ජනාධිපතිවරනයේ දී රනිල් වික‍්‍රමසිංහට මුක්කුව දෙන බව නසසප නායකයා නිවේදනය කරයි

කේ. රත්නායක විසිනි, 2014 ඔක්තෝබර් 31

නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න මීලඟ මැතිවරනයේ දී බටහිර අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහට සහයෝගය දෙන බව සඳුදා කොලඹ දී පැවති පුවත්පත් සාකච්ඡුාවක දී අවධාරනය කලේ ය.

ව්‍යාජ වාම පක්ෂයක් වන නසසපයේ නායකයා මෙසේ ප‍්‍රකාශ කලේ ය: “එතුමා [වික‍්‍රමසිංහ] බලය බෙදීමට කැමතියි, උතුර-නැගෙනහිර ඒකාබද්ධ කරල, ඒ විදිහට ජාතික ප‍්‍රශ්නයට [විසඳුම්] පියවර ගන්න සූදානම්. එතුමා ධනපති නායකයෙක් වුනත් විවේචනාත්මක සහයෝගය දෙන්න පුලුවන්.”

වික‍්‍රමසිංහගේ ‘සුදුසුකම’ ගැන කරුනාරත්න තව දුරටත් මෙසේ පලිප්පු දැම්මේය: “එතුමා මූල්‍ය ධනවාදය සමග හෙට්ටු කරල හරි දැනට තියෙන සල්ලාල ආර්ථිකය වෙනුවට ආර්ථික සංවර්ධනයක් ඇති කරන බව කියනව.”

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ආස්ථානය ගැන නැගූ ප‍්‍රශ්නයට පිලිතුරු දෙමින් කරුනාරත්න ඉල්ලා සිටියේ ෆැසිස්ට් තාලයේ ආන්ඩුවේ කි‍්‍රයාමාර්ගයට විරුද්ධව සටන් කිරීම සඳහා වික‍්‍රමසිංහට සහයෝගය දීමට එක්වන ලෙසයි. මීට පෙර, ඔක්තෝබර් 5 දා, ධනපති සංස්ථාපිතයේ අන්ඩක් වන රාවය පුවත්පතට දුන් ප‍්‍රකාශයකදී ද කරුනාරත්න, ජනාධිපතිවරනයේ දී පොදු අපේක්ෂකයෙකු ලෙස වික‍්‍රමසිංහ ඉදිරිපත් කිරීමේ සුදුසුකම ගැන සහතිකයක් නිකුත් කලේය.

එජාප නායකයා ජනාධිපති කරවීමේ උද්ඝෝෂනයේ කසකාරයෙකු ලෙස කරුනාරත්න ඉදිරිපත් වී සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ එලඹෙන ජනවාරියේ දී හදිසි ජනාධිපතිවරනයක් පවත්වා බලයට ඒමට කැස කවන තත්වයක දී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පොලිස් විධික‍්‍රම යොදා ගෙන පහර දෙන රාජපක්ෂ තව අවුරුදු දෙකකින් නියමිත කලට ඡන්දයට ඉදිරිපත් වුවහොත් මහජන විරෝධය නිසා බලයට ඒමට නොහැකිවේ යයි භීතියට පත්ව සිටී.

රාජපක්ෂගේ හා ඔහුගේ ආන්ඩුවේ සූදානම අවුරුදු දෙකක් කල්තියා ජනාධිපතිවරනය පවත්වා බලයට පැන ගෙන 2022 දක්වා පාලනය ගෙන යමින් සමාජ අයිතීන් තලා දමන පොලිස් රාජ්‍ය පාලනයක් තහවුරු කර ගැනීමයි. 2010 දී සම්මත කර ගත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජපක්ෂ තෙවරක් ජනාධිපති ධුරය දැරීමට කොන්දේසි සකස් කර ගත්තේ ය.

ව්‍යාජ වාම නසසප හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ද නොයෙකුත් මධ්‍යම පන්තික කන්ඩායම් ද “රාජපක්ෂ පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙක්” ජනාධිපතිවරනයට ඉදිරිපත් කිරීමේ සාකච්ඡාවල යෙදෙති. කෙසේ වුවත්, වික‍්‍රමසිංහ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම ද ඔහු “පොදු අපේක්ෂකයා” කර ගැනීම ද එජාපයේ ඉලක්කය යි.

සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරයක් නමින් සංවිධානයක් තනා ගෙන සිටින ජාතිවාදියෙකු ලෙස ප‍්‍රකට මාදුලුවාවේ සෝභිත භික්ෂුව, ඊනියා පොදු අපේක්ෂකයෙකු ලෙස වඩම්මා ගැනීමේ තැතක් ද පවතී.

පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැන කලින් ප‍්‍රකාශ දීගෙන සිටි ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දැන් රාජපක්ෂ තුන් වතාවක් ඉදිරිපත් වීම නීති විරෝධී ය යන උද්ඝෝෂනයකට පැන ගෙන සිටී. සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති වර්ගවාදය කර පින්නා ගත් ජවිපෙ පදනම් වී ඇත්තේ රාජපක්ෂගේ බැලයෙකු ලෙස කලක් කි‍්‍රයා කල ඔහු සමග දැන් උරන වී සිටින හිටපු අග‍්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා ප‍්‍රකාශයට පත් කල ‘නීති තර්කයක්‘ මත ය.

මෙම සියලු කොටස්වල ප‍්‍රතිගාමී ව්‍යායාමය වී ඇත්තේ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය තුල කැකෑරෙන කෝපය පීලිපන්නවා එජාප නායකයා හෝ වෙනත් ධනපති අපේක්ෂකයෙක් පිටුපසට තල්ලු කිරීමයි.

වික‍්‍රමසිංහ හුවා දක්වමින් කරුනාරත්න සිදු කරන මැදිහත් වීම අතිශයින් ම ප‍්‍රතිගාමී ය. ඔහුගේ දෙපැත්ත ඇරුනු කැඳවීම, එජාප ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ඊනියා වම්මුන් ද වර්ගවාදී පක්ෂ ඇතුලු දක්ෂිනාංශිකයන් ද ඇතුලත් පෙරමුනක් සූදානම් කිරීම ය. අනාගතයේ එජාප ආන්ඩුවක් බලයට ආවත් රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර අඛන්ඩව ගැඹුරු කරමින් ගෙනයාමට නියමිත ය.

පොදු අපේක්ෂකයෙක් ගැන වාද කරන අනෙක් පක්ෂ බලය බෙදීම ගැන කතා නොකරන බවට චෝදනා කරන කරුනාරත්න. වික‍්‍රමසිංහ නම් “දෙමල ජනයාගේ ජාතික ප‍්‍රශ්නයට” විසඳුම් දීමට සූදානම් යයි පාරම්බායි. එජාපයේ ජාතික ප‍්‍රශ්නයට ඊනියා විසඳුම ලෙස හුවා දැක්වෙන්නේ ධනපති දෙමල ජාතික සන්ධානය සමග බලය බෙදා ගැනීමේ ගනුදෙනුවකට යෑම ය. එවැනි බලතල බෙදීමක් දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ලබාදීමට නොව දෙමල ප‍්‍රභූන්ට වරප‍්‍රසාද ලබා දීමට කැප වූ එකකි. කරුනාරත්න දහිරිය දමන්නේ දෙමල ජාතික සන්ධානය වික‍්‍රමසිංහගේ මැතිවරන පෙරමුනකට එක් කර ගනිමින් දෙමල ජනයාගේ ඡන්ද ගරාගැනීමට ඔහුට මුක්කුව දීමට ය.

වික‍්‍රමසිංහ පුම්බා ප‍්‍රදර්ශනය කිරීමේ කරුනාරත්නගේ ව්‍යායාමය එතැනින් නතර වී නැත. වෙනත් පොදු අපේක්ෂකයෙක් ගැන පුවත්පත් සාකච්ඡාවේදී ප‍්‍රශ්නයක් මතු කල විට ඔහු සඳහන් කලේ අනෙක් අයට වික‍්‍රමසිංහට මෙන් “ගමන් මගක්” (ට‍්‍රැක් රෙකෝඞ් එකක්* නැති බවයි. දිගින් දිගට ම එජාප නායකයා සමග තමන් ගෙනයන භජනය ඔජවඩවමින් කරුනාරත්න ප‍්‍රකාශ කලේ එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන් සමග සාම ගිවිසුමකට එලඹුනු තැන් පටන් වික‍්‍රමසිංහට “ධෛර්ය දෙමින්” එකට ආ බවත් රාජපක්ෂ පාලනයට විරුද්ධව එකට සිට “අද හුස්ම කටක් ගන්න පුලුවන් තත්වයක් ඇති කර ගත්” බවත් ය.

එජාපය හා එහි නායකයා වැඩ කරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන්ගේ ආරක්ෂකයෙක් ලෙස පින්තාරු කිරීම තුච්ඡ ද්‍රෝහී කි‍්‍රයාවකි. නසසපය තැත් කරන්නේ කම්කරුවන් එජාපයට කුදලා දී ධනේශ්වර පන්ති පාලනයට එරෙහිව සමාජ පිපිරීමක් ඇති වීම වැලැක්වීමට යි.

ලංකාවේ ධනපති පන්තියේ පැරනිතම පක්ෂය වන එජාපයට ඇත්තේ එය බලයේ සිටි කාලයේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට රුදුරු ප‍්‍රහාර එල්ල කිරීමේ සාපරාධී වාර්තාවකි. එය දෙමල විරෝධී භේද වැපිරීමේ යෙදී බෙදුම්වාදී එල්ටීටීඊය සමග දශක තුනක් පමන ඇදී ගිය යුද්ධය 1983 දී අවුලුවා ගත්තේ ය. මෙම සිංහල ස්වෝත්තමවාදී පිලිවෙතේ මූලික අරමුන වූයේ කම්කරු පන්තිය බෙදා මැඩලීම යි.

කරුනාරත්න විසින් හුවා දැක්වෙන එල්ටීටීඊය සමග වික‍්‍රමසිංහ ගේ සාම සාකච්ඡා ඇමරිකාවේ පිටුබලයෙන් පටන්ගත් එකකි. බුෂ් පාලන තන්ත‍්‍රයේ ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය පාවිච්චි කර එල්ටීටීඊය සාකච්ඡාවලට පොලඹවා ගත්තේ කොලඹ පාලන තන්ත‍්‍රයේ කනිෂ්ඨ සහකරුවෙක් බවට එය පත් කර ගෙන ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාවන්ට අනුව රැකියා, ජීවන තත්වයන් හා සමාජ අයිතීන් තවත් දරුනු ලෙස කපා හරින වැඩ පිලිවෙලකට සිංහල-දෙමල කම්කරුවන් යටත් කිරීමේ එල්ලය ඇතිව ය.

හිටපු ජනනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකු වූ වික‍්‍රමසිංහ දෙවරක් කෙටි කලකට අගමැතිකම දැරුවේය. රාජපක්ෂ මෙන්ම ඔහුද යුද අපරාධවලට වග කිව යුතුය.

වික‍්‍රමසිංහ මෑතක දී ජනාධිපතිවරන උද්ඝෝෂනය සඳහා ඔහුගේ මෙහෙයුම් පිලිවෙත් නිවේදනය කලේ ය. දෙමල ප‍්‍රභූවට සීමිත බලතල දුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාවට දැමීම, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තු පාලනයට මාරු වීම, රාජ්‍ය ආයතන නිර්දේශපාලනකරනය ඒ අතර වෙයි. මේවා තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් ලෙස මවා පෙන්වා ගැනීමට වික‍්‍රමසිංහ දොඩවන පූච්චානම් කතා ය.

වික‍්‍රමසිංහ දක්ෂිනාංශිකයන්ගේ ද සිංහල ස්වෝත්තමවාදීන්ගේ හා බෞද්ධ අන්තවාදීන්ගේ ද සහයෝගය ගොනු කර ගැනීමේ වෑයමක යෙදෙයි. එජාප නායකයා තමන්ගේ සහයෝගය ඉල්ලා ඇතැයි දින කීපයකට පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ජන මාධ්‍යයන්ට ප‍්‍රකාශ කලේ ය. රාජපක්ෂ යටතේ එල්ටීටීඊයට එරෙහි මිලිටරි ප‍්‍රහාරය මෙහෙයවූ ෆොන්සේකා යුද අපරාධ සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇත්තෙකි.

ජාතික හෙල උරුමයේ ආරාධනා පිට එය සංවිධානය කල උත්සව කීපයකට සම්බන්ධ වූ වික‍්‍රමසිංහ මෙම බෞද්ධ අන්තවාදී සංවිධානය මෑතක දී රාජපක්ෂට ඉදිරිපත් කල ප‍්‍රතිගාමී වගන්ති ඇතුලත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එකහෙලා අනුමැතිය දී ඇත්තේ ජනාධිපති වරනයේ දී එහි සහයෝගය ද ලබා ගැනීමට මාන බලමිනි.

ආන්ඩුවේ ප‍්‍රහාරවලට අත් දෙකම උස්සා ගෙන උඩගෙඩි දුන් හෙලඋරුමය දැන් සිය ව්‍යවස්ථා සංශෝධනය ඉටු කරන ලෙස රාජපක්ෂට ව්‍යාජ “අන්තිම නිවේදන”යක් නිකුත් කර ඇත. වික‍්‍රමසිංහ මෙම ප‍්‍රතිගාමී කොටස් සමග පෙල ගැසීමට කරන අර ඇදීම් වහංගු කරමින් කරුනාරත්න යූඇන්පී නායකයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස වෙස් මුහුනු පලඳවයි.

ඉන්දියාව, බටහිර රටවල් සහ චීනය සමග තුලනය කෙරුනු විදේශ පිලිවෙතක් අනාගත එජාප ආන්ඩුවක් විසින් ක‍්‍රියාවට දැමෙනු ඇතැයි වික‍්‍රමසිංහගේ මෙහෙයුම් පිලිවෙත්වල දැක්වේ. රාජපක්ෂ ආන්ඩුව ලංකාව චීනයේ “චන්ද්‍රිකාවක්” බවට පත්ව ඇතැයි එජාප නායකයන් චෝදනා කරන තතු යටතේ වික‍්‍රමසිංහගේ විදෙස් පිලිවෙත ගැන ඉහත කී සඳහන ඇමරිකාවට හා ඉන්දියාවට ලංවන බවට නිකුත්කෙරුනු පනිවිඩයකි.

යුද්ධයේ දී මානව අයිතීන් උල්ලංඝනය කිරීම ගැන රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කරමින් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ජාත්‍යන්තර පරීක්ෂනයක් දියත් කර එල්ල කර ඇති පීඩනයට එජාපය සහයෝගය දෙයි. යුද්ධයට සහයෝගය දුන් ඇමරිකාව මෙම චෝදනාව එල්ල කරන්නේ රාජපක්ෂ ආන්ඩුව හා චීනය අතර සම්බන්ධතා බිඳීමට කරන බලපෑමක් ලෙස ය. ඇමරිකාව, චීනය හුදකලා කිරීමට හා මිලිටරිමය වටලෑමකට ලක් කරමින් එරට අර්ධවිජිතයක් ලෙස සුරාකෑමට යටත් කර ගැනීමේ තැතක යෙදී ඇත්තේ ලෝක යුද ගැටුමක අන්තරාය ද මතු කරමිනි. රාජපක්ෂ, වොෂින්ටනයේ හිත දිනා ගැනීමේ තැතක යෙදී මෙම පීඩනය නතර කර ගැනීමේ මංමුලාගත වෑයමක් දරයි.

එජාප නායකයා සමග පෙල ගැසීම යුක්ති සහගත කිරීමට කරුනාරත්න තවත් උප්පරවැට්ටියක් දමා ඇත. ආන්ඩුවේ මිලිටරි-පොලිස් ක‍්‍රියාවලට අත දික්කර පෙන්වන කරුනාරත්න එම ෆැසිස්ට් ක‍්‍රියාමාර්ග පරාජය කිරීමට එජාපය සමග එක් වුනාට කමක් නැතැයි කියා සිටී. ඩේලි මිරර් පුවත්පතට කලින් ලියූ කොලමක ඔහු මෙසේ සඳහන් කරයි: “වම එජාපය සමග පොදු ක‍්‍රියාවන්ට එලඹීම තේරුමක් නැතැයි සිතන කොටසක් ඇත.” 1930 ගනන්වල හිට්ලර්ගේ ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් පෙරමුනක් යෝජනා කලේ ට්‍රොට්ස්කි යැයි ඔහු ලියා ඇත.

මෙය වනාහි, ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා ජර්මානු කම්කරු පන්තිය එකමුතු කිරීමට ලියොන් ට්‍රොට්ස්කි කල අරගලය නින්දිත ලෙස විකෘත කිරීමකි. කරුනාරත්න කරන්නාක් මෙන් ධනපති පක්ෂ සමග එක්සත් පෙරමුනක් ට්‍රොට්ස්කි යෝජනා කලේ නැත. නාසි ප‍්‍රහාරවලට විරුද්ධව නිශ්චිත එක්සත් කි‍්‍රයාවන්ට යෑම සඳහා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්පීඩී) සමග එක්සත් පෙරමුනකට කොමියුනිස්ට් පක්ෂය එලඹිය යුතු යැයි ට්‍රොට්ස්කි යෝජනා කලේය. එස්පීඩීය ඒ වන විටත් විශාල කම්කරු පදනමක් පැවති පක්ෂයකි. ට්‍රොට්ස්කිගේ දීප්තිමත් එක්සත් පෙරමුනු උපායේ දේශපාලන අරමුන වූයේ එස්පීඩී කම්කරුවන් කොමියුනිස්ට් පක්ෂයට දිනා ගනිමින් සමාජවාදී විප්ලවය කරා පෙරට යෑමයි.

කරුනාරත්න වික‍්‍රමසිංහ වෙනුවෙන් කහින්නේ කම්කරුවන් මුලා කොට ඇමරිකානු අධිරාජ්‍යගැති එජාපය බලයට ගෙන ඒමට යි. වික‍්‍රමසිංහ ජනාධිපති කිරීමට ගෙන යන ව්‍යාපාරය සලකුනු කරන්නේ ඔහුගේ ද නසසපයේ ද තවත් දකුනට පැදීමකි. නසසප ලංකාවේ දේශපාලන සංස්ථාපිතයට තරයේ ම ඒකාග‍්‍රව, ධනේශ්වරයට හා අධිරාජ්‍යවාදයට ගැට ගැසුනු ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරයි.

කරුනාරත්න දේශපාලනය පටන් ගත්තේ ධනපති ශී‍්‍රලනිපය සමග සභාගයකට එක්වී ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) සිදු කල 1964 මහා පාවාදීම සමයේ එහි සාමාජිකයෙක් බවට පත්වෙමිනි. සභාග ආන්ඩුව කම්කරු පන්තියට එල්ල කල ප‍්‍රහාරවලට ලසසප සාමාජිකයෙකු ලෙස සහය දෙමින් සිට 1970 ගනන් අග ඉන් දුරස්ත වී 1978 නසසපය පිහිටුවා ගත් නමුත් කරුනාරත්න ලසසපයේ දේශපාලනයම ඉදිරියට ගෙන ගියේය.

කරුනාරත්නගේ හා ඔහුගේ පක්ෂයේ වාර්තාව නම් ලංකාවේ ධනපති පන්තියේ සෑම කන්ඩායමක් සමග ම විටින් විට සන්ධාන ගත වී කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට වල කපා ධනපති පාලනය ආරක්ෂා කිරීමට ක‍්‍රියා කිරීමයි. ඉහත කාල පරිච්ඡේදයේ දී ඔහු රාජපක්ෂ ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා අගමැතිව සිටි සිරිමා බන්ඩාරනායක ද ප‍්‍රගතිශීලීන් ලෙස හඳුන්වා ශී‍්‍රලනිපය සමග පෙල ගැසුනේ ය.

වික‍්‍රමසිංහ 2001 දෙසැම්බරයේ එජාප ආන්ඩුවක් තනා අගමැති වූ පසු එල්ටීටීඊය සමග සාම කි‍්‍රයාවලිය ආරම්භ කල තැන් පටන් නසසපය ද ඇතුලු බොරු වම්මු එහි එල්බී ගත්හ. එජාපය 2009 අවසානයේ ඊනියා නිදහසේ වේදිකාව සංවිධානය කලේ ආන්ඩුවට එරෙහිව නැගෙන විරෝධය ගසාකෑම සඳහා පූච්චානම් විවේචන දැමීම සඳහා නසසප එසප සහයෝගය ලබා ගැනීමටයි.

නසසපය පැබ්ලෝවාදීන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ ලංකා ශාඛාවයි. මෙම සංවිධාන ට්‍රොට්ස්කිවාදය අපකීර්තියට පත් කිරීමට හතරවන ජාත්‍යන්තරයේ නම දුෂ්-පරිහරනය කරයි. පැබ්ලෝවාදී ප‍්‍රවනතාව පශ්චාත් යුදකාලීන අධිරාජ්‍යවාදී සමථයට ද ස්ටැලින්වාදයට ද අනුගත වෙමින් 1953 දී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳුනේය.

ප‍්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය (එන්ඒපී) බඳු පැබ්ලෝවාදී කන්ඩායම්, මානුෂික අයිතීන් රැකීමේ නමින් එක්සත් ජනපදය සිරියාවට කල මැදිහත්වීමට පිටුබලය දුන්හ. මෙම පක්ෂ යුකේ‍්‍රනයේ වික්ටර් යනුකොවිච් ආන්ඩුව පෙරලා දැමීමට ඇමරිකාවේ සහ ජර්මනියේ සහාය ලද ෆැසිස්ට්වාදීන් සම්බන්ධවූ කුමන්ත‍්‍රන ව්‍යාපාරයට හුරේ දැමූහ. නසසපය, එජාපයට සහය දීම ද වොෂින්ටනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ලංකාවට එරෙහිව ගෙන යන කෛරාටික උද්ඝෝෂනය සමග පෙල ගැසීම ද පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර තම සගයන් සේ ම මෙම පක්ෂය ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදී කඳවුර සමග පෙල ගැසී සිටින බව යි.

ලංකාව තුල ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය ඉදිරිපත් කරමින් සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි. නසසපය හා අන් අවස්ථාවාදීන්ට එරෙහිව අරගලය කරමින් කම්කරු පන්තිය ධනේශ්වරයේ සෑම කොටසකින් ම දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගන්වමින් කම්කරුවන්ගේ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ කි‍්‍රයාමාර්ගය මත සසප සටන් වදියි. එය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා ගෙනයන අරගලයේ කොටසකි. සාමාජවාදී විප්ලවයට නායකත්වය දෙන පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: