම වතු සමිති, සාධාරන වැටුපක් සඳහා වතු කම්කරු අරගල කඩාකප්පල් කර ඒවාට සාමුහිකව විරුද්ධ වූ අතර ආන්ඩුවට හා සමාගම් වලට දුගී වැටුප් මට්ටම් කම්කරුවන් මත පැටවීමට උදව් දුන්හ. දිගම්බරම්, රාධක්‍රිෂ්නන්, මනෝ ගනේෂන් සමඟ එක්ව, කම්කරුවන් වැටුප් ගිවිසුම් වලට විරුද්ධවන තතු තුල, සීඩබ්ලිව්සීයට බොරු විරෝධයක් පෙන්වමින් කම්කරුවන්ගේ විරෝධය දියකර හැරි අතර පසුව එම ගිවිසුම් ක්‍රියාවට නැඟීම පිනිස සහාය දුන්හ.

ඉඩම් හිමියෙකු වන රාධක්‍රිෂ්නන් 2010 මහ මැතිවරනයේදී සීඩබ්ලිව්සීයෙන් නුවර එලිය දිස්ත්‍රික්කයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුව ඇමති තනතුරක් මත සීඩබ්ලිව්සීය සමඟ උරනවූ ඔහු ඉන් ඉවත්වී යූපීඑෆ්ට බැඳුනු අතර එහි දේශපාලන නායකත්වයට ද පත්විය. යූපීඑෆ් ද සන්ධාන ආන්ඩුවේ හවුල්කරුවෙකි.

ලොකු ව්‍යාපාරිකයෙකු වන දිගම්බරම්, 2000 වසර මුල යූපීඑෆ් වෙතින් කැඩී වතු කම්කරු පෙරමුන නම් සමිතියක් ගොඩනඟා ගත්තේය, පසුව එයින් ද කැඩී තම මුදල් බලය මත එන්යූඩබ්ලිව්හි නායකයා බවට පත්විය. යූපීඑෆ් හා එන්යූඩබ්ලිව් යන දෙකම ගොඩනැඟුවේ සීඩබ්ලිව්සීය කෙරෙහි වතු කම්කරුවන් අතර වර්ධනයවූ විරුද්ධත්වය ගසා කමින් එයට විකල්පයක් ලෙසය. එහෙත් දැන් සීඩබ්ලිව්සී, යූපීඑෆ් හා එන්යූඩබ්ලිව් යන සියලු සමිති නායකයෝ රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිකම් දරති. ව්‍යාපාරිකයෙකු වන ප්‍රභා ගනේෂන් ද ඩීපීඑෆ් වෙතින් කැඩීගොස් 2010දී පාලක සභාගයට එක් විය.

තොන්ඩමන් හා මනෝ ගනේෂන් ද ඇතුලු සියලු සමිති නායකයෝ ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් සහ ඔවුන්ගේ සංවිධාන කිසිම ආකාරයකින් කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නොකරති. පූර්වයෙන් ජීවන තත්වයන්ගේ සීමිත දියුනුවක් සඳහා කේවෙල් කිරීමේ ඔවුන්ගේ ජාතිකවාදී පිලිවෙත ඉවත දමා මහ ව්‍යාපාරිකයින්ගේ අත්ගෙඩි බවට පත්ව තිබීම සියලු වෘත්තීය සමිති සම්බන්ධයෙන් සත්‍යයකි. මෙය ජාත්‍යන්තර සංසිද්ධියකි.

සූරියකාන්ති සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී රාධක්‍රිෂ්නන් මෙසේ පැවසීය. “තවමත් කඳුකරයේ ජනතාවගේ නිවාස යෝජනා ක්‍රමය තවමත් හමස් පෙට්ටියේය. ජනාධිපති රාජපක්ෂ මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරනු ඇති බව මට විශ්වාසය. ඒ පිලිබඳව මම ආන්ඩුවට බලපෑම් කරන්නෙමි. ”

රාජපක්ෂ තන්ත්‍රය ද ඇතුලු බලයට පත්වූ සෑම ආන්ඩුවක්ම මැතිවරනයෙන් පසුව පැත්තකට දැමීම සඳහා සමිති නායකයින් හරහා හොඳ නිවාස පහසුකම් සලසන බවට යලි යලිත් පොරොන්දුවී ඇත. පසුගිය අයවැය කථාවේදී ජනාධිපති මේ වසර සඳහා වතු කම්කරුවන්ට නිවාස ඒකක 50,000ක් ඉදිකරන බව නිවේදනය කලේය දැන් මාස 10ක් ගෙවීගොස් ඇත ද මේ ව්‍යාපෘතිය සඳහා එක සතයක්වත් වෙන්කර නැති අතර එක් නිවසක් හෝ ඉදිකර ඇත්තේ ද නැත.

වතු කම්කරුවන්ට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අඩුම තරමින් නිවාස 200,000ක්වත් අවශ්‍යය. බෙහෝ කම්කරුවන් ජීවත් වන්නේ වසර 100කටත් පෙර ඉදිකරන ලද මූලික පහසුකම් කිසිවක් නැති කුඩා ලයින් කාමර වලය. සෑම වසරකම ලයින් කාමර සිය ගනනක් ගින්නෙන් විනාශවේ. ඒවා කෙතරම් අබලන් තත්වයේ තිබේ ද යත් නිරන්තරෙයෙන් විදුලි කාන්දුවීම් සිදුවේ. කොස්ලන්ද මීරියබැද්ද වතු කම්කරුවන් මෑතකදී මුහුනපෑ ව්‍යසනය වතුකරයේ පවතින අනතුරුදායක තත්වය පිලිබඳ තවත් තියුනු අනතුරු ඇඟවීමකි.

ඉහල යන ජීවන වියදම මධ්‍යයේ වතු කම්කරුවන්ගේ වැටුප දිනකට තුන් වේලක් කෑමට තරම්වත් ප්‍රමනවත් නොවන අතර ඔවුන්ට ජීවත් වීමට බලකෙරී ඇත්තේ නිවාස, නල ජලය, සනීපාරක්ෂක පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා කිසිවක් නොමැතිවය. මේ සියලු සමිති නායකයින් ආන්ඩුව වර්නනා කරන්නේ, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ධනපති ක්‍රමය රැකගැනීමටය. ධනපතියන්ගේ ඔඩොක්කුවේ සිටින මෙම සමිති නායකයින් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැඟිය යුතුය.

Share this article: