රාජපක්ෂ ආන්ඩුවේ සිසු මර්දනයට එරෙහි වනු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප‍්‍රකාශයකි, 2014 ඔක්තෝබර් 27

රාජපක්ෂ ආන්ඩුව තම ප‍්‍රාදේශීය දේශපාලනඥයන් මෙහෙයවා ගනිමින් සබරගමුව සරසවි සිසුන්ට එරෙහිව මේ මස 10 වන දින පඹහින්නේදී එල්ල කල මැර ප‍්‍රහාරයට ද එයට විරෝධය දක්වමින් පසුගිය 21 වන දා සරසවි සිසුන් ගිය පා ගමනට බත්තරමුල්ල පාර්ලිමේන්තු මාවතේදී එල්ල කල පොලිස් ප‍්‍රහාරයට ද සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) තම බලගතු විරුද්ධත්වය පල කර සිටී.

පන්ති තහනම් කිරීම්, අත්අඩංගුවට ගැනීම් හා ශිෂ්‍ය සංගම් තහනම් කිරීම් ඉක්මවා සිසුන්ට එරෙහි මැර ප‍්‍රහාර එල්ල කිරීම දක්වා ආන්ඩුව ඉදිරියට දමා ඇති මෙම මර්දනය සමස්ත කම්කරු පන්තියට එරෙහිව දියත් කිරීමට යන පුලුල් ප‍්‍රහාරයක් පිලිබඳ පෙර ලකුනක් බවට අනතුරු අඟවන සසජාතශි මෙම මර්දනයට විරුද්ධ වෙමින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා පෙරට එන ලෙස සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

සිසුන්ට පනවා ඇති පන්ති තහනම් ඉවත් කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සබරගමු සරසවි සිසුන් ගෙන ගිය “සත්‍යග‍්‍රහ” විරෝධතාව සඳහා පඹහින්න හංදියේ ගොඩනගා තිබූ අට්ටාලය වෙතට 10 වන දා රාති‍්‍රයේ පැමිනි මැරයෝ, කඩු, පොලු, කිනිසි සහ බයිසිකල් චේන්වලින් සිසුන්ට එලව එලවා පහර දුන්හ. ප‍්‍රහාරයෙන් 20 ක් තුවාල ලැබූ අතර ඉන් 12 ක් රෝහල් ගත කෙරුනි. අවට කඩවල රැඳී සිටි අයට ද පහරදුන් මැරයෝ ඔවුනට අයත් දේපලවලට ද අලාභහානි සිදු කලහ. මැරයන් පහර දෙන අවස්ථාවේ දී, ඊට මීටර් 700 ක් පමන දුරින් පිහිටි සමනල වැව පොලීසියට ප‍්‍රහාරය පිලිබඳව සිසුන් විසින් දැනුම් දුන්නද පොලිසිය පැමිනියේ ප‍්‍රහාරය අවසන් වූ පසුවයි.

ආන්ඩු පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු වන ඉන්දික නමැත්තා මැර ප‍්‍රහාරය සංවිධානය කොට එයට නායකත්වය දුන් බව සිසුන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ අදහසයි. සිසුන් පවසන අන්දමට මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයා ප‍්‍රහාරයට පෙරදින සරසවියේ උපකුලපතිවරයා හමුවී ඇති අතර ප‍්‍රහාරය එල්ල වු දිනයේ සවස් වරුවේ අට්ටාලය වෙතට පැමින “සත්‍යග‍්‍රහය” නවතා දමන ලෙසත් එසේ නොමැති නම් එය ඉවත් කරන ආකාරය තමන් දන්නා බවටත් තර්ජනය කර තිබේ.

පසුගිය 4 වන දා සබරගමුව සරසවියේ සිසු නේවාසිකාගාරයක් විවෘත කිරීමට පැමිනි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක තමා මුහුන දුන් සිසු විරෝධයට ප‍්‍රතිචාර ලෙස ”මේ දවස් මැතිවරන කාලයක් නොවේ නම් අපි මේවාට සලකන හැටි දන්නවා” යයි තර්ජනය කලේ විරෝධතාවයේ යෙදී සිටි සරසවි සිසුන් මැස්සන් මදුරුවන් කූඩැල්ලන් ලෙස හෙලා දකිමිනි.

සිසුන්ට එරෙහි දිසානායකගේ ප‍්‍රකාශයෙන් කම්කරු පන්තිය හා සිසුන් ඇතුලු පීඩිත ජන කොටස් සම්බන්ධ ආන්ඩුවේ ආකල්පය එලිමහනට පැමින ඇත. ඔහු විවෘතව ප‍්‍රකාශ කරන්නේ සිසුන් මැස්සන් මදුරුවන් ලෙසින්ම තලා දැමීමට තමන් හා ආන්ඩුව සූදානම් බවයි. ආන්ඩුව සිසුන්ට එරෙහි ප‍්‍රහාර දැඩි කිරීමට මැතිවරනයක් අවසන් වන තුරු හෝ ඉවසීමට සූදානම් නැති බව දිසානායකගේ ප‍්‍රකාශයෙන් දින පහක් ගතවන තැන සබරමුව ශිෂ්‍යන්ට එල්ල කල ප‍්‍රහාරයෙන් පැහැදිලි වේ.

රාජපක්ෂ පාලනය තම පොලිස් රාජ්‍ය සැලසුම් වල කොටසක් ලෙස අධිකරනය ද රබර් මුද්‍රාවක් බවට පත් කරගෙන ඇති තතු යටතේ, සබරගමුව සරසවි ශිෂ්‍ය සංගමය ගෙන යන සත්‍යග‍්‍රහය නවතා දමන ලෙස බලංගොඩ දිස්ති‍්‍රක් අධිකරනය පසු දා ම (11 දා) නියෝග කලේය. මීට අමතරව දිසානායකගේ ගමනට බාධා කලේය යන චෝදනාව මත ශිෂ්‍යන් 12 අත්අඩංගුවට ගැනීමට ද එම අධිකරනයෙන් පොලිසියට නියෝග කෙරින. නමුත් මහජන විරෝධය හමුවේ දින දහයකට පසු මැරයන් පොලිසියට භාරවන තෙක් පැහැදිලි සාක්ෂි පවතිද්දී පවා පොලීසිය කිසිදු මැරයෙකු අත්අඩංගුවට නො ගත්තේය.

අධ්‍යාපන කප්පාදුවලට සහ අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමට විරුද්ධව අඛන්ඩව වර්ධනය වන සිසු විරෝධතාවන් මැඩ පැවැත්වීම සඳහා පසුගිය කාලය පුරා රාජපක්ෂ ආන්ඩුව සිසුන්ට එරෙහිව පෙර නොවු විරූ ප‍්‍රහාර මාලාවකට ගමන් කලේ ය. ඒ යටතේ පසුගිය වසර කිහිපය තුල සරසවි සිසුන් දහසකට වැඩි පිරිසකගේ පන්ති හා ශිෂ්‍යභාවය අහෝසි කෙරුනු අතර දුසිම් ගනනක් පොලිස් අත්අඩංගුවට පත් කෙරින. මේ අතර ශිෂ්‍ය සංගම් තහනම් කොට නවක සිසුන් අනිවාර්ය මිලිටරි පුහුනුවකට ලක්කොට තිබේ.

අධ්‍යාපනයේ පුද්ගලීකරනය යටතේ ඕස්ටේ‍්‍රලියාවේ තාක්ෂනය පිලිබඳ විශ්ව විද්‍යාලයක් වන ස්වේන්බර්න් විශ්වවිද්‍යාලය හා ලංකාවේ නවලෝක උසස් අධ්‍යාපන ආයතනය අතර සබඳතා ආරම්භ කරමින් පසුගිය 21 දා පැවති උලෙලක දී දිසානායක ප‍්‍රකාශ කලේ ”ලක්ෂයක් පමන සිසුන් පිරිසක් වසරකට පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා අපේක්ෂාවෙන් සිටින” බවයි. ‘දැනුම් කේන්ද්‍රයක්’ බවට ලංකාව පත් කිරීමේ එල්ලය යටතේ බලාපොරොත්තු වන්නේ මෙවැනි සරසවිවල මැදිහත් වීම යයි දිසානායක එහිදි වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ.

ඊනියා ‘දැනුම් කේන්ද්‍රය’ කම්කරු පීඩිත පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සමග කවර හෝ සම්බන්ධයක් නොමැති අතර එහි එල්ලය වෙන කිසිවක් නොව දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ගරන කර්මාන්තයක් බවට අධ්‍යාපනය පත් කිරීමයි. ඒ සඳහා දැනටමත් ආන්ඩුව බදු සහන හා සුවිසල් ඉඩම් ආයෝජකයන්ට ප‍්‍රදානය කරමින් සිටී.

අධ්‍යාපන වියදම් කප්පාදුව හේතුවෙන් සරසවි තුල දේශන ශාලා, නේවාසිකාගාර, පරිගනකාගාර, පුස්තකාල හා විද්‍යාගාර වැනි නිසි අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මූලික භෞතික පහසුකම්වල දැඩි හිඟයක් නිර්මානය වී තිබේ. සොච්චම් ශිෂ්‍යාධාරය පිම්මේ ඉහල යන ජීවන වියදමට මුහුන දීමට සිසුන්ට හෝ තම දෙමාපියන්ට කිසිදු ආධාරකයක් සම්පාදනය නොකරයි. ඉහිලිය නොහැකි මෙම කොන්දේසි මගින් සිසුන්ගෙන් බහුතරයක් දෙනා දැනටමත් අර්ධ කම්කරුවන් බවට පත් කොට තිබේ.

රාජපක්ෂ ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදුවේත් මර්දනයේත් මූලය ඇත්තේ ලෝක පරිමාන ධනේශ්වර ක‍්‍රමයේ අර්බූදය තුලයි. අවපාතයක් දිසාවට ගැඹුරුවන මෙම අර්බූදය යටතේ රාජපක්ෂ ඇතුලු ලොව පුරා පාලක පන්තීන් මහජන අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන්ද, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ද විනාශ කරමින් සමාජ ප‍්‍රතිවිප්ලවයක නියැලී සිටී.

මෙම සමාජ ප‍්‍රතිවිප්ලවය පරාජය කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ දේශපාලන අරගලයකිනි. භූගෝලීයකෘත වත්මන් ආර්ථිකය තුල කම්කරු පන්තියේ සමාජ බලය වැඩි වී ඇති අතර දුගී ගොවීන් ද ඇතුලු පීඩිතයන් ද සිසුන් හා තරුනයන් ද තමා වටා පෙල ගස්වා ගනිමින් එම අරගලයට නායකත්වය දිය හැක්කේ කම්කරු පන්තියටම පමනි.

කම්කරු පන්තිය තම අතීත අරගලවලින් දිනාගත් මහජන අධ්‍යාපනය අතුගා දැමීමට එරෙහි අරගලය අතට ගනිමින් සිසු මර්දනයට විරුද්ධව නැගී සිටිය යුත්තේ සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුක් බලයට ගෙන ඒමේ ඉදිරිදර්ශනය මතයි. එය වර්ධනය වන ලෝක යුද්ධයට හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව ලෝක කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය සඳහා වන සටනේ අත්‍යන්ත කොටසකි. සසජාතශි සටන් වදින්නේ මෙම ඉදිරි දර්ශනය මතයි.

මෙයට විපරීතව, ආන්ඩුවට බලපෑම් දැමීම මගින් මෙම කප්පාදු ආපසු හැරවිය හැකිය යන මිත්‍යාව මත පදනම් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබමයේ) වැඩපිලිවෙලින් සිසුන් ගැලවී ගත යුතුය. අවිශිබමයේ මෙම දේශපාලනයට නායකත්වය ලැබෙන්නේ ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගිනි.

වර්ගවාදී යුද්ධයට හා ජවිපෙ පන්ති සම්මුතිවාදයට විරුද්ධයැයි කියාපාමින් ඉන් භේද වු පෙසප මේ වන විට දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව සිටින නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ සහ සංවිධාන සමග පෙරමුනක් සඳහා වලි කන්නේ කම්කරු පන්තියේ ස්වාධීනත්වයට සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට එරෙහිව යි.

අවිශිබමයේ දේශපාලනයෙන් බිඳී වෙන්වී, සියලු සරසවි තුලත් උසස් අධ්‍යාපන ආයතන තුලත් සසජාතශි ශාඛා ගොඩ නගමින් අවශේෂ කම්කරු පීඩිතයන් මෙම ඉදිරිදර්ශනයට බලමුලු ගැන්වීමට ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට උර දෙන්නැයි අපි සියලූ සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: