ජාමූඅ හා ලෝක බැංකුවේ රැස්වීමට පෙරාතුව වර්ධනය පිලිබඳ අනාවැකි පහත හෙලයි

Growth estimates revised down ahead of IMF-World Bank meetings

නික් බීම්ස් විසිනි, 2014 ඔක්තෝබර් 08

වොෂින්ටනයේදී 10දා ආරම්භවීමට නියමිත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් වලට පෙරාතුව, ආයතන දෙකම ගෝලීය ආර්ථිකයේ වර්ධනය පිලිබඳ සිය අනාවැකි පහත හෙලා ඇත.

එවන් පහත දැමීම්, 2008 ගෝලීය මූල්‍ය අර්බුදය පැන නැගි තැන් පටන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙම වසරේදී එම තත්වය, සමහරවිට ආර්ථිකය මුලුමනින්ම එකතැන පල්වීම හා පහත් වර්ධන අනුපාතය ස්ථිර තත්වයක් බවට පත්ව ඇතැයි යන්න පිලිගැනීමක්ව තිබේ.

07දා නිකුත්කල සිය World Economic Outlook (ලෝක ආර්ථික දැක්ම )තුල ජාමූඅ, 2014 ගෝලීය වර්ධනය පිලිබඳ තම අනාවැකිය, අපේ‍්‍රල් මාසයේ මට්ටමේ සිට සියයට 0.4න් ද එය යථාවත් කල ජූලි මාසයේ සංඛ්‍යාව සියයට 0.1 න් ද යන වශයෙන් සියයට 3.3 දක්වා පහත හෙලා ඇත.

ජාමූඅ අනුව ඉදිරි කාලය තුල ඉහල නැගීමක් පිලිබඳ බලාපොරොත්තුවක් නැත. “දියුනු රටවල ඉල්ලුමේ අඩුවීම ද සමග එක්ව ඇති විභව නිමැවුමෙහි ඛාදනය, වසර පහක කාලයකට තිරසාර ගෝලීය ආර්ථික දුබලතාවන්ට තුඩු දිය හැක.”

මෙම දිගට ඇදෙන පසුබෑම අවශ්‍යයෙන්ම සිදුවන බවට අනාවැකි නොපල කරන නමුත් ජාමූඅ, මධ්‍යකාලීන ලෝක ආර්ථිකය මුහුන දෙන ලොකුම අවදානම එය බවට අනතුරු අඟවයි.

අරමුදලේ ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ ඔලිවර් බ්ලාන්චාර්ඩ්, දිග්ගැස්සෙන පහත් වර්ධනය දෙසට තල්ලු කෙරෙන ප‍්‍රවනතාවක් පෙන්නුම් කරයි. විභව වර්ධන අනුපාත පහත දමමින් තිබීම හා මෙම නරක අතට හැරෙන බලාපොරොත්තු අනෙක් අතට, විශ්වාසයට, ඉල්ලුමට හා අද දිනයේ වර්ධනය කෙරේ බලපායි.” ඔහු පැවසීය.

යුරෝ කලාපයේ වර්ධන අනාවැකි පහතට සංශෝධනය කරන තතු හමුවේ, අපේ‍්‍රල් මාසයේ කලාපය තුල සියයට 20ක් තරම්වූ පසුබෑමේ අවදානම, ඉදිරි මාස හයකට පසුව සියයට 40ක් තරම් වනු ඇති බවට ජාමූඅ ගනන් බලයි. අවධමනයක් කරා ලුහුටා යාමේ හැකියාව සියයට 30ක් ව අති බව එය කියා සිටියි.

නැගෙනහිර ආසියාව හා ආසියානු පැසිෆික් කලාපයේ ඉදිරි බලාපොරොත්තු ගැන මේ සතිය මුල නිකුත් කල ලෝක බැංකු විශ්ලේෂනයක්, ලෝක ආර්ථික වර්ධනය මෙන්ම, මහත් බලාපොරොත්තු තබා ඇති චීනයේ වර්ධනය ද පිලිබඳ සිය පෙරදැකීම් තියුනු ලෙස පහත හෙලීය.

මේ වසර සඳහා ගෝලීය වර්ධනය සියයට 2.6ක් වනු ඇති බව බැංකුව සඳහන් කරයි. එය පසුගිය වසරේ පැවති සියයට 2.4ට වඩා සුලු වැඩිවීමකි. එය අපේ‍්‍රල් මාසයේ බැංකුවෙහි පෙරදැකීම වූ සියයට 3ට වඩා සැලකිය යුතු පහත වැටීමකි. (ආයතන දෙකේ වර්ධනය පිලිබඳ සංඛ්‍යා වෙනස, මුදල් අගයේ පොදු මිනුම සඳහා වෙනස්වූ ක‍්‍රමවේදයන් යොදාගැනීම නිසාය)

චීනයේ වර්ධනය ඉදිරි වසර තුන තුල පහත වැටෙනු ඇත. පූර්ව ගනන් බැලීම වූ සියයට 7.6 සමග සසඳන කල මේ වසරේ චීනයෙහි වර්ධන අගය සියයට 7.4කි. 2015 හා 2016 වසරවල පිලිවෙලින් එය සියයට 7.2 හා 7.1 දක්වා පහත යනු ඇත. එය එම දෙවසර සඳහා කලින් කල සියයට 7.5ක පුරෝකථනයට ප‍්‍රතිවිරුද්ධය.

චීනය අත්හල විට සමස්ත ආසියානු පැසිෆික් කලාපයේම වර්ධනය මේ වසරේ සියයට 4.8 පහල මට්ටමේ සිට 2015-16 වන විට 5.3ක් දක්වා වැඩිවනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. එහෙත් මෙම පෙරදැකීම පදනම්ව ඇත්තේ, ඉහල ආදායම්ලාභී රටවල “ක‍්‍රමානුකූල ප‍්‍රකෘතියක්” ඇතිවීමේ ප‍්‍රතිපලය වශයෙන් කලාපයෙන් පිටතට කෙරෙන අපනයන වැඩිවනු ඇතැයි හා එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව සිය මූල්‍ය උත්තේජක වැඩසටහන හකුලා ගනිද්දී, එරට මූල්‍ය පිලිවෙත “නියම ආකාරයෙන් සාමාන්‍ය අතට” හැරෙනු ඇතැයි යන සිතාගැනීම මතය.

එහෙත් වාර්තාව, ලෝක වෙලඳාමේ බලාපොරොත්තු වනවාට වඩා ප‍්‍රකෘතිය දුබල වීම ද ගෝලීය පොලී අනුපාතයේ හදිසි නැගීමක් හෝ ගෝලීය දේශපාලන ආතතීන්හි තියුනු වීමක් බැහැර කල නොහැකි බවට අනතුරු අඟවයි. මේ සියල්ල කලාපීය දැක්ම, “අවදානමට ලක් කරනු”ඇත.

යුරෝ කලාපයේ රක්ත හීන වර්ධනයේ තත්වය හා අවධමනයේ තර්ජනය සැලකිල්ලට ගනිමින් බැංකුව පැවසුවේ, ඉහල ආදායම් සහිත රටවල ප‍්‍රකෘතිය බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමී වීම “පහතට ලිස්සා යාමේ ප‍්‍රධාන අවදානම” වන බවයි. මන්දගාමී වන උද්ධමනය දැනටමත් සැබෑ පොලී අනුපාතයන් ඉහල නංවා ඇති අතර තවදුරටත් පහතට නැඹුරුවූ චලනයක්, “ව්‍යසනකාරී නය පැහැර හැරීමේ චක‍්‍රයක්” මුදාහැරීමේ හැකියාව ඇති කරනු ඇත.

ජපානයේ ආයෝජන හා අපනයන වර්ධනය “චංචලව පවතින” තතු තුල, මූල්‍ය වත්කම් මිලට ගැනීමේ පදනම මත, යුරෝපීය මහ බැංකුව විසින් මෑතකදී නිවේදනය කල පියවර, ව්‍යාපාරික කටයුතු කොතෙක් දුරට උත්තේජනය කරනු ඇත් ද යන්න “අවිනිශ්චිත” බව බැංකුව එලඹ සිටින මතයයි.

ආසියා පැසිෆික් කලාපයේ වර්ධනයට ඇති ප‍්‍රමුඛ තර්ජනයක් වන්නේ, එජ මූල්‍ය ප‍්‍රතිපත්තිය දැඩි කිරීමේ බලපෑම් ඒ තුලට ගලා ඒමේ හැකියාවයි. එසේම, “පොලී අනුපාතයේ හදිසි නැගීමක් අවතක්සේරු කිරීමට ද නොහැකිය.” “අසාමාන්‍ය ලෙස දිග්ගැස්සුනු කාල පරිච්ඡේදයක් සඳහා අසාමාන්‍ය ලෙස පුලුල් වෙමින් පැවතියදී” මූල්‍ය ප‍්‍රතිපත්තිය, වඩාත් සාමාන්‍ය තත්වයකට යලි පැමිනීම “අතිශය සංකීර්න වනු ඇත.”

පසුගිය සය වසර තිස්සේ සිදුව ඇති දේ හා සමාන කිසිවක් ගෝලීය ධනවාදයේ ඉතිහාසය තුල අත් දැක නැති අතර ෆෙඩරල් මහ බැංකුවේ මැදිහත්වීම තුලින් ඇති වන ලිහිල් කිරීමේ ප‍්‍රතිපලය කුමක් වනු ඇත් දැයි කිසිවෙකුත් නොදනී.

ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි අන්තරායන් ගනනාවක් ඇත. හදිසි වෙලඳපොල ප‍්‍රතිචාර, ඉහල නගින අස්ථාවරත්වය හා පොලී අනුපාත හදිසියේ ඉහල නැගීම ඇතුලු කරුනු ඊට ඇතුලත්ය. තව ද එජ මහ බැංකුව මූල්‍ය ප‍්‍රතිපත්ති දැඩි කරද්දී යුමබැ හා ජපාන මහ බැංකුව ලිහිල් පිලිවෙතක් අනුගමනය කරන තතු හමුවේ, ප‍්‍රධාන සංචිත මුදල් සහිත රටවල මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනස්වන අතර “අසම්මතික හුවමාරු අනුපාතික හා පොලී අනුපාත ක‍්‍රියාත්මක වීමේ අවදානමක් පවතී.” නව සමතුලිතයක් සඳහා හරිබරි ගැසීම, “ව්‍යසනකාරී” විය හැක.

පොලී අනුපාතිකයන්ගේ වේගවත් නැගීමක්, නැගෙනහිර ආසියානු, පැසිෆික් කලාපයේ රටවල් ගනනාවකට තදින් බලපෑ හැකිය. මක්නිසා ද යත්, ඒවායේ නය මට්ටම් 2008 වසරේ පටන් කැපී පෙනෙන අයුරින් ඉහල ගොස් ඇති නිසාත්, නය සේවා අනුපාතයන් දැනටමත් “ඓතිහාසික මට්ටම් කරා ඉහල නැගී” ඇති නිසාත්ය. ප‍්‍රාග්ධන ගලනයේ තියුනු පහත වැටීමක් සිදුවුවහොත් ද ගැටලු මතුවිය හැකිය.

ලෝක ආර්ථික දැක්මට පූර්ව හැඳින්වීමක් ලෙස, ජාමූඅ විධායක අධ්‍යක්ෂ ක‍්‍රිස්ටීන් ලැගාඩ් පසුගිය සතියේ වොෂින්ටනයේ ජොර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයේ පැවති කථාවකදී පැවසුවේ, ලෝක ආර්ථිකය මුදුනේ “අඳුරු වලාවන්” දක්නට ඇති බවයි. “අවදානම් මගින් ආර්ථික ප‍්‍රකෘතිය, බලාපොරොත්තු සුන්වූ, අස්ථාවර, අසමාන හා තෙරපෙන තත්වයකට පිරිහෙලා ඇත.”

සය මසකට පෙර දකිනු ලැබුවාට වඩා ලෝක ආර්ථිකය දුබලවී ඇත. 2015 වසර සඳහා පෙර දැකිය හැකි එකම මධ්‍යස්ථ සලකුන නම්, “විභවාත්මක වර්ධනයේ දැක්ම පහතට තෙරපා තිබීම” ය.

දුබලතාවය මාධ්‍යගතවී ඇත්තේ ප‍්‍රමුඛ ධනපති රටවල් තුලය. ලැගාඩි පෙන්වා දුන්නේ, 2008 වසරේ පටන් ලෝක වර්ධනයේ සියයට 80ට වැඩි පංගුවකට දායකවී ඇත්තේ නැගී එන හා සංවර්ධනය වෙමින් ඇති ආර්ථිකයන් බවය.

මූල්‍ය අර්බුදය පැනනැගීමෙන් සය වසරක් ඉක්ම යද්දී, ලෝක ආර්ථිකය තුල දුබලතා පහව ගොස් නැත. රටවල් තවමත් තම උරුමයන් සමග පොර බදමින් සිටියි. “ක්ෂිතිජයේ ඝනවූ වලාකුලු නැගෙමින් තිබේ.” ඉන් එකක් නම්, “දිගු කාලයක් අල්ලා සිටින පහත් වර්ධනයයි.” වර්ධනයේ විභවය පිලිබඳ බිඳ වැටෙන බලාපොරොත්තු හමුවේ, අද දිනයේ ආයෝජන හා පාරිභෝජනය යන දෙකේම කප්පාදුවක් නියමිතව ඇති බව සලකනු ලැබේ.

මූල්‍ය “වලාවන් ද” නැත්තේ නොවේ. “මූල්‍ය ක්ෂේත‍්‍රයේ අතිරික්තයන් ගොඩගැසෙමින් තිබීම පිලිබඳ කනස්සල්ලක් ඇත. විශේෂයෙන්ම දියුනු ආර්ථිකයන් තුල. ඉහලම අවදානම් සහිත හා ඉහලම සුරක්ෂිත භාවය සහිත වත්කම් අතර ප‍්‍රතිලාභයන්හි අනුපාතය අතර වෙනස පැතිර යමින්, වත්කම් අගය කිරීම් පෙර කවරදාකටත් වඩා ඉහලින් පැවතෙන අතර කැලඹිලි ස්වභාවය පෙර කවරදාකටත් වඩා පහල මට්ටමක පවතියි.

කනස්සල්ලට හේතුවන තවත් කාරනයක් වන්නේ, “නව වෙලඳපොල හා ද්‍රවශීලතා අවදානම මූල්‍ය ලෝකයේ ‘සෙවනැලි’ තුලට රිංගා ගැනිමයි.” එනම් නියාමනය අඩු, බැංකු නොවන ක්ෂේත‍්‍රයන් තුලටය. ලැගාඩි සඳහන් කල පරිදි, එජ තුල “දැන් සම්ප‍්‍රදායික බැංකු පද්ධතියට වඩා සැලකිය යුතු තරම් චායා බැංකු ක‍්‍රමය විශාලය.” චීනයේදී එය සියයට 25-35 අතර වේ. එය ලොකයේ පස්වන විශාලතම චායා බැංකු ක්ෂේත‍්‍රයයි. වර්තමාන ලිහිල් මූල්‍ය පිලිවෙතේ දිග්ගැස්සීම පවතින තාක් දුරට දහනය වන මූල්‍ය අතිරික්තයක අවදානම ද විශාල වන බවට ඇය අනතුරු ඇඟවූවාය.

ලැගාඩි එය තේරුම් ගත්ත ද නොගත්ත ද ඇගේ කථාව, ඇය ද ඇතුලු ගෝලීය ආර්ථිකයේ හා මූල්‍ය පද්ධතියේ ආරක්ෂකයින් යයි කියාගන්නා සියල්ලන්ටම එරෙහි සැබෑ චෝදනා පත‍්‍රයකි. එය වනාහි, මහා අවපාතයෙන් පසුව එලඹ ඇති දරුනුම අර්බුදයෙන් පසුව, ‘ප‍්‍රකෘතියක්’ නැතුවා පමනක් නොව, පසුගිය සය වසර පුරා අනුගමනය කල ප‍්‍රතිපත්ති, තවත් අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කර තිබීම පිලිගැනීමක් ද වේ.

ලැගාඩි ඇගේ කථාව අවසන් කලේ, අලු හා නිල් යන විශ්වවිද්‍යාලයේ වර්න හුවා දක්වමිනි. “අලු පැහැති වලාකුලු ද ඇත” ඇය පැවසුවාය. එහෙත් නිල් කොඩිය “වඩා ඉහලට ඔසවා, දැඩි උත්සාහයකින් හා එකමුතු කමකින්, අපට නිල් ආකාසයේ නව පැහැයක් අත්කරගත හැකි ය”යි ඇය පැවසුවාය.

සමස්ත ගෝලීය ධනේශ්වර පර්යාය පිලිබඳව එල්ල කෙරෙන ඊටත් වඩා දැඩි චෝදනාවක් සොයාගත නොහැකි තරම්ය. කෝටි සිය ගනන් ජනතාවගේ ජීවනෝපායන් පරදුවට තැබී ඇති තත්වය තුල, ආර්ථික ප‍්‍රතිපත්ති හසුරුවනවා යයි කියා සිටින අයට විසඳුම් වශයෙන් ඉදිරිපත්කල හැකි කිසිවක් ඇත්තේ නැත. ඔවුන්ට ඇත්තේ විද්‍යාලයෙහි දැල් පන්දු ක‍්‍රීඩාවේ කලකිරීමට පත්ව සිටින පුහුනු කරුගේ මානසිකත්වයක් පමනි.

Share this article: